Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ළමා කතා රැජින: ඊනීඩ් බ්ලයිටන්

කතන්දර අහන්න, කියවන්න පුංචි කාලේ දී අපි කවුරුත් ආසයි. සුරංගනා කතා, රජ කතා, වීර කතා අපේ පුංචි කාලේ දී අපි ඕන තරම් අහලා ඇති; කියවලාත් ඇති. ළමා ලෝකය වර්ණවත් කරන්න මේ කතාන්දර වලට ලොකු හැකියාවක් තියෙනවා. ඒ නිසාම ලෝක සාහිත්‍යය තුල ළමා සාහිත්‍යයට, යොවුන් සාහිත්‍යයට විශේෂ වැදගත් කමක් හිමි වෙනවා.

ලොව පුරා සෑම සාහිත්‍යයකම ළමා හා යොවුන් සාහිත්‍ය කෘති බහුල වශයෙන් දක්නට ලැබෙනවා. සිංහල සාහිත්‍යය තුළත් ළමා සාහිත්‍යයක් පැහැදිලිව දක්නට ලැබුණත්, යොවුන් සාහිත්‍ය කෘති නම් දක්නට ලැබෙන්නේ බොහොම අඩුවෙන්.

ඒ කෙසේ වෙතත් ඉංග්‍රීසි සාහිත්‍යය තුල මේ දෙඅංශයටම ප්‍රමුඛස්ථානයක් හිමි වෙනවා. ලොව වටා බොහෝ රටවල ළමා හා යොවුන් සාහිත්‍යය ට අභාෂය ලැබෙන්නෙත් ඉංග්‍රීසි සාහිත්‍යයෙන්මයි.

ඉංග්‍රීසි සාහිත්‍යයේ ළමා  හා යොවුන් කතා පොත් වැඩි ප්‍රමාණයක් රචනා කරමින් ළමා කතා රැජින ලෙස විරුදාවලිය ලත් ඉංග්‍රීසි ලේඛිකාවගේ 119 වෙනි උපන් දිනය පසුගිය දිනක දී තිබුණා. ඇය අප කවුරුත් හොඳින් හඳුනන ඊනිඩ් බ්ලයිටන්.

ඊනිඩ් බ්ලයිටන්ගේ ජිවන තොරතුරු

(oxfordtimes.co.uk)

(oxfordtimes.co.uk)

ඊනිඩ් මේරි බ්ලයිටන්, 1897 අගෝස්තු 11 වෙනිදා එංගලන්තයේ ලන්ඩන් නුවර  නැ‍ඟෙනහිර ඩල්විච් (East Dulwich) ප්‍රදේශයේ උපත ලබා තිබෙනවා. අය දරුවන් තුන් දෙනෙකුගෙන් යුත් පවුලක පළමු වැන්නා. තෝමස් කේරී බ්ලයිටන්  (Thomas Carey Blyton ) නම් වූ ඇගේ පියා, හැඳි ගෑරුප්පු විකුණන වෙළෙන්දෙක් වූ අතර මව තෙරේසා මේරි (Theresa Mary ) නම් වුවා. ඊනිඩ් මේරි බ්ලයිටන්ට බාල සොහොයුරන් දෙදෙනෙකු වූ අතර ඔවුන් හැන්ලි (Hanly ) සහ කේරී ( Carey ) නමින් හැඳින් වෙනවා.

ඊනිඩ් මේරි බ්ලයිටන් කුඩා කාලයේදී කක්කල් කැස්ස රෝගයෙන් පීඩා වින්දා. ඒත් මහත් දුෂ්කරතා මැද පියා ඇයට ප්‍රතිකාර කල නිසා රෝගයෙන් ගැලවෙන්නට ඇයට හැකි වෙනවා. ඊනිඩ් මේරි බ්ලයිටන් ස්වභාව ධර්මයටත් පරිසරයටත් මහත්සේ ඇලුම් කල දරුවකු වූ නිසා, පසු කලෙක  ඔවුන්ගේ පවුල ලන්ඩන් නුවරින් පිට ග්‍රාමීය පෙදෙසක පදිංචි වෙනවා.

