Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මෙරට ජල විදුලියේ පියා- ඩී. ජේ. විමලසුරේන්ද්‍ර

ලංකා ඉතිහාසයට එක්වුණු ඇතැමුන් ගැන අදටත් බොහෝදෙනෙකු කතා කරන්නේ ඔවුන් රට වෙනුවෙන් කළ සේවය නිසා යි. අප රටට විශාල සේවයක් කළ කීර්තිමත් පුද්ගලයන් අතරින් ඩී. ජේ. විමලසුරේන්ද්‍රට ප්‍රමුඛස්ථානයක් හිමිවනවා. සිය රැකියාව ලෙසින් ඉංජිනේරු වෘත්තියේ යෙදුණු මෙම ලාංකීය පුත්‍රයා ජල සම්පත උපයෝගී කරගනිමින් විදුලිය නිපදවීම සඳහා කළ සුවිසල් මෙහෙවර නිසා “ජල විදුලියේ පියා” ලෙසින් හඳුන්වනු ලබනවා. 

විමලසුරේන්ද්‍රගේ ළමා කාලය 

1874 වසරේ සැප්තැම්බර් මාසයේ 17 වැනිදා දොන් ජුවන් විමලසුරේන්ද්‍ර සහ දෝන ක්‍රිස්ටිනා ජයසිංහ යුවලට දාව පිරිමි දරුවෙකු උපත ලැබුවා. ඒ දරුවාට දේවපුර ජයසේන විමලසුරේන්ද්‍ර යන නම තැබුවා. කුඩා කාලයේ දී ගාල්ල ගල්වඩුගොඩ මුහන්දිරම්ගේවත්ත නම් ග්‍රාමයේ හැදී වැඩුණු මෙම දරුවාගේ පියා ඇත්දත් කැටයම් ශිල්පය සහ ස්වර්ණාභරණ නිෂ්පාදනය පිළිබඳව හසල දැනුමක් තිබුණු අයෙක්. දුම්රිය දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙකු ලෙසින් සේවය කළ ඔහු පසුව සිය දරු පවුලත් සමග කොළඹ මරදාන ප්‍රදේශයේ පදිංචියට ගියා. ඒ ඔහු දැන සිටි පාරම්පරික කලා ශිල්ප ක්‍රමවලින් ප්‍රයෝජනයක් ගන්නට අළුතින් වැඩපොළක් ආරම්භ කිරීම සඳහා යි.

1880 දශකයේ මුල් භාගයේ දී ආරම්භ කළ වැඩපොළ ක්‍රමයෙන් ජනප්‍රියත්වයට පත්වුණා. එම නිසා එවකට ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා ලෙසින් කටයුතු කළ ආතර් ගෝඩ්න් දිනක් වැඩපොළට පැමිණියා. ආණ්ඩුකාරවරයා ඔහුට නියෝග කළේ එවක රාජ්‍ය නිල ලාංඡනය සඳහා මුද්‍රාවක් තනන ලෙස යි. දොන් ජුවන් විමලසුරේන්ද්‍ර ශිල්පියා සිය පාරම්පරික දැනුම උපයෝගී කරගෙන දියමන්තියෙන් නිමකළ මුද්‍රාව දැක ආණ්ඩුකාරවරයා බෙහෙවින් ප්‍රසාදයට පත්වුණා. එම නිසා ඔහු ලන්ඩනයට ගිය අවස්ථාවක දී එය වික්ටෝරියා රැජිණට පෙන්වා තිබුණා.

මුද්‍රාව දැක මවිතයට පත්වුණු වික්ටෝරියා රැජිණ මෙම දක්ෂ කලා ශිල්පියාට එරටට පැමිණෙන ලෙස ආරාධනා කළා. ඉන් අනතුරුව ඔහුගේ දැනුම එරට ලෝහ සහ භාණ්ඩ නිර්මාණකරුවන්ට ලබාදීම සඳහා අවස්ථාව ලබාදුන්නා. එවැනි පරිසරයක හැදී වැඩුණු කුඩා විමලසුරේන්ද්‍ර දරුවාට පුළුල් තාක්ෂණික ඥානයක් ලැබීම අරුමයක් නොවෙයි. 

