Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හදිසි අනතුරකින් මිය ගිය ෆෝමියුලා වන් ශූරයා: අයර්ටන් සෙනා

ෆෝමියුලා වන් යනු ලොව පවතින මෝටර් රථ ධාවන තරග අතරේ අතිශයින් ම ජනප්‍රිය තරග වර්ගය කිවහොත් නිවැරැදි යි. සුවිශාල ධනස්කන්ධයක් වෙන් කරන ෆෝමියුලා වන් තරග ධනවතුන්ගේ ක්‍රීඩාවක් ලෙසින් ද හැඳින්වෙනවා. අනතුරු බහුල අවදානම් ක්‍රීඩාවක් ලෙස ද මෙය හැඳින්විය හැකි යි.

එලෙසින් විවිධ අනතුරු වලට ලක් වීමෙන් ෆෝමියුලා වන් තරගවලින් ඉවත් වූ මයිකල් ෂුමාකර් වැන්නන් ද, මරණයට පත් වූ තවත් ක්‍රීඩකයන් පිළිබඳ ද, ඉතිහාසය විමසා බැලීමේ දී තොරතුරු සපයා ගත හැකි යි. ඒ අතරින් ෆෝමියුලා වන් තරග නිසා තම ක්‍රීඩා දිවිය නිමා කළ අයකු ලෙස ලෝක ශූර ධාවක අයර්ටන් සෙනා හැඳින්විය හැකි යි. 

සෙනා මුල් අවදියේ ගෝ කාර්ට් තරඟ සඳහා සම්බන්ධ වෙමින්
සෙනා මුල් අවදියේ ගෝ කාර්ට් තරඟ සඳහා සම්බන්ධ වෙමින් – www.slipstreamsa.blogspot.com

සෙනාගේ මුල් අවදිය

අයර්ටන් සෙනා 1960 මාර්තු මස 21 වනදා, බ්‍රසීලයේ සාවෝ පාලෝ නුවර දී උපත ලැබුවා. ඔහුගේ පියා කර්මාන්ත හිමිකරුවෙක් වූ නිසා කුඩා කල සිට ම ඔහු හැදී වැඩුණේ යහපත් ආර්ථික පසුබිමකින් යුතු පවුලක යි. සෙනා වයස අවුරුදු 4ක් වන විට ම ක්‍රීඩාවට උනන්දුවක් දැක්වූවා මෙන් ම මෝටර් රථ ධාවන තරග කෙරෙහි ද ඔහුගේ උනන්දුව පැවති බව සඳහන්. වයස අවුරුදු 13 වන විට සෙනා ගෝ කාර්ට් තරග සඳහා සහභාගී වුණා. භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ගණිතය සහ ඉංග්‍රීසි භාෂා සඳහා තම උපාධිය ද ඔහු 1977 වර්ෂයේ දී සම්පූර්ණ කළා. ඉන් පසු ව 1977 වසරේ දකුණු ඇමරිකානු ගෝ කාර්ට් ශූරතාව ජයග්‍රහණය කිරීමට අයර්ටන් සෙනා සමත් වුණා. 

කුඩා කල සිට ම ජයග්‍රහණ ලබා ගන්නා තමන්ගේ පුත්‍රයා ධාවන ඉසව්වලින් ඉදිරියට ම යැවීමට සෙනාගේ පියා තම උපරිම සහයෝගය ලබා දුන්නා. ගෝ කාර්ට් තරග ඉසව්වල ලෝක ශූරතාව ද සෙනා නියෝජනය කළ අතර 1978 සහ 1982 වසරවලදී එහි අනුශූරතාව පවා දිනා ගැනීමට ඔහු සමත් වුණා. 1981 වර්ෂයේදී බ්‍රිතාන්‍යට පැමිණෙන ඔහු ෆෝමියුලා ත්‍රී ධාවනය ආරම්භ කළා. එම තරගවාරයෙන් පසුව ඔවුන්ගේ පවුලේ ව්‍යාපාරවලට හවුල් වන ලෙස මාපියන්ගේ එල්ල වූ බලපෑම මත මෝටර් රථ ධාවනයෙන් ඉවත් වීමට සෙනා තීරණය කළා. ඒ වන විටත් ෆෝඩ් කණ්ඩායම සෙනාට යුරෝ දස දහසක වැටුපක් ලබා දීමට තීරණය කොට තිබුණා. මේ නිසා බ්‍රසීලය හැරදා ඔහු එංගලන්තයට නැවත පැමිණියා.

