Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලතින් පොප් ගීත ලොවේ රජු: එන්රිකේ ඉග්ලේසියස්

Westlife, MLTR, One Direction වැනි ජාත්‍යන්තර මට්ටමෙන් සංගීත ක්ෂේත්‍රය තුළ සාර්ථක වූ කණ්ඩායම් කිහිපයක් ගැන තොරතුරු මීට පෙරාතුව අප ඔබ වෙත ගෙන ආවා. බටහිර සංගීතයට ඇල්මක් දක්වන ඔබ වෙනුවෙන් එම ලිපි පෙළේ තවත් එක් පියවරක් ඉදිරියට තබන්නට යි මේ සූදානම් වෙන්නේ. නමුත් මෙවර ලිපිය වෙන්වන්නේ සංගීත කණ්ඩායමක් උදෙසා නොව පුද්ගලයෙක් උදෙසා යි. එහෙත් ඔහු තම ගීත සඳහා නිරතුරුවම අනෙකුත් ගායකයන් සම්බන්ධකර ගන්නවා. ලතින් පොප් ගීත කලාවේ රජු ලෙස සැලකෙන එන්රිකේ ඉග්ලේසියස් (ඉංග්‍රීසියෙන් “එන්රික්” කිව්වාට, ස්පාඤ්ඤ උච්ඡාරණය “එන්රිකේ”) අපට එතරම් නුහුරු ගායකයෙක් නොවෙයි. ඔහු වරෙක ශ්‍රී ලංකාවේ ප්‍රසංගයක් සඳහා ද පැමිණි අතර, එය තරමක් ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයකට මුල් වුණා. කෙසේ නමුත්, ලෝකය පුරා, විශේෂයෙන්ම දකුණු සහ මධ්‍යම ඇමරිකානු කලාපයේ වෙසෙන ජනයා අතර ඉමහත් ආදරයට පාත්‍ර වූ ගායකයෙක් තමයි එන්රිකේ ඉග්ලේසියස්.

එන්රිකේ මව්රට අතහැර යයි

එන්රිකේ මිගෙල් ඉග්ලෙසියස් ප්‍රෙයිස්ලර්, නැතහොත් එන්රිකේ ඉග්ලේසියස්, වර්ෂ 1975 මැයි මස 8 වැනිදා ස්පාඤ්ඤයේ මැඩ්‍රිඩ් නුවර දී උපත ලබනවා. ඔහුගේ පියා හූලියෝ ඉග්ලේසියස් වන අතර, ඔහු සංගීත ක්ෂේත්‍රය තුළ ඉමහත් සාර්ථකත්වයක් සහ කීර්තියක් අත්පත් කරගත් පුද්ගලයෙක්. මේ හේතුවෙන් එන්රිකේ හට සංගීත ක්ෂේත්‍රයට ඇතුළත් වීමේ වරමක් පියාගේ ප්‍රසිද්ධිය තුළින්ම ලැබී තිබුණත්, ඔහු පියාගේ අනුග්‍රහයකින් තොරව තනිව සංගීත ක්ෂේත්‍රය තුළ තමාගේ ස්ථානය වෙන් කරගත් පුද්ගලයෙකු බව සැලකෙනවා. එන්රිකේගේ මව වූ ඉසබෙල් ප්‍රෙයිස්ලර් පිලිපීන ජාතික කාන්තාවක වන අතර, ඇය මාධ්‍යවේදිනියක් ලෙස වෘත්තිය ජීවිතයේ සාර්ථක වූ තැනැත්තියක්.

