හතලිස් දෙවසරක් ලිබියාව පාලනය කළ මුවම්මර් ගඩාෆි

2010 අග භාගයේ ටියුනීසියාවෙන් ආරම්භ වූ අරාබි වසන්තය නමින් නම් කෙරුණ විරෝධතා රැල්ල හේතුවෙන් බලය අහිමි වූ පාලකයන් අතර දීර්ඝතම කාලයක් සිය රට පාලනය කළ පුද්ගලයා වූයේ ලිබියාවේ මුවම්මර් ගඩාෆි ය​. 1969 දී බලයට පත් වූ හෙතෙම 2011 ඔක්තෝබරයේදී විරුද්ධවාදීන් විසින් අල්ලාගෙන මරා දමනු ලැබුණා. සමහරක් දෙනාට ගඩාෆි යනු අධිරාජ්‍යවාදයට එරෙහිව සටන් කළ වීරයකු වන අතර ම තවත් සමහරෙකුට ඔහු ඒකාධිපතියකු වනවා.

දෙවන ලෝක යුද්ධය අතරතුර උපන් ගඩාෆි

මුවම්මර් ගඩාෆි උපන්නේ 1942 ජූනි මාසයේ 7 වනදා නැගෙනහිර ලිබියානු නගරයක් වන සිර්ටේ අසළ දී බෙඩොවීන් ගෝත්‍රයේ පවුලකයි. ඔහු උපදින සමය වන විට දෙවන ලෝක යුද්ධයට සම්බන්ධ උතුරු අප්‍රිකාවේ සටන් ක්‍රියාත්මකව පැවතුණා. ගඩාෆි උපන්නේ කාන්තාරයේ හිවලා ලෙස විරුදාවලිය ලද නට්සි ෆීල්ඩ් මාර්ෂල් අර්වින් රොමෙල්ගේ හමුදා ගසාලා නම් නගරය ආශ්‍රිතව සති කිහිපයක් පැවති සංග්‍රාමයක යෙදී සිටින අතරවාරයේ යි.

දෙවන ලෝක යුද්ධය ඇරඹීමට පෙර ලිබියාව ඉතාලි යටත් විජිතයක් වූ අතර දෙවන ලෝක යුද්ධයෙන් පසු යළි ඉතාලි පාලනයට එය නතු වුණා. 1951 දී ලිබියාව නිදහස ලද අතර එරට පාලනය කළේ ඉද්‍රිස් නම් රජෙකු විසින්.

කුඩා කළ ගඩාෆි කුරාණය හැදෑරූ අතර වසර කිහිපයක් සිර්ටේ නගරයේ පාසැලක අධ්‍යාපනය ලැබුවා. කෙසේ නමුත් තරුණ සමයේ හමුදාවට බැඳුණ ඔහු යුධ හමුදා පුහුණුව ලැබූ අතර බ්‍රිතාන්‍යයේ මාස හතරක පුහුණුවක් ද ඊට අයත් වුණා.

ඉද්‍රිස් රජතුමා රටක් පාලනයට වඩා ශාස්ත්‍රීය කටයුතු සඳහා සුදුසු ආකාරයේ අයකු වුණා. ඔහු කලාපයේ නැගී එන අරාබි ජාතිකවාදය පිළිබඳ දැක්වූයේ තදබල උදාසීනතාවයක්. මේ අතර ලිබියාව දුප්පත් රටක් ව පවතිද්දී එහි තෙල් සම්පත ප්‍රයෝජනයට ගත්තේ බහුජාතික සමාගම් විසින්. එහි ලාභය ලිබියානුවන් වෙත පැමිණියේ නැහැ. තව ද ලිබියානු පාලනය බටහිරට හිතවත් බවට සාමාන්‍ය පිළිගැනීමක් වුණා.

මෙම පාලනයට එරෙහිව හමුදාව තුළ කනිෂ්ඨ නිලධාරීන් ගේ කණ්ඩායමක් ඇතිවූ අතර එයට ගඩාෆි ද අයත් වුණා. ඔහු සිය තරුණ ශක්තිය සහ දක්ෂතාව හේතුවෙන් ඉතා ඉක්මණින් එම කණ්ඩායමේ ප්‍රමුඛයා බවට පත් වුණා.

