Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොවක් වසඟ කළ සුපිරි තරුව – එල්විස් ප්‍රෙස්ලි

බටහිර සංගීත ලොවේ පතාක යෝධයින් කිහිපදෙනා අතර රොක් ඇන්ඩි රෝල් සංගීතයේ රජු ලෙස හැඳින්වෙන එල්විස් ප්‍රෙස්ලිට හිමිවන්නේ ප්‍රමුඛතම ස්ථානයක්. සිය ගැඹුරු කටහඬින් හා නර්ථනයෙන් පමණක් නොව, කඩවසම් රූපයෙන් මෙන්ම සමහර විටෙක රංගන හැකියාවෙන් ද ලොව පුරා තරුණ ප්‍රජාවේ හදවත් මුසපත් කළ එල්විස් ප්‍රෙස්ලි මියගොස් වසර ගණනාවක් ගත වුව ද ඔහු කෙරෙහි වූ ආකර්ෂණය නම් අදටත් අඩු වී නැහැ.

wallpapermemory.com

උපත හා කුඩා කාලය

එල්විස් ආරොන් ප්‍රෙස්ලි උපත ලැබුවේ 1935 ජනවාරි මස 8 වැනි දා ඇමෙරිකා එක්සත් ජනපදයේ, මිසිසිපි ප්‍රාන්තයේ ටුපෙලෝ හී දී යි. නිවුන් දරුවන් යුගලක් වශයෙන් උපත ලැබුව ද එල්විස්ගේ සොයුරු ජෙසීට ජීවත් වීමේ වරම් හිමි ව තිබුණේ නැහැ.

එල්විස් කුඩා කල ඉතා ප්‍රියමනාප හා කීකරු දරුවෙක් වුණා. ඇමෙරිකානු මහා ආර්ථික අවපාතන සමයේ එල්විස් උප්පත්තිය ලබන විට මධ්‍යම පාන්තික ඔහුගේ දෙමව්පියන්ට විශාල මුදල් කන්දරාවක් නොතිබුණත්, හැකි සෑමවිට ම මේ දරුවා සතුටින් තබන්නට ඔවුන් ක්‍රියා කළා. මේ නිසා කුඩා එල්විස් හා ඔහුගේ මව වූ ග්ලැඩිස් අතර තිබුණේ ඉතා තද බැඳීමක්.

එල්විස් කුඩා කල සිය මව හා පියා සමග-miss-tennessee.eklablog.com

ආර්ථික අපහසුතා නිසා වරින් වර පදිංචිය වෙනස් කරන්නට සිදු වුව ද, භක්තිමත් ලෙස සිය ආගම ඇදහූ ග්ලැඩිසේ ඒ සෑම තැනක දී ම නිතිපතා ආසන්නයේ ඇති දේවස්ථානයක් කරා යන්නට අමතක කළේ නැහැ. ඇය ඒත් සමග කුඩා එල්විස්ව ද කැටුව ගියා. පල්ලියේ යාතිකා ඔහුගේ සිතෙහි සංගීතය යන බීජය රෝපණය කරන්නට සමත් වුණා.

1946 වසරේ යෙදුණු එල්විස්ගේ 11 වන උපන්දිනය ඔහුට කිසිදා අමතක නොවෙන දවසක් වුණා. ඒ ඔහුගේ මව විසින් උපන්දින ත්‍යාගය ලෙස ඔහුට ගිටාරයක් තෑගි කිරීම නිසා යි. මෙය නිතර ම වාදනය කරමින් ගායනා කිරීම ඔහු පුරුද්දක් කරගත්තා. එල්විස් මේ වයසේ සිට ම ගායකයෙක් වීමට සිහින දුටු අතර කෙමෙන් කෙමෙන් ඔහුගේ ගායන හැකියාව ද මෝදු වෙමින් තිබුණා. මේ හේතුව නිසා ම ඊට වසර කිහිපයකට පසු මෙම්ෆිස් හි හියුම්ස් උසස් පාසල මඟින් සංවිධානය කළ ගායන හා වාදන තරගයක් ජයගන්නට ඔහු සමත් වෙනවා.

1953 දී අධ්‍යාපනය හමාර කිරීමෙන් පසු සිය ගායක සිහිනය සාක්ෂාත් කරගැනීම උදෙසා එල්විස් කැපවෙනවා. මේ සඳහා මුදල් ඉපයීමට ඔහු රැකියා රාශියක් කරනවා. ගීයක් නිර්මාණය කරන්නට තරම් මුදල් උපයාගත් පසු එල්විස් සිය පළමු ගීතය පටිගත කරන්නට ශබ්දාගාරයක් වෙත යනවා. මෙය සංගීත අධ්‍යක්ෂක සෑම් ෆිලිප්ස්ට අයත් වූවක් වන අතර, පසුකාලීන ව ‘සන් ස්ටුඩියෝ‘ ලෙස හැඳුන්වනු ලැබුවේ මෙය යි. තරුණ එල්විස්ගේ දක්ෂතාවය හා ආකර්ෂණීය පෙනුම ගැන පැහැදුණු ෆිලිප්ස් ඔහු සිය ආයතනයට බඳවාගන්න්ට තීරණය කරනවා. දැට්ස් ඕල් රයිට් (1954) එල්විස්ගේ පළමු ඒකපුද්ගල ගීතය යි.