ෆෝමියුලා වන් පිටියට

බ්‍රිතාන්‍ය ෆෝමියුලා ත්‍රී තරඟාවලිය අයර්ටන් සෙනා 1983 වර්ෂයේ දී ජයග්‍රහණය කළා. මේ හේතුවෙන් ම ෆෝමියුලා වන් පිටියට ඔහුගේ පැමිණීම සිදු වන බවට ඉඟි පළවෙමින් තිබුණා. 1984 වර්ෂයේ දී විලියම්ස් කණ්ඩායමේ තේරීම්වලට එක් වන ඔහු වට 40ක් එම කණ්ඩායමේ සියලු ම ධාවකයන්ට පෙර අවසන් කළා. එය එවකට ලෝක ශූරයෙක් වූ කෙකේ රොස්බර්ග්ප වා අභිබවා යෑමක්.

කෙසේ වුවත් විලියම්ස් කණ්ඩායමේ හෝ මැක්ලරන් කණ්ඩායමේ මීළඟ තරගවාරය සඳහා ඔහුට ඉඩකඩ වෙන් වී තිබුණේ නෑ. ලෝටස් කණ්ඩායමේ නයිජල් මැන්සෙල් වෙනුවට සෙනා එක් කර ගැනීමට උත්සාහ කළත් ඔවුන්ගේ බ්‍රිතාන්‍ය අනුග්‍රාහකයන් වූ ජෝන් ප්ලේයර් ටොබැකෝ සමාගමට බ්‍රිතාන්‍ය රියදුරකු ම අවශ්‍ය වුණා. මේ නිසා  ඒ උත්සාහය ද සාර්ථක වුණේ නෑ.

සෙනා ෆෝමියුලා වන් ධාවනයේ යෙදෙමින්
සෙනා ෆෝමියුලා වන් ධාවනයේ යෙදෙමින් – www.motorsportmagazine.com

 

බ්‍රාබ්හැම් කණ්ඩායමේ දෙවන රියදුරා ලෙසින් ඔහුට එක්වීමේ අවස්ථාව ද අහිමි වුණේ ඔවුන්ගේ ඉතාලි අනුග්‍රාහකයන්ට ඉතාලි රියදුරකු අවශ්‍ය වීම නිසා යි. අවසානයේ දී නවක කණ්ඩායමක් වූ ටෝල්මන් සමඟින් සෙනා එක් වුණා. එවකට ටෝල්මන් කණ්ඩායම පදවමින් සිටි රථවලට භාවිතා කළේ පිරෙලි (Pirelli) වර්ගයේ ටයර්. එම ටයර් තරගකාරිත්වයෙන් අඩු ඒවා බවට සැලකුණා. (වර්තමානයේ දී ෆෝමියුලා වන් සඳහා ප්‍රධානත ම ටයර් සපයන්නා වන්නේ ද පිරෙලි සමාගමයි.) 

