Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අමෙරිකා දේශපාලනයේ ඉහළට ම ගිය වහල් සේවකයෝ 5 දෙනෙක්

කටුකොහොලින් පිරි ජීවිත ගත කර සමාජයේ විවිධ ක්ෂේත්‍රයන්හි ඉහළට පැමිණි පුද්ගලයන් පිළිබඳ ඔබ අසා ඇති. සමාජ, ආර්ථික හෝ වෙනත් කිසිදු දුෂ්කරතාවක් සිය ජීවන ගමනට බාධාවක් කර ගැනීම වෙනුවට ඒවා ආශිර්වාදයක් කර ගත් ඔවුහු දේශපාලනය, වෛද්‍ය විද්‍යාව, ලේඛන කලාව වැනි විවිධ ක්ෂේත්‍රයන්හි පරතෙරට පැමිණ මානව වර්ගයාට විශාල සේවයක් ඉටු කළහ.

මීට සියවස් කිහිපයකට පෙර බොහෝ යුරෝපා රටවල විසූ ධනවතුන්, අප්‍රිකාව වැනි රටවල්වලින් ගෙන්වා ගත් පුද්ගලයන් වහල් සේවයේ යෙදවූ බව ප්‍රසිද්ධ කරුණකි. එම සේවකයන්ට කිසිදු වරප්‍රසාදයක් හිමි නොවූ අතර ඔවුන්ට සිය ජීවිත කාලය පුරාවට ම හෝ ඉන් වැඩි කාලයක් සිය හාම්පුතුන්ට බැල මෙහෙවර කරන්නට සිදු විය. වහල් සේවයේ යෙදුණු එවැනි පුද්ගලයන් ද සමාජයේ විවිධ ක්ෂේත්‍රයන්හි ඉදිරියට පැමිණි අවස්ථා බොහෝ තිබේ.

වහල් සේවයේ යෙදුණු පවුල්වල උපත ලබා, පසුකාලීන ව එක්සත් ජනපදයේ දේශපාලන ක්ෂේත්‍රයේ කැපී පෙනුණු පුද්ගලයන් කිහිප දෙනෙක් පිළිබඳව යි මෙම ලිපිය.

බ්ලැන්චේ බෲස් – www.wikipedia.org

1. බ්ලැන්චේ බෲස්

වහල් සේවිකාවක වූ කාන්තාවකගේ පුත්‍රයකු වූ බෲස් හැදී වැඩුණේ මිසිසිපි, මිසූරි සහ වර්ජිනියා වැනි ප්‍රාන්තවල පිහිටි වතු ආශ්‍රිත ප්‍රදේශවල ය. ඔහුගේ පියා හාම්පුතෙක් වූ බැවින් පුද්ගලික ගුරුවරයකු යටතේ අධ්‍යාපනය ලැබීමට බෲස්ට හැකි විය. කෙසේ වෙතත් එක්සත් ජනපදයේ සිවිල් යුද්ධය ආරම්භ වීමත් සමඟ වහල් බවින් නිදහස පතා කැන්සාස් වෙත පලා ගිය ඔහු එහි ගුරුවරයෙක් ලෙස සේවය කළේ ය. 1860 ගණන්වල අගභාගයේ දී මිසිසිපි වෙත ගිය ඔහු කළු ජාතිකයන් සඳහා වෙන් වූ මිසූරිහි පළමු පාසල විවෘත කළේ ය. ඉතා සුළු මුදලක් අතැති ව එහි පැමිණි ඔහු වසර කිහිපයක් ඇතුළත වැවිලිකරුවෙක් බවට පත්විය. බදු එකතු කරන්නෙක් සහ ප්‍රාන්ත අධ්‍යාපන අධිකාරී ලෙස කලක් කටයුතු කළ ඔහුගේ ක්‍රියාකලාපය ඔහු රිපබ්ලිකන් පක්ෂයේ නැඟී එන තරුවක් බවට පත් කළේ ය.

