Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සැබෑ ලෝකයේ යකඩ මිනිසා


‘ඊලෝන් මස්ක්’ කී විට නම් හුඟක් අයට අහලා පුරුදු නැතුව ඇති. ඒත් ලෝකයේ ජනප්‍රියතම ඉලෙක්ට්‍රික් වාහනය ටෙස්ලා (Tesla) ගැන කිව්වාම, අඟහරුවලටත් යන්න හදන ස්පේස් එක්ස් (SpeceX) සමාගම ගැන කිව්වාම නම් හැමෝම දන්නවා. එතකොට කවුද මේ ‘ඊලොන් මස්ක්’ කියන්නේ? 

ඔහු නමින් ඊලෝන් රීව් මස්ක්. 1971 ජුනි 28 වෙනිදා දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා නගරයේ දී මෙලොව එළිය දුටු ඔහුගේ මව කැනේඩියන් ජාතික මෝස්තර ශිල්පිනියක හා පියා ඉන්ජිනේරුවරයෙකු වෙනවා. දරුවන් තුන් දෙනෙක්ගෙන් සමන්විත වූ මේ පවුලේ ඊලෝන් රීව් මස්ක්ට සහෝදරයෙකු හා සහෝදරියක වූවා. කුඩා කල සිටම ලෝකය දෙස වෙනස්ම අයුරකින් දුටු, නවෝත්පාදන කෙරෙහි සිත යොමු වුණ ඊලෝන්, වයස අවුරුදු 10 දී පමණ පරිගණක වැඩසටහන් නිර්මාණය කිරීමට ඉගෙන ගත්තා. මෙහි ප්‍රතිඵලයක් ලෙස අවුරුදු 12 දී ඔහුට ‘බ්ලාස්ටර්’ නැමති පරිගණක ක්‍රිඩාව නිර්මාණය කිරීමට හැකි වෙනවා.

මව්පියන්ගේ වෙන්වීමත් සමග ඔවුන්ගේ රැකවරණය අහිමි වූ මස්ක්, පාසල් ජීවිතයේ දී විවිධ අඩත්තේට්ටම්වලට මුහුණ දුන්නා. අවුරුදු 17 වන විට (1989) අධ්‍යාපනය ලැබීමට කැනඩාව බලා ගොස් කූයින්ස් විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වන ඔහු, කැනේඩියානු පුරවැසිභාවයත් ලබා ගන්නවා. තවදුරටත්, පෙන්ස්ලවෙනියා විශ්වවිද්‍යාලය වෙත ද යොමු වන ඔහු පශ්චාත් උපාධිය ලබාගැනීමට කැලිෆෝනියාවේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වන අතර, තම පළමු ව්‍යාපාරය ඇරඹීම පිණිස ඔහු එයින් නික්මෙන්නේ 1992 දී යි.

ඒ කාලයේ තමයි අපි කාටත් අද වෙද්දී නැවතුම බැරි ‘ඉන්ටර්නෙට්’ කරලියට එන්නේ. තම සහෝදර කිම්බල් එක්ක එකතු වෙලා තමන්ගේ පළවෙනි ව්‍යාපාරය වන ZIP2 ඔහු පටන් ගන්නවා. අන්තර්ජාල මාර්ගෝපදේශයක් විදිහට හඳුන්වාදෙන මෙය, NEWYORK TIMES, CHICAGO TRIBUNE වගේ වෙබ් අඩවිවලටත් අවශ්‍ය දත්ත ලබා දීමට සමත් වෙනවා. පසු කලෙක, ඊලෝන් මස්ක්ගේ සහෝදරයා පවසන්නේ එකල ඔවුන් දෙදෙනා පමණක් එක්ව සියල්ල කළ බවත් ඔවුන් නිදාගත්තේ කුළියට ගත් කාමරයේ සෝෆා එක මත බව යි. කොහොම හරි 1999 දී ZIP2 සමාගම කොම්පැක්ට් කොම්පියුටර්ස් (Compact Computers) ආයතනය විසින් මිලියන 307කට මිල දී ගන්නවා.

