Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

1988 ඔලිම්පික් බිම වර්ණවත් කළ ඇමරිකානු යකඩ ගැහැණිය

1988 වසරේ දකුණු කොරියාවේ සියොල් නුවර දී පැවැත්වුණු ඔලිම්පික් තරගාවලියේ මලල ක්‍රීඩා තරග ඉතාමත් උණුසුම් මුහුණුවරකින් පැවැත්වුණා. එහි දී වැඩි පදක්කම් ප්‍රමාණයක් දිනාගැනීමට ඇමරිකාව සහ සෝවියට් රුසියාව අතර ප්‍රබල සටනක් පැවතුණා. අවසානයේ දී දෙපිලම මලල ක්‍රීඩා තරගවලින් පදක්කම් 26ක් දිනාගත්තත්, ඇමරිකානුවන්ට වැඩි රන් පදක්කම් ප්‍රමාණයක් හිමි වුණා. එලෙස ඇමරිකානුවන් දිනාගත් රන් පදක්කම් 13න් වැඩිම රන් පදක්කම් ප්‍රමාණයක් දිනාගත්තේ ඇමරිකානු කෙටි දුර ධාවන ශූරියක විසින්. නමින් ෆ්ලෝරන්ස් ග්‍රිෆිත් ජොයිනර් වුණු එම ධාවන ශූරිය, එදා තැබූ වාර්තා අදටත් නොබිඳී පවතින නිසා මෙම ලිපිය වෙන් වන්නේ ඇය සියොල් ඔලිම්පික් තරගාවලියේ දී දැක්වූ දස්කම් පිළිබඳව කතා කිරීමට යි.

මීටර් 100 ඉසව්වෙන් ඔලිම්පික් වාර්තාවක් සමගින් රන් පදක්කම දිනාගනියි 

1988 ඔලිම්පික් තරගාවලිය ආරම්භ වීමට මාස දෙකකට පමණ පෙර ෆ්ලෝරන්ස් ග්‍රිෆිත් ජොයිනර්, තත්පර 10.49ක කාලයක් වාර්තා කරමින් කාන්තා මීටර් 100 ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් පිහිටවනු ලැබුවා. එම නිසාම ඇය, සියොල් ඔලිම්පික් තරගාවලියේ කාන්තා මීටර් 100 රන් පදක්කම දිනාගැනීමට ඉදිරියෙන්ම සිටි ක්‍රීඩිකාව වුණා. එසේම එවර ඔලිම්පික් තරගාවලියට සහභාගි වුණු ග්‍රිෆිත් ජොයිනර්ගේ සිතේ තවත් බලාපොරොත්තුවක් තිබුණා. ඒ ඇගේම රටේ ක්‍රීඩිකාවක වුණු එව්ලින් ඇෂ්ෆෝඩ්ගේ මීටර් 100 කාන්තා ඔලිම්පික් තරග වාර්තාව අලුත් කිරීම යි.

මූලික වටයේ තරගවල දී ග්‍රිෆිත් ජොයිනර්ගෙන් නව ඔලිම්පික් වාර්තාවක් 

තරග 8කින් සමන්විත වුණු මූලික වටයේ 7 වැනි තරගය සඳහා ෆ්ලෝරන්ස් ග්‍රිෆිත් ජොයිනර් සහභාගි වුණා. එහි දී ඉතාමත්ම පහසුවෙන් එම තරගය ජයග්‍රහණය කළ ග්‍රිෆිත් ජොයිනර්, තත්පර 10.88ක කාලයක් වාර්තා කළා. එම අවදිය වන විට කාන්තා මීටර් 100 ඉසව්වේ ඔලිම්පික් වාර්තාව ලෙස සටහන් වුණේ එව්ලින් ඇෂ්ෆෝර්ඩ් වාර්තා කර තිබුණු තත්පර 10.97ක කාලය යි. ඒ අනුව පළමු වටයේ දී ම කාන්තා මීටර් 100 ඉසව්වේ ඔලිම්පික් වාර්තාව ග්‍රිෆිත් ජොයිනර්ගේ නම ඉදිරියේ ලියවුණා. 

පහසුවෙන්ම අවසන් තරගය සඳහා සුදුසුකම් ලබයි 

ඉන් අනතුරුව පැවැත්වුණු අර්ධ අවසන් පූර්ව වටයේ තෙවන තරගය සඳහා ග්‍රිෆිත් ජොයිනර් සහභාගි වුණා. එම තරගයේ දී මීටර් 100 කාන්තා ඉසව්වේ ඔලිම්පික් වාර්තාව නැවතත් අලුත් කළ ග්‍රිෆිත් ජොයිනර්, තත්පර 10.62කින් තරගය නිමා කළා. එම කඩයිමත් පහසුවෙන්ම තරණය කළ ග්‍රිෆිත් ජොයිනර්, අනතුරුව පැවැත්වුණු අවසන් පූර්ව තරගයත් තත්පර 10.70ක කාලයකින් නිම කරමින් පහසුවෙන්ම අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබුවා.

