Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වසර 3300කට පසු නැවත උපන් මිසර රූමතිය: ඩොරති ඊඩි

මීට වසර 3300 කට පෙර ඇගේ නම “බෙන්ට්‍රෙෂිට්“නම් වූවා ය. පුරාණ ඊජිප්තු භාෂාවෙන් එම නමේ තේරුම ‘ප්‍රීතියේ වීණාව’ යන්න යි. ඊට වසර තුන්දහස් තුන්සියයකට පසුව, ක්‍රිස්තුවර්ෂ 1904 දී එංගලන්තයේ දී උපත ලද දැරියක් “ඩොරති ඊඩි” නම් වූවා ය. මෙහි කථා නායිකාව ඇය යි.

වයස අවුරුදු තුනේ දී, ඩොරති ඊඩි නිවසේ ඉහළ මාලයට පිවිසෙන පඩිපෙළෙන් පහළට දරුණු ලෙස ඇද වැටී අනපේක්ෂිත අනතුරකට පත්වූවා ය. සැවො ම කල්පනා කළේ ඇගේ ජීවිතය බේරාගත නොහැකි බවත්, ඇය ඒ වන විටත් මරණයට පත්ව ඇති බවත් ය. නිවැසියන් වහා ම පවුලේ වෛද්‍යවරයා ඇය වෙත කැඳවී ය. පැයකට පමණ පසු වෛද්‍යවරයා නිවස වෙත පැමිනෙන අතරවාරයේ අදහාගත නොහැකි යමක් සිදුවූවාක් මෙන්,  ඇය මුළුමනින් ම සුවපත් ව සිටියා ය.

කෙසේ වෙතත් හදිසි ඇදවැටීමෙන් එලොව ගොස් මෙලොව පැමිණි ඇය විදේශීය උච්චාරණයකින් ඉංග්‍රීසි කතා කිරීමට පටන් ගත්තා ය. ඇය කුස්සියේ මේසය යට වාඩි වී අඬමින් ඇය තමාගේ නිවසට රැගෙන යන ලෙස තම වත්මන් මාපියන් ගෙන්  ඉල්ලා සිටියා ය. විශාල කුළුණු සහ අලංකාර උද්‍යාන සහිත සුවිසල් ගොඩනැඟිලි පිලිබඳ ඇය දොඩවන්නට වූවා ය. ඇගේ මෙවන් ඇවිටිලි සහ අස්වාභාවික විස්තර කථන නිසා ඇයට වයස අවුරුදු හතරේ දී ඇගේ මාපියෝ ඇය ලන්ඩනයේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට රැගෙන ගියහ.

ඩොරති ඊඩි පුරාණ ඊජිප්තුවේ පාරාවෝ කෙකුගේ පූජකවරියක් සහ අනියම් බිරියක් වූවාය- scienceinfo.net 

 

ඩොරතිට අලස ඒකාකාර බවක් දැනුණත්, පසු ව ඇය ඊජිප්තු මූර්ති දුටුවා ය. ඇය ඔවුන් වැලඳ ගැනීමට පටන් ගත් අතර කෞතුකාගාරයෙන් පිටව යාමට අකමැති වූවා ය. ඇය තම මාපියන්ට පැවසුවේ මේ ඇගේ මිනිසුන් බව යි. වයස අවුරුදු හතේ දී ඇය ඊජිප්තුවේ තිබෙන සෙටි I දේවාලයේ ඡායාරූපයක් සොයා ගත්තා ය. ඇය වහාම තම මාපියන් වෙත දිව ගොස් තම නිවස සොයා ගත් බව ඔවුන්ට පැවසුවා ය. එම දෙවොලට යාබද ව වැඩිපුර ගස් හා අලංකාර උද්‍යානයක් තිබූ බව ඩොරති පැහැදිලි කළා ය.

 ඩොරතිගේ පසුබිම

ඩොරති උපත ලැබුවේ 1904 ජනවාරි 16 වන දින ලන්ඩන් උපනගරයක් වන බ්ලැක්හර්ත් හි ය. ඩොරති ක්‍රිස්තියානි පවුලක හැදී වැඩුණු අතර ඇය තරුණ වියේ දී  නිතිපතා පල්ලියට ගියා ය. ඇගේ හදිසි අනතුර නිසා අවදි වූ අතීත මතක තුළ ඇය, වසර තුන්දහස් ගණනකට පෙර ඇයට හුරුපුරුදු පරිසරයට සහ පුද්ගලයන් වෙත මනසින් දිව ගියා ය. එම නිසාම ඇය ඉතා ඉක්මනින්, පැරණි ඊජිප්තු හයිරොග්ලිෆ් ලියවිලි අධ්‍යයනය කිරීමට තීරණය කළා ය. ඇගේ එක් ගුරුවරයකු වූයේ සුප්‍රසිද්ධ ඊ.ඒ.වොලිස් ය.