ෆෝමියුලා වන් තරඟ සඳහා අවතීර්ණ වෙමින් අයර්ටන් සෙනා තමන්ගේ මුල් ම ගෝන් ප්‍රී තරගය සඳහා 1984 වර්ෂයේ දී බ්‍රසීල තරගයෙන් එක් වුණා. එම තරගය අවසන් කිරීමට සෙනාට නොහැකි වූවත් මීළඟට පැවති දකුණු අප්‍රිකානු අදියරේදී 6 වන ස්ථානයට පත් වෙමින් තමන් සහභාගී වූ දෙවන තරගයේ දී ම ප්‍රසාද ලකුණක් ලබා ගැනීමට අයර්ටන් සෙනා සමත්කම් දැක්වූවා. ටයර් සහ මෝටර් රථයේ තිබූ අඩුපාඩු නිසා වැඩි දස්කම් අතරට ඒමට ඔහුට නොහැකි වුණා. තම මංගල තරගවාරය අයර්ටන් සෙනා අවසන් කළේ 9 වන ස්ථානයට පත් වෙමින්. ඒ වනවිට ඔහු දීප්තිමත් අනාගතයක් සහිත රියදුරෙක් වීමේ ලක්ෂණ පහළ කරමින් සිටියා.

ජයග්‍රහණ ගොන්නක් සමඟින් ඉදිරියට ම

ලෝටස් කණ්ඩායම සමඟින් 1985 වර්ෂයේ දී එක් වන ඔහු එවර ෆෝමියුලා වන් තරග වාරයේ පෘතුගාල ගෝන් ප්‍රී තරගය ජයග්‍රහණය කරමින් තමන්ගේ මුල් ම ෆෝමියුලා වන් තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුණා. මේ ජයග්‍රහණයෙන් අනතුරු ව අයර්ටන් සෙනා යන නාමය ෆෝමියුලා වන් පිටිය පුරාවට ජනප්‍රිය වන්නට පටන් ගත්තා.

නැවතත් ඔහුගේ මෝටර් රථයේ දුර්වලතා ජයග්‍රහණ හරස් කළා. ප්‍රංශ තරගයේ දී දරුණු අනතුරකට පවා සෙනා මුහුණ දුන්නා. 1985 තරග වාරයේ සිව්වන ස්ථානයත්, නැවතත් 1986 තරඟවාරයේ සිව්වන ස්ථානයත් ඔහුට හිමි වුණා. බොහෝ අවස්ථාවලදී වේගවත්ම තරග වටය වාර්තා කිරීමට අයර්ටන් සෙනා සමත්කම් දැක්වූවා. 

ජයග්‍රහණයන් සමරන අයර්ටන් සෙනා
ජයග්‍රහණයන් සමරන අයර්ටන් සෙනා – www.ayrtonsenna.com.br

1987 තරඟවාරයේදී ද ගෝන් ප්‍රී තරග දෙකක ජයග්‍රහණ ඔහුට හිමි වුණා. තමන්ගේ ෆෝමියුලා වන් දිවියේ තරග වාරයක ඉහළ ම ස්ථානය වාර්තා කළ අයර්ටන් සෙනා එවර තරග වාරයේ තුන්වන ස්ථානයට පත් වුණා. මෙම තරග වාරයෙන් අනතුරු ව ලෝටස් කණ්ඩායමෙන් ඉවත් වන ඔහු මැක්ලරන් සමඟින් නව ගමනක් ආරම්භ කළා. මැක්ලරන් සමඟින් සුපිරි තරග වාරයක් ආරම්භ කළ ඔහු ලෝක ශූරතාව සඳහා පැවති තරඟ 16 න් 8ක් ජයග්‍රහණය කළා. ලෝක ශූරතාව සඳහා සෙනා සහ ප්‍රංශ ජාතික ඇලන් ප්‍රොස්ට් අතරේ විශාල තරගයක් ඒ වන විට නිර්මාණය වී තිබුණා. අවසානයේ දී ඇලන් අභිබවා යමින් තමන්ගේ මුල් ම ෆෝමියුලා වන් ලෝක ශූරතාව 1988 වසරේ දී මැක්ලරන් සමඟින් ජයග්‍රහණය කිරීමට අයර්ටන් සෙනාට හැකියාව ලැබුණා.