එන්රිකේ, සිය පියා හූලියෝ ඉග්ලේසියස් සහ ඔහුගේ සහෝදරයා සමග කුඩා වියේ දී/her.womenworking.com/

උපතින් ස්පාඤ්ඤ ජාතිකයෙකු වුණත්, එන්රිකේට තම මව්රට තුළ හැදී වැඩෙන්න වාසනාව ලැබෙන්නේ නැහැ. පවුලේ මූල්‍යමය ශක්තිය සහ ප්‍රසිද්ධිය නිසාම ස්පාඤ්ඤය තුළ ඔවුන්ගේ ආරක්ෂාව තරමක් අභියෝගයට ලක්වී තිබුණා. 1982 ජනවාරි මාසයේ දිනයක බාස්ක් ත්‍රස්තවාදීන් එන්රිකේගේ මුත්තණුවන් පැහැරගෙන ගොස් ඩොලර් මිලියන දෙකක කප්පම් මුදලක් ඉග්ලේසියස් පවුලෙන් ඉල්ලා තිබුණා. නමුත් ආරක්ෂක අංශවල මැදිහත් වීමෙන් එන්රිකේගේ මුත්තණුවන් නිරූපද්‍රිතව බේරා ගැනුනා. 

ඒ වනවිට එන්රිකේගේ මවත් සමග තිබූ විවාහ දිවිය අවසන්කර තිබූ හූලියෝ ඉග්ලේසියස්, එක්සත් ජනපදයේ මයෑමි නගරයේ වාසය කළා. පැහැර ගැනීමෙන් තම පියාණන් නිරූපද්‍රිතව බේරා ගැණුනු බව දැනගත් හූලියෝට එය මහත් අස්වැසිල්ලක් වුවත්, ඔහු තම දරුවන් ගැන වධවුණා. එන්රිකේ සහ ඔහුගේ සහෝදරයෙකු වූ කණිෂ්ඨ හූලියෝ ඉග්ලේසියස් ආරක්ෂක හේතූන් මත එක්සත් ජනපදයට ගෙන්වා ගැනීමට එනිසා පියා කටයුතු කළා. නමුත් පියාගේ කාර්යබහුල කාලසටහන හමුවේ කුඩා එන්රිකේට ඔහු සමග කාලය ගෙවීමට අවස්ථාව ලැබුණේ කලාතුරකින්.

හූලියෝ ඉග්ලේසියස්ගේ කාර්යබහුලත්වය නිසා ඔහුගේ දරුවන් රැකබලා ගැනීමේ වගකීම එල්විරා ඔලිවාරෙස් නම් රැකබලාගන්නියකට පැවරුණා. කාලයත් සමග එන්රිකේ සහ ඔහුව රැකබලා ගත් එල්විරා අතර බොහොම ශක්තිමත් සබඳතාවයක් ඇතිවූවා වගේම, ගායකයෙක් ලෙස අද එන්රිකේ සාර්ථක වීමට ඇයගේ උදව් උපකාරත් ඉවහල් වී තිබෙනවා. එන්රිකේ සහ ඔහුගේ පියාණන් අතර අදටත් තිබෙන්නේ දුරස්ථ සම්බන්ධතාවයක් බව කියවෙනවා. තම පියා ගතකළ ජීවන විලාසිතාව එන්රිකේට කිසිවිටෙකත් අවශ්‍ය නොවූ බව යි සඳහන් වෙන්නේ.

කුඩාකල තමා සහ තම සහෝදරයා රැකබලා ගත් එල්විරා හට එන්රිකේ අදටත් ගරු කරනවා/mfourevents.blogspot.com/

එල්විරාගේ මුදලෙන් ගමන ඇරඹූ එන්රිකේ

වයසින් වැඩෙත්ම එන්රිකේ තම පියාගේ අඩිපාරේ යමින් සංගීතයට ඉමහත් ඇල්මක් දක්වන්නට පටන් ගත්තා. වයස අවුරුදු 15 වන විට ඔහුට වඩා වැඩිමහලු ගායකයන් දෙදෙනෙකු සමග එක්ව රහසිගතව සංගීත කර්තව්‍යයේ යෙදුණා. තවත් විටෙක ඔහු යහළුවන් පිරිසක් සමග මයෑමි නගරයේ අවන්හල්වල ගීත ගායනයේ යෙදුණා. නමුත් මේ කිසිදු දෙයක් තම පවුලේ සාමාජිකයන්ට හෙළි නොකරන්න ඔහු වග බලා ගත්තා. වෘත්තිමය ගායකයෙක් වීමට තමාට තිබූ අභිලාෂය සහ සැලසුම් ගැන පියා දැනුම්වත් කරන්න ඔහුට අවශ්‍ය වුණේ නැහැ. ඒ වගේම සංගීත ක්ෂේත්‍රය තුළ තම පියාණන් අත්කර ගෙන තිබූ කීර්තිය භාවිතා කරමින් ඉදිරියට පැමිණීමටත් ඔහුට අවශ්‍ය වුණේ නැහැ.

