බොදුනුවන්ගේ  සදාකාලික වීරයා : අනගාරික ධර්මපාල තුමා

කලින් කලට නොයෙක් ආකාරයේ වීරයින් බිහි වෙනවා. ඇතැමුන් ජනතාවගේ සිත් තුල සදාකල් ලැගුම් ගන්නා අතරම ඇතැමුන් ඒ ඒ කාලයත් සමඟම මතකයෙන් ගිලිහි යනවා. ලොව පුරා සිටින බෞද්ධ ජනතාවට තම ජිවිත කාලය පුරාවට අමතක නොවන බොදු විරුවකුගේ 152 උපන් දිනය පසුගිය සැප්තැම්බර් 17 වෙනිදාට යෙදී තිබුනා. එතුමා නොසිටින්නට අද අපට කතා කරන්නට බුදු දහමක් ලොව ඉතුරු නොවන්නට බොහෝ දුරට ඉඩ තිබුනා කිව්වත් වැරැද්දක් නැති බවයි අපිනම් හිතන්නේ.

මේ යුග පුරුෂයා වෙන කවුරුත් නොව, ලෝ සුපතල අනගාරික ධර්මපාල තුමායි.

ළමා කාලය

අනගාරික ධර්මපාල තුමා.

අනගාරික ධර්මපාල තුමා.

දොන් ඩේවිඩ් හේවාවිතාරණ දරුවා මෙලොව උපත ලබන්නේ 1864 සැප්තැම්බර් 17 වෙනිදා. මාතර හිත්තැටියේ දොන් කරෝලිස් හේවාවිතාරණ මුදලිතුමා සහ මල්ලිකා හේවාවිතාරණ මොහුගේ දෙමව්පියන් උනා. දොන් කරෝලිස් හේවාවිතාරණ මාතර ප්‍රදේශයේ කීර්තිමත් වෙළෙඳ ව්‍යාපාරිකයක්. ඒ විතරක් නෙමෙයි මේ දෙමව්පියන් බෞද්ධ කටයුතු පිළිබඳ දැඩි කැපවීමකින් කටයුතු කළ අය. පවුලේ අය බුද්ධාගමට දැක්වූ ලැදියාව නිසා කුඩා කල සිටම දොන් ඩේවිඩ් හේවාවිතාරණ දරුවාට බෞද්ධාගමික ආභාෂය ලැබුනා. එය එකල අපේ රටේ පැවති සමාජ පසුබිම හා සලකන විට භාග්‍යක් ලෙස සලකන්නට පුළුවන්.

එදා පැවති වාතාවරණය අනුව දොන් ඩේවිඩ් හේවාවිතාරණ දරුවාට මිෂනරි අධ්‍යාපනයක් ලබා දීමට ඔහුගේ දෙමව්පියන්ට සිදු උනා. පිටකොටුවේ මේරි විදහල, කොටහේනේ ශාන්ත බෙනඩික් (1870 – 1874), ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහල (1878 – 1883), කෝට්ටේ ක්‍රිස්තියානි පාසැල ආදිය ඩේවිඩ් හේවාවිතාරණ දරුවා අධ්‍යාපනය ලැබූ පාසල් විය.

කුඩා කල සිටම බුදු දහම කෙරෙහි ඇල්මක් දැක්වූ ඩේවිඩ් හෙවවිතාරණට බෞද්ධ අධ්‍යාපනය ලබාදීමට ඔහුගේ බොදුනු දෙමව්පියන් අමතක කලේ නැත. ඒ නිසා සෙනසුරාදා දිනයන්හි කොටහේනේ දීපදුත්තාරාමයට ගොස් වාදීහසිංහ මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමිපාණන්ගේ ව්‍යක්ත දේශනවලට සවන් දෙමින් බුදු දහම පිළිබඳ දැනුම වර්ධනය කරගත්තා. මේ කාලයේදීම  හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ ඇසුර ලැබීමද  ඔහුගේ භාගයක්.