එක්සත් ජනපද සෙනෙට් සභාවට 1874 දී තේරී පත් වූ ඔහු එරට දෙවන කළු ජාතික සෙනෙට් සභිකයා සහ එම තනතුරේ වසර හයක ධුර කාලයක් සම්පූර්ණ කළ පළමු පුද්ගලයා බවට පත් විය. ඔහු සිය ධුර කාලය තුළ සිවිල් යුද්ධයට සම්බන්ධ වූ කළු ජාතිකයන්ගේ සුබසාධනය සඳහා විශාල වැඩ කොටසක් සිදු කළේ ය.   චීන සංක්‍රමණිකයන් සහ ස්වදේශික අමෙරිකානුවන් වෙනුවෙන් ද පාර්ලිමේන්තුව තුළ අදහස් දැක්වූ ඔහු 1879 වසරේ දිනක, සෙනෙට් සභාවේ මුලසුන දැරූ පළමු කළු ජාතිකයා බවට පත් විය. කලින් කලට දේශපාලන ක්ෂේත්‍රයේ විවිධ තනතුරු දැරූ ඔහු පසුකාලීන ව එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ලෙස ද කටයුතු කළේ ය.

2. රොබට් ස්මෝල්ස්

වහල් සේවකයෙක් වූ රොබට් එක්සත් ජනපදයේ කොන්ග්‍රස් සභිකයෙක් දක්වා පැමිණි ගමන ආරම්භ වූයේ නැවක් සොරා ගැනීමේ සිදුවීමක ප්‍රතිපලයක් වශයෙනි. 1862 වන විට ඔහු ‘Planter’ නම් නෞකාවක සුළු සේවකයෙක් ලෙස කටයුතු කළේ ය. එම වසරේ මැයි 19 දින අදාළ නෞකාවේ ප්‍රධාන තනතුරු දැරූ සුදු ජාතික කාර්ය මණ්ඩලය අදාළ ආයතනවලින් අවසර ගැනීමකින් තොරව නෞකාව නැංගුරම් ලා තිබූ අතර එම අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත් රොබට් තවත් වහල් සේවකයන් කිහිප දෙනෙක් සමඟ එක්ව නෞකාව පැහැර ගත්තේ ය.

පසුව එය හමුදා භට පිරිසකට භාර දුන් ඔහුට ඒ වෙනුවෙන් විශේෂ ත්‍යාගයක් ද ලැබිණි. එම මුදලින් ඔහු දකුණු කැරොලිනාවේ බියුෆෝර්ට් හි ඔහුගේ හාම්පුතාගේ නිවස මිල දී ගත්තේ ය.

 රොබට් ස්මෝල්ස් – www.history.com

1860 ගණන්වල අගභාගයේ දී මුල්වරට දේශපාලනයට පිවිසි ඔහු දකුණු කැරොලිනාවේ නැඟී එමින් තිබූ රිපබ්ලිකන් පක්ෂයේ වැඩ කටයුතුවලට සම්බන්ධ විය. ඊට ටික කලකට පසු ප්‍රාන්ත ව්‍යවස්ථාදායක නියෝජිතයෙක් ලෙස කටයුතු කළ ඔහුට 1875 දී එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ (කොන්ග්‍රසය) ආසනයක් දිනා ගැනීමට හැකි විය. කොන්ග්‍රස් සභිකයෙක් ලෙස ඔහු කළු ජාතිකයන්ගේ ඡන්ද අයිතිය තහවුරු කිරීම සඳහා කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළේ ය. කෙසේ වෙතත් ඔහුගේ බොහෝ සැලසුම් සුදු ජාතික බලවේගවල කඩාකප්පල්කාරී ක්‍රියා නිසා අසාර්ථක වූ බව කියැවේ. 1886 දී පැවති මැතිවරණයෙන් පරාජය වූ ඔහු ඉන් අනතුරුව දකුණු කැරොලිනා ප්‍රාන්තයේ රේගු නිලධාරියෙක් ලෙස කටයුතු කළේ ය.