ජනප්‍රිය වූ පළමු ගීතය ‘හාර්ට් බ්‍රේක් හොටෙල්’

එල්විස් ප්‍රෙස්ලි 1955 දී- flickr.com

1955 වසර වන විට තරුණ ගායකයෙක් හා වාදකයෙක් ලෙස එල්විස්ගේ ජනප්‍රියත්වය කෙමෙන් කෙමෙන් වර්ධනය වෙමින් තිබුණා. මීට ඔහුගේ අතිශය කඩවසම් රූපයත් හේතුවක් වුණා. මේ වසරේ දී ආර්.සී.ඒ සමාගම සමග ගිවිසුම්ගත වුණු ඔහු, සිය ප්‍රථම සංගීත ඇල්බමය වන ‘එල්විස් ප්‍රෙස්ලි’ එළිදැක්වූවා. ඒත් සමග පටිගත කරන ලද හාර්ට්බ්‍රේක් හොටෙල් නම් ගීය තරුණ ප්‍රජාව උන්මාදයෙන් මෙන් වැළඳගත්තා. 1956 දී පැරමවුන්ට් චිත්‍රපට සමාගම ඔහුත් සමග චිත්‍රපටයක් සඳහා ගිවිසුම් අත්සන් කරනවා. මීට අමතර ව ඔහුට රූපවාහිනියේ ද දොරගුළු විවර වෙනවා.

හමුදා සේවය

ලව් මී ටෙන්ඩර් (1956)- auction.graceland.com

1956 වසර අවසන් වන විට එල්විස් ප්‍රෙස්ලි ඇමෙරිකානු තාරුණ්‍යයේ හද බැඳගත් තරුව බවට පත්ව තිබුණා. ඔහුගේ රැඟුම් හා ගැයුම් රැගත් පළමු චිත්‍රපටය වන ලව් මී ටෙන්ඩර් (1956) සුපිරි තරුවක තත්ත්වයට ඔහු ව ඔසවා තැබුවා. ඇමෙරිකානු හමුදාවට බැඳීම සඳහා ඔහුට කැඳවීමක් ලැබෙන්නේ මේ අතර යි. 1957 වසරේ ඔහු හමුදාවට අනුයුක්ත කෙරෙන අතර සේවය සඳහා ජර්මනියට යැවෙනවා. ඔහු එහි වසර එකහමාරක් පමණ සේවය කරන අතර, ඒ කාලය තුළ ඔහුගේ මවගේ අභාවය සිදුවෙනවා. එල්විස් මින් අතිශය කම්පනයට පත්වන අතර, එය යම් තරමකින් හෝ සමනය වන්නේ ජර්මනියේ දී ඔහුට ප්‍රිසිලා බියුලි නම් තරුණිය හමුවීමත් සමග යි.

චිත්‍රපට හා ගීත

1960 දී හමුදා සේවයෙන් ඉවත් වන එල්විස් නැවත සිය කලා ජීවිතය ආරම්භ කරනවා. ඉතා ඉක්මණින් ම නැවතත් ඔහු ජනප්‍රියත්වයට පත් වෙනවා. ජී අයි බ්ලූස් චිත්‍රපටයට ඔහු ගායනා කළ ගීතය නැවතත් ඔහු ඇමෙරිකාවේ ජනප්‍රියම ගායකයා බවට පත්කරනවා. එල්විස් බ්ලූ හවායි (1961), ගර්ල්ස්,ගර්ල්ස්,ගර්ල්ස් (1962), හා විවා ලාස් වේගාස් (1964) වැනි චිත්‍රපටවල ගයමින් රඟපානවා. මේවා අතිශය ජනප්‍රිය වෙනවා. තරුණ ප්‍රජාව ඔහු අනුකරණය කරන්නට පවා පෙළැඹෙනවා. ‘රොක් ඇන්ඩ් රෝල්’ සංගීතය හා තමන්ට ම ආවේණික නර්තනය නිසා ලොව පුරා ඔහුගේ නාමය පැතිරී ගිය අතර ‘රොක් ඇන්ඩ් රෝල් රජු’ ලෙස ඔහු ව හඳුන්වන්නට වුණා.

එල්විස් ප්‍රෙස්ලි 60 දශකයේ දී- Snap/Rex/Shutterstock

එල්විස් දායක වූ බොහෝ නිර්මාණ එක්කෝ ඉතා ජනප්‍රිය වූ අතර, අනෙක්වා අසාර්ථක වුණා. 60 දශකය අවසාන වන විට එල්විස්ගේ ජනප්‍රියත්වය හා හැකියාව ක්‍රම ක්‍රමයෙන් වියැකී යන සෙයක් දිස් වුණා. 1968 වසරේ රූපවාහිනී වැඩසටහනකට ඔහු දායක වෙන්නේ මේ අතර යි. මෙහි දී නැවතත් ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත්කිරීමට ඔහු සමත් වන අතර, නැති වූ ජනප්‍රියතාව යම් පමණකට නැවතත් අත්පත් කරගත්තා.

