බෞද්ධ සමාජය පුබුදු කළ යතිවරයාණෝ – ගංගොඩවිල සෝම හිමි

ශ්‍රී ලංකාව තුල බෞද්ධ දර්ශණය ප්‍රචලිත කිරීමත්, තරුණයන් අතර බුදු දහම ජනප්‍රිය කිරීමත් හේතුවෙන් රටේ බෞද්ධය ප්‍රජාවගේ ජනාදරයට පාත්‍ර වූ කීර්තිමත් හිමිනමක් පිළිබඳවයි අද ලිපිය ගෙන එන්නේ.

උන්වහන්සේ තරම් මෑත ඉතිහාසයේ විචිත්‍ර ධර්ම කථිකයෙකු ලෙස ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාවගේ නොමද ගෞරවයට හා ආදරයට පාත්‍ර වූ වෙනත් කිසිවෙකු නොමැති තරම් යැයි කිව හැක. පන්සිල් සුරකින බෞද්ධයන් බිහි කිරීම සඳහා අපමණ වෙහෙස දැරූ උන්වහන්සේ ඔබ හොඳින් දන්නා ගංගොඩවිල සෝම හිමියනුයි.

බුදු දහමට ඉතා ලැදියාවක් දැක්වූ කුඩා සෝමරත්න

ගංගොඩවිල සෝම හිමි (Sakyamuni Sambuddha Vihara)

කොළඹ නගර සභාවේ සේවයේ නියුතු වීරතුංග ආරච්චිගේ දොන් ධර්මදාස නම් පියාටත් හෙට්ටිගේ දොන් චාලට් නම් මවටත් දාව 1948 වසරේ අප්‍රේල් මස 24 වනදා නුගේගොඩ ගංගොඩවිල ප්‍රදේශයේ උපත ලබන වීරතුංග ආරච්චිගේ දොන් සෝමරත්න සහෝදර සහෝදරියන් පස් දෙනෙක්ගෙන් යුත් පවුලක වැඩිමලා විය.

කුඩා කල සිට බුදු දහම ඉගෙන ගැනීමට මහත් ලැදියාවක් දැක්වූ කුඩා සෝමරත්න ගංගොඩවිල සුභද්‍රාරාමයේ ශ්‍රී රේවත දහම් පාසලෙන් දහම් අධ්‍යාපනයට අත්පොත් තබනවා. පසුව ඔහුගේ පවුල මිරිහානේ ස්ථිර පදිංචිය පැමිණි අතර මිරිහානේ ශ්‍රී රෝහණ දහම් පාසලට ඇතුල් වෙනවා. කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙන් හා කොළඹ ඉසිපතන විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරන සෝමරත්න සිසුවා විෂය පොතපතට වඩා බුදු දහම පිළිබඳව ලියැවුණු පොත් කියවීමට වඩා උනන්දුවක් දක්වනවා.

දහම් අධ්‍යාපනය සඳහා පසුව බම්බලපිටියේ වජිරාරාමයට ඇතුල් වන සෝමරත්න එහිදී කෙතරම් වුවමනාවෙන් ධර්මය ඉගන ගත්තේද යන්න කියනවානම් 8 වැනි ශ්‍රේණියේදී ඔහුට දහම් පාසලේ පන්තියක් භාරදී එහි ඉගැන්වීම් කටයුතු පැවරීමට එහි වැඩ සිටි නුවර එළියේ විමලතිස්ස හිමියන් කටයුතු කරනවා. එම අවධියේදී ඔහු තිස්ස බෝසත් ශිෂ්‍ය සම්මේලනය නමින් තරුණ ශිෂ්‍යයන් එකතු කරගෙන ක්‍රියාකාරී සංගමයක් නිර්මාණය කරනවා.