ඔහු පුරාණ ඊජිප්තුවේ ඉතිහාසය හැදෑරීමට ඇය දිරිමත් කළ අතර පළමුවන පාරාවෝ සෙටිගේ මමිය සමඟ ඇය පුදුමාකාර වේගයෙන් ඒ හා බැඳුණු ස්වකීය අතීත ජන්මය වෙත දිව ගියා ය. කාලයාගේ ඇවෑමෙන්, ඇය පුරාණ ඊජිප්තු ආගම කෙරෙහි වඩ වඩාත් යොමු වූ අතර ක්‍රිස්තියානි ධර්මයට බැඳී සිටීම නතර කළා ය. ඩොරති 1931 දී ඊජිප්තු ජාතික Eman Abdel Meguid සමඟ විවාහ විය. මෙම විවාහය ඇයගේ ආදරණීය ඊජිප්තුවට ටිකට් පතක් බඳු වූ අතර එහිදී ඇය ඉංග්‍රීසි ගුරුවරියක බවට පත්වූවා ය. පළමු වතාවට ඇගේ දෙපා ඊජිප්තු දේශය ස්පර්ශ කරන විට ඇය බිම සිපගත් අතර ඇගේ පැරණි නිවස ඇය පිළිගත්තාක් මෙන් දැනිණි. පසුව ඇයට පිරිමි දරුවකු ලැබුණු අතර ඇය ඔහුට “සෙටි” යන නාමය ලබා දුන්නා ය.

ඇබිඩෝස්හි සෙටි I දෙවොල- historyofyesterday.com

 

ඇබිඩෝස් සදාකාලික නගරය

කයිරෝවේ වසර 19 ක කාලයක් ජීවත් වූ පසු ඩොරති ඊඩි, අබිඩෝස් නගරය වෙත යාමට තීරණය කළා ය. එවිට ඇයට වයස අවුරුදු 52 ක් වූ අතර, ඇය Pega-the-Gap කන්ද අසල නිවසක් පදිංචිය සඳහා තෝරා ගත්තා ය. පුරාණ විශ්වාසයන්ට අනුව, එය මරණින් මතු ජීවිතයට මාර්ගය වූ කන්දකි. ජීවිතයේ මෙම අවධියේදී, ඇය “සෙටිගේ මව” යන අර්ථය ඇති ඕම් සෙටි ලෙස තමන් හැඳින්වීමට පටන් ගත්තා ය. ඔම් සෙටි විශ්වාස කළේ ඇය අවසානයේ තමාගේ ජන්මගත නිවසට පැමිණ ඇති බව යි. ඇය දෙවොලට ගිය එක් අවස්ථාවක පුරාවස්තු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පරීක්ෂකවරයා ඇයගේ දැනුම පරීක්ෂා කිරීමට තීරණය කළේ ය. ඇයගේ පැහැදිලි කිරීම් කෙතරම් යථාර්ථවාදී දැයි ඔහු විමසිලිමත් විය. ඩොරතිට අඳුරේ, බිත්ති චිත්‍ර ළඟ සිට ගැනීමට පැවසූ අතර, ඉන්පසු ව ඇයගේ අතීත ජීවිතයෙන් ඇය සිහිපත් කළ දේ සමඟ ඔවුන් හඳුනා ගන්නැයි පරීක්ෂකවරයා ඇයගෙන් ඉල්ලා සිටියේ ය.

