ලංකා නාමය ජාත්‍යන්තරයේ රැඳ වූ ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයන් පිළිබඳව ඔබ අසා ඇති. එක්සත් ජාතීන්ගේ නෙදර්ලන්තයේ, හේග් නුවර පිහිටි අන්තර්ජාතික අධිකරණයේ උප සභාපති ලෙස කටයුතු කළ ක්‍රිස්ටෝපර් ග්‍රෙගරි වීරමන්ත්‍රී, එක්සත් ජාතීන්ගේ උප මහලේකම් ලෙස කටයුතු කළ මෙන්ම වරෙක මහලේකම් ධූරය සඳහා ද තරග කළ ආචාර්ය ජයන්ත ධනපාල, ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ පරිසර උපදේශක කමිටුවේ සේවය කළ මෙන්ම එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලයේ උප සභාපති ලෙස 2007 සාමය සඳහා වූ නොබෙල් ත්‍යාගය එම ආයතනය වෙනුවෙන් දිනා ගත් මහාචාර්ය මොහාන් මුණසිංහ, ලංකාවේ නව නිපැයුම් ක්ෂේත්‍රයේ නියමුවා ලෙස සලකන ලෝකයට රෝද දෙකේ අත්ට්‍රැක්ටරය හඳුන්වා දුන් ආචාර්ය රේවත විජේවර්ධන, එක්සත් ජාතීන්ගේ වෙළදාම හා සංවර්ධනය පිළිබඳ සම්මේලනයේ (UNCTAD) හි මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ ආචාර්ය ගාමණී කොරෙයා, ජීව විද්‍යාඥ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ, නාසා ආයතනයේ සේවය කළ මුල්ම සඳ ගමනේ දී ගෙන ආ පාෂාණ පරික්ෂා කළ ආචාර්ය සිරිල් පොන්නප්පෙරුම, පාත් ෆයින්ඩර් යානයේ කැමරා පද්ධතිය සකස් කිරීමේ කාර්යභාරය කළ වර්තමානයේ නාසා ආයතනයේ සේවය කරන ආචාර්ය සරත් ගුණපාල, එක්සත් ජාතීන්ගේ වෙළදාම හා සංවර්ධනය පිළිබඳ සම්මේලනයේ (UNCTAD) සෞඛ්‍ය අංශයේ සේවය කළ එමෙන්ම ලංකාවට ඖෂධ ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීම සඳහා උත්සාහ කළ මාහාචාර්ය සේනක බිබිලේ යන විදවතුන් ඒ අතරින් ප්‍රධාන යි.

එමෙන්ම, එක්සත් ජාතින් නියෝජනය කළ මහාචාර්ය ගුණපාල මලලසේකර, හැමිල්ටන් ෂර්ලි අමරසිංහ, මහාචාර්ය ස්ටැන්ලි කල්පගේ හා නීතිඥ එච්. එල්. ද සිල්වා යන විද්වතුන් ද ලංකාවට විශාල කීර්තියක් අත්කර දී තිබෙනවා.

එම විද්වතුන් අතරෙන් එක්සත් ජාතීන්ගේ වෙළදාම හා සංවර්ධනය පිළිබඳ සම්මේලනයේ (UNCTAD) හි මහ ලේකම්වරයා ලෙස වරක් කටයුතු කළ අචාර්ය ගාමණී කොරෙයා සඳහා යි අද ලිපියේ ඉඩ විවර වෙන්නේ.

ප්‍රභූ පවුලක උපත ලද ගාමණී කොරෙයා 

ගාමණී කොරෙයා- දකුණේ (groundviews.)

වෛද්‍ය C.V.S. කොරෙයාට හා ෆ්‍රෙඩා කොරෙයාට දාව 1925 වසරේ නොවැම්බර් මාසයේ ගාමණී කොරෙයා උපත ලබනවා. ඔහුගේ මුත්තණුවන් රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළ මන්ත්‍රීවරයෙකු වූ අතර, ඔහුගේ මව වන ෆ්‍රෙඩා කොරෙයා යනු ලංකාවේ තෙවන අගමැතිවරයා බවට පත් වූ සර් ජෝන් කොතලාවලගේ සහෝදරිය යි. 

උපතින්ම ප්‍රභූ පැලැන්තියට අයත් වූ ගාමණී කොරෙයා, සිය පාසල් අධ්‍යාපනය සඳහා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වෙනවා. පාසල් අධ්‍යාපනය අවසන් කරන ඔහු, 1944 වසරේ දී ලංකා විද්‍යාලයට ඇතුළත් වෙනවා. පසුව ඔක්ස්ෆර්ඩ් හා කේම්බි‍්‍රජ් යන බි‍්‍රතාන්‍ය සරසවි දෙකෙන්ම උසස් අධ්‍යාපනය හැදෑරීමට ඔහු සමත් වෙනවා. 1952 වන විට මූලික උපාධි දෙකකුත් පශ්චාත් උපාධියකුත් ලබාගැනීමට ගාමණී කොරෙයාට හැකියාව ලැබෙනවා. පසුව ආචාර්ය උපාධියක් ද ලබාගන්නා ගාමණී කොරෙයාට කොළඹ හා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මඟින් පසුව සම්මාන උපාධි පිරිනමනවා.