ගංගොඩවිල සෝම හිමියන් බවට පත් වූ සෝමරත්න උපාසක මහත්තයා

මහරගම සිරි වජිරඥාන ධර්මායතනය (Mapio.net)

පාසල් අධ්‍යාපනයෙන් පසුව මිරිහානේ වෙළදසැලක් ආරම්භ කළ තරුණ සෝමරත්න ඒ අතරවාරයේදී මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ (“සෝම හිමියන්ගේ පන්සල” ලෙස ප්‍රසිද්ධ ධර්මායතනය) ධර්ම දේශණා වලට මෙන්ම පෝය දින වැඩසටහන් වලට නොවරදවාම සහභාගී වෙනවා. තවද එකල ඉතාමත් ප්‍රකට ධර්මධරයෙකු වූ ඒ.ඩී.එම් බුද්ධදාසයන් ඇසුරෙන් අභිධර්මය මනා ලෙස ඉගෙනගනු ලබනවා.

අභිධර්මය හැදෑරීම හා ධර්ම පොත් පරිහරණය කිරීම තුළින් පුළුල් වූ ධර්මඥානයක් ලබාගත් සෝමරත්න තරුණයාට පොහොය දින වලදී සිල් ගත් ගිහියන්ට ධර්මානුශාසනාවක් කිරීම පැවරී තිබුනා. පසුව වජිරඥාන ධර්මායතනයේ පැවදි වීමට මේ තරුණයාට අවශ්‍ය වූවත් දෙමාපිය අකමැත්ත ඊට හරස් වෙනවා. දෙමාපියන්ගෙන් දැඩි ලෙස ඉල්ලීම් කර කැමැත්ත දිනා ගැනීමට පසුව සමත් වෙන ඔහු මඩිහේ පඤ්ඤාසීය මහ නාහිමියන්ගේ අනුශාසනා මත 1974 වසරේ සැප්තැම්බර් 20 වනදා මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේදී ගංගොඩවිල සෝම නමින් පැවිදි දිවියට පිවිසෙනවා.

“තුරුණු සවිය” සමඟ ඇති වූ චින්තන විප්ලවය

රූපවාහිනී වැඩ සටහනක (YouTube)

පැවදි වූ සාමණේර අවධියේ සෑම සති අන්තයකම මහරගම පිළිකා රෝහලට වැඩම කරන උන් වහන්සේ රෝහල් කාර්ය මණ්ඩලය සමඟ එක් වී රෝගීන්ට උපස්ථාන කරමින් ඔවුන් වෙනුවෙන් ධර්ම වැඩ සටහන් මෙහෙයවීම සිදු කරනවා. ධර්මායතනයේ දහම් පාසලේ ක්‍රියාකාරී හිමිනමක් වූ උන්වහන්සේ කෙරෙන් සෑම විටම දිස් වූයේ සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය නිදහස් මතදාරී විප්ලවීය චරිත ලක්ෂණ බව උන්වහන්සේ සමීපව ආශ්‍රය කළ පුද්ගලයින් පවසනවා.

70 දශකය වන විට ශ්‍රී ලංකාවේ තරුණ අසහනය සඳහා පාලකයන් නිසි ලෙස පිළියම් ඉදිරිපත් නොකළ බැවින් අර්බුදකාරී වාතාවරණයක් ගොඩ නැගී තිබුණා. රටේ තරුණයන්ට යහ මඟ පෙන්වා දීමට ආගමික නායකයන් අපොහොසත් වූ අවධියක සෝම හිමියන් මඩිහේ මහා නායක හිමියන්ගේ උපදෙස් මත නුවණින් යුත් අනාගත පරපුරක් නිර්මාණය කිරීම සඳහා 1975 වසරේ ඇසළ මාසයේදී තරුණ තරුණියන් මුල් කරගනිමින් බෞද්ධ චින්තනය මත පදනම් වූ “තුරුණු සවිය” නම් සංවිධානය මෙහෙයවීම භාර ගන්නවා.

