ලෝක ඉතිහාසය තුළ විවිධාකාර පාලකයන් පිළිබදව අසන්නට දකින්නට අපට හැකිය. ඇතැම් පාලකයන් තමන්ගේ ගුණවත්-නැණවත් පාලනය නිසා ප්‍රසිද්ධ වී ඇති අතර තවත් පිරිසක් ප්‍රසිද්ධ වී ඇත්තේ දුෂ්ඨ පාලනය නිසාවෙනි.

ඒබ්‍රහම් ලින්කන්, ලී ක්වාන් යූ, නෙල්සන් මැන්ඩෙලා වැනි චරිත විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකයන් ගණයෙහි ලා සැලකෙන පාලකයන්ගෙන් කිහිප දෙනකු ලෙස දැක්විය හැකි අතර ම ඇඩොල්ෆ් හිට්ලර්, ඉඩි අමීන්, බෙනීටෝ මුසලෝනි වැනි පාලකයන් දුෂ්ඨ රාජ්‍ය පාලකයන් ලෙස හැදින්විය හැකිය. කෙසේ වෙතත් මෙම දුෂ්ඨ රාජ්‍ය පාලකයන් පිළිබද සංවාදයේදී ඉහත කී පුද්ගල චරිත නිරන්තරයෙන් සංවාදයට බඳුන් වන මුත් කාන්තා චරිත පිළිබද සටහනක් ඉදිරිපත් වන්නේ නැති තරම්ය. එහෙයින් ලෝකයේ සිටි දුෂ්ඨ කාන්තා පාලකයන් ගැන ලියන්නට අපි සිතුවෙමු.

1. එලිසබත් බෙතෝරි (Elizabeth Báthory)

(noiseman.tumblr.com)

හන්ගේරියානු සහ ස්ලෝවැකියානු ඉතිහාසය තුළ සැගවී ගිය ප්‍රධානතම මනුෂ්‍ය ඝාතක චරිතය ලෙස ඇය හැදින්විය හැක. 1560 – 1614 කාලය තුළ ජීවත් වූ ඇය හංගේරියානු රජ පෙළපතට සම්බන්ධිත රාජ වරප්‍රසාදිත ‘බෙතෝරි‘ පවුලට අයත් තැනැත්තියක්.

ඇය විසින් සිදුකරනු ලැබූ ඝාතන සංඛ්‍යාව මතභේදාත්මක වන නමුත් එය අවම වශයෙන් 650ක් වනු ඇති බවත්, ප්‍රභූ පැළැන්තියක කාන්තාවක් විසින් සිදු කරන ලද වැඩිම ඝාතන සංඛ්‍යාව එය වන බවත් ගිනස් වාර්තාවල දක්වා ඇත. 1586 – 1609 කාල පරිච්ඡේදය තුළ කන්‍යාවන් හයසියයකට අධික පිරිසක් ඇය විසින් ඝාතනය කර ඇති බවට කැතරින් රම්ස්ලන්ඩ්ගේ  “Lady of Blood: Countess Bathory” කෘතියෙහි දක්වා ඇත. ඇය කන්‍යාවන් මරා ඔවුන්ගේ රුධිරය ස්නානය කළ බවට වාර්තා කර ඇති අතර ඇය පිළිබදව විශාල පුරාවෘත්ත – ගැමි කතාන්දර රාශියක්ද නිර්මාණයවී ඇතැයි එහි තවදුරටත් වාර්තාවේ.

1609 දී ඇය සිරභාරයට පත්කළ අතර ඇය රදවා තැබු මන්දිරය (Catchtice Castle) අද වනවිට කෞතුකාගාරයක් බවට පරිවර්තනය කර ඇත. එසේම ඇතැම් රචකයන් පෙන්වා දෙන ආකාරයට 1897 දී බ්‍රෑම් ස්ටෝකර් (Bram Stoker) විසින් “ඩ්‍රැකියුලා“ නවකතාව රචනා කිරීමේ දී මෙම සිද්ධියෙන් අභාසය ලබන්නට ඇති බව යි.

ඇය රදවා තැබු මන්දිරය (Catchtice Castle) (edition.cnn.com)

2. ඉර්මා ගේ‍්‍රසි (Irma Grese)

(supercurioso.com)

මැය ‘අවුෂ්විට්ස්හි හයිනාව’ (The Hyena of Auschwitz)- රූමත් තිරිසනිය (The Beautiful Beast) යනුවෙන්ද හදුන්වයි. ඇය රැවන්සබර්ක් සහ බර්ජන් බෙල්සන් වද-කදවුරුවල පාලිකාවක වශයෙන්ද සේවය කළා. බෙල්සන් වද කඳවුරෙහි යුදෙව් කාන්තා සිරකාරියන් 30,000 කට වැඩි සංඛ්‍යාවක් ඇය විසින් පාලනය කරනු ලැබුවා.

