Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අකලට මිලින වූ ලොව සුපතල රොක් තරුව: ෆ්‍රෙඩී ම’කරි

සංගීතය යනු අප ජීවිතත් සමඟින් ගහට පොත්ත මෙන් බැඳී ඇති දෙයක් කිවහොත් නිවැරදි යි. ගීත ශ්‍රවණය කිරීමට මෙන් ම සංගීතය රස විඳීමට බොහෝ දෙනා අතිශයින් ම ප්‍රිය කරනවා. සංගීතය විශාල පරාසයක් පුරා විහිදී පවතින ක්ෂේත්‍රයක් බවට මේ වන විට පත් ව තිබෙනවා. මෙම සංගීත ක්ෂේත්‍රය තුළ විශිෂ්ට ගායකයන්, වාදකයක්, රචකයන් ආදී බොහෝමයක් දෙනා ඉතිහාසයේ පටන් ම බිහි වුණා. ඒ වගේ ම අනාගතයටත් බිහි වේවි. මෙම ලිපිය රොක් ගායනයෙන් ලොව ම වසඟයට ගත් ගායන තරුවක් වන ෆ්‍රෙඩී ම’කරි පිළිබඳ යි.

ඔහු පිළිබඳ සටහන් කිරීමට මත්තෙන් “We Will Rock You” සහ “We Are The Champions” යන ගීතයන් ඔබ දන්නවාද කියා විමසුවහොත් බොහෝ දෙනකුගේ පිළිතුර වන්නේ ඔව් කියා යි. මේ ගීත දෙක ම ෆ්‍රෙඩී ගේ Queen සංගීත කණ්ඩායමේ නිර්මාණ වන අතර ම ගායනා කරන්නේත් ෆ්‍රෙඩී ම යි. මෙම ගීත ද්විත්වය අදටත් ලොව පිළිගන්නේ ලෝකය අවසන් වන දින දක්වා ම පවතින ගීත ද්විත්වයක් ලෙසට යි. එනම් කිසිදා නොමියෙන ගීත දෙකක් ලෙසිනුයි.  

ෆ්‍රෙඩී ගායනය ආරම්භ කළ මුල් අවදියේ ඡායාරූපයක්
ෆ්‍රෙඩී ගායනය ආරම්භ කළ මුල් අවදියේ ඡායාරූපයක් – metalheadzone.com

බාර් වල ගී ගැයූ ෆ්‍රෙඩී!

1946 වසරේ සැප්තැම්බර් මස 05 වනදා ඔහු උපත ලබන්නේ සැන්සිබාරයේ Stone Town නම් නගරයේ දී යි. වර්තමානයේදී සැන්සිබාරය තියෙන්නේ ටැන්සානියාවේ. ඔහුගේ පවුලේ සාමාජිකයන් 1964 වර්ෂයේ දී සිදු වූ සැන්සිබාර් විප්ලවය හේතුවෙන් බ්‍රිතාන්‍යට සංක්‍රමණය වුණා. ෆ්‍රෙඩීගේ මුල් නම වූයේ ෆාරොක් බුල්සාරා යි. එයට පළමු ව ෆ්‍රෙඩී දිගු කාලයක් ඉන්දියාවේ ගත කළා. එහිදී බොම්බායේ බ්‍රිතාන්‍ය මිශ්‍ර පිරිමි පාසලකින් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු බ්‍රිතාන්‍යට පැමිණීමෙන් අනතුරුව සංගීතය වැඩි වශයෙන් හදාරන්නට පටන් ගන්නවා.

ස්ථිර රැකියාවක් නොමැතිකමින් සිටි ෆ්‍රෙඩී කලින් කලට විවිධ රැකියා කරමින් ජීවත් වනවා. ඔහුට සංගීතය සම්බන්ධයෙන් තිබූ ආසාව මෙන් ම සංගීත ක්ෂේත්‍රය තුළ ඉහළ ගමනක් යාමේ බලාපොරොත්තුව එලෙස ම සිත තුළ තිබුණා. තමන්ගේ නමට ෆ්‍රෙඩී යන කොටස එකතු කිරීමට ඔහු තීරණය කොට තිබුණේ ඉන්දියාවේ අධ්‍යාපනය ලබන අවදීයේ දී වීම විශේෂත්වයක්.