1907 සිට 1915 දක්වා කාලයේදී ඊනිඩ් මේරි බ්ලයිටන් අධ්‍යාපනය ලබන්නේ බැකෙංහම් හි ශාන්ත ක්‍රිස්ටෝපර් පාසලෙන්. ඇය පාසල් කාලයේදී විෂය බාහිර ක්‍රියාකාරකම් වලට මෙන්ම, ටෙනිස් ක්‍රීඩාවටත් දස්කම් දක්වා තිබෙනවා. එනිසාම ඇයට පාසල් ටෙනිස් කණඩායමේ නායිකාව වීමේ භාග්‍යයද උදාවෙනවා.

අධ්‍යයන කටයුතු වලට විශේෂ උනන්දුවක් නොදැක්වුවද ඊනිඩ් මේරි බ්ලයිටන් 1911 දී ආතර් මී (Arthur Mee) ගේ ළමා කවි රචනා තරඟයට ඉදිරිපත් වෙනවා. පසුව ආතර් මී, ඇගේ කවි මුද්‍රණය කර දීමට ඉදිරිපත්විම,  බ්ලයිටන් දිවියේ සුවිශේෂී සන්ධිස්ථානයක් හැටියට දක්වන්න පුළුවන්.

ලේඛණ කලාවට පිවිසීම

ඊනිඩ් බ්ලයිටන් (wikipedia.com)

ඊනිඩ් බ්ලයිටන් (wikipedia.com)

ඊනිඩ් මේරි බ්ලයිටන් ගේ ප්‍රථම ග්‍රන්ථය 1922 දී  Child Whispers නමින් එළි දකිනවා. ඊනිඩ් බ්ලයිටන් නමින් ළමා ලෝකයේ ප්‍රසිද්ධියට ඇය පත් වන්න පටන් ගන්නේ එතැන් සිටයි. එය පිටු 24 කින් යුත් ළමා කවි පොතක්. පාසල් මිතුරෙක් පොතට චිත්‍ර ඇඳ දීමෙන් ඇයට උපකාර කලා.

අධ්‍යාපනය අවසන් කළ ඇය පාසල් කිහිපයක ගුරුවරියක ලෙස සේවය කළා ය. ඒ රැකියාවේ දී ඊනිඩ් බ්ලයිටන් ලැබුවා වූ අත්දැකීම් තුළින් ළමා මනස හඳුනාගැනීමට හැකිවීම, ත්‍රාසයෙන් හා කුතුහලයෙන් පිරුණු ළමා කතා රැසක් රචනා කිරීමට  පසුබිම් වූවා විය හැකියි. නිර්භීතව හා බුද්ධිමත්ව ගැටළු වලට මුහුණ දීමට හුරු කිරීමත්, වැඩිහිටි උපකාරයක් නෙමැතිව ඒවා විසඳා ගැනීමට උත්සහ කිරීමට ළමා මනස පෙළඹවීමත් බ්ලයිටන්ගේ කතා වල දක්නට ලැබෙන කැපී පෙනෙන  ලක්ෂණයයි.

ළමා කතා රැජින ලෝ පුරා ප්‍රචලිත වීම

(birkbecklibrary.blogspot.com)

(birkbecklibrary.blogspot.com)

1922 සිට 1968 දක්වා ග්‍රන්ථ කරණයේ නියැලුණු ඊනිඩ් බ්ලයිටන්, ළමයින් වෙනුවෙන් විවධ තේමාවන්ට අයත්  කතන්දර පොත් ප්‍රමාණය 1000 ආසන්නයි. ඒ විතරක් නෙමෙයි, ඇගේ පොත් පිටපත් මිලියන 600කට වැඩි ප්‍රමාණයක් මේවන විට අලෙවි වී ඇති අතර ලොව පුරා  භාෂාවන් 90 පමණ පරිවර්තනය කර තිබෙනවා. බ්ල්යිටන්ගේ කතා ඇසුරින් නිපදවූ චිත්‍රපට, ටෙලි නාට්‍ය ප්‍රමාණයද ඇති විශාලයි.