තමා කුඩාකල සිට රැකබලාගත් එල්විරාගෙන් ණයට මුදලක් ලබාගත් එන්රිකේ, එක් ස්පාඤ්ඤ ගීතයක් සහ ඉංග්‍රීසි ගීත දෙකක් අඩංගු කැසට් පටයක් නිකුත් කළා. තමාට කළ උපකාරය වෙනුවෙන් එම ගීත එකතුව එල්විරාගේ නමට කැප කරන්නත් ඔහු අමතක කළේ නැහැ. එම ගීත එකතුව තම පියාගේ හිටපු ප්‍රචාරකයෙකු වූ ෆර්නන් මාර්ටිනේස් වෙත යැවීමට එන්රිකේ උත්සුක වූ අතර, ප්‍රසංග වේදිකාව තුළ එන්රිකේ ඉග්ලේසියස් ලෙස නොව එන්රිකේ මාර්ටිනේස් නමින් ඔහුගේ ගීත ප්‍රවර්ධනය කිරීමට ෆර්නන් වග බලා ගත්තා. ආරම්භයේ පටන්ම පියාගේ ප්‍රසිද්ධිය තම වෘත්තීය ජීවිතයට ගාව නොගනිමින් ගායකයෙකු ලෙස තනිවම ක්ෂේත්‍රය තුළ ගමනක් යෑමට ඔහු ප්‍රවේශම් වුණා.

එන්රිකේගේ කුළුදුල් ඇල්බමය ඔහුගේ නමින්ම 1995 දී නිකුත් වුණා/eil.com/

අනෙක් අතට, එන්රිකේ ඉග්ලේසියස් ගායකයෙක් ලෙස තම අනාගතය සකස්කර ගැනීම කෙරෙහි ඔහුගේ දෙමව්පියන් තුළ කැමැත්තක් නොතිබූ බව ද කියවෙනවා. විශේෂයෙන් හූලියෝ ඉග්ලේසියස් ලෝක ප්‍රසිද්ධ ගායකයෙක් ලෙස ගත කරන අවිවේකී ජීවිතය තම පුත්‍රයාටත් අත්කර දෙන්න අවශ්‍ය වුණේ නැහැ. සමහර විට යෞවන අවධියේ දී සංගීතය පිළිබඳව තිබූ ඇල්ම සහ නිර්මාණයන් එන්රිකේ රහසිගතව තබා ගත්තේ මේ හේතූන් නිසා වන්නට පුළුවන්. කෙසේ හෝ මධ්‍යම ඇමරිකානු රටවල එන්රිකේ මාටිනේස් ලෙස පෙනී සිටිමින් කුඩා ප්‍රසිද්ධියක් අත්කර ගෙන සිටි මේ තරුණයා, ආයතනයක් සමග ස්ථිර සංගීත ගිවිසුමකට එළඹෙන තෙක් තම නියම වාසගම භාවිතා කළේ නැහැ. පසුව “ෆොනොවිස්ටා” නම් මෙක්සිකානු ආයතනය හරහා අවස්ථාව ලද සැනින් ඔහු කරළියට පැමිණුනා. ඒ අනුව මයෑමි විශ්වවිද්‍යාලයයේ හදාරමින් සිටි ව්‍යාපාර පිළිබඳ පාඨමාලාව පවා අතහැර දැමූ ඔහු, මෙම කොන්ත්‍රාත්තුව ලබා ගත්තා. මේ සියලු දේ සිදු වුණාට පසු එන්රිකේ තම සාර්ථකත්වයේ මුල් පියවර පිළිබඳව පියාණන් දැනුවත් කළා. නමුත් හූලියෝ සිටියේ පරණ මතයේම යි. වැඩිහිටි ගායකයා තම දරුවාගේ ප්‍රවෘත්තිය කෙරෙහි එතරම් පැහැදීමක් නොදැක්වූ අතර, සංගීත ක්ෂේත්‍රයේ වෙනස්වීම් සහ එහි තිබෙන සහජ වංකකම හේතුවෙන් එන්රිකේව වැළැක්වීමට උත්සහ කළා. නමුත් හූලියෝගේ ආකල්පය එන්රිකේගේ උනන්දුව වැඩි කිරීමට හේතු වුණා.