බ්‍රිතාන්‍යයේ හීතෲ ගුවන් තොටුපළේ ගමන් මළු අසුරන්නකු ලෙසින් ද ඔහු කලක් කටයුතු කළා. ෆ්‍රෙඩී ඉන් අනතුරුව ගීත ගැයීම ආරම්භ කරනවා. මුලින් ම කුඩා ‘බාර්’ වල ගීත ගායනා කරනා ඔහුට තමන්ගේ සංගීත සගයන් වන බ්‍රයන් මේ, ජෝන් ඩීකන් සහ රොජර් ටේලර් හමු වනවා. මේ කාලයේ දී ඔහු තමන්ගේ නම භාවිත කරන්නේ ෆ්‍රෙඩී බුල්සාරා ලෙසිනු යි. 1970 වර්ෂයේදී Queen (ක්වීන්) සංගීත කණ්ඩායම පිහිටුවීමට ඔහු සමත් වුණා. මේත් සමඟ ම ඔහුගේ නම ෆ්‍රෙඩී ම’කරි ලෙසින් වෙනස් කරගන්නට ද කටයුතු කළා.

ක්වීන් සංගීත කණ්ඩායම ආරම්භ කළ අවදියේ
ක්වීන් සංගීත කණ්ඩායම ආරම්භ කළ අවදියේ – www.Britannica.com

හරි අපූරු දත් පෙළ

කෙනකුට බොහොම කලාතුරකින් පිහිටන අන්දමේ දත් පෙළක් ෆ්‍රෙඩීට හිමි ව තිබුණා. ඒ උඩු ඇන්ද ඉදිරියට නෙරා ආ දත් පෙළක් ලෙසට යි. මේ දත් පිහිටීම නිසා ඔහුට ගීත ගායනා කිරීම සඳහා විශේෂ හැකියාවක් උරුම වුණා. ෆ්‍රෙඩීට උච්ච ස්වරයෙන් ගායනා කිරීමට මේ දත් පෙළ විශාල වශයෙන් උපකාරී වූ බව සඳහන් වනවා.

පසු කාලයේදී මාධ්‍යවේදීන් ඇතැම් අවස්ථාවලදී ඔහු මේ දත් පෙළ වෙනස් කරගන්නවාදැයි පවා ෆ්‍රෙඩීගෙන් විමසා සිටි අවස්ථා වාර්තා වනවා. ඇතැම් අවස්ථාවලදී ඔහු එම ප්‍රශ්න ප්‍රතික්ෂේප කළේ සෑහෙන තරම් තරහකට පත්ව යි. කෙසේ හෝ 1971 දී පිහිටවූ ක්වීන් සංගීත කණ්ඩායම ක්‍රම ක්‍රමයෙන් ජනප්‍රිය මට්ටමේ ඉහළට ම ගමන් කරන්නට වුණා. ලොව පුරා සජීවී ප්‍රසංග පැවැත්වීමට කෙටි කලකින් ම ඔවුන් සමත් වුණා.

Bohemian Rhapsody සහ Queen

1970 දශකයේ මැද භාගය වන විටදී ඔවුන් ලොව පුරා ම ජනප්‍රිය ලෙසින් ගීත ගායනා කරනා සංගීත කණ්ඩායමක් බවට පත් ව සිටියා. 1975 වර්ෂයේදී Queen සංගීත කණ්ඩායම වෙනස් ම ආකාරයේ ගීතයක් එළි දැක්වූවා. එම ගීතය නමින් Bohemian Rhapsody වූ අතර ම මෙහි අදහස, ගීත රචනය මෙන් ම ගායනයත් සිදු කළේ ෆ්‍රෙඩී ම’කරි යි.