පාසල් අධ්‍යාපනය 18 වෙනි වියේදී අවසන් කල ඩේවිඩ් හේවාවිතාරණ, සිංහල හා ඉංගී‍්‍රසි භාෂාව ප‍්‍රගුණ කළ තරුණයෙකු වශයෙන් රජයේ ලිපිකරුවකු බවට පත්ව කටයුතු කළා. ටික කලකින් සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය තකා කටයුතු කිරීමේ අවශ්‍යතාව සිය මවුපියනට ලියා යවමින් රැකියාව ද අත් හරිමින්  ඩේවිඩ් හේවාවිතාරණ තරුණයා, ධර්මපාල යන නාමය ගනිමින් ලෝකසත්වයාගේ යහපත සඳහා සිය ජීවිතය කැප කරන්නට අධිෂ්ඨාන කර ගත්තා.

පරම විඥානාර්ථ සමාගම

ඕල්කට් තුමා සහ බ්ලැවැට්ස්කි මැතිනිය.

ඕල්කට් තුමා සහ බ්ලැවැට්ස්කි මැතිනිය.

වර්ෂ 1880 මැයි 17 වන දින මෙරට බෞද්ධ පුනර්ජීවනයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කල දිනයක්. ඒ සෙන්පති හෙන්රි ස්ටිල් ඕල්කට් තුමා හා හෙලේනා පෙට්ට්‍රොව්නා බ්ලැවැට්ස්කි මැතිනිය ගාලු වරායෙන් ලංකාවට සම්ප‍්‍රාප්ත වීමයි.

ඕල්කට් මැතිතුමා මෙරට තුළ පරම විඥානාර්ථ සමාගම පිහිටුවීම ධර්මපාල තුමාගේ ජිවිතයේ වැදගත් සිදුවීමක් ලෙස දැක්වෙනවා. ඒ, ඒ වනවිටත් බුදු දහම නගා සිටුවීමේ කටයුතු වල නියැලී සිටි එතුමාට ඕල්කට් මැතිතුමා හා බිලැට්මිස්කි මැතිනිය සමඟ කටයුතු කරන්නට උදාවීමයි.

ඕල්කට්තුමා බෞද්ධාගමික ප‍්‍රබෝධය පිණිස රටපුරා කළ සංචාරයේ දී ඔහුගේ ඉංගී‍්‍රසි කථා සිංහලට පරිවර්තනය කිරීමේ කාර්යට ඉදිරිපත් වූයේ අනගාරික ධර්මපාල තුමායි. මේ නිසා වැඩිකල් නොගොස් ධර්මපාල තුමා පරම විඥානාර්ථ සමාගමේ නිත්‍ය සාමාජිකයකු බවට පත් උනා.

වර්‍ෂ 1886 සිට 1890 දක්වා කාලය තුළ බෞද්ධ පරම විඥානාර්ථ සංගමයේ බෞද්ධ අංශයේ මහ ලේකම්, බෞද්ධ මුද්‍රණාලයේ හා සඳරැස පත්‍රයේ කළමණාකරු, බෞද්ධ පාසල් කළමණාකරු, බෞද්ධ ආරක්‍ෂක කමිටුවේ සහයක ලේකම් යනාදි තනතුරු රැසක් ම අනගාරික ධර්මපාල තුමා විසින් දරණු ලැබුවා.

1886 දි පරම විඥානාර්ථ සමාගම මගින් මෙරට බෞද්ධ අධ්‍යාපනය නගා සිටුවීමේ අරමුණින් බෞද්ධ ඉංග්‍රීසි පාසල් ආරම්භ කිරීමට කටයුතු කළා. එම කටයුතු වලදීද මුලිකත්වය ගෙන මහඟු සේවයක් ඉටු කරනු ලැබුවේ අනගාරික ධර්මපාල තුමාය. කොළඹ ආනන්ද, මහනුවර ධර්මරාජ, ගාල්ල මහින්ද වැනි බෞද්ධ පාසල් ආරම්භ වුයේ එහි ප්‍රතිපලයක් ලෙසයි.

බුද්ධගයාව බේරා ගැනීම

බෞද්ධ අධ්‍යාපනයේ මුදුන් මල්කඩ - කොළඹ ආනන්ද විදුහල.