මුලදී මේ සඳහා තරුණ තරුණියන් සුළු සංඛ්‍යාවක් පමණක් සහභාගී වුවද කල් යත්ම එම ගණන දහස් ගණනින් ඉහළ යනවා. සම්ප්‍රදායෙන් ඔබ්බට ගමන් කරමින් සංවාදශීලි ධර්ම සාකච්ජා, පොදු ජනතාව අතරට සන්නිවේදනය කිරීම සඳහා රට පුරා ජනයා රැස් වන ස්ථානයන්හි පැවැත්වීමට මෙම සංවිධානය විසින් කටයුතු කරනවා. තෙරුවන් වැදීම හා මල්පහන් පූජා කිරීමෙන් ඔබ්බට ගොස් “සැබෑ බෞද්ධයා යනු කවුරුන්ද”, “දෙවියන් යැදීමෙන් මෙලොව යහපත උදා කර ගත හැකිද”, “මිත්‍යා විශ්වාස මුල්කර ගනිමින් සිදු කරන පිළිම නිර්මාණය” වැනි මාතෘකා ඔස්සේ අරුත්බර ධර්ම දේශනා සෝම හිමියන් විසින් මේ අවස්ථාවන් වලදී පවත්වනවා.

මේවාට පිළිතුරු දෙමින් සෝම හිමියන් සෘජුව ප්‍රකාශ කරන්නේ විනය විරෝධී හැසිරීමක් තම සංවිධානය තුළ නැති බවයි. පන්සලේ දායක සභාවේ යම් පිරිසක් මෙම ප්‍රකාශත් සමඟ උන්වහන්සේ සමඟ නොමනාපකම් ඇති කරගන්නවා.

හැත්තෑව දශකයේ අග භාගය වන විට ධර්මායතනයේ දහම් පාසලේ උන්නතිය වෙනුවෙන් ඉතා කැපවීමෙන් කටයුතු කළ උන්වහන්සේ එහි ප්‍රධානාචාර්යවරයා ලෙස කටයුතු කරනවා. “රාහුල මාතා” නමින් උන් වහන්සේගේ මුල්ම කෘතිය රචනා කරන්නෙත් මේ අවධියේයි.

ආරණ්‍යගත වීම

උන් වහන්සේ වැඩ සිටි ගල් ලෙන (amazinglanka.com)

එතෙක් වැඩ සිටි ධර්මායතනයෙන් බැහැරව ගොස්, අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය ප්‍රදේශයේ “උණුවතුර බුබුල” නම් අති දුෂ්කර ගම්මානයේ පිහිටි වෙහෙරගල ආරණ්‍යයට වැඩම කර, පැවිදි ශික්ෂාවන් සම්පූර්ණ කරගැනීම සඳහා භාවනායෝගීව ටික කලක් ගත කිරීමට සෝම හිමියන් විසින් තීරණය කරනවා. එවැනි දුෂ්කර ප්‍රදේශයකට නොයන ලෙස බොහෝ දෙනෙක් ඉල්ලා සිටියත් උන්වහන්සේ ඒ සියළු දෙනාටම සිනහ මුසු මුහුණින් තමා පැවිද්දෙකු බවත්, පැවිද්දකුට දුෂ්කර ජිවිතයක් ගත කිරීම අපහසු නොවන බවත්, ශ්‍රමණ ප්‍රතිපදාවන් වැඩීමට වැඩ සුදුසුවන්නේ අරණ්‍යවාසී වීම බවත් සේ පිළිතුරු දුන් බව පැවසෙනවා.

පුරා මාස ගණනාවක් පිණ්ඩපාතයෙන් දවසට එක් වරක් පමණක් යැපෙමින් භාවනායෝගීව සිටින උන්වහන්සේ, නායක ස්වාමින් වහන්සේගේ හා දායකයන්ගේ ඉල්ලීම මත ධර්මායතනයේ නව විහාර මන්දිරය නිර්මාණය කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයතු කරන්නට නැවතත් වැඩම කරනවා. එම කටයුතු අවසාන වූ සැනින් නැවත ආරණ්‍යගත වෙන උන්වහන්සේ පැවිදි ශික්ෂා ප්‍රගුණ කරනවා.