ගායකයෙක් වීම කෙරෙහි එන්රිකේට තිබුණ කැමැත්ත සහ හූලියෝගේ අකමැත්ත පිය පුතු ගැටුමක් දක්වාත් වර්ධනය වූ බව ඇතැම් ස්ථානවල සඳහන් වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු නිවස අතහැර කැනඩාවට ගිය බවත් සඳහන්.

“මම හිතන්නේ මගේ තාත්තා ඔහුගේ ජීවිතයේ සෑම දෙයක්ම පාලනය කිරීමට පුරුදුව සිටි තැනැත්තෙක්. නමුත් හදිසියේම ඔහුට පාලනය කළ නොහැකි දෙයක් ලැබුණා. සමහර විට ඒක මගේ හොඳට වෙන්නත් පුළුවන්. ඔහු ඍණාත්මක නම්, ඔහු වැරදි බව ඔප්පු කරන්න මට අවශ්‍ය වුණා”

තම කුළුදුල් සංගීත කොන්ත්‍රාත්තුව හමුවේ පියා සමග වූ ගැටීම එන්රිකේ පසුකලෙක එලෙසින් වචනවලට පෙරළා තිබුණා.

එන්රිකේ ඉග්ලෙසියස් මානව හිතවාදී ක්‍රියාකරකම් සඳහා සක්‍රීය දායකත්වය සපයන පුද්ගලයෙක්/guatemala.com/

ලතින් පොප් ගීත ලොවේ කිරුළ දක්වා

වෙහෙස මහන්සි වී තමන්ටම අනන්‍ය වූ ශෛලියකින් වැඩ කිරීමේ ප්‍රතිඵල එන්රිකේට ඉක්මණින්ම භුක්ති විඳීමට අවස්ථාව ලැබුණා. ඒ අනුව කුළුදුල් සංගීත ඇල්බමය ඔහුගේ නමින්ම 1995 වර්ෂයේ දී නිකුත් වුණා. ඔහු සිතුවාටත් වඩා වැඩි සාර්ථකත්වයක් එම ගීත ඇල්බමයට ලැබුණු අතර, පෘතුගාලය වැනි රටවල එම ඇල්බමය අති සාර්ථක වුණා. අවසානයේ දී වෘත්තීමය ගායකයෙකු ලෙස ඔහුගේ කුළුදුල් ඇල්බමය පිටපත් මිලියන 6 කට වඩා ලොව පුරා අලෙවි වී තිබුණා. 1996 දී මෙම ගීත එකතුව නිසා හොඳම ලතින් ගායකයාට හිමි ග්‍රැමි සම්මානය ඇතුළු සම්මාන රැසක් හිමි කර ගැනීමට එන්රිකේ ඉග්ලේසියස් සමත් වුණා.

1997 දී එන්රිකේ “Vivir” නමින් සංගීත එකතුවක් නිකුත් කළ අතර, ඔහුගේ පළමු සංගීත ප්‍රසංග මාලාව ද සංවිධානය වුණේ මෙම “Vivir” ඇල්බමය පාදක කරගෙන යි. Vivir, එක්තරා ඇමරිකානු සම්මාන උළෙලක් සඳහා නිර්දේශ වීමේ දී සුවිශේෂ සිදුවීමකට එන්රිකේ මුහුණ දෙනවා. එම සම්මාන උළෙලට ඔහුගේ පියා වූ හූලියෝ ඉග්ලේසියස්ගේ නිර්මාණයකුත් නිර්දේශ වුණා. එසේම පුත්‍රයා පරදා සම්මානය දිනා ගැනීමට හූලියෝ සමත් වෙනවා.

