Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වාමාංශික ව්‍යාපාරය​ නව මානයකට යොමුකළ රෝහණ විජේවීර

සමාජවාදී අරගලයන්ගෙන් ලෝකයේ රටවල් දේශපාලනික වෙනස්කම් වලට පත්කිරීමේදී මුලිකත්වය ගෙන කටයුතු කල අයවලුන් බොහොමයක් සිටිනවා. ලෙනින්, චේ ගුවේරා, ෆිදෙල් කස්ත්‍රෝ වැනි ලෝකයම හඳුනන​ දැවැන්ත චරිත එසේ මුලිකත්වය ගෙන කටයුතු කලා. විදේශීයව එසේ ඔවුන් සමාජීය වශයෙන් ලෝකයේ වෙනස්කම් සිදුකල අතර ලංකාවේත් එවැනිමවූ අයවලුන් බොහොමයක් සිටිනවා. ඒ අතරින් වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ​ නම් දේශපාලන පක්ෂයේ ආරම්භකයා ලෙස සලකන රෝහණ විජේවීර නම් චරිතයත් ප්‍රමුඛස්ථානයක සිටිනවා. මේ ලිපිය වෙන්වන්නේ ඔහුගේ ජීවිතය පිලිබදවයි.   

රෝහණ විජේවීරගේ ළමා කාලය

වර්ෂ 1943 ජුලි 14 වනදා දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ කෝට්ටේගොඩ නම් ගමෙහි රෝහණ විජේවීර උපත ලබනවා. පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර ඔහුගේ මුල් නාමය වන අතර පසුව ඔහුව රෝහණ විජේවීර ලෙස ලංකාවේ ප්‍රචලිත වෙනවා. පටබැදි දොන් අන්දිරිස් විජේවීර හා නැන්සි නෝනා වික්‍රමකළුතොට ඔහුගේ මව හා පියා වන අතර පවුලේ වැඩිමහලු දරුවා වන විජේවීර හට ආනන්ද හා චිත්‍රානි නමින් සහෝදරයෙකු හා සහෝදරියක සිට තිබෙනවා. කුඩා කාලයේ සිටම විජේවීර හට දේශපාලනික අදහස් සමීප වන්නට මුලිකම හේතුව වන්නේ ඔහුගේ පියායි. ඔහුගේ පියාද එකල කොමියුනිට්ස් පක්ෂයේ සාමාජිකයෙකුව සිට තිබෙනවා.

විජේවීරගේ පවුලේ ඦායාරූපයක් (www.ft.lk)

1947 වසරේ සිට 1953 වසර තෙක් විජේවීර කෝට්ටේගොඩ ගොඩඋඩ රජයේ පාසලෙන් මුලික අධ්‍යාපනය ලබනවා. 1954 වසරේ ගොඩඋඩ රජයේ උසස් පාසලට ඇතුලත් වන විජේවීර එහිදී ඔහුගේ ද්විතීක අධ්‍යාපනය ආරම්භ කරන අතර 1959 වසරේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට ඇතුලත්වී උසස්පෙළ (SSC) දක්වා අධ්‍යාපනය ලබාගන්නවා. ඔහුගේ පියා කොමියුනිස්ට් පක්ෂයේ දොස්තර වික්‍රමසිංහ මහතාගේ ඉතා කිට්ටුවන්තයෙක් වූ අතර 1947 මහා මැතිවරණයෙදී ප්‍රේමලාල් කුමාරසිරි නම් අපේක්ෂකයාගේ ජයග්‍රහණය උදෙසා කටයුතු කිරීමේදී මැර කණ්ඩායමක් විසින් සිදුකල පහරදීමකදී විජේවීරගේ පියා සදාකාලික ඔත්පල​ තත්වයට පත්වනවා.

1960 දී රුසියාවේ ලුමිම්බා මිත්‍රත්ව සරසවියෙන් පිරි නැමුණු ශිෂයත්වයක් ලැබීමෙන් අනතුරුව වෛද්‍ය උපාධිය හැදෑරීමට රුසියාව බලා පිටත් වන විජේවීර වසර තුනක් විද්‍යා උපාධි පාඨමාලව හදාරන අතර ඒ හා සමගාමීව දේශපාලන විද්‍යාව හා ආර්ථික විද්‍යාව යන විෂයනුත් ඉගෙනගන්නට යොමුවනවා. මාස 7ක් වැනි කෙටිකලකින් ඔහු රුසියානු භාෂාව හොඳින් ඉගෙනීමට සමත් වීමත් ඔහුගේ ඉගෙනුමට පැවති දක්ෂතාවය පෙන්නුම් කරන්නක් වනවා.

