Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ත්‍රස්ත ඉලක්ක සුනු විසුනු කළ බලඝණ නායක- මොනාත් පෙරේරා

පාකිස්ථානයේ පිහිටි ත්‍රස්ත මර්මස්ථානවලට පහර දීමට ගිය ඉන්දියානු ප්‍රහාරක යානාවක් පසුගිය දිනක පාකිස්තානු හමුදා විසින් විනාශ කරනවා. නමුත්, එහි නියමුවා දිවි බේරා ගැනීමට සමත් වෙන අතර පසුව ඔහුව නැවත ඉන්දියාව වෙත භාරදීමට පාකිස්ථානය විසින් කටයුතු කරනවා.

මෙම සිදුවීමත් සමග ඉන්දියානුවන්ගේ ඉතා ඉහළ පිළිගැනීමක් නිදහස් වූ ගුවන් නියමු අභිනන්දන් වෙත ලැබෙනවා. ඔහු එරට ජාතික වීරයෙකු ලෙස සැලකීමට එරට ජනයා කටයුතු කරනවා.

මෙරට හතරවන ඊළාම් යුධ සමයේ ගුවන් හමුදාව විසින් බෙදුම්වාදී LTTE ත්‍රස්ත සංවිධානය වෙත ප්‍රබල ගුවන් ප්‍රහාර එල්ල කරනවා. එහි දී මෙම මෙහෙයුම්වලට දායකත්වය දැක්වූ ගුවන් හමුදාවේ දක්ෂ ගුවන් නියමුවෙකු ලෙස මොනාත් පෙරේරා නම් කළ හැකි යි. ත්‍රස්ත කඳවුරු විනාශ කිරීමේ ලා ඔහු දැක්වූ දක්ෂතාවය අති මහත්. පසුව පුහුණු සැසියක දී සිදු වූ හදීසි අනතුරකින් මේ දක්ෂ ප්‍රහාරකයා සදහට ම මෙලොව හැර යනවා.

ගාල්ල මහින්ද විද්‍යාලයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට

මොනාත් පෙරේරා (about Sri Lanka)

මොනාත් ඉරේෂ් පෙරේරා, 1982 වසරේ ඔක්තෝම්බර් 13 වැනි දා අවිස්සාවේල්ලේ දෙහිඕවිට හි උපත ලබනවා. ඩල්සි කුමාරි පෙරේරා සහ චන්ද්‍රසේන පෙරේරා මාපියන්ගේ එකම දරුවා ලෙස යි ඔහු උපත ලබන්නේ.  තම මූලික හා ද්විතික අධ්‍යාපනය ගාල්ල මහින්ද විද්‍යාලයෙන් නිම කරන ඔහු, පාසලේ ශිෂ්‍ය නායකයකු මෙන්ම බටහිර තූර්ය වාදන කණ්‌ඩායමේ සැරයන්වරයකු ලෙස කටයුතු කරනවා. 2002 වසරේ මහින්ද විද්‍යාලයේ නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස කටයුතු කරන්නේ මොනාත් පෙරේරා යි.

ඔහු ගුවන් හමුදා කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇතුළත් වෙන්නේ 2004 වසරේ අගෝස්තු 1 වන දා යි. ඒ ගුවන් හමුදා නිලධාරී අංක 45 පාඨමාලාවට සහභාගී වෙමින්.

තරුණ ගුවන් නියමුවරයෙකු වීමේ සිහිනය හිස දරාගෙන ගුවන් හමුදාවට ඇතුල් වූ මොනාත් පෙරේරා නියමු නිලධාරියෙකු (Pilot officer) ලෙස අධිකාරි ලබන්නේ 2005 වසරේ ජූලි 8 වන දා යි.  වසර දෙකක් තිස්සේ යුධ ක්‍රියාකාරකම් හා වෙනත් රාජකාරිවල නිර්භීතව යෙදීම හේතුවෙන් 2007 වසරේ ජනවාරි මාසයේ දී පියාසැරි නිලධාරියෙකු (Flying Officer) ලෙස ඔහු උසස් වීම් ලබනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදා ප්‍රහාරක ජෙට් බලඝණයට

මොනාත් පෙරේරා- දකුණු කෙළවරේ (APruCreation)

 

2007 වසරේ Karakorum-8 ( K-8) ප්‍රහාරක යානාවක් පදවමින් අංක 14 ප්‍රහාරක ජෙට් බලඝණයට ඇතුළු වෙන පියාසැරි නිලධාරී මොනාත් පෙරේරා, පසුව අංක 5 ප්‍රහාරක ජෙට් බලඝණය වෙත ඇතුළු වෙනවා. ඒ, ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මිල දී ගත් ශබ්දය පරයා ගමන් කළ හැකි ප්‍රථම ප්‍රහාරක ගුවන් යානා වර්ගය වන චීනයේ නිෂ්පාදිත F-7 ප්‍රහාරක යානාවක් පදවමිනුයි.

අංක 10 අධි ප්‍රහාරක ජෙට් බලඝණයේ කෆීර් ගුවන් නියමුවෙකු ලෙස 2007 ඔක්තෝම්බර් මස 12 දින ඒ වෙත එකතු වෙන මොනාත් පෙරේරා, ඉන්පසුව පදවන්නේ ඊශ්‍රායලයේ නිෂ්පාදිත කෆීර් ප්‍රහාරක ගුවන් යානයක්. එවකට බෙදුම්වාදී කොටි සංවිධානය සමග 4 වන ඊළාම් යුද්ධය ආරම්භ වී තිබූ අතර, මොනාත් පෙරේරා එහි දී වැදගත් කාර්යභාරයක් ඉටුකරනවා. යුධ සමය තුළ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සීමිත රටවල් ප්‍රමාණයක ගුවන් හමුදා පමණක් ක්‍රියාත්මක කරන රාත්‍රී ප්‍රහාරක මෙහෙයුම්වල ද නියැලෙනවා. ඒ ආකාරයට රාත්‍රියේ ත්‍රස්ත ඉලක්කවලට පහර දුන් ගුවන් නියමුවන් අතරින් මොනාත් පෙරේරාට විශේෂ ස්ථානයක් හිමිවෙනවා.