ඉද්‍රිස් රජු විදෙස්ගතව සිටි අතරවාරයේ 1969 සැප්තැම්බර් 1 වනදා තරුණ හමුදා නිලධාරීන් ලිබියාවේ බලය අල්ලාගත්තා. එතැන් පටන් 27 හැවිරිදි ගඩාෆි ලිබියාවේ නායකයා බවට පත් වුණා.

තෙල් සම්පත නතු කරගැනීම​

ගඩාෆි බලයට පත් ව ටික කළකින් රටේ තෙල් සම්පතෙහි ලාභය රජය වෙත ලබා ගැනීමට පියවර ගත්තා. ඔහු තෙල් සමාගම්වලට කියා සිටියේ පැවති ගිවිසුම් වෙනුවට නව ගිවිසුම් කරා එළඹිය යුතු බවයි. ඔවුන් එය ප්‍රතික් ෂේප කළහොත් තෙල් නිෂ්පාදනය සම්පූර්ණයෙන් නවතා දමන්නට තමන් කටයුතු කරන බව ගඩාෆි තර්ජනය කළා.

“මිනිසුන් වසර 5000 ක් තෙල් නොමැතිව සිටියා. ඔවුනගේ නෛතික අයිතිය ලබා ගැනීම සඳහා තව වසර කිහිපයක් තෙල් නොමැතිව සිටින්නට ඔවුනට පුලුවන්” ගඩාෆි කියා සිටියා.

මේ අනුව තෙල් සමාගම්වලට නව ගිවිසුම් පිළිබඳ සාකච්ඡා කිරීමට බල කෙරුණ අතර එහි ප්‍රතිඵලය ලෙස ලිබියානු රජයටත් තෙල්වල ලාභාංශ ලැබුණා. සාපේක්ෂව කුඩා ජනගහනයකින් යුත් ලිබියාව වැනි රටකට එය ඉතාම විශාල ධනෝපායන මාර්ගයක් බවට පත් වුණා. ගඩාෆි එම මුදල් භාවිතයෙන් සුබසාධන කටයුතු රැසක් ක්‍රියාත්මක කළා. ඔහුගේ එක් විශාල​, එමෙන්ම අදහාගත නොහැකි ව්‍යාපෘතියක් වුණේ දකුණුදිග ප්‍රදේශවල පිහිටි ජල මූලාශ්‍රවල සිට රටේ වෙරළබඩ ජනාවාස පෙදෙස් කරා ජලය ගෙන ඒමට තැනූ “මිනිසා විසින් තැනූ මහා ගංගාව​” නම් නලමාර්ග පද්ධතියයි.

දේශපාලන චින්තනය​

අනෙකුත් බොහෝ අරාබි නායකයන් මෙන් ම​, මුවම්මර් ගඩාෆි සිය ආදර්ශය කරගත්තේ ඊජිප්තුවේ නායක ගමාල් අබ්දෙල් නසාර්. නසාර් කර්නල්වරයකු වූ හෙයින් ගඩාෆි ද තම නිලය කර්නල් දක්වා තමන් විසින් ම උසස් කරගත්තා. ඔහු මිය යනතුරු තමාව හඳුන්වා ගත්තේ කර්නල් මුවම්මර් ගඩාෆි ලෙසයි.

ලිබරල් ධනේෂ්වර ක්‍රමය සහ කොමියුනිස්ට්වාදය යන දෙක අතරමැද පිහිටි තුන්වන මාර්ගයක් පිළිබඳ ගඩාෆි ප්‍රකාශ කරන්නට වූයේ බලයට පැමිණ ටික කළකින්. ඔහු මෙම සිද්ධාන්තය හැඳින්වූයේ තුන්වැනි විශ්වීය සිද්ධාන්තය (Third Universal Theory) නමින්. මෙම අදහස් ගැබ් වූ හරිත පුස්ථකය (The Green Book) ඔහු විසින් ප්‍රකාශ කෙරුණේ 1975 දී.

