Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තටු සිඳුණු දෙව්දුව – ‍එලේනා මුකීනා

රුසියාව හා ජිම්නාස්ටික් ක්‍රීඩාව ගසට පොත්ත මෙන් එකට බැඳී තිබෙනවා. රුසියානු ජිම්නාස්ටික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෝක මට්ටමේ සුරුවිරුකම් පෑ අවස්ථා බොහොමයි. මේ සඳහා ඔවුන් මහත් වූ කැප කිරීම් සිදු කරන අතර බෝහෝ දෙනා තම උපන් දක්ෂතාවයේත් කැපවීමේත් උපරිම ප්‍රතිඵල නෙලා ගන්නවා. කෙසේ නමුත් සමහරෙකුට කෙතරම් කැපවීම හා හැකියාව තිබුණත් ඉතා අවාසනාවන්ත ලෙස ඒ අවස්ථාව මඟහැරී යනවා. උපන් දක්ෂතාවයෙන් අග තැන්පත් එලේනා මුකීනා එවැන්නියක්. අනාගත ඔලිම්පික් රන් පදක්කම් බලාපොරොත්තුවක්ව සිටි ඇයට අනෙකෙකු අතින් සිදු වූ අතපසු වීමක් නිසා එම හීන වලට පමණක් නොව සිය ජීවිතයටත් සමු දීමට සිදු වුණා. මේ ඇයගේ කඳුළු කතාවයි.

සාර්ථක ආරම්භය

යෙලේනා මුකීනා උප්පත්තිය ලැබූයේ 1960 වසරේ ජූනි මස 6 වනදා මොස්කව්හිදී යි. ඇය කුඩා කාලයේදීම ඇයගේ පියා කුඩා එලේනා හා ඇයගේ මව අත්හැර දමා යනවා. දෛවය එලේනාට තවත් වරක් සරදම් කරන්නේ ඇය පස් වියැති වන විටම ඇය හා ඇගේ මව නැවතී සිටි නිවස්නයෙහි ඇති වූ ගින්නකට හසු වී ඇගේ මව මිය යාමත් සමඟයි. මේ නිසා කුඩා එලේනාට හැදී වැඩීමට සිදු වූයේ ඇගේ මිත්තණිය සෙවණේයි.

pinterest.co.uk

එලේනාගේ මිත්තණිය ඇය ඉතා උනන්දුවෙන් හදා වඩා ගන්නා අතර කුඩා කාලයේදීම ජිම්නාසිටික් ක්‍රීඩාව කෙරෙහි ඇය දක්වන දක්‍ෂතා මතු වෙන්නට පටන් ගත්තා. එක් දිනක ඇගේ පන්ති කාමරයට පැමිණි ජිම්නාස්ටික් පිළිබඳ රුසියාවෙහි පතල පුහුණුකරුවෙක් යම් කිසිවෙක් ජිම්නාස්ටික් ක්‍රීඩාව ප්‍රගුණ කිරීමට කැමතිදැයි විමසූ අතර ප්‍රීතියෙන් පිනා ගිය කුඩා එලේනා ඉදිරිපත් වෙනවා. මේ අනුව ඇය ජිම්නාස්ටික් ක්‍රීඩාවට අත්පොත් තබන අතර කෙටි කලෙකින්ම සැලකිය යුතු මට්ටමේ දක්ෂතා පෙන්වීමට පටන් ගන්නවා.

ක්‍රි.ව 1974 දී එලේනා මුකීනා ගේ පුහුණුකරු වශයෙන් පත් වෙන්නේ මිහායෙල් ක්ලිමෙන්කෝ යි. ඔහු යටතේ ඇය සෝවියට් කණිෂ්ඨ ජාතික ශූරතාව දිනා ගන්නවා. ඒ 1976 වසරේදීයි. කෙසේ නමුත් එවර ඔලිම්පික් තරඟාවලියට ඇයට සහභාගි වීමට නොහැකි වන්නේ ඒ සඳහා සුදුසුකම් ලැබීමේ තරඟාවලිය වන යූ.එස්.එස්.ආර් කුසලාන තරඟාවලියේ 12 වැනි ස්ථානය ලැබීම නිසයි.

ක්‍රි.ව 1977 යෙලේනා මුකීනාට ස්වර්ණමය වසරක් වුණා. එවර ඇය සෝවියට් ශූරතාවය හා යූ.එස්.එස්. ආර් කුසලානය යන තරඟාවලි දෙකේදීම දෙවන ස්ථානය ලබා ගන්නවා. මේ නිසා ඇයට යුරෝපීය ශූරතාවට සහභාගී වීමේ අවස්ථාව ලැබෙන අතර එහි සමස්ත ශූරතාවලියේද දෙවන ස්ථානය ලබා ගැනීමට සමත්කම් දක්වනවා. කෙසේ නමුත් තරඟාවලියේ සමහර ඉසව් වලදී ඇය රන් පදක්කම් ලබා තිබුණා.