බෞද්ධ අධ්‍යාපනයේ මුදුන් මල්කඩ – කොළඹ ආනන්ද විදුහල.

අනගාරික ධර්මපාල තුමාගේ ජිවිත කාලයේදී සිදු කල සේවාවන් අතරින් ශ්‍රේෂ්ඨතම කාර්යය වන්නේ බුද්ධගයාව නැවත බෞද්ධයන් හට ලබාදීමට පුරෝගාමී වීමයි. එය එතුමා ජිවිත පරිත්‍යාගයෙන් සිදුකල කටයුත්තක් වශයෙන් ඉතිහාසගතවී තිබෙනවා.

1891 දී ඉන්දියාවේ මහාබෝධිවිහාරයට වන්දනා ගමනක යෙදිමේ අවස්තාව අනගාරික ධර්මපාල තුමාට උදාවුනා. එම අවස්ථාවේදී බුද්ධගයාව පන්සල හින්දු පූජකවරුන්ගේ යටතට පත්ව තිබෙන ආකාරයත්, බුදුරජාණන් වහන්සේගේ පිළිරුව හින්දු ප්‍රතිමාවකට පරිණාමනය කර තිබෙන ආකාරයත්, දුටු එතුමා තුළ ඇතිවුයේ බලවත්  කම්පාවක්. එවකට බුද්ධගයාව පාලනය කරනු ලැබුවේ මහන්තා නමැති හින්දු පූජකයකු විසින්. මේ නිසා බුද්ධගයාව බේරාගැනීම සඳහා කඩිනම් ව්‍යාපාරයක් දියත් කිරීමට එතුමා අදිටන් කර ගත්තා. එහි මූලික පියවර ලෙස 1891 වසරේදී ඉන්දියාවේ මහාබෝධි සමාගම අරඹනු ලැබුවා.

එතුමා මේ සටන දියත් කරනු ලැබුවේ “බෞද්ධයින් නැගිටිව් – බුද්ධගයාව බේරා ගනිව් ” යන සටන් පාඨය යොදා ගනිමින්.

බුදු දහම ජාත්‍යන්තරයට ගෙන යෑම සහ අනෙකුත් සේවා

බුද්ධගයා විහාරය.

බුද්ධගයා විහාරය.

ඇමරිකාවේ චිකාගෝ නගරයේ 1893 වසරේ පැවැති ලෝක දෘෂ්ටි සම්මේලනයට සහභාගි වෙමින් ධර්මපාල තුමා පැවැත්වූ දේශනය නිසා ලෝක විද්වතුන්ගේ අවධානය බුදුදහම වෙත යොමු වීම එතුමා ලද විශාල ජයග්‍රහණයක් ලෙස දැක්වීමට පුළුවන්.  ඊට ප්‍රථම,  1891 ජූලි 17 බුද්ධගයා ධර්මදූත සේවයේ නායකයා ලෙස ඉන්දියාවට ගොස් එහි බුද්ධගයා ජාත්‍යන්තර බෞද්ධ සාකච්ඡාවක් කැඳවීය. එමඟින්ද බුදු දහම කෙරෙහි ලෝක වාසීන්ගේ අවධානය වැඩි වැඩියෙන්  යොමු කරවීමට එතුමාට  හැකිවීමත් තවත් ජයග්‍රණයක්.

1892 මයි 05 දා සිට දේශිය කර්මාන්ත දියුණු කරමින්, අමද්‍යප ව්‍යාපාරයට එක් වෙමින් ලාංකීය ජනයා සුරාවෙන් හා සුදූවෙන් බේරා ගැනීමට මහත් වෙහෙසක් දරූ ධර්මපාලතුමාට, ඒ කාල පරාසය තුළදිම කල්කටාවේදී සිර අඩස්සියට පත්වන්නට සිදු වුනා.