වේගවත් ධාවනය

ඔහුගේ විශේෂත්වය වූයේ වේගවත් ධාවනය යි. අදටත් බොහෝ ෆෝමියුලා වන් විචාරකයන් ප්‍රකාශ කරන්නේ ඔහු තරම් වේගයෙන් තරග වටයක් ගමන් කිරීමට හැකි අයෙක් ලොව බිහි වී නොමැති බව යි. 1989 වර්ෂයේ දී ලෝක ශූරතාවේ තරඟ 6ක් ජයග්‍රහණය කළ ද ඇලන් ප්‍රොස්ට දෙවැනි වීමට සෙනාට සිදු වුණා. නැවත වතාවක් 1990 වර්ෂයේ දී ලෝක ශූරයා ලෙසින් අයර්ටන් සෙනා අබිසෙස් ලැබූ අතර ම එයින් නොනවතින ඔහු 1991 වසරේ ද ෆෝමියුලා වන් ලෝක ශූරතාව දිනා ගත්තා. ෆෝමියුලා වන් ලෝක ශූරතා 3ක් සමඟින් අයර්ටන් සෙනා නාමය ලොව මෙන් ම බ්‍රසීලයේ ද දිදුළන නමක් බවට ඒ වන විටත් පත් ව තිබුණා. 

1992 දී සිව්වන ස්ථානයත් නැවතත් 1993 දී අනුශූරතාවත් දිනා ගැනීමට ඔහු සමත් වුණා. 1994 තරග වාරය සඳහා වසර ගණනාවක් සිට ලෝක ශූරතා 3ක් ජයග්‍රහණය කළ මැක්ලරන් කණ්ඩායමෙන් ඉවත් වී විලියම්ස් සමඟින් එක් වීමට අයර්ටන් සෙනා තීරණය කළා. ඒ අනුව 1994 තරග වාරය නැවතත් නවුමු මුහුණුවරකින් ආරම්භ කිරීමට බ්‍රසීල ජාතිකයා උත්සාහ කළා.

අයර්ටන් සෙනා අනතුරට පත් වූ අවස්ථාව
අයර්ටන් සෙනා අනතුරට පත් වූ අවස්ථාව
Image – www.nine.co.au

අවාසනාවන්ත අනතුර

නව කණ්ඩායමේ මෝටර් රථය සම්බන්ධයෙන් සෙනා සෑහීමකට පත් ව තිබුණේ නෑ. ඔහු තරග වාරය ආරම්භ වීමට ප්‍රථම එය ප්‍රකාශ කළා. මුල් තරඟ 2 දී ම කාල ගණනයෙන් මුල් ස්ථානය දිනා ගෙන පැමිණීමට ඔහුට හැකි වුවත් එකදු තරඟයක් හෝ අවසන් කිරීමට හැකියාව ලැබුණේ නෑ. මේ නිසා අයර්ටන් සෙනා තමන්ගේ ෆෝමියුලා වන් දිවියේ වඩාත් අසාර්ථක ම ආරම්භය ලබා ගෙන සිටි අතර මුල් තරඟ දෙකේදී ම ඔහුට එකදු ප්‍රසාද ලකුණක් හෝ ලැබුණේ නෑ. මේ නිසා ඔහුගේ දිවියේ වඩා සාර්ථක අදියරක් වූ සැන් මැරීනෝ අදියර සඳහා සෙනා පැමිණියේ බලාපොරොත්තු ගොන්නක් ද සමඟින්. එහිද කාල ගණනයෙන් හොඳ ම කාලය වාර්තා කරමින් ඉදිරියෙන් ම සිට තරගය ආරම්භ කිරීමට අවස්ථාව ඔහුට උදා වුණා.