 3. ජෝසප් රේනි

එක්සත් ජනපදයේ දකුණු කැරොලිනා හි උපත ලැබූ ජෝසප් 1860 අගභාගයේ දී වහල් සේවයෙන් නිදහස ලැබුවේ ඔහුගේ මව්පියන් සිය හාම්පුතාට මුදල් ගෙවා වහල් සේවයෙන් නිදහස් වීමත් සමඟ යි. ඉන් අනතුරු ව ඔහු කරණවෑමියෙක් ලෙස සේවය කර සැලකිය යුතු ආදායමක් උපයා ගත්තේ ය. 1861 දී නැවක කෝකියකු ලෙස සේවයට එක් වූ ජෝසප් ඒ ආසන්න කාලයේ දී බර්මියුඩාවට පලා ගොස් තිබේ. එහිදී ද ඔහු කරණවෑමියෙක් ලෙස සේවය කළේ ය. 1866 දී නැවතත් දකුණු කැරොලිනා බලා පැමිණි ඔහු ප්‍රාන්ත සෙනෙට් සභාවට තේරී පත් වූ අතර ඉන් ටික කලකට පසු එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට තේරී පත් විය. ඔහු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට තේරී පත් වූ පළමු කළු ජාතිකයා බව කියැවේ.

 3. ජෝසප් රේනි – www.history.com

වර්ණභේදවාදයට විරුද්ධ ව කොන්ග්‍රසය තුළ අදහස් දැක්වීමේ දී ඔහු මධ්‍යස්ථ මතධාරියෙක් ලෙස කටයුතු කළේ ය. අධ්‍යාපනයට අරමුදල් සැපයීම සඳහා විශේෂ බද්දක් පැනවීම සුදුසු බව ඔහු යෝජනා කළේ ය. වර්ණභේදවාදය සම්බන්ධයෙන් මධ්‍යස්ථ මතයක් දරුවත්, ඔහු, ‘කු ක්ලක්ස් ක්ලැන්’ සහ වෙනත් සුදු ආධිපත්‍යවාදී කණ්ඩායම්වලට එරෙහි ව හමුදාව යොදවන්නැයි ෆෙඩරල් රජයෙන් ඉල්ලා සිටියේ ය. ඒ නිසාම ඔහුට “ඔබේ දෙවියන් හමුවීමට සූදානම් වන්න” වැනි පණිවිඩ සමග ජීවිත තර්ජන පවා එල්ල විය. ඝාතන තර්ජන මධ්‍යයේ වුව ද, ඔහු කොංග්‍රසය තුළ වාර පහක් අඛණ්ඩ ව රැඳී සිටියේ ය.

4. ජෝන් ලින්ච්

අයර්ලන්ත ජාතික වැඩ පරීක්ෂකවරයකුගේ සහ වහල් සේවයේ යෙදුනු කාන්තාවකගේ පුතකු වන ජෝන්, මිසිසිපි ප්‍රාන්තයේ පිහිටි වතුයායක සේවය කළේ ය. සිවිල් යුද්ධයේ දී හමුදා භටයන්, ඔහු ඇතුළු පිරිසක් වහල් සේවයෙන් නිදහස් කළ අතර එතැන් පටන් ඔහු වේටර්වරයකු, සහ කෝකියකු ලෙස සේවය කළේ ය. ටික කලකට පසු ඡායාරූප චිත්‍රාගාරයක කළමනාකරු ලෙස සේවය කළ ඔහු රාත්‍රී කාලයෙන් වැඩි කොටසක් වෙන් කළේ නීතිය සහ ඉංග්‍රීසි ව්‍යාකරණ වැනි දේ පිළිබඳ ව ලියවී ඇති පොත් කියවීමට යි.

මේ කාලය තුළ දේශපාලන ක්ෂේත්‍රයට පැමිණි ඔහු 1869 දී මිසිසිපි ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට තේරී පත් විය. ඊට වසර තුනකට පසු,  1872 දී ඔහු කොංග්‍රසයේ අසුනක් දිනා ගත්තේ ය.