හතරවන ඊළාම් යුද්ධයේ ප්‍රධාන කාර්යභාරයක්

නිවසේ තැන්පත් කර ඇති මොනාත්ගේ දේහය (Sri Lanka Air Force)

යුධ සමයේ පුදුකුඩිඉරිප්පු මහ කැළය මැදින් වූ මාවතක්‌ දිගේ දැවැන්ත කාලතුවක්‌කුවක්‌ ත්‍රස්තයන් රැගෙන ගිය අතර, නියමුවන් රහිත ගුවන් යානයකින් ලැබුණු තොරතුරු අනුව කාලතුවක්කුවට ප්‍රහාර එල්ල කිරීම සඳහා කටුනායකින් කෆීර් යානා දෙකක් ගුවනට නැගෙනවා.

මුල් කෆීර් යානයෙන් එල්ල කළ ප්‍රහාරය තරමක් ව්‍යර්ථ වූ අතර, දෙවන කෆීර් යානයේ ගුවන් නියමුවා අඩි දහස් ගණනක් තම යානය නිර්භීත ලෙස ඉතාමත් පහතට පහත් කර එල්ල කරන ලද දැවැන්ත ප්‍රහාරයෙන් එම කාලතුවක්කුව සුනු විසුනු වෙනවා. මෙම දෙවන යානයේ ප්‍රහාරක නියමුවා ලෙස කටයුතු කරන්නේ මොනාත් පෙරේරා යි.

ඒ ඔහු විසින් සිය දක්ෂතාවය ප්‍රදර්ශනය කළ එක් අවස්ථාවක් පමණ යි. එම සමයේ ඔහු LTTE ත්‍රස්ත නායකයන්ගේ ප්‍රධාන මර්මස්ථාන කිහිපයකට ද සාර්ථක ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඔහුගේ ඉලක්කය සාමාන්‍යයෙන් නොවරදින බව එවකට LTTE නායකයන් ද දැන සිටි බව සඳහන්.

හතරවන ඊළාම් යුද්ධය අවසන් වන විට මොනාත් පෙරේරා ගුවනේ මෙහෙයුම් පැය 450ක් පමණ ගත කර තිබූ අතර, ගුවන් මෙහෙයුම් 75කට පමණ සහභාගී වී තිබුණා. දැක්වූ දක්ෂතා හේතුවෙන් 2010 වසරේ දී ඔහුව ඊළඟ නිලය වන පියාසර ලුතිනන් දක්වා උසස් කෙරෙනවා.

කෆීර් යානා දෙකක් එකිනෙක ගැටීම

මහින්ද විද්‍යාලයීය සිසුන් අවමංගල්‍ය පෙරහැරේ (Sri Lanka Air Force)

ගුවන් හමුදාවේ 60 වන සංවත්සරය වෙනුවෙන් කෆීර් හා මිග් යානා ගුවන් සංදර්ශන ඉදිරිපත් කිරීම සඳහා පුහුණුවීම් ආරම්භ කරන්නේ උත්සව දිනට දින කිහිපයකට ප්‍රථමව යි. 2011 වසරේ මාර්තු 1 වන දා උදෑසන 9.10ට පමණ කටුනායක ගුවන් තොටුපොළෙන් ගුවනට නගින කෆීර් යානා දෙකක් ගම්පහ යක්කල ප්‍රදේශයේ ඉහළ අහසේ දී එකිනෙක හා ගැටෙනවා. මේ හේතුවෙන් එමා යානා දෙකම බිමට කඩා වැටෙනවා.

ඉන් කෆීර් යානාවක් පදවන්නේ මොනාත් පෙරේරා යි. අනෙක් ගුවන් නියමුවා යානා ගැටීමත් සමග පැරෂුටයක ආධාරයෙන් බිමට පතිත වන නමුත්, මොනාත් පෙරේරාගේ සිරුර කඩා වැටුණු යානය අසල තිබී හමුවෙනවා. මේ යානා දෙක එක ළඟින් ගමන් කිරීමේ දී ගැටීම නිසා අනතුරට පත්ව ඇති බව මූලික පරීක්‍ෂණ මඟින් හෙළිවෙනවා.

ගුවන් හමුදාපතිවරයා දේහයට අවසන් ගෞරව දක්වමින් (Sri Lanka Air Force)

මොනාත් පෙරේරා සතුව තිබූ පැරෂුටය ක්‍රියාත්මක නොවීම හෝ ගුවනේ දී ඇති වූ අනතුර හේතුවෙන් ඔහුට දැඩි හානි සිදුවී තිබීම දිවිගලවා ගැනීමට නොහැකි වූ හේතු ලෙස සඳහන් වෙනවා.

මරණයෙන් පසුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මොනාත් පෙරේරාව බලඝණ නායක තනතුර දක්වා උසස් කරනු ලබනවා.

 

 

මූලාශ්‍රයයන්-

airforce.lk

dailymirror.lk

dinamina.lk

Related Articles