Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලයිබීරියාවේ ජනාධිපති ලෙස පත් වූ අප්‍රිකාවේ හොඳම පාපන්දු ක්‍රීඩකයා​​: ජෝර්ජ් වියා

වසර විස්සක් පමණ පාපන්දු ලෝකය තුළ කීර්තිමත් නමක් දිනා සිටි ක්‍රීඩකයකු වූ ජෝර්ජ් වියා 20 වන සියවසේ අප්‍රිකානු මහාද්වීපයෙන් බිහි වූ ශ්‍රේෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ලෙස ද සැලකෙනවා. කුඩාකල ලයිබීරියානු අගනුවර අසළ පැල්පතක ජීවත් වූ වියා පාපන්දු ලෝකය ජයගත්තේ යුරෝපයේ දී යි. පාපන්දු ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් පසු දේශපාලනයට පිවිසි ඔහු 2017 දී ලයිබීරියාවේ ජනාධිපති ලෙස දිවුරුම් දුන්නා.

පාපන්දු පිටියේ දී ඔහු ප්‍රහාරක ක්‍රීඩකයකු වූ අතර වේගවත් සහ ශක්තිමත් ක්‍රීඩකයකු ලෙස ප්‍රකටව සිටියා.

යුරෝපයේදී වීරයකු වූ වියා

ජෝර්ජ් වියා ඉපදී හැදී වැඩුණේ ලයිබීරියාවේ අගනුවර වන මොන්රෝවියාවේ ඉතාම අඩු පහසුකම් සහ විශාල ජන ඝනත්වයකින් යුක්ත වූ ක්ලාරා ටවුන් ප්‍රදේශයේ පැල්පත් නිවසක යි. 1966 ඔක්තෝබර් 1 වන දා උපන් ඔහු කුඩා කාලයේ සිටම පාපන්දු ක්‍රීඩාවට යොමු වුණා. ලයිබීරියාවේ ක්‍රීඩා සමාජ කිහිපයක් නියෝජනය කළ වියා 1987 දී කැමරූන් හි ටොනෙරේ යවුන්ඩේ ක්‍රීඩා සමාජය වෙනුවෙන් තරග වැදුණා. ඔහු පිළිබඳව යුරෝපයට ආරංචි වූයේ මේ අතරවාරයේ යි.

එවකට මොනැකෝ ක්‍රීඩා සමාජයේ කලමණාකරු වූ ආර්සන් වෙන්ජර් විසින් 1988 දී ජෝර්ජ් වියා එම ක්‍රීඩා සමාජය සඳහා බඳවා ගත්තා. ඊළඟ වසරේ දී වියා අප්‍රිකාවේ හොඳම පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය ද දිනා ගත්තා.

1992 සිට වියා පැරිස් සෙන්ට් ජර්මෙන් ක්‍රීඩා සමාජය නියෝජනය කළ අතර 1995 සිට 2000 දක්වා ඔහු ක්‍රීඩා කළේ ඉතාලියේ AC මිලාන් වෙනුවෙන්. වියා පාපන්දු ලෝකයේ ඉතාම ඉහළ තලයකට පැමිණියේ AC මිලාන් නියෝජනය කළ සමයේ දී යි.

ජෝර්ජ් වියා මිලාන් පිළ නියෝජනය කරමින් (goal.com)

1995 දී ජෝර්ජ් වියා බැලන් ඩ්’ඕර් සම්මානය සහ “FIFA ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයා” සම්මානය දිනා ගැනීමට සමත් වුණා. වර්තමානය වන තුරු වෙනත් කිසිදු අප්‍රිකානුවකු මෙම සම්මාන දෙකෙන් එකක් හෝ දිනාගැනීමට සමත් වී නැහැ.

2000 දී වියා කෙටි කලක් එංගලන්තයේ චෙල්සි සහ මැන්චෙස්ටර් සිටි ක්‍රීඩා සමාජයන් නියෝජනය කළ අතර පසුව නැවත ප්‍රංශයේ මාර්සේයි ක්‍රීඩා සමාජය නියෝජනය කළා. 2003 දී වියා පාපන්දු ක්‍රීඩාවෙන් විශාම ගත්තේ අබුඩාබි හි අල් ජසිරා ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කිරීමෙන් අනතුරුව යි.

ලයිබීරියා පාපන්දු ක්‍රීඩාවේ තනි තරුව

අති දක්ෂයකු වුව ද වියාට පාපන්දු ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ වරම් හිමි වූයේ නැහැ. ඊට හේතුව වූයේ ලයිබීරියාව ඒ සඳහා සුදුසුකම් ලැබීමට අපොහොසත් වීම යි.

1989 සිට 2003 දක්වා කාලයෙන් බොහෝ කාලයක් ලයිබීරියාව සිවිල් යුද්ධ දෙකකින් පීඩා වින්ඳා. මෙය ජෝර්ජ් වියා යුරෝපයේ සහ අබුඩාබි හි පාපන්දු ක්‍රීඩා සමාජ නියෝජනය කළ කාලයට ආසන්න වශයෙන් සමාන වනවා. මෙකල ලයිබීරියාවේ ආර්ථික තත්ත්වය ද ඉතා අයහපත් වුණා. මුදල් නොමැතිකම සහ දේශපාලන අස්ථාවරභාවය ලයිබීරියා ජාතික පාපන්දු ක්‍රීඩාව දියුණු කිරීමට එක් බාධකයක් වූ බව කිව හැකියි.