දෙවන ලෝක යුද්ධය නිමාවෙන් පසු ඇයව අත්අඩංගුවට ගෙන පවත්වනු ලැබූ නඩු විභාගය (බෙල්සන් නඩුව) අවසානයේදී මනුෂ්‍යත්වයට එරෙහිව සිදුකරන ලද අපරාධ සම්බන්ධයෙන් වරදකාරිය වන ඇයට මරණ දඬුවම නියම වුණි. 20 වන සියවසේ බි‍්‍රතාන්‍ය නීතිය තුළ මරණ දඬුවමට බදුන්වූ ලාබාලතම කාන්තාව ඇය බවටද වාර්තා වේ. ඒ වන විට ඇයගේ වයස අවුරුදු 22ක් විය.

මේ බෙල්සන් නඩු විභාගයේ ඡුායාරූපයකි. මැද සිටින්නේ ඉර්මා ය. (moteris.lt)

මිනිසුන් කුසගින්නේ නිරාහාරව තැබීම, හිතුමතේ වෙඩි තබා ඝාතනය කිරීම, දඟර කසවලින් පහර දීම, බල්ලන් උසිගන්වා සපා කෑමට ලක් කිරීමෙන් ඝාතනය කරවීම, සිරකරුවන්ට ලිංගික හිංසාවන් සිදු කිරීම සහ කුරිරු වධ හිංසාවන්ට ලක් කිරීම වගේම සිරකරුවන් මානසික හිංසාවට ලක් කිරීම යනාදී වශයෙන් චෝදනා රාශියකට ඇය වරදකාරිය වූවාය.

3. වූ සිටියෑන් අධිරැජින (Wu Zitian)

(historycollection.co)

වසර 4000ක පමණ රාජ වංශාවලියක් ඇති චීන ඉතිහාසය තුළ හමුවන එකම රාජ්‍ය පාලන රැජින ඇයයි. ටියැංසොන්ග් අධිරාජයයාගේ මිය යෑමෙන් පසුව ඔහුගේ පුත‍්‍රයා වූ ගයොසොන්ග් අධිරාජ්‍යයා විවාහ කරගන්නා ඇය ඔහුගේද හදිසි මරණයෙන් පසු චීනයේ අධිරාජිනිය බවට පත්වන්නීය.

ඉන්පසු ක්‍රි.පූ . 705 – 660 දක්වාම ඇය චීනය පාලනය කරනු ලබන අතර කුරිරු දුෂ්ඨ පාලනයක් එකී කාලය පුරාවටම ගෙනයයි. තමාගේ බලයට අභියෝගයක් විය හැකි සෑම තැනැත්තකුම විනාශ කිරීමට ඇය නිරන්තරයෙන් කටයුතු කළ අතර එහිදි තමන්ගේම දරුවාගේ ගෙළ සිරකර මරා දැමීමට පවා ඇය පසුබට නොවීය. එවැනි තැනැත්තන් පිටුවහල් කිරීම, මරා දැමීම, සියදිවි නසා ගැනීමට බලකිරීම වැනි දේ ඇය විසින් සිදු කරවනු ලැබීය.

ඇය විසින් මිනිසුන් මරා දැමීම සදහා විවිධ දරුණු ක‍්‍රම යොදාගත් අතර එම ක්‍රියාවලිය ඇය විසින්ම නම් කර තිබුණේ ‘මනුෂ්‍ය ඌරන් සැකසීම’ යනුවෙනි. එහිදී පණපිටින් අත්-පා කපා දැමීම, ඇස් අන්ධ කිරීම, ගොළුවන් බවට පත් කිරීම,  ආබාධිතයින් බවට පත්කිරීම වැනිදේ සදහා වැඩි රුචියක් ඇය දක්වන ලද අතර එමගින් තමාට එරෙහි වන්නන් හට අනතුරු හැගවීමක් ලෙස ඇය සැලකුවාය. මෙවැනි වධ හිංසාවන්ට ලක් කිරීමේ දී මිනිසුන් ඌරන් මෙන් වේදනාවෙන් දඟලන  හෙයින් ඉහත නම ඒ සදහා යොදා ගනු ලැබීය.

ඇයගේ සොහොන

දුෂ්ඨ පාලනයක් ගෙන ගියද ඇයගේ පාලන කාලය තුළ චීනයේ යුධ ශක්තිය අන් කවර කාලයකටත් වඩා වර්ධනය වූ අතර ඇයගේ පාලන කාලය අවසන් වන විට චීන අධිාරාජ්‍යය මධ්‍යම ආසියාව දක්වාත්, දකුණු කොරියානු අර්ධද්වීපය දක්වාත් වර්ධනය වී තිබුණු බවට නයිජල් කෝතොර්න්ගේ Daughter of Heaven – The True Story of the Only Woman to become Emperor of China  කෘතියෙහි වාර්තා වේ.

