Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නත්තල් ගස් ආලෝකකරණයේ පියා: එඩ්වඩ් හිබර්ඩ් ජොන්සන්

අවුරුද්දකට වතාවක් උදාවෙන නත්තල කියන්නේ ලොව පුරා කතෝලික බැතිමතුන්ගේ ඉහළතම සැමරීමක්. එනිසා නත්තල් උත්සවය වඩාත් විචිත්‍රවත් කරන්නට ඔවුන් බොහොමයක් සැරසිලි, චාරිත්‍ර විධි ආදිය යොදාගන්නවා. නත්තල වර්ණ ගන්වන්නට ඔවුන් මෙලෙස යොදාගන්නා අපූරු නත්තල් විදුලි පහන් සැරසිලිවල ඉතිහාසය ගැන කතාකරන්න තමයි අද අපේ සූදානම.

ජොන්සන් හා එඩිසන්

1882 දී නත්තල් කාලය ළඟා වෙත්ම, එඩ්වඩ් හිබර්ඩ් ජොන්සන් සෙසු නිව්යෝර්ක් වැසියන් සමග නගර ශාලාව අලංකාර කිරීම සඳහා එක් වුණා. දැන් වගේම, නත්තල් සැරසිලි සම්ප්‍රදායන් එදාත් ගැඹුරට දිව ගිය නිසා, එවකට 36 හැවිරිදි ජොන්සන් සිය නිවසේ සාලය ආකර්ශනීය නත්තල් සැරසිලිවලින් සරසා ගැනීමේ වාර්ෂික චාරිත්‍රය භාර ගත්තා. කොහොම වුණත් මේ සුවිශේෂී නත්තල් සමය සඳහා, එකල නවීනතම සොයාගැනීම වූ විදුලි පහන් භාවිතයෙන් නත්තල් සැරසිලි සම්ප්‍රදාය අලුත් කිරීමට ජොන්සන් තීරණය කළා.

එඩ්වඩ් හිබර්ඩ් ජොන්සන්/ Vintage Daily News

තෝමස් එඩිසන් පළමු ප්‍රායෝගික විදුලි බුබුල සොයාගෙන වසර තුනකට ආසන්න කාලයක් මේ වන විට ගතවී තිබුණු අතර, තෝමස් එඩිසන්ගේ විශ්වාසවන්ත ව්‍යාපාරික සහායකයා වන ජොන්සන් කෙමෙන් නැගී එන විදුලි තාක්ෂණය පිළිබඳ ලොකු දැනුමක් ඇති අයෙකු වුණා. 1871 දී ඔටෝමැටික් ටෙලිග්‍රාෆ් සමාගමට විශේෂඥයෙකු ලෙස, 24 හැවිරිදි ජොන්සන් එඩිසන් විසින් ඔහුගේ සමාගමට බදවාගෙන තිබුණා. ජොන්සන් ඉතා දීප්තිමත් ව්‍යවසායකයෙකු බව ඔප්පු කළ අතර එඩිසන් නම් ප්‍රසිද්ධ නව නිපැයුම්කරුගේ හොදම සේවකයා බවට පත්වුණා. ජොන්සන්, එඩිසන් ඉලෙක්ට්‍රික් ලයිට් සමාගමේ උප සභාපතිවරයෙකු ලෙස සේවය කළා. එම වසරේම සැප්තැම්බරයේ පහළ මැන්හැටන්හි දී එළිදැක්වූ විදුලි ජනන පද්ධතියේ ප්‍රධාන ඉංජිනේරුවරයා වූයේ එඩිසන්.

ඉටිපන්දම් භාවිතා කළ නත්තල් ගසක් 

ගිනි අනතුරු 

1882 නත්තල් සමයේ දී ජොන්සන් තමාගේම නව අදහසක් ඉදිරිපත් කිරිමට අදහස් කළා. සියවස් ගණනාවක් පුරා මිනිසුන් ඔවුන්ගේ නත්තල් ගස් ආලෝකමත් කිරීම සඳහා භාවිතා කළේ ඉටිපන්දම්. මේවා අලංකාර නත්තල් සැරසිලි වූ නමුත් පැහැදිලිවම විශාල ගිනි උවදුරක් ඇති කළ නිසා, සෑම වසරකම නත්තල් නිවාඩුව ළඟා වෙද්දී නත්තල් ගස් ගිනිබත් වීම්, නිවාස ගිනිබත් වීම් පිළිබඳ ඛේදනීය කථා පුවත්පත් මඟින් මුද්‍රණය කෙරුනා.

අතීතයේදි නත්තල් ගස තිබුනු අයුරු (Photo by: Flicker)

මෙයට ජොන්සන්ගේ විසඳුම වූයේ ඉටිපන්දම් වෙනුවට නත්තල් සැරසිලි සඳහා විදුලි බල්බ භාවිතා කිරීම යි. ඉටිපන්දම් වෙනුවට විදුලි පහන් ආදේශ කිරීමෙන් ජොන්සන් ගිනි ඇතිවීමේ අවදානම බෙහෙවින් අඩු කළා පමණක් නොව, නිවෙන දැල්වෙන රටා සහ විවිධ වර්ණයන් ද ආලෝකයට එක් කළා. නත්තල් සමයේ ජොන්සන්ගේ නිවසට ගිය ඩෙට්‍රොයිට් පෝස්ට් සහ ට්‍රිබියුන්හි වාර්තාකරුවෙකුට අනුව, “වොල්නට් තරම් විශාල” දීප්තිමත් රතු, සුදු, සහ නිල් පැහැ, රැහැන් සහිත බල්බ 80ක් නත්තල් ගස මත දල්වා තිබූ අතර, සිවිලිම මත සවි කර ඇති වයර් දෙකක් මඟින් අමතර විදුලි පහන් 28ක් පමණ සවිකර තිබුණා. මේ ගස සෙමෙන් භ්‍රමණය වන අන්දමට සකසා තිබුණා.