වර්තමානයේ මෙරට බෞද්ධ පාසල් අතර ප්‍රධානතම පාසලක් වන කොළඹ ආනන්ද විදුහල 1886 වසරේ දී ආරම්භ වුණා. දොන් ජුවන් විමලසුරේන්ද්‍ර සිය පුත්‍රයා ආනන්ද විදුහලට ඇතුළත් කරනු ලැබුවා.

වික්ටෝරියා රැජිණ (History.com)

අධ්‍යාපන කටයුතු සාර්ථකව නිමා කරයි 

කුඩාකල සිටම ඉගෙනීමට හපනෙකු වුණු විමලසුරේන්ද්‍ර සිසුවා ආනන්ද විදුහලේ දීත් හොඳින්ම අධ්‍යාපන කටයුතුවල නිරත වුණා. ගණිතය සහ විද්‍යාව යන විෂයයන් සඳහා නිපුණත්වයක් දැක්වූ මෙම සිසුවා එම විෂයයන් දෙක සඳහා විශිෂ්ට සම්මාන සහිතව කේම්බ්‍රිජ් සීනියර් විභාගය සමත් වුණා. එසේම ආනන්ද විදුහල මඟින් පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී පාසලේ දක්ෂතම සිසුවාට පිරිනැමෙන ත්‍යාගය හිමිකරගත්තේ ද විමලසුරේන්ද්‍ර සිසුවා යි. 

1893 වසරේ දී රජයේ කාර්මික විද්‍යාලයේ ඉංජිනේරු අංශයට ඇතුළත් වුණු විමලසුරේන්ද්‍ර සිසුවා සුපුරුදු පරිදි සිය අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන ගියා. උසස් අධ්‍යාපන කටයුතුවල නිරතවෙමින් සිටින අතරතුර මොහුට කොළොන්නාවේ පිහිටි රජයේ කර්මාන්ත ශාලාවේ ආධුනිකයෙකු ලෙස පුහුණුවීම් ලැබීමේ අවස්ථාව ලැබුණා. පුහුණු කාලය තුළ  සිය දැනුම හොඳින් වර්ධනය කරගත් විමලසුරේන්ද්‍ර සිසුවා 1896 වසර වන විට සිය උසස් අධ්‍යාපන කටයුතු නිමා කර තිබුණා. 

රාජ්‍ය සේවයට එක් වෙයි 

විමලසුරේන්ද්‍ර තරුණ ඉංජිනේරුවරයා 1896 වසරේ දී රජයේ ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවට බැඳුණා. එහි රාජකාරි කටයුතුවල නිරතව සිටින අතරතුර බ්‍රිතාන්‍ය සිවිල් ඉංජිනේරු ආයතනයේ අනියුක්ත සාමාජිකත්වය ද ලබාගත්තා. එකල රජයේ ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ සේවය කළ උදවියට මහාමාර්ග තැනීම සහ නඩත්තු කිරීම, පාලම් සහ රජයේ ගොඩනැගිලි ඉදිකිරීම හා නඩත්තු කිරීම, රජයට අයත් කර්මාන්ත ශාලා පරිපාලනය කිරීම වැනි රාජකාරි පැවරී තිබුණා. සාමාන්‍ය පරිදි මේ රාජකාරි කටයුතුවල නිරතවෙමින් සිටි තරුණ ඉංජිනේරුවරයාට 1901 වසරේ දී භාරදූර රාජකාරියක් පැවරුණා. එමඟින් සිය වෘත්තීය ජීවිතය වෙනස්ම මඟකට යොමුවනු ඇති බවට එදා ඔහු නොසිතන්නට ඇති. 