විවාහය බිඳවැටීම හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම

60 දශකයේ අගභාගය වන විට එල්විස්ගේ ජනප්‍රියත්වය මෙන්ම පෞද්ගලික ජීවිතයේ ද යම් යම් ගැටලු පැන නැගුණා. මේ වන විට ඔහු ප්‍රිසිලා හා විවාහ වී සිටියා. 1967 දී ලීසා මාරි නම් දියණියක් ඇයට දාව ලබන්නට තරම් ඔහු වාසනාවන්ත වුව ද, 70 දශකයේ මුල් භාගයේ උදාවත් ම දෙදෙනා අතර ආරවුල් පැන නැගුණා. 1973 දී එල්විස් හා ප්‍රිසිලාගේ විවාහය බිඳවැටුණු අතර, දියණියගේ භාරකාරීත්වය ප්‍රිසිලාට හිමි වෙනවා.

එල්විස් ප්‍රෙස්ලි සිය බිරිය හා දියණිය සමග- Reprodução/Daily Mail

පෞද්ගලික ජීවිතයේ මෙන්ම වෘත්තීය ජීවිතයේ ද ගැටලුවලින් බැට කා සිටි එල්විස් තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වන්නේ මේ අතර යි. එමෙන්ම හරිහැටි සිය සෞඛ්‍යයට අවධානය යොමු නොකිරීම නිසා විටෙක කඩවසම් රූපයකට හා ශරීරයකට උරුමකම් කියූ එල්විස් තරබාරු, අලස අයෙකු බවට පත් වුණා.

අවසාන කාලය හා දිවියෙන් සමුගැනීම

මානසික හා සෞඛ්‍ය ගැටලු මධ්‍යයේ වුවත් එල්විස්ගේ ජනප්‍රියතාව සැලකිය යුතු මට්ටමක තබාගන්නට ඔහු සමත් වුණා. 1977 ජුනි මාසයේ දී ඉන්ඩියානා ප්‍රාන්තයේ ඉන්ඩියානාපොලිස් හි දී සිය අවසන් ප්‍රසංගයට සහභාගී වන ඔහු, ග්‍රේස්ලන්ඩ් හි පිහිටි සිය නිවස කරා පැමිණෙන අතර මඳක් නිහඬ මාස දෙකක් ගත කරනවා.

1977 අගෝස්තු මස 16 වැනි දා හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් සිටිය දී එල්විස්ගේ නිසල දේහය ඔහුගේ නිවසේ තිබී හමුවෙනවා. මෙය අධික මත්ද්‍රව්‍ය භාවිතය නිසා සිදුවූවක් බවට වෛද්‍යවරුන් තීරණය කරනවා. දහස් ගණන් රසික සෝ සුසුම් මැද ඔහු සිය මව, පියා, හා මිත්තණිය අසලින් මිහිදන් කෙරෙනවා.

දිවියේ අවසන් සමයේ- junkee.com

එල්විස් ප්‍රෙස්ලි සිය කෙටි ජීවිත කාලය තුළ දී ඇමෙරිකානු කලා ලොවෙහි හිණිපෙත්තට ම ළඟා වුණා. ඔහු ග්‍රැමී සම්මාන 3කට හිමිකම් කීමට සමත් වූ අතර, ගීත 18ක් විටින් විට ඇමෙරිකාවේ ප්‍රමුඛස්ථානයට පත් වුණා. මීට ‘ඩෝන්ට් බී කෘවල්’, ‘ගුඩ්ලක් චාම්’, හා ‘සස්පිෂස් මයින්ඩ්ස්’ වැනි ගීත ඇතුළත්. ඔහු විසින් අත්පත් කරගත් තවත් සම්මාන හා ඇගයීම් බොහොම යි. පසුකාලීන ව ඔහු ඇමෙරිකා එක්සත් ජනපදය දුටු ජනප්‍රියම හා දක්ෂතම සුපිරි තරුවක් ලෙස ගරුබුහුමන් ලැබුවා.

Lindsey Turner/Wikimedia commons

එල්විස් ප්‍රෙස්ලි ජීවත් වූයේ වසර 42ක් පමණක් වූ අතර මරණයෙන් වසර 40ක් ගත වී තිබුණත් තවමත් ඔහුගේ ගීත රූපවාහිනී, ගුවන් විදුලි, හා ප්‍රසංගවලත් රැව් පිළිරැව් දෙන්නේ ඔහුගේ නාමය තව බොහෝ කලකට අමරණීය කරමින්.

කවරයේ පින්තූරය -hdwallpaper.nu

Related Articles