පළමුවෙන් නිපදවූ බල්බ වැලක් (Photo by:pinterest.com)

එඩිසන්ගේ ප්‍රධාන කාර්යාලයේ විදුලි උත්පාදකයකින් ලබාගත් විදුලි ධාරාවකින් විදුලි පහන් සහ ගස භ්‍රමණය වන මෝටරය ක්‍රියාත්ම වුණා. “එම නත්තල් ගසට වඩා අලංකාර යමක් ගැන කිසිවෙකුටත් සිතන්නටවත් බැහැ”යි මාධ්‍යවේදියා වාර්තා කොට තිබුණා.

ධවල මන්දිරය දක්වා

මෑන්හැටන්හි විසල් මන්දිර වෙත විදුලි බලය ව්‍යාප්ත වූ පසු, නගරයේ ප්‍රමුඛ පෙළේ ධනවතුන් ඔවුන්ගේ නත්තල් සාදවල දී ඔවුන්ගේ නත්තල් ගස් සැරසීම සඳහා නව විදුලි පහන් යොදාගත්තා. නමුත් එම පළමු බල්බවලට ඉස්කුරුප්පු ඇණ සොකට් නොතිබුණු නිසා එක් එක් ලාම්පුව තනි තනිව රැහැන්ගත කිරීම වෙහෙසකාරී ක්‍රියාවලියක් උනා. මෙම කාර්යය සඳහා දැනුම සහ කාලය අවශ්‍ය වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, උසස් සමාජයේ සාමාජිකයන් තම නත්තල් ගස් මත විදුලි පහන් සවි කිරීම සඳහා විදුලි කාර්මිකයන් බඳවා ගැනීමට ගසකට ඩොලර් 300ක් පමණ වියදම් කළ අතර බල්බයක් දැවී හෝ කැඩී ගියහොත් විදුලි කාර්මිකයා හට ඇමතුමක් ලබා ගත යුතු වුණා.

එකල පුවත්පත් දැන්වීමක් (Photo by: Flicker)

1894 දී ධවල මන්දිරයේ නත්තල් ගස පළමු වරට විදුලි එළියෙන් සැරසුනේ ජනාධිපති ග්‍රෝවර් ක්ලීව්ලන්ඩ්ගේ අනුදැනුම යටතේ යි. විදුලි බලය සීමිත වීම සහ නත්තල් විදුලි පහන් සඳහා වන පිරිවැය සහ වෙහෙස නිසා, ඉටිපන්දම් තවමත් නත්තල් ගස් ආලෝකමත් කිරීමේ මූලික මාධ්‍යය ලෙස පැවතුණා. එය වෙනස් වීමට පටන් ගත්තේ 20 වන සියවස ආරම්භයේ දී ජෙනරල් ඉලෙක්ට්‍රික් සමාගම නත්තල් විදුලි පහන් නිෂ්පාදනය හා විකිණීම ආරම්භ කළ විට යි. එහිදී විදුලි රැහැන් ඇදීම සඳහා විදුලි කාර්මිකයෙකුගේ සේවය අවශ්‍ය වූයේ නැහැ. එවකට ජනප්‍රිය සඟරාවල ද, සෙනසුරාදා සන්ධ්‍යා සඟරා සහ හාපර්ස් බසාර් වැනි වෙළඳ දැන්වීම්වල ද විදුලි පහන්වල ආරක්ෂිත වාසි පිළිබඳව අවධාරණය කළා.

එකල භාවිතා වූ නත්තල් විදුලි බල්බ (Photo by: Flicker)

1903 දී ජෙනරල් ඉලෙක්ට්‍රික් විසින් නත්තල් පහන් අටකින් යුතු සැරසිල්ලක් “ෆෙස්ටූන්” ලෙස නම් කිරීමට පටන් ගත් අතර එහි පෙර රැහැන් සහිත පෝසිලේන් සොකට්, කුඩා වීදුරු බල්බ, සහ ඉස්කුරුප්පු ඇණ ප්ලග් එකක් බිත්තියට හෝ සිවිලිමේ සැහැල්ලු සොකට්ටුවකට සවි කළ හැකි ලෙස නිපදවා තිබුණා. බොහෝ දෙනෙකුට ෆෙස්ටූන් කට්ටලයක් ඩොලර් 12කට මිලට ගැනීමට වත්කමක් නොවූ නිසා, සමහර නගරවල වෙළඳසැල් මඟින් විදුලි පහන් ඩොලර් 1.50කට කුලියට දීමට ඉදිරිපත් වුණා.

එකල එඩිසන් ඉලෙක්ට්‍රික් ලයිට් සමාගමේ පුවත්පත් දැන්වීමක් (Photo by: Youtube)

1940 දශකය වන විට ග්‍රාමීය ඇමරිකාවේ විදුලිය සාමාන්‍ය පහසුකමක් වූ විට, බොහෝ නත්තල් ගස්වල ඉටිපන්දම් වෙනුවට විදුලි පහන් ආදේශ කෙරුනා. ඒ සියල්ල ඇරඹීමේ ගෞරවය හිමි වන්නේ “විදුලි නත්තල් සැරසිලිවල පියා” ලෙස හැඳින්වූ ජොන්සන්ට යි.

මූලාශ්‍රයය: smithsonianmag.com

Cover: Swapnil Bhartiya

Related Articles