1999 දී නිකුත් වූ “Bailamos” ගීතය නිසා ඉමහත් රසික ආදරයට පාත්‍ර වෙන්න එන්රිකේට හැකියාව ලැබුණා. එක්සත් ජනපදයේ ගීත දර්ශක රැසක “Bailamos” ගීතය පළමු ස්ථානයට පැමිණුනා. නමුත් ඒ වනවිට එන්රිකේ විසින් නිකුත් කර තිබූ ගීත ඇල්බම සියල්ලම පාහේ ස්පාඤ්ඤ භාෂාවෙන් ගැයුණු ගීත වුණා. ඒ අනුව ඉංග්‍රීසි භාෂාවෙන් ගීත ගැයීම කෙරෙහිත් අවධානය යොමු කළ එන්රිකේ, සිය පළමු ඉංග්‍රීසි ගීත එකතුව  “Enrique” නමින් 2000 වර්ෂයේ දී නිකුත් කළා. එම ඇල්බමයට ඇතුළත් වූ Rhythm Divine, Be with you ගීත අතිශයින් ජනප්‍රිය වුණා. එයින් පසු සාර්ථකත්වය නිරතුරුවම එන්රිකේ සොයා පැමිණුනා. 2001 වර්ෂයේ නිකුත් වූ “Escape” ඇල්බමයේ ඇතැම් ගීත ශ්‍රී ලංකාවේ පවා ජනප්‍රිය වුණා. එම ඇල්බමයේ තිබූ “Hero” ගීතය ඔහුගේ සංගීත දිවියේ සුවිශේෂ සංධිස්ථානයක් ලෙස හඳුන්වන්න පුළුවන්. වර්තමානය වනවිට ලතින් පොප් ගීත කලාවේ රජු ලෙස සලකන්නට තරම් එන්රිකේ ඉග්ලේසියස් සංගීත ක්ෂේත්‍රය තුළ සාර්ථක වී තිබෙනවා.

Sex and Love

එන්රිකේ ඉග්ලේසියස් කොළඹ දී සහභාගී වූ සංගීත ප්‍රසංගය මෙරට ආන්දෝලනයට තුඩු දුන්නා/wsj.com/

Seven, Insomniac, Euphoria වැනි සාර්ථක ගීත එකතු කිහිපයකට පසු එන්රිකේ ඉග්ලේසියස් සිය නවතම ඇල්බමය Sex and Love නමින් 2014 වර්ෂයේ දී නිකුත් කළා. එම ඇල්බමයේ එක් ගීතයක් වූ “Bailando” ගීතය වෙත ඉමහත් රසික අවධානය යොමු වුණා. යූ ටියුබ්වල පවා Bailando ගීතයට බිලියන දෙකකට අධික නැරඹුම් වාර ප්‍රමාණයක් ලැබී තිබුණා. Sex and Love ඇල්බමය ගැන කතා කිරීමේ දී ශ්‍රී ලංකාවත් සිහිපත් නොකර බැහැ. මෙම සංගීත එකතුව පාදක කරගත් ලෝක ප්‍රසංග මාලාවේ එක් අදියරක් 2015 වර්ෂයේ දෙසැම්බර් මස කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා.

ශ්‍රී ලංකාව තුළ ජනප්‍රිය වූ බටහිර ගායකයන් අතර එන්රිකේ ඉග්ලේසියස් ඉදිරියෙන්ම සිටි ගායකයෙකු වූ නිසා ඔහු කොළඹ පැමිණෙන තුරු ලාංකීය රසිකයන් නොඉවසිල්ලෙන් සිටියා. නමුත් එන්රිකේගේ කොළඹ ප්‍රසංගය තුළ සිදුවූ එක් සිදුවීමක් නිසා මෙම ප්‍රසංගය රට තුළ ආන්දෝලනයක් ඇති කළා. එවකට ජනාධිපතිවරයා පවා එම සිදුවීම දැඩි ලෙස විවේචනය කර තිබුණා. පසුව ප්‍රසංගයේ සංවිධායකවරුන් ප්‍රසංගය අතරතුර ඇති වූ ඒ ආන්දෝලනාත්මක සිදුවීම සම්බන්ධයෙන් සමාව පවා අයැද තිබුණා. ප්‍රසංගය සම්බන්ධයෙන්  එවකට ජනාධිපතිවරයා කළ දැඩි විවේචනය ජාත්‍යන්තර මාධ්‍යවල පවා අවධානයට ලක් වුණා. BBC, The Wall Street Journal, Time, Hindustan Times  වැනි ප්‍රමුඛ පෙළේ මාධ්‍යන්වල වෙබ් අඩවි මෙම සිදුවීම වාර්තාකොට තිබුණා.