ඇය කිසිදු දෝෂයක් නොමැතිව එම කාර්යය ඉටු කරන විට, බොහෝ අය ඇගේ කතාව සැක කිරීම නැවැත්වූහ. ඇබිඩෝස් හි ඇගේ අතීත ජීවිතය පිළිබඳව ඊජිප්තු විද්‍යාඥයන් සමඟ සහයෝගයෙන් විමර්ශනය කරන්නට ඔවුහු ඇයගෙන් සහය ඉල්ලා සිටියහ. ඇය තනිව ම පොත් කිහිපයක් ප්‍රකාශයට පත් කළ නමුත් වෙනත් පර්යේෂකයන්ගේ කෘතිවලට ද සම්බන්ධ වූවා ය. ඇයගේ කෘතිවල වැදගත්ම විෂය වූයේ ඇබිඩෝස්හි සෙටි I දෙවොල යි. තමන් පළමු වරට සෙටි I පාරාවෝ රජු හමු වූ බව විශ්වාස කළ උද්‍යානය සොයා ගැනීමට ඇය ඔවුන්ට උදව් කළා ය. කැණීම් මඟින් අදාළ ස්ථානය සොයා ගත් අතර, එය පුරාණ කාලයේ ඇය විස්තර කළ ආකාරයට ම පෙනෙන්නට තිබිණි. යාඥා සහ සම්ප්‍රදායික චාරිත්‍ර කෙබඳුදැයි ඊඩි අනෙකුත් පර්යේෂකයන්ට ද පෙන්වා දුන්නා ය.

ආගමික පැපිරස්වල අන්තර්ගතය

බොහෝ ආගමික පැපිරස්වල අන්තර්ගතය, ඇය ඒවා කියවීමට පෙර සිට ම දැන සිටියා ය. ඇයගේ පෙර ජීවිතයේදී ඇය දුටු ස්මාරක, සහ වෙනත් දේ පිළිබඳ විස්තර කැණීම් මගින් නැවත නැවතත් තහවුරු විය.පර්යේෂකයන්ට එය විශ්වාස කළ නොහැකි විය.

එපමණක් නොව, බොහෝ ඊජිප්තු විද්‍යාඥයන්ට ඇගේ වචන ප්‍රතික්ෂේප කළ නොහැකි ද විය.වසර ගණනාවක් ඊජිප්තුවේ සේවය කළ විශේෂඥයන් තුළ නොතිබූ දැනුමක්  ඊඩි සතු ව තිබිණි. ඔවුන්ගෙන් එක් අයෙක් සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය ඊජිප්තු විද්‍යාඥ කෙනත් කිචන් ය. ඔහු එය විවෘත ව පිළිගැනීමට අකමැති වුව ද, ලිඛිත මූලාශ්‍රවලින් පෙනී යන්නේ ඔහු ඇව විශ්වාස කළ බව ය. නිකොලස් රීව්ස්, නෙෆර්ටිටි රැජින පිළිබඳ සෙවීමේ දී ඇයගේ අදහස් ද සැලකිල්ලට ගත්තේ ය. ඊඩිට අනුව, සොහොන් ගෙය ඇත්තේ කිංග්ස් නිම්නයේ බව ඇය නිවැරදි ව පවසා තිබේ.

දශක ගණනාවක් තිස්සේ ඇය බොහෝ පර්යේෂකයන්ට ආශ්වාදයක් විය. සෙටි පාරාවෝගේ කාලයේ ජීවිතය සහ මරණය පිළිබඳ ඇගේ කතාන්දර බොහෝ හදවත් ගැඹුරින් ස්පර්ශ කළ අතර ඇයගේ අදහස් මත පදනම් ව බොහෝ සොයා ගැනීම් සිදු විය. ඇයගේ තොරතුරු අනුව 18 වැනි රාජවංශයේ යුගයේ කාන්තාවන්ගේ භූමදාන සිදු කළ KV63 සොහොන්ගැබ, KV63 රජුන්ගේ නිම්නයේ තිබී ඔටෝ ෂැඩන් ප්‍රමුඛ පර්යේෂකයන් සොයා ගත් අතර එය තුතන්කාමන් පාරාවෝ ගේ සොහොන්ගැබ සමීපයේ පිහිටා තිබිණි.

ඩොරති ඊඩිගේ අතීත ජන්මය පිළිබඳ හෙළිදරව්ව

ඇය,වයස අවුරුදු පහලොවක් පමණ වූ ළා බාල යුවතියක් ව සිටියදී ම, ක්‍රිස්තු පූර්ව 1290 – 1279 දී ඊජිප්තුවේ සිටි පාරාවෝ සෙටි I ගේ අනියම් පෙම්වතියක ව සිටි බවට හෙළිකළා ය. එවිට ඇගේ නම බෙන්ට්‍රෙෂිට් නම් විය. ඩොරති පැවසුවේ ඇය සෙටි I පාරාවෝ ගේ සොල්දාදුවකුගේ දියණියක් බව ය. මව එළවළු විකුණන කාන්තාවක් වූවා ය. ඇගේ මව ඇයට වයස අවුරුදු තුනේදී මිය ගිය අතර, පසුව ඇය ඇබිඩෝස්හි දේවමාලිගාවට භාර දී ඇත. එහිදී ඇය හැදී වැඩී පූජකවරියක් බවට පත්වූවා ය. ඇයට වයස අවුරුදු දොළහක් වන විට, උත්තම පූජකයා ඇයට දේවමාලිගාවෙන් පිටව යාමට හෝ පූජකවරියක වී දිගට ම කටයුතු කිරීමේ අවස්ථාව තෝරා දෙන්නට ඉදිරිපත් විය. ඇයට වෙනත් විකල්ප නොතිබූ නිසා, ඇය දෙවියන්ට ම කැපවී බ්‍රහ්මචර්යාව සුරකින බවට දිවුරුම් දී ශුද්ධ වූ පූජකවරියක බවට පත් වූවා ය.