ගඩාෆි 1976 දී (Getty Images/Hulton Archive)

ගඩාෆි ප්‍රකාශ කළ පරිදි, සමාජ ප්‍රශ්නවලට හොඳම විසඳුම වූයේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය නොවේ. ඔහු එය හැඳින්වූයේ විශාලම දේශපාලන පක්ෂය විසින් කරන ඒකාධිපතිත්වයක් ලෙසයි. ගඩාෆි කියා සිටියේ ජන ජීවිතය පාලනය කිරීම සඳහා මහජන කමිටු බිහි විය යුතු බවයි. ඔහු සිය හරිත පුස්තකයේ රාජ්‍ය සංවිධානය පිළිබඳ සඳහන් කරමින් මෙම සංකල්පය කරත්ත රෝදයකට උපමා කළා. මේ අනුව​, කරත්ත රෝදයේ පිටත ම තිබුණේ මහජන කමිටුයි. ඔවුන් විසින් නියෝජිතයන් ඊළඟ පාලන ව්‍යුහය වෙත පත් කරන අතර එතැනින් ඊළඟ පාලන ව්‍යුහයට නියෝජිතයන් පත් කෙරෙනවා. මේ ආකාරයෙන් සුදුසුම තැනැත්තන් මධ්‍යම රජයේ කටයුතු සඳහා තෝරා ගැනෙනවා.

මහජනතාව විසින් කරනු ලබන පාලනය අදහස් කිරීමට මෙම ක්‍රමයට නම් තබන ලද්දේ ජමහිරියා යනුවෙන්. එය අරාබි බසින් ජනරජයට කියනු ලබන නමට ආසන්න වශයෙන් සමාන නමක්. මේ අනුව 1977 පටන් ලිබියාව නිල වශයෙන් ලිබියානු අරාබි ජමහිරියාව ලෙස හඳුන්වා දෙනු ලැබුණා.

මෙම ව්‍යුහය යම් දුරකට සෝවියට් දේශයේ ක්‍රියාත්මක වීමට නියමිත වූ ව්‍යුහයට සමාන වුණා. නමුත් සෝවියට් දේශයේ මෙන් ම ලිබියාවේද මෙම සුන්දර සිද්ධාන්තයන් ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වුණේ නැහැ. මහජන කමිටුවලට සැබෑ බලයක් තිබුණේ නැහැ. ඒවායේදී රජය විවේචනය කළ නොහැකි වුණා. රටේ පාලනය පැවතුණේ ගඩාෆි සහ ඔහුගේ සහචරයන් අතේ මිස මහජන කමිටු අත නොවේ.

ජාත්‍යන්තර දේශපාලනය සහ ගඩාෆි

මුවම්මර් ගඩාෆි බොහෝ දෙනා දුටුවේ බටහිර අධිරාජ්‍යවාදයට එරෙහි සටන්කාමියකු ලෙසයි. කාලයෙන් කාලයට ඔහුගේ දේශපාලනය විවිධ මතවාදයන් සමඟ රඳා පැවතුණා. ඔහු කාලයක් අරාබි එක්සත්කම පිළිබඳවත්, තවත් විටෙක ඉස්ලාම්වාදී දර්ශනයත්, තවත් විටෙක අප්‍රිකානු එක්සත්කමත් පිළිබඳ මතවාදයන් විසින් මෙහෙයවුණා. එමෙන්ම ඔහු ආන්දෝලනාත්මක දේශපාලන සහ යුධ කටයුතුවලට සම්බන්ධ වුණා.

70 දශකයේදී ගඩාෆි ඉඩි අමීන්ට සහය දැක්වූ අතර ගමාල් අබ්දෙල් නසාර්ගේ මරණින් පසු ඊජිප්තුවේ බලයට පත් වූ අන්වර් සදාත් සමඟ ප්‍රශ්න ඇති කරගත්තා. මෙය 1977 දී දෙරට අතර සිව් දින යුද්ධයකට ද හේතු වුණා. මේ අතර ගඩාෆි ලිබියාවෙන් දකුණුදිග පිහිටි චැඩ් රටේ සිවිල් යුද්ධයට ද සම්බන්ධ වුණා.