සැබෑ ජීවිතය තුළ එන්රිකේ

Escape ගීතයේ වීඩියෝව වෙනුවෙන් පෙනී සිටි රුසියානු ජාතික ටෙනිස් ක්‍රීඩිකාවක් වූ ඇනා කොර්නිකෝවා සමග පසුකලෙක එන්රිකේ ප්‍රේම සබඳතාවයක් ඇති කර ගත්තා. දෙදෙනාම ඔවුන්ගේ ක්ෂේත්‍රයන් තුළ ප්‍රසිද්ධියක් උසුලමින් සිටියත්, ඔවුන්ගේ සබඳතාවය සහ පෞද්ගලික ජීවිතය බාහිර ලෝකයෙන් හැකිතාක් සඟවා තබා ගැනීමට උත්සහ කරනවා. ඇනා කොර්නිකෝවා මවක් වීමේ සූදානම ගැන පවා රහසක්ව තබා ගැනීමට ඔවුන් කටයුතු කළා. 2017 වර්ෂයේ දී එන්රිකේ නිවුන් දරුවන් දෙදෙනෙකු සිටින ආදරණීය පියෙකු බවට පත් වෙනවා. 2020 දී ඔවුන් දෙදෙනාට දියණියක් ද උපදිනවා.

එන්රිකේ මානව හිතවාදී වැඩකටයුතු සඳහා නිරතුරුවම ආධාර කරන සහ එම අවස්ථාවලට සහභාගී වෙන පුද්ගලයෙකු ලෙස හැඳින්වෙනවා. ස්වභාවික ආපදාවන් නිසා විපතට පත් රටවලට ආධාර කිරීම පිණිස ඔහු ප්‍රදර්ශනාත්මක සංගීත ප්‍රසංග සහ ගීත නිර්මාණවලට දායක වෙනවා. එමෙන්ම ඔහු විවිධ මානව අවශ්‍යතා උදෙසා ආධාර සපයන සංවිධාන රැසකට සක්‍රීය දායකත්වය ලබා දෙනවා.

එන්රිකේ සිය දරුවන් සමග ප්‍රීති වන අවස්ථාවක්/hellomagazine.com/

තමාව කුඩාකල පටන් රැකබලා ගත් එල්විරා ඔලිවාරෙස්ට එන්රිකේ ඉමහත් ආදරයක් සහ ගෞරවයක් දක්වනවා. සංගීත ක්ෂේත්‍රයට පිවිසීමට ඇය කළ උපකාරයන් ඔහු කවදාවත් අමතක කොට නැහැ. වරෙක “The Guardian” මාධ්‍ය ආයතනයේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙන අතරතුර ඔහුගේ ජිවිතයේ වඩාත්ම අගය කරන පුද්ගලයා සම්බන්ධයෙන් පැනයක් යොමු වෙනවා. එන්රිකේ ඉග්ලේසියස් එම පැනයට මෙලෙසින් පිළිතුරු සපයනවා.

“මම වඩාත්ම ගරු කරන්නේ දෙමව්පියන් නොමැති විට මාව රැක බලාගත් එල්විරාට යි. ඇය තමන්ගේ මුළු ජීවිතයම මම සහ මගේ සහෝදරයන් වෙනුවෙන් කැප කළා. නමුත් මම දැන් ඇයව රැක බලා ගන්නවා”

 ඉතින්, ඔබ වඩාත්ම කැමති එන්රිකේගේ කුමන ගීතයට ද?

Cover photo: chapmanbaehler.com/

මූලාශ්‍රයයන්: biography.com/

hellomagazine.com/

thefamouspeople.com/

hindustantimes.com/

theguardian.com/

womenworking.com/

Related Articles