සිංහල සිනමාවේ වම් ඉවුර; පතී

සිනමාව ඇතුළු ලෝකයේ හැම කලා මාධ්‍යයක් ම සංවිධානය වෙන්නෙ ඒ යුගයේ පවතින අධිපති දෘෂ්ටිවාදයට අනුව යි. තවත් ආකාරයකින් කිව්වොත්, අදාළ යුගයේ අධිපති මතවාදය විසින් මෙහෙයවන, ඒ අධිපති මතවාදයේ පිළිබිඹුවක් විදියට යි. එහෙම නිර්මාණය වෙන කලා කෘතීන් තමයි ඒ යුගයේ කලාව විදියට අරුත් ගැන්වෙන්නේ. ඒක කොහෙත් ම අහම්බයක් නෙවෙයි. ලංකාවේ සිනමා ඉතිහාසය දිහා ආපස්සට හැරිලා බැලුවොත්, මේ කාරණය තහවුරු කරගැනීම එච්චර අපහසු නැහැ. උදාහරණයක් විදියට, 1950 දශකයේ සිංහල සිනමාව ඇතුළේ ‘ජාතිකත්වය’ ඉස්මතු වීම ඒ යුගයේ ලංකාවේ දේශපාලනය ඇතුළෙ අධිපති මතවාදය විදියට ඉස්මතුවෙලා තිබුණු ජාතිකවාදී චින්තනයට අනුව සිනමාව සංවිධානය වීමේ ප්‍රතිඵලයක් විදියට යි අපට තේරුම් ගන්න වෙන්නෙ. 60 දශකයට එද්දි ඒ වෙනුවට ඉස්මතු වෙන්නේ පවුල, පරම්පරාව, ආර්ථිකය වගේ කාරණා. ‘ගම්පෙරළිය’, ‘රන්සළු’ වගේ චිත්‍රපටවලට තමයි ඒ ප්‍රවණතාව ඇතුළේ භාෂාවේ බලය ඉහළින් ම ලැබෙන්නේ. මෑත කාලීන ව වඩාත් ජනප්‍රිය වුණු (රාජ්‍ය අනුග්‍රහය පවා ලැබුණු) යුද්ධ කතා, රජකතා, සහ ජාතක කතා සිනමාවට නැඟීම හරහා සිද්ධ වුණෙත් ඒ දේ ම තමයි. අධිපති මතවාදය උත්කර්ෂයට නැංවීම.

සිනමාවට පිවිසීම

70 දශකය ඇතුළේ නිර්මාණය වුණු වාමාංශික නැඹුරුවක් සහ යථාර්ථවාදී දැක්මක් සහිත චිත්‍රපට ගැනත් අපට අදහසක් ගන්න වෙන්නෙ මෙතනින් ම තමයි. ‘හන්තානේ කතාව’, ‘නිම්වළල්ල’ වගේ චිත්‍රපට මේ ප්‍රවණතාවේ ආරම්භක නිර්මාණ විදියට හැඳින්වීමේ වරදක් නැහැ. ධර්මසේන පතිරාජ කියන අතිශය දේශපාලනික සිනමාකරුවා කරළියට එන්නෙත් ඔය වගේ පසුතලයක. පවතින යුගයට ඉදිරියෙන් තමන්ගෙ සිනමා දෘෂ්ටිය මෙහෙයවපු දුර්ලභ කලාකරුවෙක් හැටියට මේ ‘වම් ඉවුරේ සිනමාකරුවා’ හැඳින්වීම අතිශයෝක්තියක් නෙමෙයි.