රුසියාවේ ලුලුම්බා සරසවියේදී (www.youtube.com)

රුසියාවේ ඉගෙනගනිමින් සිටින අතරතුර රෝගීවන විජේවීර කෙටි නිවාඩුවක් ලබාගන 1963 වසරේ නැවත ශ්‍රී ලංකාවට පැමිණෙනවා. ලංකාවට පැමිණි පසුව රෝහණ විජේවීර එවකට බෙදී තිබුණු ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ චීන පිල හා එක්වන අතර එහි ප්‍රතිපලයක් වශයෙන් නැවත රුසියාවට යාමේ වීසා අවලංගු කිරීමට රුසියානු රජය කටයුතු කරනවා. ඒ හේතුව නිසාවෙන් විජේවීරගේ අධ්‍යාපන ජීවිතය අවසන් වන නමුත් දේශපාලන ජීවිතය ආරම්භ කිරීමට එය හේතු වනවා.

රෝහණ විජේවීරගේ දේශපාලන ගමන

චීන කොමියුනිස්ට් පිලෙහි සාමාජිකයෙක් වන විජේවීර පසුව එම පිලෙහි ඇති අඩුපාඩු පිළිබඳව​ විවේචනය කරමින්, ඔහු විශ්වාස කල දර්ශනය හා සම්බන්ධ වන නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට කටයුතු කරනවා. 1965 වසරේ මැයි මස 14 වනදින ගාල්ලේ අක්මීමන නිවසේදී කණ්ඩායමක් සමග එම නව දේශපාලන පක්ෂය ආරම්භ කිරීමේ මූලික​ සාකච්ඡා කටයුතු කරනවා. මෙලෙස ආරම්භ කරන්නේ අද වනවිට බොහෝ දෙනා හඳුනන​ ජනතා විමුක්ති පෙරමුණ නම් දේශපාලන පක්ෂයයි. වයස අවුරුදු 16ත් 25ත් අතර තරුණ කණ්ඩායම් වැඩිපුර​ මේ පක්ෂය හරහා දේශපාලනයට සම්බන්ධ කරගන්නවා. මොවුන්ගෙන් බොහෝ දෙනෙක් ඒ වනවිටත් ආර්ථික වශයෙන් අසීරුතාවන්ට ලක්වූ වගේම රැකියා විරහිත භාවයෙන් පෙළුණු තරුණ කොටස් වුවා.

රෝහණ විජේවීර ජනතාව අමතන අවස්තාවක්  (www.baddegama.com)

මුලින්ම විජේවීර විසින් තමන්ගේ නව පක්ෂයේ සාමාජිකයින් දේශපාලන දැනුමෙන් පරිපුර්ණ කිරීමේ කටයුතු ආරම්භ කරන ලද අතර ඔවුන්ට පන්ති පහ ලෙස විප්ලවීය දර්ශනය පිළිබඳ​ තම මතය ඉගැන්වීමට වැඩපිළිවෙලක් සකස් කළා. ඒ හරහා ශ්‍රී ලංකාවේ ධනවාදී අර්බුදය, ලාංකීය වාමාංශික මාවතේ ඉතිහාසය, සමාජවාදී විප්ලවයේ ඉතිහාසය, ඉන්දියානු ව්‍යාප්තිවාදය, ලංකාවේ සමාජවාදී මග යන නම්වලින් යුතු දේශනමාලාවක් තුළින් සාමාජිකයන් දැනුවත් කිරීමට කටයුතු කළා.

71 කැරැල්ල​

1971 අප්‍රේල් 5 වනදා ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකාවේ මාක්ස්වාදී රාජ්‍යයක් නිර්මාණය කිරීමේ අදහසින් රජයට එරෙහිව කැරල්ලක් දියත් කළා. මීට මාසයකට පමණ පෙර අත් අඩංගුවට ගනු ලැබූ විජේවීර ඒ වනවිට රඳවා සිටියේ යාපනයේ යි. ඔහු මුදවා ගැනීමට ද ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයන් සැලසුම් කළ ද එය අසාර්ථක වනවා. රෝහණ විජේවීර තමන් අත් අඩංගුවේ සිටියදී කළ බව කියන ප්‍රකාශයක් අදත් සමාජයේ බොහෝ කතා බහට ලක්වන්නක්. එනම් “සමහර විටෙක අප මියයනු ඇත, නමුත් අපේ හඩ කිසිදිනෙක නොමියෙනු ඇත” ඒ වචන කිහිපයයි.

අප්‍රේල් මහ නඩුව සඳහා විජේවීර සහ ලයනල් බෝපගේ රැගෙන එන අයුරු  (CMU)

1971 කැරැල්ලට අදාල අප්‍රේල් මහ නඩුවේ 13 වන විත්තිකරු වූයේ විජේවීරයි. ඔහුට සිර දඬුවමක් නියම වුවද 1977 මහ මැතිවරණයෙන් බලයට පත් එක්සත් ජාතික පක් ෂ රජය ඔහු නිදහස් කරනවා. ජනතා විමුක්ති පෙරමුණට දේශපාලනය කිරීම සඳහා ද අවස්ථාව සලසා දෙනවා.