මිට අමතරව බුදු දහම ලොව පුරා ප්‍රචලිත කිරීම සඳහා එතුමා ගත් ක්‍රියා මාර්ග රාශියක් තිබෙනවා. ඒවායින් ප්‍රධාන තැනක් ගන්නා ක්‍රියාකාරකම් මෙසේ දක්වන්න පුළුවන් :

  • බුද්ධගයාව බේරාගැනීමෙන් පසු, 1896 දී ප්‍රථම වරට එහි වෙසක් උත්සවයක් පැවැත්වීමට ධර්මපාලතුමන්ට හැකිවිය.
  • 1906 දී බෞද්ධ මහජන මතය ප්‍රචලිත කිරීමට ධර්මපාලතුමා විසින් ‘සිංහල බෞද්ධයා’ පත්‍රය ආරම්භ කිරීම.
  • ඕල්කට්තුමාගේ “සරසවි සදරැස“ පත්‍ර‍යේ සියළු කටයුතු සිදුකිරිම
  • ඕල්කට්තුමා සමග බෞද්ධ අධ්‍යාපනය නඟා සිටුවීමට වැඩ කිරීම
  • ඕල්කට්තුමා සමග ලක්දිව පුරා ඇවිදමින් එතුමාගේ ඉංග්‍රීසි කථා සිංහලයට නැගීම
  • බ්‍රහ්මචාරිවීමෙන් මුළු ජිවිතයම රට ජාතිය ආගම සඳහා පරිත්‍යාග කිරීම
  • බුද්ධගයාවට ගොස් එය හින්දු පුජකයින්ගෙන් බේරා ගැනීමට ක්‍රියාකිරීම
  • “සිංහල බෞද්ධයා“ හා “මහාබෝධි“ නමින් ඉංශ්‍රීසි පත්‍රයක් ආරම්භ කිරීම
  • ලක්දිව ගමක් පාසා ඇවිදිමින් දේශනා කිරීම
  • පේෂකර්ම ඉගෙනීමට සිංහල තරුණයකුට ශිෂ්‍යත්වයක් දී ජපන් රටට යැවීම
  • “මේරි පෝස්ටර්“ නිදහස් ආයුර්වේද ආරෝග ශාලාවක් කොළඹ පිහිටුවීම
  • කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලය පිහිටුවීම
  • මහාබෝධි නමින් ඉංශ්‍රීසි විද්‍යාලයක් ආරම්භ කිරීම
  • සාරානාත්හි ඉසිපතනයේ “මූලගන්ධකුටි“ නමින් විහාරයක් තැනවීම
  • මහනුවර මේරි පෝස්ටර් සාමණේර ආයතනයේ ධර්ම දුත භික්ෂුන් පුහුණු කිරිම
  • සිංහලයන්ගේ තුළ ඉංශ්‍රීසියන් තිබුණු හුඹස් බිය නැති කිරීම
  • පන්නිපිටියේ ධර්මපාල විද්‍යාලය පිහිටුවිම

ආගමික අංශයෙන් පමණක් නොව කාර්මික අංශයෙන්ද ශ්‍රී ලංකාව බැබලවීමට කටයුතු කල මෙතුමා, මෑතක් වන තුරුම සුප්‍රසිද්ධ වූ ‘අලියා’ ගිනිපෙට්ටි කර්මාන්තශාලාව, පිඟන් කර්මාන්තය වැනි දේශීය කර්මාන්තයන්ද ඇරැඹීමට මුල් විය. කිසිදු විටක බුදුදහමට පටහැණි කර්මාන්ත ඇරැඹීමට එතුමා කිසිවිටක කටයුතු නොකළ බව පෙන්වා දුන් ධර්මපාලතුමා, ජපානයට පිරිස් යවා එහිදී දැනුම වැඩි කරගෙන නව මාවතක් සකස් කිරීමටද වැඩ පිළිවෙලක් සකස් කළා.

ධර්මපාලතුමා ලක්දිව හැර යයි

මූලගන්ධකුටි විහාරය.

මූලගන්ධකුටි විහාරය.