කැනඩාවේ මොන්ට්‍රියෙල් හි ප්‍රසංගයක සජීවී ගායනයක් ඉදිරිපත් කරමින්
කැනඩාවේ මොන්ට්‍රියෙල් හි ප්‍රසංගයක සජීවී ගායනයක් ඉදිරිපත් කරමින් – www.liveforlivemusic.com

මෙම ගීතයේ විශේෂත්වය වූයේ රොක් ගීතයක් සමඟින් ඔපෙරා ආර ද  මිශ්‍ර කොට නිර්මාණය කර තිබීම  යි. මෙම ගීතය විනාඩි 5.55 තරම් කාලයක් දිගු වූ නිසා Bohemian Rhapsody ගුවන් විදුලියේ විකාශය කිරීමට අකමැති වනු ඇති බවට ඇතැම් පාර්ශව ෆ්‍රෙඩීට චෝදනා කළා. ෆ්‍රෙඩී ම’කරි යනු තමන්ගේ මතයේ සිටිනා තරමක් හිතුවක්කාර චරිතයක්. අවසානයේ දී ක්වීන් සංගීත කණ්ඩායම නිර්මාණය කළ ගීත වලින් වඩාත් ම ජනප්‍රිය ගීතය බවට පත් වූයේ Bohemian Rhapsody ගීතය යි. ඒ වගේම මෙම ගීතය සංගීත ලොව වෙනස් ම ආකාරයේ පෙරළියක් කළ ගීතයක් ලෙසට ද සැලකෙනවා.

මීට අමතර ව We will rock you, We are the champions, Radio Gaga, Hammer to fall, Somebody to love, Dont stop me now, Crazy little, Killer Queen, Play the game වැනි ගීත අතිශය ජනප්‍රිය වුණා. ඔවුන් 1971 සිට 1986 දක්වා ලොව පුරා සජීවී සංගීත ප්‍රසංග 700 කට අධික සංඛ්‍යාවක් පවත්වා තිබෙන බව සඳහන් වනවා. බ්‍රසීලයේ සාඕ පාලෝ හී 1981 වර්ෂයේ දි පැවති ප්‍රසංගය සඳහා දකුණු අමෙරිකාව තුළ සංගීත ප්‍රසංගයකට පැමිණි ඉහළත ම ප්‍රේක්ෂකයන් පිරිස පැමිණි බවට සඳහන්.

මීට අමතර ව ඔහු අවසන් වතාවට සිදු කළ සජීවී ප්‍රසංගය වන 1986 වසරේ අගෝස්තු මස 9 වන දින එංගලන්තයේ Knebworth Park හි පැවැත්වූ සජීවී ප්‍රසංගය සඳහා 20,0000 ක පමණ ප්‍රේක්ෂකයන් පිරිසක් පැමිණියා. 1986 වසරේ හංගේරියාවේ බුඩාපෙස්ට් හි ක්වීන් සංගීත කණ්ඩායම සිදු කළ සජීවී ප්‍රසංගය නැරඹීම සඳහා 80,000 කට අධික ජනතාවක් පැමිණියා. එකල ලොව පුරා ජනප්‍රියත ම රොක් සංගීත කණ්ඩායම බවට ඔවුන් අවිවාදයෙන් පත් ව සිටියා.

“Live Aid”

1980 දශකයේ මැද භාගයේ දී ඉතියෝපියාවට පැමිණි නියඟයත් සමඟින් විශාල සාගතයක් ඇති වුණා. මෙම සාගතයත් සමගින් දහස් ගණනින් වූ ළමයින් ඇතුළු ඉතියෝපියානු ජනයා මිය යමින් සිටියා. මේ මොහොතේ දී ඔවුන් රැක ගැනීම සඳහා ආධාර පතා පැවති ප්‍රසංගය Live Aid නමින් හැඳින්වෙනවා. මෙම ප්‍රසංගය ලොව පුරා සජීවීව විකාශය කිරීමට අවශ්‍ය පහසුකම් සැලසුණු අතර ම ඒ සඳහා සැටලයිට් 12ක් භාවිත කළා. ඒ කාලයේදී ඔලිම්පික් තරගාවලිය ලොව පුරා විකාශය කිරීම සඳහා භාවිත කළේ ද සැටලයිට් 3ක් පමණ යි. 