ජාත්‍යන්තර සමුලුවලදී ගඩාෆි සිය ඇඳුම් පැළඳුම් සහ හැසිරීමෙන් ආන්දෝලනාත්මක සිද්ධීන් ගණනකට මුල පිරුවා. ඔහුගේ බෙඩොවීන් මූලය සිහි ගන්වමින් ලිබියාවේ විශාල සහ සුඛෝපභෝගී කූඩාරමක් භාවිතා කළ ගඩාෆි තමන් යන යන තැන එය රැගෙන ගියා. එමෙන්ම ඔහුට කාන්තාවන්ගෙන් සැදුම් ලත් පුද්ගලික ආරක්ෂක බල ඇණියක් ද තිබුණා.

ගඩාෆිගේ කාන්තා ආරක්ෂක බලකා සෙබළියන් පිරිසක් පැරිසියේ ලූවර් කෞතුකාගාරයේදී (AFP)

අරාබි සමුලු, අප්‍රිකානු සමුලු මෙන්ම එක්සත් ජාතීන්ගේ සමුලුවල ද ගඩාෆි ආවේගශීලී කතා පැවැත්වීමේ රුසියකු වුණා. 2009 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා සභා රැස්වීමේදී ඔහු එම සංවිධානය නිර්දය ලෙස විවේචනය කළේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ප්‍රසිද්ධියේ ඉරා දමමින්.

ත්‍රස්ත චෝදනා

මුවම්මර් ගඩාෆිට එරෙහිව ත්‍රස්තවාදයට අනුබල දීමේ චෝදනා බොහෝ කලක පටන් ම එල්ල වුණා. බ්‍රිතාන්‍යය චෝදනා කළේ ඔහු අයර්ලන්ත රිපබ්ලිකන් හමුදාව හා සබඳකම් පවත්වන බවයි. එමෙන්ම පලස්තීන කණ්ඩායම් සමහරක් සමඟ ද ඔහුගේ සබඳතා පැවතුණ බව කියැවෙනවා.

1986 වසරේදී බටහිර බර්ලිනයේ සිදු වූ බෝම්බ පිපිරුමකට ලිබියානු ඔත්තු සේවා සම්බන්ධ බවට චෝදනා එල්ල වුණා. එහිදී ඇමරිකානු සෙබළුන් දෙදෙනකු ද මිය ගියා. ඇමරිකානු රජය මෙම අවස්ථාව නිදහසට කරුණක් කරගනිමින් ලිබියාවේ ට්‍රිපොලි සහ බෙන්ගාසි වෙත ගුවන් ප්‍රහාර එල්ල කළා. මෙම ප්‍රහාරයේදී ගඩාෆි හදාගත් දියණියක මරණයට පත් වූ බවට වාර්තා පළ වූ නමුත් එම වාර්තා තහවුරු වූයේ නැහැ.

1988 දී ස්කොට්ලන්තයේ ලොකර්බි නගරයට ඉහළ අහසේ පෑන් ඇම් ගුවන් සේවයේ ගුවන් යානයක් පිපිරී යාමේ සිද්ධියට ලිබියානුවන් දෙදෙනකු සම්බන්ධ බවට චෝදනා එල්ල වීමත් එම ලිබියානුවන් භාර දීමට ගඩාෆි ප්‍රතික්ෂේප කිරීමත් හේතුවෙන් ලිබියාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ සම්බාධක පවා පැනවුණා. අවසානයේදී ඔවුන් දෙදෙනා බාර දීමට 1999 දී ගඩාෆි එකඟ වුණා.

බටහිර ලෝකය සමඟ මිත්‍රත්වය​

ලොකර්බි සිද්ධිය පිළිබඳ අර්බුදය නිමා වූ පසු ලිබියාව සහ බටහිර රටවල් අතර පැවති විරසකය කෙමෙන් පහව යනු දක් නට ලැබුණා. විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් සහ ගඩාෆි අතර විශේෂ සමීපතාවයක් වර්ධනය වනු දිස් වුණා. මෙම තත්ත්වයට හේතු වූයේ කිනම් කරුණක්දැයි යන්න පැහැදිලිව නැහැ. කෙසේ වෙතත් එක්තරා සමයක දෙරටේ බුද්ධි අංශ එකිනෙකාට සහය දැක්වූ බව ද බ්‍රිතාන්‍යයේ බුද්ධි අංශවල උපකාරයෙන් ඇතැම් ලිබියානු විරුද්ධවාදීන් එරටට ගෙන්වා ගැනීමට ගඩාෆි සමත් වූ බව ද චෝදනා එල්ල වුණා.