ඇබිඩෝස් දේවාලයේ අයිසිස්ගේ පූජකවරියක වූ ඇය –  www.ancient-code.com

 

බෙන්ට්‍රෙෂිට්ට පාරාවෝ සෙටි I හමු වන්නේ ඔහු දේවමාලිගාවේ ඉදිකිරීම් අධීක්‍ෂණය කරමින් සිටියදී ය. ඇගේ යෞවනය සහ අලංකාරය දුටු වයෝවෘද්ධ පාරාවෝ ඇය වෙත ඉතාම වේගයෙන් ආකර්ෂණයවූ අතර, ඔවුහු රහසිගත පෙම්වත්තු බවට පත් වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස ඇය ගැබ් ගත්තා ය. අවාසනාවකට මෙන්, පෙම්වතුන්ගේ ඉරණම සතුටුදායක එකක් නොවී ය.

දෙවොලේ ප්‍රධාන පූජකවරයා ඇයට පැවසුවේ මෙම තත්ත්වය අයිසිස් දෙවියන්ට එරෙහි ව සිදු කළ විශාල වරදක් බවත්, මේ හේතුව නිසා ම පාරාවෝට බොහෝ ගැටලු ඇති විය හැකි බවත් ය. ඇගේ ගැබ් ගැනීම පිළිබඳ කතාව ඉතාම වේගයෙන් දෙවොල පුරා පැතිර ගියේ ය. බ්‍රහ්මචර්යාවේ ශුද්ධ වූ පොරොන්දු කඩ කිරීමේ වරදට දෙන එක ම දඬුවම වූයේ මරණය යි. එම දඬුවම තමා ම පවරා ගත් බෙන්ට්‍රෙෂිට්, ඇගේ ආදරණීය පාරාවෝට ප්‍රසිද්ධියේ එල්ල වන නින්දා අපහාසවලින් ආරක්ෂා කර ගැනීම සඳහා ස්ව කැමැත්තෙන් සිය දිවි නසා ගත්තා ය.

ඩොරති ඊඩි තම මිණිබිරිය සමඟ 1976 දී- scienceinfo.net

 

පසු විපරම

ඩොරති ඊඩි වයස අවුරුදු අසූව ඉක්මවා ජීවිතය භුක්ති විඳ,වර්ෂ 1981 දී මිය ගියා ය. අබිඩෝස් හි කොප්ටික් සුසාන භූමියේ ඇගේ සිරුර තැන්පත් කෙරිණි. මරණය ඇයට තම ආදරණීයයා සමඟ නැවත සම්බන්ධ වීමට ඉඩ සලසන බව ඇය විශ්වාස කළා ය. ඩොරති එංගලන්තයේ සුවපහසු ජීවිතයක් අත්හැර ඊජිප්තුවේ කුඩා ගෘහයක ජීවත් වූවා ය. ඇය පුරාණ ඊජිප්තුව පිළිබඳ විස්මිත දැනුමෙන් සියල්ලන් මවිතයට පත් කළ අතර ඇය එහි ආකර්ෂණයක් බවට ද පත් වූවා ය. පුරාණ ඊජිප්තුව පිළිබඳ ඇගේ කථා සැබෑවක් ලෙස හැඟිණි. ඇගේ ජීවිතය එක්කෝ පුනරුත්පත්තිය පිළිබඳ සත්‍ය කතාවකි, නැතහොත් ඊජිප්තුව කෙරෙහි ඇති දැඩි උමතුව නිසා හට ගත් කතාවකි. කෙසේ වෙතත්, එක් දෙයක් පැහැදිලිය. එය විශිෂ්ට ජීවිත කතාවකි.

 කවරයේ ඡායාරූපය - www.planet-today.com 

මූලාශ්‍ර: 

 historyofyesterday.com

 www.ancient-origins.net

Related Articles