Live Aid ප්‍රසංගයේ ගීත ගායනා කරමින්
Live Aid ප්‍රසංගයේ ගීත ගායනා කරමින් – www.medium.com

1985 වසරේ ජූලි මස 13 වනදා එංගලන්තයේ වෙම්බ්ලි ක්‍රීඩාංගණය අතුරු සිදුරු නොමැති ව පිරී යද්දී මෙම සංගීත ප්‍රසංගය ආරම්භ වුණා. මෙහි ගීත ගායනා කළ සියලුම සංගීත කණ්ඩායම් මෙන් ම ගායකයින් මුදල් අය කිරීමකින් තොර ව ප්‍රසංගයට එක් වුණා. ඒ සෑම අයකුට ම විනාඩි 25 ක කාලයක් තමන්ගේ ඉදිරිපත් කිරීම සඳහා ලැබුණා. මෙහිදී ක්වීන් සංගීත කණ්ඩායම Live Aid ප්‍රසංගයේ කළ ඉදිරිපත් කිරීම අදටත් ලොව රොක් කණ්ඩායමක් සජීවි ව ඉදිරිපත් කළ හොඳ ම ඉදිරිපත් කිරීම ලෙසින් සැලකෙනවා. ඔවුන් Live Aid ප්‍රසංගය සම්පූර්ණයෙන් ම වර්ණවත් කළා.

ෆ්‍රෙඩීගේ අවාසනාවන්ත අවසානය

ක්වීන් සංගීත කණ්ඩායම ජනප්‍රියත්වයේ හිනිපෙත්තට ම ගමන් කිරීමත් සමඟ ම ෆ්‍රෙඩීගේ ජීවිතය පාලනයෙන් තොර වුණා. මත්ද්‍රව්‍ය ලබා ගැනීම මෙන් ම වෙනත් පුරුදු සඳහා ද ඔහු ඇබ්බැහි වුණා. ෆ්‍රෙඩී ම’කරි කාන්තාවන්ට ඇළුම් කළා මෙන්ම සමරිසි චරිතයක්ද වූවා. මේ හේතුව නිසා ම ඔහුගේ පෙම්වතිය වූ මේරි ඔස්ටින් ඔහු හැරගිය බව ද සඳහන් වෙනවා.

කෙසේ වෙතත් මෙම පුරුද්ද ෆ්‍රෙඩී භයානක තත්ත්වයක් කරා රැගෙන ගියා. ඒ ඒඩ්ස් රෝගය වෙතට යි. ඔහු ඒඩ්ස් රෝග ලක්ෂණ මුලින් ම පෙන්වූයේ 1982 වසරේ බව සඳහන්. 1986 වර්ෂයේදී බ්‍රිතාන්‍ය පුවත්පතක් සඳහන් කරන්නේ ඔහු ඒඩ්ස් රෝගයට ගොදුරු වී ඇති බව යි. නමුත් මේ කාලයේ දී පැවති සම්මුඛ සාකච්ඡාවක දී ෆ්‍රෙඩී මෙම පුවත් ප්‍රතික්ෂේප කරනවා. ඔහුගේ එකල පෙම්වතා වූ ජිම් හටන් ප්‍රකාශ කරන ආකාරයට 1987 වසරේ අග භාගය වන විටදී ෆ්‍රෙඩී ම’කරි ඒඩ්ස් රෝගය නිසා පීඩා විඳිමින් සිට තිබෙනවා.

1990 වර්ෂයේදී අවසන් වතාවට වේදිකාවේ දක්නට ලැබෙන ඔහු පැමිණෙන්නේ Brit Awards සම්මාන උළෙල සඳහා යි. කෙසේ වුවත් 1986 වසරෙන් පසුව ෆ්‍රෙඩී සජීව වේදිකාවේ ගීත ගායනා කළේ නෑ. ඔහු අවසන් වතාවට පැමිණෙන්නේ 1991 වර්ෂයේ දී පටිගත කෙරුණ These are the days of our lifes ගීතය පටිගත කිරීමට යි. ඔහු මිය යනවිට these are the days of our lives ගීතය ගායනා කරලා සම්පූර්ණයෙන්ම අවසන් කර තිබුණා. එම ගීතය අධ්‍යක්ෂණය කළ රූඩි ඩොලේසාල් ප්‍රකාශ කළේ කිසිම දිනෙක ඔහු ඒඩ්ස් සම්බන්ධයෙන් කතා නොකළ බව යි. ඔහුට අවශ්‍ය වූයේ ගීතයේ කටයුතු නිමා කිරීම පමණක් බව යි.