Famous Five, Secret Seven, Noddy, Malory Towers, The Naughtiest Girl ඇගේ පොත් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත් වූ කතා මාලාවන්ය. ලොව පුරා විවිධ ජාතීන්ට හා භාෂාවන්ට අයත් ළමා පරපුර අතර පමණක් නොව වැඩිහිටියන් අතරද ගෞරවාදරයට පත් ළමා කතා රැජින, 1968 නොවැම්බර් 28 වෙනිදා සදහටම දෙනෙත් පියාගන්න විට 71 වන වියෙහි පසු වූවා.

ඊනිඩ් බ්ලයිටන් ගේ කතා වල දක්නට ඇති විශේෂ ලක්ෂණ

(indiewire.com)

(indiewire.com)

ඉනිඩ් බ්ලයිටන් ගේ ළමා කතා වල දක්නට  ලැබෙන ප්‍රධාන ලක්ෂණ සලකා බලන විට, ඇගේ කතා වර්ග තුනක් යටතේ විග්‍රහ කල හැකි බවයි සාහිත්‍ය විද්වතුන්ගේ මතය.

මින් පළමු කොටසට වැටෙන කතාවල චරිත සාමාන්‍ය දරුවන් වේ. ඔවුනට මුහුණදීමට සිදුවන්නේ අසාමාන්‍ය සිදුවීම්. ත්‍රාසජනක චාරිකා, අපරාධ විසඳීම්, එසේම අදහාගත නොහැකි අවස්ථාවලට මුහුණදීම වැනි සංසිද්ධීන් මේ කතා වල දක්නට පුළුවන්. උදාහරණ වශයෙන් ෆේමස් ෆයිව්”, “සීක්‍රට් සෙවන්හා “ත්‍රාසජනක චාරිකා” වැනි ග්‍රන්ථාවලි පෙන්විය හැකි යි.

(youtube.com)

(youtube.com)

බෝඩිමක ගතකරන ජීවිතය හා පාසල් ජීවිතයේ දී මුහුණදීමට සිදුවන අසාමාන්‍ය අභිරහස් සිදුවීම අයත් කතා දෙවැනි අයත් වෙනවා. මේ පොත් වල වැඩි හරියක් ගැහැණු ළමයි ප්‍රධාන චරිත වීමත් විශේෂ ලක්ෂණයක්. මධ්‍යම රාත්‍රියේ ආහාර පාන සහිත සංග්‍රහයන්, එකිනෙකා වෙත කරනු ලබන උසුලු විසුලු හා එකිනෙකා අතරේ පවතින සබඳතා ආදී අංග මේ කොටසට අයත් කතාවල දක්නට ලැබෙනවා. මැලරි ටවර්ස්”, “සෙන්ට් ක්ලෙයාර්සහ නෝටියස්ට් ගර්ල් යන  ග්‍රන්ථ මෙයට උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්.

(class.posot.co.uk)

(class.posot.co.uk)

තුන්වැනි කොටසට අයත් කතා වන්නේ විෂිං චෙයාර්”, “ද ෆාර් එවේ ට්‍රීයන නිර්මාණයි. ඉන්ද්‍රජාලික ලෝකයක් තුළ සිදුවන අසාමාන්‍ය පුදුමසහගත සිදුවීම් මේ කතාවල බහුලව දක්නට ලැබෙනවා. සුරංගනාවියන්, රකුසන් වැනි අපූර්ව චරිත මේ පොත් වල දකින්න පුළුවන්. බොහෝ අවස්ථාවලදී මේ ග්‍රන්ථවල දක්නට ලැබෙන සෙල්ලම් බඩුවලට පණ ලැබීම විශේෂ කරුණක් ලෙස සඳහන් කල හැකියි.

ඔබත් ඔබේ ලමාකාලයේ ඊනිඩ් බ්ලයිටන්ගේ කතා ලෝකයේ චරිත අතරේ කාලය ගත කල කෙනෙක්ද? ඇගේ අතින් ලියවුනු ඔබේ ප්‍රියතම කෘති ගැන අපිට කියන්නත් අමතක කරන්නට එපා.

කවරයේ පින්තුරය: ranker.com

Related Articles