අතිශය වේගවත් ආරම්භයක්

තරගයට ප්‍රථමව පැවති සුදුසුකම් ලැබීමේ වටයේ දී ඕස්ට්‍රියානු නවක ධාවකයෙක් වන රෝලන්ඩ් රට්සෙන්බර්ගර් අනතුරකට ලක්වී මිය ගියා. මේ සිදුවීම නිසාවෙන් දිගු කලක් තමන්ගේ තරග එදිරිවාදියා ව සිටි ඇලන් ප්‍රොස්ට් සමඟින් ෆෝමියුලා වන් ධාවකයන්ගේ ආරක්ෂාවෙ වෙනුවෙන් ග්‍රෑන්ඩ් ප්‍රික්ස් රියදුරන්ගේ සංගමය නැවත පිහිටුවිය යුතු බවට ද ඔහු කතාබහ කළා. ඒ වන විට ප්‍රොස්ට් ක්‍රීඩාවට සමු දී සිටියා. සැන් මැරීනෝ අදියර ආරම්භ කිරීමට සියලු ම කටයුතු සූදානමින් පැවතුණා. කාල ගණනයට අනුව මුල් ස්ථානයෙන් තරගය ආරම්භ කළ සෙනා හොඳ ආරම්භයක් ලබා ගත් නමුත් ආරම්භයේ දී ම සිදු වූ සුළු අනතුරක් තරගය මන්දගාමී කළා. ආරක්ෂිත මෝටර් රථයක් සමඟින් ගමන් කළ තරගය වට 6 කට පසු ව නැවත ආරම්භ වුණා. 

ඉන් පසුව අතිශය වේගවත් ආරම්භයක් ලබා ගත් අයර්ටන් සෙනා තරගයේ ඒ වන විට තුන්වන වේගවත් ම වටය අවසන් කළා. 7 වන වටයේ දී Tamburello Coner හී දී පැයට කිලෝමීටර් 307 ක වේගයෙන් ගමන් කරමින් සිටි ඔහුගේ මෝටර් රථය ඉවතට විසි වුණා. තත්පර 2ක් පමණ තිරිංග තද කිරීමකින් අනතුරුව සෙනා රැගත් මෝටර් රථය අසල තිබූ කොන්ක්‍රීට් බිත්තියක ගැටෙන්නේ පැයට කිලෝමීටර් 233ක පමණ වේගයකින්. ප්‍රථමාධාර ලබා දීමේ කණ්ඩායම් වහා එම ස්ථානයට පැමිණෙන අතර ම ඔහුගේ තත්ත්වය බරපතළ නිසා එම ස්ථානයේදී ම හදිසි ප්‍රථමාධාර ලබා දීමට කටයුතු කළා.

අනතුරෙන් පසුව හදිසි ප්‍රතිකාර ලබා දෙමින්
අයර්ටන් සෙනා අනතුරෙන් පසු හදිසි ප්‍රතිකාර ලබා දෙමින් – www.si.com

ඒ වනවිටත් රුධිර ධමනි කැපී යාම නිසා  රුධිරය ලීටර් 4.5ක් පමණ ඔහුගේ ශරීරයෙන් ඉවත් ව ගොස් තිබූ බව සඳහන්. එය සෙනාගේ ශරීරයේ සමස්ථ රුධිර ප්‍රමාණයෙන් 90% ක් පමණ වනවා. මේ අවස්ථාවේ දී ඔහු වහාම රෝහල් ගත කිරීමට තරග සංවිධායකයන් කටයුතු කළා. රෝහල් ආරංචි මාර්ග අයර්ටන් සෙනා මියගිය බවට එදින සවස 6.40 ට පමණ  වාර්තා කර සිටියා.