 ජෝන් ලින්ච් – Ullstein bild- Getty Images

ඔහු 1875 සිවිල් අයිතිවාසිකම් පනත් කෙටුම්පතට පක්ෂ ව අදහස් දැක්වූ අතර සුදු ආධිපත්‍යවාදී කණ්ඩායම්වලට දැඩි විවේචන එල්ල කළේ ඔවුන් සිය දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගත්තේ “උණ්ඩයේ බලයෙන් මිස ඡන්දයේ බලයෙන්” නොවන බව පවසමිනි. අඛණ්ඩව තෙවරක් කොංග්‍රසය නියෝජනය කළ ඔහු පසුව නීතිඥයෙක් සහ හමුදා මේජර්වරයෙක් ලෙස කටයුතු කළේ ය. ඔහු කළු ජාතික දේශපාලනඥයන්ගේ ජයග්‍රහණ ඉස්මතු කරන පොත් සහ ලිපි කිහිපයක් ද ලියා ඇත.

5. ජොෂියා වෝල්ස්

1993 තරම් මෑතක් වන තුරු, ෆ්ලොරිඩා ප්‍රාන්ත ව්‍යවස්ථාදායකය නියෝජනය කළ එකම කළු ජාතික කොන්ග්‍රස් සභිකයා වූයේ කලක් වහල් සේවකයෙක්ව සිටි වෝල්ස් ය. 1842 දී වර්ජිනියාවේ උපත ලැබූ ඔහු තරුණ කාලයේ වතුයායක සේවය කළේය. පසුව හමුදා භාරයට පත් වූ ඔහුට නිදහස ලැබුණි. ඉන් අනතුරුව ෆිලඩෙල්ෆියා හි අධ්‍යාපන ආයතනයකින් මූලික අධ්‍යාපනය ලැබූ වෝල්ස් හමුදාවට බැඳී ෆ්ලොරිඩාවේ සේවය කළේය. 1865 දී සේවයෙන් ඉවත් වූ පසු ඔහු වෙනත් ප්‍රාන්තයක ජීවත් විය. ගුරුවරයෙකු හා දැව වෙළෙන්දෙකු ලෙස සැලකිය යුතු ධනයක් උපයාගත් ඔහු වරක් ධනවත් සුදු ජාතිකයෙකුට අයත් වතු වගාවක් මිළ දී ගත්තේ ය.

5. ජොෂියා වෝල්ස් – www.wikimedia.commons.org

1870 දී, ඔහු එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සඳහා මන්ත්‍රීවරුන් තෝරාපත් කර ගැනීම සඳහා වූ මැතිවරණයක් සඳහා ඉදිරිපත් විය. එම මැතිවරණයේ ප්‍රචාරක රැස්වීමක් අතරතුර ඔහු වෙඩි ප්‍රහාරයකට පවා ලක් විය. එම මැතිවරණයෙන් ජය ලැබුවත් ඔහුගේ ප්‍රතිවාදියා මැදිහත් වී දූෂිත ආකාරයෙන් ඡන්ද ප්‍රතිපල වෙනස් කිරීම හේතුවෙන් වෝල්ස්ට ජයග්‍රහණය අහිමි විය. කෙසේ වෙතත්, වෙනත් මැතිවරණයකින් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට තේරී පත් වූ ඔහු අඛණ්ඩව වාර තුනක් එහි කටයුතු කළේ ය. මෙම කාලය තුළ ඔහු යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම් සහ කළු ජාතිකයන්ට අධ්‍යාපනය ලැබීම සඳහා සමාන ප්‍රවේශයක් ලබා දීම වැනි කරුණු පිළිබඳ විශාල කාර්යභාරයක් සිදු කළේ ය.

කවරයේ ඡායාරූපය- එක්සත් ජනපද දේශපාලන ක්ශේත්‍රයේ කැපී පෙනුන වහල් සේවකයන් ලෙස කටයුතු කළ පුද්ගලයන් කිහිප දෙනෙක් - www.history.com

මූලාශ්‍ර:

www.history.com/ Evan Andrews

www.washingtonpost.com

www.senate.gov

Related Articles