ධර්මසේන පතිරාජ (www.nfc.gov.lk)

පාසල් සමයේ ඉඳලම වාමාංශික දේශපාලනයත් එක්ක ධර්මසේන පතිරාජට තියෙන්නේ ළඟ හිතවත්කමක්. සිනමාවට එන්න කළින් කවිය, කෙටිකතාව, සහ වේදිකා නාට්‍ය වගේ කලාමාධ්‍යයන් එක්ක ගනුදෙනු කරන ඔහු, තමන්ගේ සිනමා භාවිතාව සකස් කරගන්නේ ඉතාලි නව යථාර්ථවාදය, ප්‍රංශ නවරැල්ල, ජර්මානු ප්‍රකාශනවාදය වගේ සිනමා ප්‍රවණතා ගැනත්, ඒ සිනමා ප්‍රවණතා හරහා ලෝක සිනමාවේ සිද්ධවුණු වෙනස්කම්, පරිවර්තන ගැනත් සවිඥානික ව යි.  ඒ වෙනකොට අපේ රටේ ක්‍රියාත්මක වුණු සිනමා සංගම්, විචාරක, ලේඛක සංගම් එහෙමත් ඒ වෙනුවෙන් ලොකු සහයෝගයක් දෙනවා. මුලින්ම එයා අතින් නිර්මාණය වෙන්නේ ‘සතුරෝ’ කෙටි චිත්‍රපටය.

නිර්මාණ සහ මංසලකුණු

ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කරන සිනමා නිර්මාණ අතරින් 71 කැරැල්ලේ පශ්චාත් අවධියයේ ඔහු නිර්මාණය කරන ‘අහස් ගව්ව’ (1974) චිත්‍රපටයට හිමිවෙන්නේ සුවිශේෂී ස්ථානයක්. ඒ හරහා කතාබහ කෙරෙන්නේ ආර්ථික සහ සමාජීය කරුණුවල බලපෑමෙන් අර්බුදයට ලක්වෙන ලාංකේය තාරුණ්‍යය ගැන. රැකියා විරහිත, පරාරෝපිත තාරුණ්‍යය ඒ තරම් යථාර්ථවාදී දැක්මක් එක්ක සිනමාව ඇතුළට අරගෙන ආව අධ්‍යක්ෂකවරයෙකු ඊට කලින් සිංහල සිනමාව ඇතුළෙ අපට මුණගැහුණේ නැති තරම්. ‘අහස් ගව්ව’ සිංහල සිනමාවේ හැරවුම් ලක්ෂ්‍යයක් විදියටත් හැඳින්වෙන්නේ ඒ නිසා ම යි.

ඊට පස්සේ වඩාත් ම කතාබහට ලක්වෙන චිත්‍රපටය ‘බඹරු ඇවිත්’ (1978). පාරම්පරික වෙළඳ ප්‍රජාව අභිබවමින් නැඟෙන නව යටත්විජිතවාදී නාගරික වෙළඳ පන්තිය ගැනත්, ඒ හරහා සිද්ධවෙන ආර්ථික, සමාජීය, සහ ලිංගික සූරාකෑම් ගැනත් අවධානය යොමුකරපු ‘බඹරු ඇවිත්’ සිංහල සිනමාව ඇතුළේ ධර්මසේන පතිරාජ කලාපය හොඳින් ම සලකුණු කරපු චිත්‍රපටයක් විදියට හැඳින්වුවත් වරදක් නැහැ.

බඹරු ඇවිත් (www.nfc.gov.lk)

1980 තිරගත වුණු ‘පාරදිගේ’ චිත්‍රපටයත් ධර්මසේන පතිරාජ අතින් නිර්මාණය වුණු තවත් සුවිශේෂී චිත්‍රපටයක්. ගමෙන් නගරයට සංක්‍රමණය වුණු, ගමටවත් නගරයටවත් අයිති නැති, අක්මුල් සිඳුණු තාරුණ්‍යය ගැන යි ඒ හරහා කතාබහ කෙරෙන්නේ.

‘සොල්දාදු උන්නැහෙ’ (1981), ‘මතුයම් දවස’ (2001) වගේ චිත්‍රපටත් ඒ යථාර්ථවාදී සහ දේශපාලනික සිනමා භාවිතාව ගැන හෙළිදරව් වෙන චිත්‍රපට විදියට හඳුන්වන්න පුළුවනි. විශේෂයෙන් ම ‘සොල්දාදු උන්නැහෙ’ චිත්‍රපටය හරහා එයා කරන්නෙ අතිශයින් ම ගැඹුරු, සංකීර්ණ දේශපාලන විවරණයක්. නිදහස කියන්නෙ ආයුධ සහ බලය අයිති පාර්ශවයේ තනි උරුමයක් විතරක් බවත්, පරමාධිපත්‍යය කියන්නෙ එයාලගේ ම තවත් එක වරප්‍රසාදයක් මිස පොදුජනතාවට අයිති දෙයක් නොවන බවත් එතනදි පතිරාජ අපට කියනවා. ආකෘතියෙන් වගේ ම සිනමා ආඛ්‍යාන රටාව පැත්තෙන් ගත්තත් ‘සොල්දාදු උන්නැහෙ’ සිංහල සිනමාව ඇතුළෙ සිද්ධවුණු සුවිශේෂී ම අත්හදාබැලීමක් බව යි සිනමා විචාරකයන්ගේ අදහස.