ඔහුගේ මරණය පස්වරු 2.17 ට සිදු වූ බවත් ඔවුන් වාර්තා කළා. රථයේ ටයරය ආශ්‍රිත ව තිබූ යකඩ කැබැල්ලක් ඔහුගේ හිස් කබල පසාරු කර ගෙන ගොස් තිබූ බවත්, තවත් යකඩ කැබැල්ලක් වම් ඇසට ඉහළින් ගමන් කර ඇති බවත් නිරීක්ෂණය වුණා. මෙම තුවාලවලින් මොළයට සිදු වූ හානිය සහ අධික රුධිර වහනය නිසා අයර්ටන් සෙනා මිය ගිය බව අවසන නිගමනය වුණා. 1994 මැයි 1 වැනි දා මිය යන විට ඔහුගේ වයස අවුරුදු 34ක්.

අනතුරෙන් පසුව මෝටර් රථය අවට දිස්වූ ආකාරය
සෙනාගේ මෝටර් රථය අවට අනතුරෙන් පසුව  දිස්වූ ආකාරය – www.newyorktimes.com

 

ඉතිහාසගත අයර්ටන් සෙනා 

අයර්ටන් සෙනාගේ අනපේක්ෂිත මරණයෙන් සමස්ත බ්‍රසීලය ම වික්ෂිප්ත වී ගී බව සඳහන්. ඔහුගේ මරණය ජාතික ඛේදවාචකයක් ලෙසට නම් කිරීමට පවා බ්‍රසීල ජාතිකයන් පසුබට වුණේ නෑ. බ්‍රසීල රජය මේ හේතුවෙන් දින තුනක ජාතික ශෝක දිනයක්  ප්‍රකාශයට පත් කළා. ඔහුගේ සිරුර බ්‍රසීලයට මැයි මස 4 වනදා  රැගෙන ආ අතර දේහය සාවෝ පාලෝ සිට කිලෝමීටර් 32 ක් පමණ දුර රැගෙන යද්දී පොලිස් භටයන් 8 දෙනකුගේ ආරක්ෂාව හිමි වුණා. 

පොලිස් යතුරු පැදි 17 කින් නායකත්වය සැපයූ මෙම ගමනේ දී රැස් කන සෙනඟ වැලැක්වීමට 2500 කින් යුක්ත අතිරේක පොලිස් බළ ඇණි යොදා ගැනීමටද සිදු වුණා. ලොව පුරා සිටි ජනප්‍රිය ධාවකයන් රැසක් සෙනාගේ අවමංගල්‍යයට සහභාගී වුණා.

දහස් ගණන් බ්‍රසීලියානුවන් සහභාගී වූ සෙනාගේ අවමංගල්‍
දහස් ගණන් බ්‍රසීලියානුවන් සහභාගී වූ සෙනාගේ අවමංගල්‍යය – www.thesun.co.uk

අයර්ටන් සෙනාට තමන්ගේ අවසන් ගෞරවය දැක්වීමට ශෝකයෙන් ඇළලී ගිය බ්‍රසීල වැසියන් මිලියන 3ක් පමණ පැමිණියා. අවසන් මොහොතට ප්‍රථම ව කාලතුවක්කු වෙඩි උණ්ඩ 21ක් දල්වා ගෞරව සමාචාර කිරීමටත්, ජෙට් යානා 8ක් දියමන්තියක හැඩයෙන් ගමන් කරමින් සෙනාට අවසන් ගෞරවය ලබා දීමටත් බ්‍රසීල රජය කළයුතු කළා. ලෝක ශූරතා 3ක් මෙන් ම තවත් වාර්තා ගොන්නකින් ක්‍රීඩා දිවිය වර්ණවත් කළ අයර්ටන් සෙනා ගේ අහිමි වීම අදටත් ක්‍රීඩා ඉතිහාසයේ සිදුවූ විශාලත ම අහිමි වීම් අතරින් එකක් වනවා.

කවරයේ ඡායාරූපය - ලෝක ශූර ධාවක අයර්ටන් සෙනා - www.F1.com
 මූලාශ්‍ර:

www.imdb.com

www.biography.com

www.playresbio.com

www.senna-web.com

www.F1.com

Related Articles