විජේවීර 1982 ජනාධිපතිවරණයට තරග කර තුන්වන ස්ථානයට පත් වන්නේ ඡන් ද 273,428 ක් ලබා ගනිමින්. එක්සත් ජාතික පක්ෂයෙන් තරග කල ජේ.ආර්. ජයවර්ධන මහතා වැඩි ඡන්ද​ ප්‍රමාණයක් ලබාගනිමින් ජනාධිපති බවට පත්වීමට සමත් වනවා.

1987-1989 ජනතා නැගිටීම

1983 කලු ජූලිය අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ ඊට සම් බන් ධ යයි චෝදනා කොට රජය එම පක් ෂය තහනම් කරන අතර විජේවීර ආදී නායකයින් සැඟවෙනවා. 1987 වසරේ ඇතිවූ ජනතා නැගිටීම හරහා ජනතා විමුක්ති පෙරමුණ​ නැවත සන්නද්ධ අරගලයක් දියත් කරනු ලබනවා. මෙම නව අරගලයට පාදක වන ආසන්නම හේතුව ඉන්දියානු සාම සාධක හමුදා ලංකාවට පැමිණීමයි. විජේවීරගේ අවසානයත් මේ දෙවන සන්නද්ධ අරගලයේ අවසානය ආසන්නයේදී ම සිදු වනවා. දැවැන්ත මිනිස් ජිවිත ප්‍රමාණයක් ලංකාවට මේ වකවානුව තුළදීත් අහිමිවන අතර 1989 වසරේ උලපනේ තේ වත්තක අත්තනායක නමින් ව්‍යාජ නමකින් සැගවසිටි විජේවීර අත්අඩංගුවට​ ගන්නට එකල රජය කටයුතු කරනවා.

ඉන් අනතුරුව ඔහුගේ මරණය සිදුවන අතරම එම මරණය අදටත් නොවිසඳුණු මරණයක් ලෙස සැලකෙනවා. ඔහුගේ මරණය පිලිබදව මතයන් දෙකක් පවතිනවා. එකක් නම් විජේවීරව බේරා ගැනීමට​ යනවිට පොලිසිය හා විජේවීර ආධාර කරුවන් අතර සිදුවූ වෙඩි හුවමාරුවේදී ඔහුට වෙඩිවැදී මියගිය බවයි. වඩා ප්‍රකට මතය නම් විජේවීරව අත්අඩංගුවට​ ගෙන ප්‍රශ්න කිරීමෙන් පසුව බොරැල්ල කනත්තේදී දණහිසට වෙඩිතබා පසුව ගින්නෙන් පිලිස්සී මියයන තෙක් තැබූ බවත්ය. කෙසේ හෝ රෝහණ විජේවීර චරිතය වයස අවුරුදු 46ක්ව තිබියදී 1989 වසරේ නොවැම්බර් 13 වන දින සදහටම දිවියෙන් සමුගන්නවා.

විජේවීර සැමරුම

නොවැම්බර් මාසයේ රෝහණ විජේවීර දිවියෙන් සමුගන්නා අතර ඔහු විසින් ලංකාවේ දේශපාලනය වෙනුවෙන් බිහිකළ පක්ෂය විසින් 1989 වසරේ හා ඒ ආසන්න කාලසීමාවේදී ජනතා අරගලය වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කල අයවලුන් සිහිපත් කිරීම වෙනුවෙන් ඉල්මහ විරු සැමරුම නමින් සැමරුම් දිනයක් නම් කරන අතර අදත් මියගිය අයවලුන් ඒ දිනයේදී අනුස්මරණය කරමින් උත්සවයක් පවත්වනවා.

ඉල් මහ විරු සැමරුමේ අවස්තාවක්  (peoplesmarch07.blogspot.com)

ඒ වගේම ලංකාවේ මේ වනවිටත් රෝහණ විජේවීර නම් චරිතය අලලා චිත්‍රපටයක් නිර්මාණය කරනු ලැබ තිබෙනවා. එය නම් කර ඇත්තේ ‘ගින්නෙන් උපන් සීතල’ යන්නයි. අනාගතයේ හොඳ​ නිර්මාණයක් රස විඳීමේ හැකියාවකුත් ඒ හරහා ඔබට උදාවනවාට සැකයක් නැහැ.

කමල් අද්දර ආරච්චි රෝහණ විජේවීර චරිතයට පණපොවන අවස්ථාවක්  (english.mirrorarts.lk)

Cover Image: විජේවීර රැස්වීමක් අමතයි (JVP)

මූලාශ්‍රයයන්

1. 71 කැරැල්ල – වික්ටර් අයිවන්

2. 71 කැරැල්ල – වෛද්‍ය රුවන් එම්. ජයතුංග​

3. අප්‍රේල් 5: දකුණ හෙල්ලූ දවස සහ එහි උරුමය – දයාපාල තිරාණගම​

Related Articles