4. පළමු රෙනෙවලෝනා රැජින

(therichest.com)

තම සැමියාගේ වියෝවත් සමග ඉතා දුෂ්ඨ පාලිකාවක් බවට පත්වුණු ඇය පිළිබදව 1778 -1861 කාලය තුළ මැඩගස්කර ඉතිහාසයේ සදහන් වේ. රට නිදහස්ව පවත්වා ගැනීම සම්බන්ධයෙන් ඇය වැඩි වශයෙන් අවධානය යොමු කළ අතර යුරෝපීය ආගමික පුනරුද ව්‍යාපාරය විනාශ කිරීම හෙවත් මැඩගස්කරයට බලපෑමක් ඇති නොවන ලෙස පවත්වාගෙන යාම ඇයගේ මුඛ්‍ය පරමාර්ථයක්ව තිබුණි.

ඇය ඉතා දුෂ්ඨ පාලිකාවක් වූ අතර සිය දහස් ගණනක් ජනතාව බඩගින්නේ තබා මිය යාමට කටයුතු කරන අතරම ඉතා දරුණු නීති පද්ධතියක්ද රට තුළ ස්ථාපනය කරන්නට කටයුතු කලා. කතෝලික ධර්මය ඇදහීම තහනම් කළ ඇය එය මරණීය දණ්ඩනය ලැබිය හැකි වරදක් ලෙස නම්කරන ලදී. එසේම යුක්තිය පසිදලීම සදහා ඇය විසින්ම ඉතා කුරිරු නව ක්‍රමවේද ඉදිරිපත් කළා.

විෂ සහිත මස් අනුභව කිරීමට සැලැස්වීම ඉන් ප්‍රධානතම එකකි. එහිදී අධික ලෙස විෂ කවන ලද මස් කැබලි තුනක් චූදිත තැනැත්තා හට අනුභව කරන මෙන් නියෝග කරන අතර එම කැබලි සියල්ලම අනුභව කොට ජීවත්වේ නම් ඔහු නිර්දෝෂී තැනැත්තකු ලෙස නම් කරන අතර යම් හෙයකින් ඔහු ඒවා අනුභව කිරීම අතරමග නවතා දමයි නම්, වමනය කරයි නම් හෝ අනුභව කිරීමෙන් මරණයට පත්වේ නම් ඔහු වරදකරු ලෙස සලකනු ලබයි.

එසේම පණ පිටින් හම ගැසීම, වෘෂණ කෝෂවලට හානි කිරීම, උස් ස්ථානයක සිට පහළට තල්ලු කිරීම, ජලයේ ගිල්වා මැරීම, ගල් ගසා මැරීම, කුරුසියෙහි ඇණ ගසා මැරීම, ශරීරය කොටස්වලට කපා වෙන් කිරීම, උණුවතුරෙහි ගිල්වා මරා දැමීම වැනි අමානුෂික දඩුවම් රාශියක් ඇය විසින් හදුන්වා දුන් අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඇයගේ පාලනය අවසන් වන විට මැඩගස්කර් ජනගහනයෙන් භාගයකට (මිලියන 2.5ක් පමණ) ආසන්න ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්වී තිබුණු බවට වාර්තා වේ.

මෙම චරිත ඉතිහාසයෙන් ඉස්මතු කළයුත්තේ ඇයි?

“තොටිල්ල පදවන අත, ලොව පාලනය කරයි“ යනුවෙන් ප්‍රසිද්ධ කියමනක් ඇත. එහි අන්තර්ගතව ඇත්තේ කාන්තාවකට ලෝකය වෙනස් කිරීමට තරම් බලයක් හිමි බවයි. ඒ වෙනස සමාජයට අයහපත් ආකාරය සිදු වන්නේ නම් ඉන් සිදු විය හැකි හානිය අතිශය ප්‍රබලය.

මෙම ලිපියෙහි අප විසින් ඉදිරිපත් කරන ලද්දේ එවන් කුරිරු පාලිකාවන් කිහිප දෙනෙකු පිළිබදවය. මෙවැනි පාලිකාවන් සේම, එසේ නොවන එහෙත් සමාජය භීතියට පත් කළ ඉතා කුරිරු කාන්තා චරිත බොහොමයක් ලෝක ඉතිහාසය තුළ දැක ගත හැකිය. ඉතිහාස කතා සංවාද අනුසාරයෙන් අප දැනටමත් බොහෝ පාඩම් ඉගෙන ඇති හෙයින් මෙම චරිත ඉස්මතු කිරීමෙන් යහපතක් මිස අයහපත් නොවනු ඇති බවද අවසන් වශයෙන් පැවසිය හැකිය.

කවරයේ පින්තුරය: Descendants Wiki – Wikia