1977 තිරගත වුණු ‘එයා දැන් ලොකු ළමයෙක්’ චිත්‍රපටය ධර්මසේන පතිරාජ අතින් නිර්මාණය වුණු, විචාරක අවධානය, සහ ප්‍රේක්ෂක ආකර්ෂණය දැඩි ව දිනාගත්ත කෘතියක්. ඒ වගේ ම යාපනය විශ්වවිද්‍යාලයේ වෘත්තීය ජීවිතය අතරතුර දෙමළ ජන ජීවිතය ගැන ලැබුණු අත්දැකීම් හරහා නිර්මාණය වෙන ‘පොන්මනී’ (1977) දෙමළ චිත්‍රපටයත් අමතක කරන්න බැහැ.

සිනමා භාවිතාවේ ලක්ෂණ

ජර්මන් නාට්‍යවේදී බර්ටෝල්ඩ් බ්‍රෙච්ට් තමන්ගෙ නිර්මාණ හරහා ගොඩනංවපු ‘දුරස්ථීකරණය’; එහෙමත් නැත්නම් ‘තදාත්ම විඝටනය’ කියන රංග රීතිය සිංහල සිනමාව ඇතුළෙ බහුලව ම යොදාගත්ත අධ්‍යක්ෂකවරයෙක් විදියට ධර්මසේන පතිරාජ සැලකෙනවා. චරිත එක්ක තදාත්මයෙන් බැඳීම නිසා ප්‍රේක්ෂකයාට යථාර්ථය මඟහැරෙන බව තමයි එයා දිගින් දිගටම විශ්වාස කළේ. මේ කාරණය සම්බන්ධයෙන් එක උදාහරණයක් තමයි ‘සොල්දාදු උන්නැහෙ’ චිත්‍රපටය. ප්‍රේක්ෂකයාට හුරුපුරුදු ලස්සන නළු නිළියො, සුන්දර පසුතල, සහ ආදර කතා වෙනුවට ඒ චිත්‍රපටය ඇතුළෙ අපට මුණගැහෙන්නෙ ඊට හාත්පසින් ම වෙනස් චරිත සහ සිදුවීම්.

සොල්දාදු උන්නැහෙ (www.suravi.fr)

ධර්මසේන පතිරාජ සිනමා භාවිතාව ඇතුළෙ ලොකු ඉඩක් වෙන්වුණේ පීඩිත පන්තියේ ජීවිත වෙනුවෙන්. තාරුණ්‍යය අවතැන් වීම සහ අවභාවිත වීම ගැනත්, විරැකියාව ගැනත් මනුෂ්‍යත්වයට බර දෘෂ්ටිකෝණයකින් කතා කරන්න ඒ නිර්මාණ නිතරම පෙළඹෙනවා. තමන්ගෙ චරිතවලට නිශ්චිත අවසානයක් නොදී චිත්‍රපටය අවසන් කරන ඔහු, ගොඩක් වෙලාවට කරන්නෙ එතනින් එපිට අවසානයක් ගැන ඉඟි සැපයීම. ‘අහස්ගව්ව’ චිත්‍රපටයේ අවසානය මේ කාරණය සනාථ කරන්න පුළුවන් හොඳ උදාහරණයක්.