ලංකාවට පැමිණෙන ඔහු, ලංකා මහ බැංකුවේ පර්යේෂණ නිලධාරියෙකු ලෙස කෙටි කාලයක් සේවය කරනවා. 1952-1973 කාල සීමාව තුළ රජයේ විවිධ තනතුරු දරමින් ඔහු මෙරටට සේවය කරනවා. 1960 දක්වා ලංකාවේ රජයේ සැලසුම් ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන අතර, ජාතික සැලසුම් කවුන්සිලයේ ලේකම් ලෙස ද වරක් සේවය කරනවා. 1960 සිට 1964 දක්වා ඔහු මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ අතර, 1965 දී ලංකා රජයේ සැලසුම් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කරනවා.

මහා බැංකුවේ සහකාර අධිපතිවරයා ලෙසත්, පසුව එහි නියෝජ්‍ය අධිපති ලෙසත් ගාමණී කොරෙයා පත් වෙනවා. ඔහු බෙල්ජියම, ලක්සම්බර්ග් හා නෙදර්ලන්තය සඳහා ලංකාවේ තානාපති ධුරයට ද පත් වී ටික කාලයක් සේවය කරනවා. පසුව ලංකාව නියෝජනය කරමින් එක්සත් ජාතීන්ගේ සමුළු සඳහා ද කිහිපවරක්ම සහභාගී වෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට 

ජේ. ආර්. ජනාධිපතිවරයා සමග (vernoncorea)

1965 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවර්ධන සැලසුම් කමිටුවේ (United Nations Committee on Development Planning) සාමාජිකයෙකු ලෙස පත් වෙන ඔහු, 1972 වසරේ එම කමිටුවේ සභාපතිවරයා ලෙස පත් වෙනවා. පසුව විවිධ කලාප හා අනුබද්ධ එක්සත් ජාතීන්ගේ උප මෙහෙයුම් කමිටුවල සාමාජිකයෙක්, මෙන්ම ප්‍රධානියෙකු ලෙස ද කටයුතු කරනවා. 

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පළමු වතාවට ලාංකිකයෙකුට ඉහළ තනතුරක් 

ගාමණී කොරෙයා (collidecolum)

1964 දී ඇරැඹුණු වෙළදාම හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මේලනය (UNCTAD) ජාත්‍යන්තර වෙළදාම, ආයෝජනය හා සංවර්ධනය ගැන ප‍්‍රතිපත්ති නිර්දේශ කරන, මේ ක්ෂේත්‍ර අරබයා දියුණු හා දියුණු වන රටවල් අතර යම් තුලනයක් පවත්වා ගන්නට අරමුණු කළ ආයතනයක් ලෙස හැඳින්විය හැකියි. 1974 වසරේ දී එම සංවිධානයේ මහ ලේකම් ධූරයට පත් වන්නේ ආචාර්ය ගාමණී කොරෙයා යි. එක පිට එක ධූර කාල හතරක් එහි මහලේකම් ධූරය ඉසිලීමට ගාමණී කොරෙයාට හැකියාව ලැබෙනවා. ඒ, 1984 දක්වා යි. 

මේ කාල සීමාව තුළ ධනවාදී බලවත් දක්ෂිණාංශික බලපෑමට යටත් නොවී මෙන්ම අනෙක් පැත්තෙන් වාමාංශික කඳවුරේ බලපෑම්වලට ද අවනත නොවූ ඔහු, සමස්ත ලෝකයේම යහ පැවැත්ම සඳහා සාධනීය වැඩ පිළිවෙලක් ඉටුකළ බව එවකට ලෝක දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් සිදුවන ආර්ථික වෙළඳ හා මූල්‍ය කටයුතුවල දී ගාමණී කොරෙයා විශිෂ්ට හැකියාවන් ප්‍රදර්ශනය කළ බව ඔහුගේ සමකාලීනයන් පවසනවා.

1984 දී මහලේකම් තනතුරෙන් ඉවත් වෙන ඔහු, තවදුරටත් විවිධ සංවිධානවල මෙන්ම රජයේ විවිධ තනතුරු උසුලනවා. පසුව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස ද කටයුතු කරනවා.

ආචාර්ය ගාමණී කොරෙයා කොතරම් ඉහළ තනතුරකට පත් වුවත්, ඔහු කොතරම් නිහතමානි අයෙකු ද යන්න මාධ්‍යවේදී නාලක ගුණවර්ධන වරෙක මෙලෙස ප්‍රකාශ කරනවා.

“ලෝක සංවිධානවල තනතුරුවලට පත් වන බොහෝ ලාංකිකයන් උඩඟු හා උද්දච්ච බවින් පිරී යනවා. එහෙත් කොරෙයා හැමදාමත් ඉතා නිහතමානී, මිත‍්‍රශීලී චරිතයක් වුණා. මෙය මා අත්දුටුවේ වයස 24ක තරුණ මාධ්‍යවේදියකු ලෙස එවකට 65 හැවිරිදි ඔහුගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබාගන්නට ගිය විට දී යි. ඒ, 1990 අග භාගයේ දී”.

මූලාශ්‍රයයන්- 

Nalakagunawardene.com

Unctad.org