එලේනා මුඛීනා ලෝක අවධානයට

ක්‍රි.ව 1978 උදාව වන විට 17 හැවිරිදි එලේනා මුකීනා ලෝක ජිම්නාස්ටික් ක්ෂේත්‍රයේ යම්තාක් දුරකට කියැවෙන නමක් වී තිබුණා. එම වසරේ ස්ට්‍රැට්ස්බර්ග්හි පැවති ලෝක ශූරතාවලිය මුඛීනාට ඉතාමත් වාසිදායක වුණා. එහිදී ඇය රන් පදක්කම් 5ක් දිනා ගැනීමට සමත්කම් දැක්වූ අතර සමස්ත ශූරතාවයටම හිමිකම් කීවා. එහිදී ඇය විසින් සිදුකළ සුවිශේෂී චලන හා පිමි පිළිබඳව ජිම්නාස්ටික් පිළිබඳ හසළ දැනුමක් ඇති විද්වතුන් සිය විස්මය ප්‍රකාශ කළා.

no.pinterest.com

ඔලිම්පික් උළෙල 1980 වසරේදී රුසියාවේ මොස්කව් නුවර පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරෙමින් පැවතුණා. සාමාන්‍යයෙන් ඔලිම්පික් උලෙළක බොහෝ රන් පදක්කම් ලබා ගන්නා රුසියානුවන්ගේ ප්‍රබලම රන් අපේක්ෂා සහිත එක් ක්‍රීඩාවක් වූයේ ජිම්නාස්ටික් ක්‍රීඩාවයි. එහි කාන්තා ඉසව් කිහිපයකම රන් පදක්කම් බලාපොරොත්තුවක් ලෙස එලේනා මුකීනාගේ නම ඉහළින්ම කියැවුණා.

කෙසේ නමුත් 1979 වසර 1978 තරම් මුකීනාට සුබදායී එකක් වුණේ නැහැ. එම වසරේ පැවති යුරෝපීය ශූරතාවලියේදී ඇයට ලැබෙන්නේ සිව්වන ස්ථානයයි. එම වසර මැද භාගයේදී ඇයගේ පාදයක අස්ථි බිඳීමක් ඇති වූ අතර බොහෝ දෙනා ඇයට ඔලිම්පික් වරම අහිමි වේ යැයි චකිතයකට පත් වුණා. කෙසේ නමුත් සිය පාදය සම්පූර්ණයෙන්ම සුව වීමටත් ප්‍රථමයෙන් නැවත පුහුණුවීම් ආරම්භ කළ ඇය ඉක්මනින්ම පැරණි දක්ෂතා අතරට පැමිණියේ සුවහසක් රුසියානු ජිම්නාස්ටික් ක්‍රීඩා ලෝලීන්ගේ සිත් වලට සැනසීමක් ලබා දෙමින්.

හදිසි අනතුර

ක්‍රි.ව 1980 ග්‍රීෂ්ම ඍතු ඔලිම්පික් උළෙල ආරම්භ කිරීමට ඔන්න මෙන්න තිබූ ජූලි මාසයේ ආරම්භය වන විට ඔලිම්පික් පරිසාදන මට්ටමට ළඟා වී තිබූ රුසියානු ජිම්නාස්ටික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විවේක කාලයක් කියා යමක් තිබුණේ නැහැ. ඔලිම්පික් උලෙළ සඳහා සුදුසුකම් ලබා සිටි එලේනා මුකීනාගේ පාදයේ ආබාධය මේ වන විට සම්පූර්ණයෙන් සුව වී තිබුණත් දක්ෂතාවල පසුබැස්ම නිසා රුසියානු බලධාරීන් ඇයව ජාතික සංචිතයේ දෙවන පෙළ දක්වා තත්ත්වයෙන් පහත් කර තිබුණා. ඇයට අවශ්‍යව තිබුණේ සිය රට වෙනුවෙන් ඔලිම්පික් උලෙළට සහභාගී වී උපරිම දක්ෂතා දැක්වීමටයි. ඇගේ පුහුණුකරු මිහායෙල් ක්ලිමෙන්කෝටත් කෙසේ හෝ ඇයව ප්‍රධාන සංචිතයට උසස් කර ගැනීමේ උවමනාව තිබුණා. රුසියාවේ බොහෝ ජිම්නාස්ටික් පුහුණුකරුවන්ට එම උවමනාව තිබූ අතර සමහර විටෙක ක්‍රීඩික ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාවද දෙවන තැනට ඇද දමා අවදානම් ඉරියව් පුහුණු කිරීමටද ඔවුන් යොමු වී සිටියා.