වම් ඉවුරේ සිනමාකරුවෙක් විදියට හැඳින්වුණත් ධර්මසේන පතිරාජ තමන්ගෙ සිනමාව හරහා සමහර තැන්වල සම්ප්‍රදායික වාම දේශපාලනය පවා ප්‍රතික්ෂේප කරනවා. ‘බඹරු ඇවිත්’ චිත්‍රපටයේ වාමාංශික දේශපාලනය ගැන සංකේතයක් වුණු වීරසේනගෙ චරිතය හරහා මේ කාරණය හොඳින් ම පැහැදිලි කරගන්න පුළුවන්. චිත්‍රපටය අවසානයේ කොන්ක්‍රීට් බැම්මක් උඩ හුදෙකලා වෙන වාමාංශික ව්‍යාපාරයකින්වත්, තමන්ගෙ මිත්‍රයා නියෝජනය කරන ධනපති පන්තියට අවශ්‍ය විදියට, ඒ අයගේ සීමාව ඇතුළෙ විතරක් වැඩකරන වාමාංශික දේශපාලනයකින්වත් මිනිස්සුන්ගේ ඇත්ත ප්‍රශ්නවලට උත්තර හොයන්න බැරි බව තමයි ධර්මසේන පතිරාජ අපට කියන්නෙ. හැබැයි, ඒ විරෝධය ගොනුවෙන්නේ වාමාංශික දේශපාලනය ලංකාව ඇතුළෙ තියෙන තැනට එරෙහිව මිසක් ඇත්ත සමාජවාදී අදහස්වලට එරෙහිව නෙමෙයි.

සිනමාවට වගේ ම ටෙලිනාට්‍ය කලාවටත් තමන්ගෙ දායකත්වය සපයන ධර්මසේන පතිරාජ, රූපවාහිනිය ඇතුළෙ තමන්ගෙ අනන්‍යතාවය සනිටුහන් කරන්නේ නොමැකෙන විදියට. ගඟුලෙන් එතෙරට, ඇල්ල ළඟ වලව්ව, කඩුල්ල වගේ ටෙලිනාට්‍ය තවමත් අපට අමතක නොවෙන්නේ ඒ නිස යි.

ජීවිතේ හොඳම කාලය සිනමාව වෙනුවෙන් කැපකරපු මේ අසහාය නිර්මාණකරුවා 2018 ජනවාරි 28 තමන්ගෙ දිවි සිනමාවට සමුදෙනවා. අවසානය දක්වා ම සිනමාව එක්ක බැඳිලා ඉන්න ඔහුගේ අන්තිම නිර්මාණ විදියට අපට මුණගැහෙන්නේ, ‘සක්කාරං’ (2016) සහ ‘ස්වරූප’ (2017) කියන චිත්‍රපට. ඊට අමතර ව සිනමාව ඉගෙනගන්න විද්‍යාර්ථීන් වෙනුවෙනුත් ඔහු කරන මෙහෙවර සුළුපටු නැහැ.

සිනමාකරුවා හැම මොහොතක ම මනුෂ්‍යත්වය සහ සත්‍යය වෙනුවෙන් පෙනී සිටිය යුතු බවත්, ප්‍රේක්ෂකයාට ඉදිරියෙන් සිටිය යුතු බවත් තේරුම් ගන්න පුළුවන් හොඳම උදාහරණයක් තමයි ධර්මසේන පතිරාජ. නිවැරදි දැක්මක් එක්ක එක අරමුණක් වෙනුවෙන් අවසාන මොහොත දක්වාම කැපවීම ගොඩාක් අමාරු දෙයක්. ඒ නිසා ම යි ධර්මසේන පතිරාජගේ සිනමා මෙහෙවර සිංහල සිනමාවට මේ තරම් වැදගත් වෙන්නෙ.

මූලාශ්‍රයයන්:

අද්‍යතන සිංහල සිනමාවේ විෂය ක්ෂේත්‍රය, ධම්මික ගංගානාත් දිසානායක

ධර්මසේන පතිරාජ සමග සවාදය- සුදත් මහදිවුල්වැව, චිත්‍රපට සඟරාව 2004 ඔක්තෝබර්/දෙසැම්බර්

ශ්‍රී ලංකාවේ ජාතික චිත්‍රපටි නාමාවලිය විමසුම- අජිත් ගලප්පත්ති

කවරයේ ඡායාරූපය: dinamina.lk

Related Articles