එතැනින් නොනැවතුණු මස්ක්, ඉන් ලැබුණු මුදලින් එක්ස්.කොම් (X.com) පටන් ගන්නවා. අද වෙනකොට නම් හැමෝම මේක දන්නේ පේපැල් (PayPal) කිව්වහම යි. අන්තර්ජාල ගෙවීම් පහසු කරන සේවාවක් විදිහට තමා මේක පටන් ගන්නේ. 2002 වසරේ ඔක්තොම්බර් වෙන කොට ඊලෝන්ට පුළුවන් වෙනවා, තමන්ගේ පළවෙනි බිලියනය උපයන්න. ඒ Ebay එකෙන් පේපැල් එක බිලියන 1.5කට මිල දී ගැනීමත් සමග යි. ඊලෝන් මස්ක්ගේ එක විශේෂ ගති ලක්ෂණයක් තමයි කොච්චර සල්ලි ලැබුණත්, ඒ සල්ලි අනිත් පැත්තට ආයෝජනය කරලා තවත් අලුත් දේවල් කරන අලුත් ව්‍යාපාර කරන එක. ඉතින් මේ ලැබුණු සල්ලිවලින් ඊලෝන් මස්ක් තවත් නව ව්‍යාපාර කිහිපයක්ම ආරම්භ කරනවා.

SpeceX (2008)

මස්ක් විසින් පටන් ගත්ත තුන්වන සමාගම SpaceX. මේක පටන් ගන්නෙ අභ්‍යවකාශ තාක්ෂණ ආයතනයක් විදිහට සහ මේක තමයි පළවෙනි පුද්ගලික ආයතනයක් විසින් පටන් ගත්ත අභ්‍යවකාශ ආයතනය. අද වෙනකොට නාසා එක පවා ඒගොල්ලන්ගේ වැඩ කරන්න දෙන්නේ මේ ආයතනයට යි. මේ වෙද්දී එම ක්ෂේත්‍රයේ නව සොයාගැනීම් රාශියක් කරමින් ලොකු පෙරළියක් කිරීමට මේ සමාගමට හැකි වෙලා තියෙනවා.

ඉතිහාසයේ පළමු වරට පුද්ගලික සමාගමක් අභ්‍යවකාශගත කළ රොකට්ටුව ලෙස ඉතිහාසයට එක්වෙමින් 2012 මැයි 22 වන දින ‘ෆැල්කන් 9’ රොකට්ටුව අභ්‍යවකාශගත කළා. 2018 පෙබරවාරි වන විට Space X ආයතනය ෆැල්කන් හෙවි රොකට් එක සාර්ථකව අත්හදා බැලුවා. මෙහි දී කලින් ෆැල්කනි 9 යානයේ බූස්ටර් යොදා ගත් බව ද පැවසෙනවා. අතිවිශාල බරකින් යුතු බඩු තොග ගෙන යාමට හැකි වීම මෙහි ඇති විශේෂත්වය යි. පළමු බඩු තොග අතරේ ඊලෝන් මස්ක්ගේ ටේස්ලා රොඩ්ස්ටර් වාහනය ද තිබුණා.

Tesla motors

2003 වර්ෂයේ දි ආරම්භ කළ මෙම ආයතනයෙහි සමාරම්භකයා හා ප්‍රධාන විධායක ධුරය ද දරන්නේ ඊලෝන් මස්ක් විසිනුයි. සමාගමේ පරමාර්ථය වන්නේ “මිලදී ගත හැකි ගණනකට ඉලේක්ට්‍ර්ක් වාහන නිපදවීම” යි. මෙම සමාගම ආරම්භ කොට වසර 5කට පසුව පළවෙනි ඉලෙක්ට්‍රික් වාහනය ලෙස 2008 දී ‘ටෙස්ලා රෝඩ්ස්ටර්’ වාහනය එළිදක්වන්නේ ස්පොර්ට් කාර් මාදිලියට අයත් වාහනයක් ලෙස යි. තත්පර 3.7 කාලයක් තුළ දී 0-60 KPMH දක්වා යා හැකි හා එක විද්‍යුත් ආරෝපණයකින් කි.මී. 402ක් පමණ ගමන් කිරීමට මෙම වාහනයට හැකියි.