තම ජිවිත කාලයෙන් වැඩි කොටසක් බුදු දහම ව්‍යාප්ත කිරීමටත්, සිංහලයාගේ දියුණුවටත් කැපකල අනගාරික ධර්මපාල තුමා 1931 වර්ෂයේදී ලංකාවෙන් පිටවී ගියා. උපන් රට අත් හැර යෑම පිළිබඳව එතුමා සිය ජිවිත කතාවේ සඳහන් කර තියෙන්නේ මෙහෙමයි :

දඹදිව ශාසනික වැඩ ආරම්භ කල තැන පටන් මේ දක්වා ලංකාවේ බොහෝ ගිහි-පැවිදි පිරිස් මට විරුද්ධව ක්‍රියාකර තිබේ. මවිසින් කරන අවවාද පිළිගැනීමට අකමැති නම් ඒ බව දැන්වූ විට ලංකාව අත්හැර වෙන රටකට යන්නට මට පුළුවන. සිංහල රට, සිංහල ජාතිය, සිංහල භාෂාව උතුම් කොට සලකන මට සිංහල බෞද්ධයන් මිථ්‍යාදෘෂ්ටිකන් වෙනවා දැකීම ඉවසිය නොහැකියි. වරද දුටු තැන වරද කියාදීම මගේ ධර්මතාවයකි.එසේ මවිසින් ප්‍රේම සිතින් දෙන අවවාද පිළිගැනීමට සිංහලයන් අකමැතිබව පෙනේ.
(මගේ ජිවිත කතාව – ස්වයං ලිඛිත චරිතාපදානය )

පැවිදි දිවියට පිවිසීම

සිරි දේවමිත්ත ධර්මපාල හිමි.

සිරි දේවමිත්ත ධර්මපාල හිමි.

පසුව ඉන්දියාවට ගිය එතුමා,  1931 ජූලි 13 වන දින සිරි දේවමිත්ත ධර්මපාල නමින් පැවිදි දිවියට ඇතුලත් වුනා. බරණැස ඉසිපතනාරාමයේ දී බෝරුක්හමුවේ සිරිරේවත හිමියන්  වෙතින් පැවිද්ද ලත් එතුමා, බුද්ධගයාවට නුදුරින් ඉඩමක් මිලදී ගනු ලැබුවා.  විවිධ බාධක මැද බරණැස මූලගන්ධ කුටි විහාරය ඉදිකොට එය බෞද්ධ ලෝකයාට පැවරුවේ 1931 නොවැම්බර් 11 වන දායි.

වර්ෂ 1933 ජනවාරි 15 දින උපසම්පදාව ලත් සිරි දේවමිත්ත ධර්මපාල හිමියන් ක්‍රමයෙන් රෝගාතුර වන්නට පටන් ගත්තා. ශරීර ශක්තිය දුර්වල වූ නමුත් ආගමික වතාවත් වල නිරතුරුවම යෙදුණු උන් වහන්සේ, 1933 අප්‍රේල් 29 දා ඉසිපතනයේ මූලගන්ධකුටි විහාරයේදී අපවත් වුනා. ඒවනවිට උන් වහන්සේ තම ජිවිත ගමනේ 69 වෙනි විය ගෙවමින් සිටියා.

දූරදර්ශී විචක්ෂණ නුවණින් කි‍්‍රයා කළ මේ උදාරතර ශ්‍රේෂ්ඨ සිංහලයා නොවන්නට අද දඹදිව බෞද්ධ උරුමය ලොවටම අහිමි වනු නියත ය. ධර්මාපාපතුමාගේ මහත් වූ සේවය අගැයීමට එය පමණක් වුවද සෑහේ. සිංහල ජනතාවට, ශ්‍රී ලාංකික ජනතාවට පමණක් නොව ලෝක ජනතාවට අත්‍යුදාර මෙහෙයක් ඉටු කළ මෙම ශ්‍රී ලාංකික යුග පුරුෂයා ලෝක බෞද්ධ ජනතාවටම සේවය කළ ශ්‍රේෂ්ඨ පුද්ගලයකු ලෙස සැලකිය හැකි යි.

ඡායාරූප : ceylonradio.co.uk, Blavatsky Theosophy Group UK, Collegedunia.com, Wikipedia, Daily News Archives, The Nation

Related Articles