ජෝර්ජ් වියා තම ධනය ලයිබීරියානු පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් යෙදවූ අතර ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලිවල දී කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාමට උත්සාහ කළා. 1990 සහ 2002 වසරවල ඔවුන් සුදුසුකම් ලැබීම ආසන්නයට පැමිණි නමුත් එම උත්සාහයන් අසාර්ථක වුණා.

සිය පාපන්දු දිවිය තුළ ජෝර්ජ් වියා ලයිබීරියාව වෙනුවෙන් තරග 60ක දී ගෝල 22ක් වාර්තා කරගෙන තිබෙනවා.

දේශපාලනයට පිවිසීම​

පාපන්දු ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් පසු ජෝර්ජ් වියා දේශපාලනයට පිවිසියා. 2003 අගෝස්තුවේ දී හිටපු ජනාධිපති චාර්ල්ස් ටේලර් බලයෙන් පහ කරන ලද අතර නව ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීම සිදු වූයේ 2005 දී යි. මෙකල දේශපාලනය සඳහා නව මුහුණු සොයන කාලයක් වූ අතර ජෝර්ජ් වියා ඒ සඳහා සුදුසුම අයකු වුණා.

ජෝර්ජ් වියා ජනාධිපති ධුරයේ දිවුරුම් දීම (EFE)

ජෝර්ජ් වියා 2005 දී ප්‍රජාතන්ත්‍රවාදී වෙනසක් සඳහා වන කොන්ග්‍රසය (Congress for Democratic Change) පිහිටුවා ගත්තා. එම වසරේ ඔක්තෝබරයේ දී පවත්වන ලද ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජෝර්ජ් වියා ජයගත් නමුත් දෙවන වටයේ දී එලන් ජොන්සන් සර්ලීෆ් ජනාධිපතිවරණය ජයගත්තා. මේ අනුව මහජන ඡන්දයෙන් පත් වූ පළමු අප්‍රිකානු රාජ්‍ය නායිකාව බවට සර්ලීෆ් ඉතිහාසගත වුණා.

2011 දී ජෝර්ජ් වියා ජනාධිපතිවරණයට සම්බන්ධ වූයේ වින්ස්ටන් ටුබ්මන්ගේ උප ජනාධිපති අපේක්ෂක සගයා ලෙසයි. එම ජනාධිපතිවරණයේදී පළමු වටයේ ඉදිරියෙන් සිටියේ සර්ලීෆ්. දෙවන ස්ථානයට ටුබ්මන් පැමිණියා. නමුත් සර්ලීෆ්ගේ රජය මැතිවරණ දූෂණයන් හි නිරත වූ බව සඳහන් කරමින් ටුබ්මන් ජනාධිපතිවරණයේ දෙවන වටය වර්ජනය කරන ලෙස ඡන්දදායකයින්ගෙන් ඉල්ලා සිටියා. මේ අනුව සර්ලීෆ් යළි ජනාධිපති ලෙස පත් වුණා.

ජනාධිපති බවට පත්වීම​

ජෝර්ජ් වියා 2014 දී ලයිබීරියාවේ සෙනට් මන්ත්‍රී මණ්ඩලයට තේරී පත් වූ අතර 2017 ජනාධිපතිවරණයට තරග කරන බවට ඔහු නිවේදනය කළා. ජනාධිපතිවරණය පවත්වන ලද්දේ 2017 ඔක්තෝබර් මාසයේ දී යි. මෙහිදී ජෝර්ජ් වියාගේ සටන් පාඨය වූයේ “It’s time for change” (මේ වෙනසකට කාලය යි) යන්න යි. ජනාධිපති එලන් ජොන්සන් සර්ලීෆ් ලයිබීරියාවේ දූෂණය සහ දරිද්‍රතාව පිටු දැකීමට කටයුතු නොකළ බව ජෝර්ජ් වියා චෝදනා කළා.

සර්ලීෆ්ගේ උප ජනාධිපති වූ ජෝසප් බොආකායි ජනාධිපතිවරණයේදී වියාගේ ප්‍රධාන ප්‍රතිවාදියා වුණා. පළමු වටයේ දී සියයට 38ක් ඡන්ද ලබාගත් ජෝර්ජ් වියා දෙවන වටයේ දී සියයට 61.5ක් ඡන්ද ලබාගත්තා. මේ අනුව 2018 වසරේ ජනවාරියේදී ජෝර්ජ් වියා ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නා.

ටිම් වියා (USA Today)

ටිම් වියා

ජෝර්ජ් වියාගේ එක් පුත්‍රයකු වන්නේ 18 හැවිරිදි තිමති වියා හෙවත් ටිම් වියා යි. ටිම් වියා 2000 දී උපන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ දී යි. එහෙයින් ඔහුට ඇමරිකා එක්සත් ජනපදය වෙනුවෙන් පාපන්දු ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලැබුණා. ටිම් වියා 2018 මාර්තු මාසයේ දී ජාතික කණ්ඩායම වෙනුවෙන් පළමු තරගයට ක්‍රීඩා කළා. මේ අතර ඔහු තම පියා කලක් නියෝජනය කළ පැරිස් සෙන්ට් ජර්මෙන් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරනවා.

ජෝර්ජ් වියාගේ වැඩිමහළු පුත්‍රයා වන කනිටු ජෝර්ජ් වියා ද පැරිස් සෙන්ට් ජර්මෙන් පිල වෙනුවෙන් පාපන්දු ක්‍රීඩා කළා.

Cover Image: ජෝර්ජ් වියා (These Football Times)

මූලාශ්‍රයයන්:

Related Articles