ගඩාෆි සහ ටෝනි බ්ලෙයාර් ලිබියාවේ ගඩාෆිගේ කූඩාරමේ (AP)

ටෝනි බ්ලෙයාර් ප්‍රකාශ කළේ තමා සහ ගඩාෆි අතර ඇතිවූ මිත්‍රත්වය හේතුවෙන් ගඩාෆිගේ සමූහ නාශක අවි වැඩපිළිවෙල අහෝසි කරගැනීමට තමන්ට හැකිවූ බවයි. නමුත් මෙම අදහස ඇතැමුන් ගේ තද දෝෂදර්ශනයට ලක්ව තිබෙනවා.

බලයෙන් පහ කිරීම සහ ඝාතනය​

2010 අගදී ටියුනීසියාවෙන් ඇරඹි ජනතා විරෝධතා 2011 මුලදී අරාබිකරය සිසාරා පැතිර යන්නට පටන් ගැනුණේ ටියුනීසියාවේ බෙන් අලීට පසුව ඊජිප්තුවේ හොස්නි මුබාරක් ද බලයෙන් නෙරපා හරිමින්. මින් පසු තවත් රටවල් ගණනක විරෝධතා මතු වූ අතර ලිබියාව ද ඒ අතර වුණා.

ලිබියාවේ මෙම විරෝධතා මුලින් ම මතු වූයේ නැගෙනහිර ප්‍රදේශයේයි. ඊට ගඩාෆි ද ප්‍රති ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්තා. කැරලිකරුවන් යුධමය වශයෙන් පරාජය කිරීමට ගඩාෆිට විශාල අභියෝගයක් නොවන්නට තිබුණා.

නමුත් මේ අවස්ථාවේ ලිබියානු හමුදා විසින් සිවිල් වැසියන් මරා දමන බවට චෝදනා කළ නේටෝව ලිබියානු යුද්ධයට මැදිහත් වීමට තීරණය කළා. එක්සත් ජාතීන්ගේ ද අවසරය ඇතිව නේටෝ සංවිධානය ලිබියානු හමුදාවලට ගුවනින් පහර දීමට පටන් ගත්තා. මේ අනුව කැරලිකරුවන් පරාජයෙන් ගැලවුණ අතර මීළඟ මාස කිහිපයේදී රටේ දරුණු සටන් පැවතුණා.

2011 අගෝස්තුවේ කැරලිකරුවන් විසින් එල්ල කළ දැවැන්ත ප්‍රහාරයකින් ට්‍රිපොලි අගනුවර අල්ලාගනු ලැබුණා. ගඩාෆි ප්‍රදේශයෙන් පළා ගියා.

ගඩාෆි අවසානයේදී කොටු වූයේ ඔහුගේ උපන් ගම වූ සිර්ටේ ප්‍රදේශයේදී. එම ප්‍රදේශයෙන් පළා යාමට උත්සාහ කළ රථ පෙළකට නේටෝ ගුවන් ප්‍රහාර එල්ල වුණා. ගඩාෆි එහි සිටි අතර ඔහු උමගක සැඟව බේරීමට උත්සාහ කිරීමේදී අල්ලාගන වධ දී මරා දමනු ලැබුණා.

ගඩාෆිගේ මරණය පිළිබඳ ලිබියානුවන් සැළකිය යුතු පිරිසක් සත්‍ය වශයෙන් ම ප්‍රීති වූ බව දකින්නට තිබුණා. එනමුත් මීළඟ වසරවල ලිබියාවේ විවිධ සන්නද්ධ කණ්ඩායම් එකිනෙකා හා කුළල් කනු දක්නට ලැබුණා. මේ අතර “ඉස්ලාමීය රාජ්‍ය​” ත්‍රස්ත සංවිධානය පවා ලිබියාවට රිංගාගැනීමට සමත් වුණා.

අද වනවිට “ඉස්ලාමීය රාජ්‍ය​” ත්‍රස්තයින් ලිබියාවේ පරාජය කරනු ලැබ තිබුණද තවමත් සිවිල් යුධ තත්ත්වය නිමාවී නැහැ.

Cover Image: ගඩාෆි (AP)

Related Articles