ෆ්‍රෙඩී තම අවසන් දින කිහිපයේ සිටි ආකාරය
ෆ්‍රෙඩී තම අවසන් දින කිහිපයේ සිටි ආකාරය- www.metalheadzone.com

“සෑම විටෙක ම ඔහු සතුටින් සිටියා. සිනාසුණා. ඔහුගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් කතා කිරීමට අවශ්‍ය වුණේ නෑ. ඔහු ප්‍රකාශ කළා තමන් අසනීපයෙන් කියා මිනිසුන් හරියට 100% ක් ම නොදන්නා බව. ඔහුට අවශ්‍ය වූයේ ගීතයේ කටයුත්ත නිමා කිරීමටයි.”

එම ගීතය සම්පූර්ණයෙන් ම පටිගත කිරීමට ඔහුට හැකියාව ලැබුණේ නෑ. ගීතය අඩක් පටිගත කිරීමෙන් අනතුරුව නැවත ඔහු ගීත ගායනා කිරීමට පටිගත කරන ස්ථානයට පැමිණියේ නෑ. අවසන් දිනවල දී ෆ්‍රෙඩී හට යහනෙන් බැසීමට පවා අපහසු වූ බවත් ඔහුගේ පෙනීම පවා අහිමි වී ගිය බවත් සඳහන් වනවා. මේ කාලයේදී ඔහුගේ මුල් පෙම්වතිය වූ මේරි ඔස්ටින් ෆ්‍රෙඩී රැක බලා ගත් බවත් සඳහන්. 

1991 වසරේ නොවැම්බර් මස 22 වනදා තම නිවසේ දී ම ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කරන ෆ්‍රෙඩී ම’කරි තමන් HIV ආසාදිතයෙක් බවට ප්‍රකාශ කර සිටිනවා. එම ප්‍රකාශයෙන් දින දෙකකට පසුව 1991 වසරේ නොවැම්බර් මස 24 වනදා සවස් යාමයේ දී ඒ අසහාය ගායන තරුව මිය ගියා. ඒඩ්ස් ආශ්‍රිත ව ඇති වූ නියුමෝනියාව නිසා ෆ්‍රෙඩී ම’කරි මියගිය බවට අවසන් වෛද්‍ය වාර්තාවේ සඳහන් වුණා. මියයන විට ඔහුගේ වයස සටහන් වූයේ අවුරුදු 45ක් ලෙසිනු යි.

ඔහුගේ මරණය පුවත් පත් වල ශීර්ෂපාඨය වී තිබූ ආකාරය
ඔහුගේ මරණය පුවත් පත් වල ශීර්ෂපාඨය වී තිබූ ආකාරය – www.cde.news

ඔහු වෙනුවෙන් ලොව පුරා ම ශෝකය පළ වුණා. පවුලේ සාමාජිකයන්ට අමතර ව ඔහුගේ අවමගුල් උත්සවය වෙනුවෙන් සහභාගී වූයේ 35 දෙනෙක් පමණයි. ඒ අතරට ජනප්‍රිය ගායක එල්ටන් ජෝන් ද ඇතුළත් වුණා. ෆ්‍රෙඩී අනුස්මරණය කිරීම උදෙසා එංගලන්තයේ මෙන් ම ස්විට්සර්ලන්තයේ ද ප්‍රතිමා නිර්මාණය කොට තිබෙනවා. ඔහුගේ මිය යාමෙන් අනතුරු ව Bohemian Rhapsody ගීතය නැවත එළි දැක්වූ අතර එය සියලු සංගීත දර්ශකවල ප්‍රථම ස්ථානයට පැමිණියා.

ලොව බිහිවූ විශිෂ්ටත ම රොක් ගායකයා ලෙසින් සැලකෙන ෆ්‍රෙඩී ම’කරි තමගේ දිවිය එලෙස කෙටි කාලයක් තුළ දී අවසන් කළත් ඔහුගේ මතකය තවමත් සංගීත ලෝකය තුළ අමරණීය ව රන් අකුරින් සටහන් වී තිබෙනවා.

කවරයේ ඡායාරූපය - ෆ්‍රෙඩී ම'කරි - Pixellstalk.com
මූලාශ්‍ර :

www.biography.com 

www.rollingstone.com 

www.thefamouspeople.com

Related Articles