එම වසරේ අගෝස්තු හි දී හඳුන්වා දුන් Model X වාහනය, 2013 වර්ෂයේ දී CAR OF THE YEAR ලෙස MOTOR TRENDS MAGAZINE මඟින් නම් කෙරෙනවා. 2017 නොවැම්බර් හි දී මස්ක්, ඔවුන් 2019 වන ව්ට නිෂ්පාදනය කිරීමට නියමිත ටෙස්ලා රෝඩ්ස්‍ටර් හා ඉලෙක්ට්‍රික් වාහනය ගැන අනාවරණය කළා. රෝඩ්ස්ටර් මාදිලිය හැතැප්ම 300ක් යා හැකි බවත්, 0-60 දක්වා යාමට ගත වන කාලය තත්පර 1.9ක් ලෙස යි දක්වලා තියෙන්නේ.

Solar City

ඊලෝන් මස්ක්ගේ තිරසාර බලශක්ති භාවිතය පිළිබද දැක්මේ ප්‍රතිඵලයක් ලෙස 2006 පටන් ගත්ත මේ ආයතනය ඔහුගේ උදව් ඇති ව ඔහුගේ ඥාති සහෝදරයන් විසින් ආරම්භ කරන ලද්දක්. ඔහු මෙහි ප්‍රධාන කොටස්කරුවෙකු වෙනවා. “සෝලර් තාක්ෂණය මඟින් සම්පූර්ණයෙන් බලගැන් වී නිවාස හා ව්‍යාපාර බිහි කිරීම” මෙහි අරමුණ යි.

Boring company

2017 ජනවාරි මස ආරම්භ කරන ලද මේ සමාගම මාර්ග තදබදයට පිළියම් සෙවීමට ගත් පියවරක් ලෙස යි සැලකෙන්නේ. වෙනස්ම ආකාරයක විසඳුමකට ආ මේ ආයතනය, මාර්ග තදබදය වැළක්වීමට භූගත මාර්ග භාවිත කිරීම වෙත යොමු වුණා. අද වෙනකොට මේ පිළිබඳ පරීක්ෂණ කටයුතු පවත්වගෙන යනවා. මේ පිළිබඳ හොද අදහසක් පහත වීඩියෝවෙන් ගන්න පුළුවන් වේවි.

මීට අමතරව Hyper Loop කියන නගර දෙකක් යා කරන 700 kmph වේගයකින් ගමන් කරන අධිවේගී දුම්රිය මාර්ග ක්‍රමය ද, මිනිස් බුද්ධිය සහ පරිගණක යා කරන කෘත්‍රීම බුද්ධිය සම්බන්ධව ද පර්යේෂණ කරන NeutraLink ආයතනය ද ආරම්භ කරලා තියෙනවා.

ඉතින් දැන් ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නෑනේ ඇයි මෙයාට “සැබෑ ලෝකයේ යකඩ මිනිසා” කියන්නේ කියලා. මේ වගේ ලෝකය වෙනස් කරපු කෙනෙක් තමයි ‘ඊලෝන් මස්ක්’ කියන්නේ. ඔහුගෙන් අපට ගන්න තියෙන හොඳම ගුණාංගය තමයි හැමතිස්සේම අනිත් අය කරයි, රජය විසඳුමක් ගෙනත් දෙයි කියනවට වඩා තමන්ම විසඳුම් හොයන එක. අනිත් එක තමන් කරන දේට ආදරේ කරන්න! එතකොට කොච්චර ප්‍රශ්න ආවත් ඒ දේ තමන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් ඉවහල් වෙනවා.

කවරය; theceomagazine.com

Related Articles