යෙලේනා මුකීනා සිය පුහුණුකරු මිහායෙල් ක්ලිමෙන්කෝ සමඟ- newsbeast.gr

එලේනා මුකීනා වැඩි ප්‍රසිද්ධියක් ඉසිලුවේ අවදානම් ඉරියව් චකිතයක් නොමැතිව ක්‍රියාවේ යොදවන අයෙක් ලෙසයි. පුහුණුකරු ක්ලිමෙන්කෝ ඇයට මේ සඳහා දිරි දුන්නා. දිරි දීමෙන් නොනැවතී ඔහු ඇයව ඉතා දැඩි ලෙස පුහුණු කරන්නට ගත්තා. ඒ, කෙසේ හෝ සති කිහිපයක් ඇතුළත ඇයව ප්‍රධාන සංචිතයට රිංගවා ගැනීමේ අභිප්‍රායෙනුයි.  ජූලි මස 3 වනදා රුසියාවේ මින්ස්ක් හී පිහිටි පුහුණු මධ්‍යස්ථානයේදී ඇය ඉතා අවදානම් පිම්මක් වූ ‘තෝමස් සෝල්ටෝ‘ නම් ඉරියව්වට තවත් වට කැරකුමක් එක් කොට පුහුණු වෙන්නට පටන් ගත්තේ එය බොහෝ ජිම්නාස්ටික් ක්‍රීඩිකාවන් උත්සාහවත් නොකරන වටපිටාවක යි. ඇය එය සාර්ථකව සිදු කරන බව පෙන්වූවත් එක් නිමේෂයක ඇගේ කල් මැනීමේ යම් දුර්වලතාවයක් සිද්ධ වෙනවා. පසු කලෙක හෙළි වූ පරිදි මේ වන විට ඇය පමණ ඉක්මවා වෙහෙසට පත් වී සිට ඇති අතර පාදයෙහි ඇති වී තිබුණු ආබාධයද එක්වරම මතු වීමක් සිදු වී තිබෙනවා. කෙසේ හෝ ඇය එක්වරම බිම පතිත වන්නේ නිකට ඉතා දැඩි ලෙස බිම වදින ආකාරයෙනුයි.

දුක්බර සමුගැනීම

අනතුරෙන් මුකීනාගේ කොඳු ඇට පෙළෙහි ඉහළ කොටසට හානි වී තිබුණා. මේ නිසා ඇයට 1980 ඔලිම්පික් උළෙල අහිමි වුණා. නමුත් වෛද්‍ය වාර්තා වලින් හෙළි වූයේ ඊටත් වඩා දුක්බර කරුණක්, අනතුරෙන් සුෂුම්නාවට වූ හානි නිසා ඇයගේ ග්‍රීවයට පහළ ශරීර ප්‍රදේශ සදාකාලිකවම අඩපණ වී තිබුණා. මේ නිසා ඇය රෝද පුටුවකට සීමා වුණා.

යෙලේනා මුකීනා පසුකාලීනව- www.folhavitoria.com.br

එලේනා මුකීනා ට සිදු වූ අනතුරට ඇඟිල්ල දිගු වූයේ පුහුණුකරු ක්ලිමෙන්කෝ වෙතටයි. මුකීනා විසින්ම කීප විටක්ම මේ පිම්මේ යෙදීමෙන් තමන්ට හානි සිදුවීමට ඉඩ ඇතැයි කිලිමෙන්කෝට දන්වා තිබූ අතර ඔහු එය එතරම් තැකීමක් කර තිබුණෙ නැහැ. කෙසේ නමුත් පසු කාලීනව එම වරද සිය පුහුණුකරුට පමණක් ලඝු කළ නොහැකි බවත් එය රුසියානු ජිම්නාස්ටික් පද්ධතියේම වරදක් බවත්, රුසියානු පුහුණුකරුවන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රෝබෝවරුන් ලෙස සිතා සිටින බවත් මුඛීනා විසින් පවසනවා.

මොස්කව් හි පිහිටි යෙලේනා මුකීනාගේ සොහොන් කොත -wikiwand.com

එසේ රුසියානු ජිම්නාස්ටික් ඉතිහාසය රන් අකුරින් ලියන්නට සිටි දක්ෂතම ක්‍රීඩිකාවකගේ ඉරණම කඳුළින් නිම වෙනවා. රුසියානු රජය ඇයට ගෞරවාචාර පුද කළත් ඔවුන් අතින් සිදු වූ අත්වැරදීමේ කැළල කිසි දිනෙක මැකී නොයනු ඇති. වසර ගණනාවක් ආබාධිතයෙකු ලෙස සිය ජීවිතය සමඟ පොර බැදූ එලේනා මුකීනා 2006 වසරේ සීතල දෙසැම්බරයේදී කාටත් නොකියා සිය ජීවන ගමනට තිත තබනවා.

කවරයේ පින්තූරය- Yuriy Somov / Sputnik

Related Articles