කැළණි මිටියාවතේ කළ පරීක්ෂණවලින් පහළ වුණු අදහස  

1901 වසරේ දී විමලසුරේන්ද්‍රට පැවරුණ වගකීම වුණේ කැළණි නිම්න ප‍්‍රදේශයේ ඛනිජ සම්පත් පිළිබඳ ගවේෂණයක් කිරීම සහ එහි තිබුණු වනාන්තර, ජලය වැනි මානව ප‍්‍රයෝජනයට ගත හැකි සම්පත් පිළිබඳව තක්සේරුවක් කිරීම යි. එම පර්යේෂණ කටයුතුවල නිරතවෙමින් සිටින අතරතුර ලක්ෂපාන, කිරිවන්එළිය, ඇබර්ඩීන් වැනි දියඇලි රැසක් විමලසුරේන්ද්‍රගේ නෙත ගැටුණා. එම දියඇලි අපූරුවට කඳුමුදුන්වල සිට පහළට ගලායන ආකාරය දෙස බලා සිටි විමලසුරේන්ද්‍ර ඉන් විදුලිය උත්පාදනය කළ හැකි බව වටහා ගත්තා. 

ඇබර්ඩීන් ඇල්ල (Attractions in Sri Lanka)

ජල විදුලිය උත්පාදනය කිරීමේ කටයුතු අරඹයි 

ලංකාවේ විදුලි උත්පාදනය ඇරඹී තිබුණ්‍රෙ 1895 වසර පමණ ඈතක දී යි. පෞද්ගලික සමාගමක් විසින් පිටකොටුව ප්‍රදේශයේ පිහිටුවා තිබුණු කුඩා තාප බලාගාරයක් මඟින් එකල කොළඹ නගරයට අවශ්‍ය විදුලි ආලෝකය සැපයීම සහ විදුලි ට්‍රෑම් රථ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විදුලි බලය සැපයීම සිදුවුණා. ඛනිජ තෙල් මඟින් ක්‍රියාත්මක වන විදුලි බලාගාරවලට වඩා ජලයෙන් ක්‍රියාත්මක වන විදුලි බලාගාරවලින් ආර්ථිකමය වශයෙන් ලාභයක් ලබාගත හැකි විමලසුරේන්ද්‍ර කල්පනා කළා. එසේම මධ්‍යම කඳුකරය ආශ්‍රිතව විශාල වශයෙන් ජල මූලාශ්‍රයයන් පවතින නිසා එමඟින් වැඩි විදුලි ඒකක ප්‍රමාණයක් නිපදවිය හැකි බව ඔහුට වැටහී ගියා.

එම නිසා 1912 වසරේ දී ඔහු බ්‍රිතාන්‍යයේ ෆැරඩේ ආයතනයට ගොස් ජලයෙන් විදුලිය නිපදවන ආකාරය පිළිබඳව වැඩිදුර ඉගෙනගත්තා. ඉන් අනතුරුව ඔහු ඒ පිළිබඳව ලංකා ඉංජිනේරු ආයතනයට ඉදිරිපත් කළා. නමුත් ලංකා ඉංජිනේරු ආයතනය විමලසුරේන්ද්‍රගේ යෝජනාව පිළිබඳව සලකා බැලුවේ නැහැ. ලංකා ඉංජිනේරු ආයතනය විමලසුරේන්ද්‍රගේ යෝජනාව පිළිබඳව සලකා නොබැලුවත් ඔහු ඉන් අධෛර්යයට පත්වුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහු ක්‍රමයෙන් සිය අදහස දියුණු කරමින් නුවරඑළිය ප්‍රදේශයේ බ්ලැක්පූල් නම් ස්ථානයේ කුඩා ජල විදුලි බලාගාරයක් ඉදිකළා. ඒ වන විට කුඩා දිය පහරවල් හරස් කර තේ වතු ආශ්‍රිතව කුඩා බලාගාර පිහිටුවා තිබුණත් මුල්ම වරට වාණිජ මට්ටමේ ජල විදුලි බලාගාරයක් ලෙසින් ඉදිවුණේ බ්ලැක්පූල් බලාගාරය යි.