 ග්‍රිෆිත් ජොයිනර් මීටර් 100 අර්ධ අවසන් පූර්ව වටයේ දී (gettyimages)

ඇයගේම ඔලිම්පික් වාර්තාව අලුත් කරමින් රන් පදක්කම දිනාගනියි 

අවසන් තරගය ආරම්භ වන විටත් ග්‍රිෆිත් ජොයිනර් පහසුවෙන්ම රන් පදක්කම දිනාගන්නා බවට විචාරකයන් අනාවැකි පළ කර තිබුණා. ඔවුන්ගේ එම අනාවැකි නිවැරදි කරමින් ග්‍රිෆිත් ජොයිනර් රන් පදක්කම දිනාගත්තේ කිසිදු අභියෝගයකින් තොරව යි. එහි දී ඇය වාර්තා කළ කාලය සටහන් වුණේ තත්පර 10.54ක් ලෙස යි. ඒ අනුව ෆ්ලෝරන්ස් ග්‍රිෆිත් ජොයිනර් නම් සුපිරි කෙටි දුර ධාවන ශූරිය නව ඔලිම්පික් වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම දිනාගත්තා. එලෙස ග්‍රිෆිත් ජොයිනර් තැබූ වාර්තාව බිඳ දැමීමට බොහෝ දෙනෙකු උත්සාහ කළත්, කිසිවෙකුට එය අබිබවා යාමට හැකි වුණේ නැහැ.  

ග්‍රිෆිත් ජොයිනර් මීටර් 100 රන් පදක්කම දිනාගත් අවස්ථාව (gettyimages)

මීටර් 200 ඉසව්ව ලෝක වාර්තාවක් සමගින් ජයගනියි 

1988 සියොල් ඔලිම්පික් තරගාවලියේ මීටර් 200 කාන්තාව ඉසව්ව ආරම්භ වන විට එහි ලෝක වාර්තාව හිමිව තිබුණේ මරීටා කොච් නම් නැගෙනහිර ජර්මානු ක්‍රීඩිකාවට යි. ඇය 1979 වසරේ දී තත්පර 21.71ක කාලයකින් තරගය නිම කරමින් එම වාර්තාව පිහිටුවා තිබුණා. එසේම 1984 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් තරගාවලියේ දී තත්පර 21.81ක කාලයක් වාර්තා කර තිබුණු වැලරි හූක්ස් නම් ඇමරිකානු ක්‍රීඩිකාව එම ඉසව්වේ ඔලිම්පික් වාර්තාව පිහිටුවා තිබුණා. නමුත් 1988 වසර වන විට කාන්තා මීටර් 200 ඉසව්වෙන් සුපිරි දස්කම් පෙන්වා තිබුණු ග්‍රිෆිත් ජොයිනර්, මෙම වාර්තා අබිබවා යාමට ඉඩ ඇතැ යි ඇතැම් විචාරකයින් අනුමාන කළා.

ලෝක වාර්තාවක් පිහිටුවමින් අවසන් තරගයට සුදුසුකම් ලබයි 

මීටර් 200 ඉසව්වේ මූලික වටයේ 5 වැනි තරගය සඳහා සහභාගි වුණු ග්‍රිෆිත් ජොයිනර්, තත්පර 22.51ක කාලයක් වාර්තා කළේ පළමු ස්ථානයට පත් වෙමින්. ඇය විසින් වාර්තා කළ එම කාලය පළමු වටයේ තරගවල දී වාර්තා වුණු හොඳම කාලය බවටත් පත් වුණා. ඉන් අනතුරුව පැවැත්වුණු අර්ධ අවසන් පූර්ව වටය තත්පර 21.76ක කාලයකින් නිම කළ ග්‍රිෆිත් ජොයිනර් නව ඔලිම්පික් වාර්තාවක් පිහිටුවනු ලැබුවා. එලෙස ඉතාමත් විශ්වාසයෙන් තරග කළ මෙම සුපිරි ක්‍රීඩිකාව අවසන් පූර්ව වටයේ දී තත්පර 21.56ක කාලයක් වාර්තා කරමින් මරීටා කොච් සතුව තිබුණු මීටර් 200 ඉසව්වේ ලෝක වාර්තාව බිඳ දමනු ලැබුවා. 