ඩී.ජේ විමලසුරේන්ද්‍ර (Wikipedia)

දිගින් දිගටම සටනේ 

නැවතත් කැළණි නිම්නයේ පිහිටි ජල ප්‍රභවයන් පිළිබඳව අධ්‍යයනය කළ විමලසුරේන්ද්‍ර මස්කෙළි ඔය සහ කෙහෙල්ගමු ඔය හරහා ගලා එන ජලය විදුලි බලාගාරයක් හරහා යවා ජනනය කරගත හැකි විදුලියෙන් අවම වශයෙන් විදුලි පහන් ලක්ෂයක්වත් දැල්විය හැකි බව අනුමාන කළා. පසුකලෙක “ලක්ෂපාන” යන නම මෙරට ජන සමාජය තුළ භාවිතයට පැමිණියේ ලක්ෂ පහන යන වචනය නිසා යි. 1918 වසරේ දී විමලසුරේන්ද්‍ර ඉංජිනේරුවරයා ජල විදුලිය නිපදවීම පිළිබඳව වාර්තාවක් යළිත් ලංකා ජාතික ඉංජිනේරු ආයතනය වෙත ඉදිරිපත් කළා.

ඔහු එම වාර්තාවේ පෙන්වා තිබුණේ ලංකාවේ විශාලතම ජල ප්‍රභව ආශ්‍රිතව ජල විදුලි බලාගාර පිහිටුවිය හැකි ආකාරය පිළිබඳව යි. එසේම ඛනිජ තෙල් භාවිතා කළ විදුලිය නිපදවනවාට වඩා ජලයෙන් විදුලිය නිපදවීම මඟින් ලැබෙන ආර්ථික වාසිය ද ඔහු පෙන්වා දී තිබුණා. 

බලාපොරොත්තු ඉටුවන ලකුණු පහළ වෙයි  

විමලසුරේන්ද්‍ර විසින් ඉදිරිපත් කෙරුණු වාර්තාව දිගු කලක් තිස්සේ අධ්‍යයනය කළ ලංකා ඉංජිනේරු සංස්ථාව ඔහුගේ යෝජනාවට අනුමැතිය ලබාදුන්නා. ඒ අනුව 1924 වසරේ දී ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ වැඩ ආරම්භ වුණා. ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කෙරුණු එම කාර්යය සඳහා ඍජුවම සම්බන්ධ වීමේ අවස්ථාව විමලසුරේන්ද්‍ර ඉංජිනේරුවාට ලැබුණේ නැහැ. ඉන් කලකිරීමට පත්වුණු ඔහු බ්‍රිතාන්‍යයට ගොස් ජල විදුලිය නිපදවීම පිළිබඳව වැඩිදුරටත් අධ්‍යයනය කළා. 

එම කාල සමය තුළ දී මෙම ඉංජිනේරුවරයාගේ දක්ෂකම අවබෝධ කරගත් මෙරට බ්‍රිතාන්‍ය පාලකයන් ඔහුව යළි ලංකාවට ගෙන්වාගෙන ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු තනතුර භාරදුන්නා. ඔහු 1926 වසරේ දී එම තනතුරෙහි වැඩ භාරගැනීමෙන් පසුව විදුලිබල අංශය වෙනම ආයතනයක් බවට පත් කළා. ඒ අනුව 1927 වසරේ දී රජයේ විදුලිබල දෙපාර්තමේන්තුව පිහිටවනු ලැබුවා.

රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වෙයි 

1927 වසරේ දී විමලසුරේන්ද්‍රගේ සියළු බලාපොරොත්තු බිඳ දමමින් ලක්ෂපාන බලාගාරයේ වැඩ කටයුතු අතරමඟ නැවතුණා. ඒ, රජය සතුව එය ඉදිකිරීමට ප්‍රමාණවත් තරම් මුදල් නොමැතිවීම නිසා යි. 30 වසරකට වැඩි කාලයක් රාජ්‍ය සේවයේ නිරතව සිටි විමලසුරේන්ද්‍ර ඉංජිනේරුවරයා 1929 වසරේ දී විශ්‍රාම ගියා. නමුත් ඒ වන විටත් ඔහුගේ බලාපොරොත්තු ඉටුව තිබුණේ නැහැ. 

රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව විවේක සුවයෙන් සිටි විමලසුරේන්ද්‍ර ඉංජිනේරුවරයා 1931 රාජ්‍ය මන්ත්‍රණ සභාවේ රත්නපුර ආසනයේ මන්ත්‍රීවරයා ලෙස තේරී පත්වුණා. ඔහු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කටයුතු කළ කාල සීමාව තුළත් ලක්ෂපාන බලාගාරයේ වැඩ කටයුතු යළි ආරම්භ කිරීම සඳහා හඬක් නැගුවා. නමුත් ඔහු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිටි කාල සීමාව තුළ එම පැතුම ඉටුවුණේ නැහැ.

අවසානයේ දී සිහිනය සැබෑ වෙයි 

1936 වසරේ පැවති දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේ දී, රත්නපුර අසුන සඳහා ඉදිරිපත් වුණු මෙම කීර්තිමත් පුද්ගලයා ජයවීර කුරුප්පු හමුවේ ඡන්ද 7999කින් පරාජයට පත්වුණා. නමුත් එම මැතිවරණයෙන් ජයග්‍රහණය කර ඉදිකිරීම් සහ සන්නිවේදන කටයුතු ඇමතිවරයා වශයෙන් තේරී පත්වුණු ජෝන් කොතලාවල ලක්ෂපාන බලාගාරයේ වැඩ කටයුතු යළි ආරම්භ කළා. එලෙස 1938 වසරේ දී ආරම්භ වුණු ලක්ෂපාන බලාගාරයේ ඉදිකිරීම් කටයුතු දෙවන ලෝක යුද්ධය එළඹීමත් සමගම ඇණ හිටියා.

1948 වසරේ දී අප රටට නිදහස ලැබීමත් සමගම එහි ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ වුණා. ඒ අනුව ලක්ෂපාන විදුලි බලාගාරයේ පළමු අදියර 1950 වසරේ දෙසැම්බර් මාසයේ දී නිමාව දුටුවා. එදා ලක්ෂපාන බලාගාරයේ පළමු අදියර යටතේ මෙගාවොට් 25ක විදුලි බලයක් ජනනය කර 66V සම්ප්‍රේෂණ පද්ධතියක් හරහා ඊරියගම සහ කොළොන්නාව යන ප්‍රදේශවලට යවනු ලැබුවා. එදා ලක්ෂපාන බලාගාරයේ පළමු අදියර විවෘත කිරීම සඳහා විශේෂිත ආරාධිත අමුත්තෙකු ලෙස විමලසුරේන්ද්‍රයන් පැමිණියා. එදා එහි සිටි සියළුදෙනා අමතා ඔහු මෙම වදන් පෙළ පවසා සිටියා. 

“මා විසින් මීට කලකට පෙර මෙම ජල විදුලි බලාගාරය ඉදිකිරීම සඳහා යෝජනා කළත්  එහි ඉදිකිරීම් සඳහා මට සම්බන්ධ වන්නට ඉඩක් ලැබුණේ නැහැ. එහෙත් මගේ රටේ සහෝදර ජනයා විසින් එය ඉදි කොට හමාර කරන තෙක් ජීවත් වීමට මට වාසනාව ලැබුණා. මීට අඩසියවසකට පෙර මා දුටු සිහිනය මගේ ජීවිතයේ සැඳෑ කාලයේ මෙසේ සැබෑවනු දකින්නට ලැබීම ඉමහත් ප‍්‍රීතියක්. මා කෙදිනක හෝ මෙලොවින් නික්ම යන්නේ තෘප්තිමත් හා යුතුකම් ඉටුකළ මිනිසකු ලෙස යි”. 

ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ නාම පුවරුව (Wikimedia)

සිය රට වෙනුවෙන් විශාල සේවාවක් ඉටුකළ මෙම සුන්දර මිනිසා 1953 වසරේ අගෝස්තු 10 වැනිදා සදහටම දෙනෙත් පියාගත්තා. එදා ඔහු අප අතුරින් නික්ම ගියත් විමලසුරේන්ද්‍ර නාමය තවමත් අප අතර අමරණීයව පවතිනවා.

කවරයේ ඡායාරූපය- පැරණි ලක්ෂපාන බලාගාරයේ නෝටන් වේල්ල (Wikimedia) 

මූලාශ්‍රයයන්- ceylonica.org 

Related Articles