ග්‍රිෆිත් ජොයිනර් මීටර් 200 අවසන් පූර්ව වටයේ දී (gettyimages)

මීටර් 200 රන් පදක්කම පහසුවෙන්ම දිනාගනියි 

අවසන් තරගය සඳහා එළඹෙන විට ග්‍රිෆිත් ජොයිනර්ට අභියෝග කළ හැකි වෙනත් ක්‍රීඩිකාවක් සිටියේ නැහැ. එම නිසාම ඇය කිසිදු අභියෝගයකින් තොරව අවසන් තරගය ජයග්‍රහණය කළේ තත්පර 21.34ක කාලයක් වාර්තා කරමින්. ඒ අනුව ෆ්ලෝරන්ස් ග්‍රිෆිත් ජොයිනර් නම් සුපිරි ක්‍රීඩිකාව ඇයගේම ලෝක වාර්තාව අලුත් කරමින් රන් පදක්කම දිනාගනු ලැබුවා. එසේම ග්‍රිෆිත් ජොයිනර් එදා තැබූ ලෝක වාර්තාව අද දක්වාම කිසිදු ක්‍රීඩිකාවකට බිඳ දැමීමට හැකි වී නැහැ.

ග්‍රිෆිත් ජොයිනර් මීටර් 200 රන් පදක්කම දිනාගත් අවස්ථාව (gettyimages)

සහාය දිවීමේ ඉසව්වලින් තවත් පදක්කම් දෙකක් 

ෆ්ලෝරන්ස් ග්‍රිෆිත් ජොයිනර් 4×100 සහ 4×400 යන ඉසව් දෙක සඳහාත් සහභාගි වුණා. එහි දී මීටර් 4×100 තරගයේ රන් පදක්කම ඇය නියෝජනය කළ ඇමරිකානු කණ්ඩායම සතු වුණා. නමුත් මීටර් 4×400 ඉසව්වේ රිදී පදක්කමින් සෑහීමකට පත් වීමට ඇයගේ කණ්ඩායමට සිදුවුණා.

මීටර් 4×100 සහාය දිවීමේ ඉසව්ව 

මෙම ඉසව්වේ ලෝක වාර්තාව හිමි වුණේ නැගෙනහිර ජර්මනි කණ්ඩායමට යි. 1985 වසරේ දී තත්පර 41.37ක කාලයකින් තරගය නිම කරමින් එම වාර්තාව පිහිටුවා තිබුණා. නමුත් ඒ වන විට සියොල් ඔලිම්පික් තරගාවලියේ කාන්තා මීටර් 100 ඉසව්ව නිමා වී තිබුණා. එහි දී රන් සහ රිදී පදක්කම් 2ම හිමිව තිබුණේ ඇමරිකානු ක්‍රීඩිකාවන් දෙදෙනෙකුට යි. එම නිසාම මෙම ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට වැඩි අවස්ථාවක් තිබුණේ ඇමරිකානු කණ්ඩායමට යි. එවැනි වටපිටාවක ආරම්භ වුණු මෙම ඉසව්වේ අවසන් තරගයේ දී දක්ෂ තරග රටාවක නිරත වුණු ඇමරිකානු ක්‍රීඩිකාවන් තත්පර 41.98ක කාලයක් වාර්තා කරමින් රන් පදක්කම දිනාගනු ලැබුවා. එහි දී ලෝක ශූර නැගෙනහිර ජර්මානු කණ්ඩායම දෙවන තැනට ඇඳ වැටීම සුවිශේෂී සිදුවීමක් වුණා.

4×100 කාන්තා රන් පදක්කම දිනාගත් ඇමරිකානු කණ්ඩායම (gettyimages)

මීටර් 4×400 සහාය දිවීමේ ඉසව්ව 

මීටර් 4×400 රන් පදක්කම දිනාගැනීම සඳහා ඇමරිකාව, සෝවියට් රුසියාව, සහ නැගෙනහිර ජර්මනිය අතර තුන්කොන් සටනක් පැවතුණා. මෙම ඉසව්ව යටතේ පැවැත්වුණු අවසන් පූර්ව තරගවල දී හොඳම කාලයක් වාර්තා කරමින් අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබුවේ ඇමරිකානු කණ්ඩායම යි. නමුත් අවසන් තරගයේ දී ඇමරිකානු කණ්ඩායමේ සිහින බොඳ කළ සෝවියට් රුසියානු ක්‍රීඩිකාවන් ලෝක වාර්තාවක් සමගින් රන් පදක්කම ලබාගන්නා විට ඇමරිකානු ක්‍රීඩිකාවන්ට රිදී පදක්කමෙන් සෑහීමකට පත් වීමට සිදුවුණා.

4×400 කාන්තා තරගයේ අවස්ථාවක් (gettyimages)

එලෙස සියොල් ඔලිම්පික් තරගාවලියේ දී විශිෂ්ට දස්කම් දැක්වූ මෙම ක්‍රීඩිකාව 1998 වසරේ දී සිය ජීවන ගමනින් සමුගත්තා. නමුත් ඇය ඔලිම්පික් ඉතිහාසය තුළ තැබූ සුපිරි වාර්තා නිසාම ෆ්ලෝරන්ස් ග්‍රිෆිත් ජොයිනර් නාමය සදා නොමැකී පවතිනු ඇති.

කවරයේ ඡායාරූපය- ෆ්ලෝරන්ස් ග්‍රිෆිත් ජොයිනර් දිනාගත් පදක්කම් සමග (gettyimages)

Related Articles