මහඔය සිට කැළණියට පාද චාරිකාව

පාද චාරිකාවේ ගමන් මඟ (ElaKiri.com)

ගම්බද පළාත්හි ජනතාව වෙනුවෙන් වෙහෙරගල සිට ඌව, දකුණ හා සබරගමුව ආදී පළාත් රැසක් ආවරණය කරමින් කැළණියට යනතුරු ධර්මය දේශනා කරමින් පාගමනින් වැඩම කිරීමට මේ අතරවාරයේ සෝම හිමියන් විසින් තීරණය කරනවා

ඉතා දුෂ්කර ප්‍රදේශ ඔස්සේ වන සතුන්ගෙන් බේරී යාම ඉතා අපහසු බැවින් මෙම පාද චාරිකාවේ නොදෙන ලෙස වෙහෙරගල ගැමියන් විසින් පැවසුවද දුෂ්කර පෙදෙස්වල ජනතාවට ධර්මය ශ්‍රවනය කිරීමට අවස්ථාවක් නොලැබෙන නිසා තමන් මේ ගමන යන බවත්, එය පැවිද්දෙකුගේ යුතුකම බවත් උන්වහන්සේ ප්‍රකාශ කළ බව පැවසෙනවා.

සති පහක කාලයක් තිස්සේ සැතපුම් දෙසියයක් ඉක්මවන පාද චාරිකාවේ යෙදුනු උන්වහන්සේ එම ප්‍රදේශ වල සිටි ගැමියන්ට ධර්මය දේශනා කරමින් පිණ්ඩපාතයෙන් තම දානය සොයාගනු ලබනවා. රාත්‍රිය ගත කිරීමට එම ප්‍රදේශයන්හි පන්සල් තෝරා ගනු ලබනවා. අවසානයේ කැළණි විහාරයෙන් පාද චාරිකාව අවසන් කරන උන්වහන්සේ මහරගම ධර්මායතනයට වැඩම කරනවා.

ඒ අතරේ, සෝම හිමියන් සිදුකරන්නේ වනගතව භාවනා කිරීම නොව පැවිද්ද අතහැර දුස්සීල දිවියක් ගත කිරීම බවට] විවිධ ප්‍රචාර පතුරවමින් මඩිහේ පඤ්ඤාසීය නායක හිමියන්ව උන්වහන්සේ හා බිඳවීමට විහාරයේ දායක සභාවේ ඇතැමෙක් කටයුතු කරනවා. නමුත් අවසානයේ එම කටකතා අසත්‍ය බවත් ගංගොඩවිල සෝම හිමියන් නිවැරදි බවත් නායක හිමියන් විසින් තීරණය කරන අතර සමාජ කටයුතු වලදී ප්‍රශංසා මෙන්ම නින්දා ද ලැබෙන බවත්, ඒවායෙන් කලකිරීම නොයුතු බවත් අවවාද කළේ යැයි කියැවෙනවා

ඕස්ට්‍රේලියාවට

ශ්‍රී ලංකාවේදී උන්වහන්සේට වන චෝදනා දැන, ඔස්ට්‍රේලියාවට වැඩම කර බුදු දහම ජාත්‍යන්තරයට බෙදන ලෙස එරට ශ්‍රී ලාංකිකයන්  විසින් 80 දශකයේ මුල් කාලයේදී ආරාධනා කර සිටිනවා.

මෙම ආරාධනාව පිළිගන්නා උන් වහන්සේ 1986 වසරේ වෙසක් මාසයේ ඔස්ට්‍රේලියාවට වැඩම කරනවා. එම රටේ සිටි සමහරක් ශ්‍රී ලංකික බෞද්ධයන් බලාපොරොත්තු වූ ආකාරයට උන් වහන්සේ නොහැසිරුණු අතර ලාබ සත්කාර සඳහා වැරදි ඉදිරියේ මුනිවත් රැකගෙන සිටීම උන්වහන්සේගේ ලක්ෂණය නොවූ බව තතු දන්නෝ පවසනවා.මේ අතරේ ඇතැමෙක්ගේ වැරදි අඩුපාඩු කෙලින්ම පෙන්වා දීම හේතුවෙන් යම් පිරිසක් උන් වහන්සේ හා උරණ වූ බව කියැවෙනවා. ඔවුන් සෝම හිමියන් ඕස්ට්‍රේලියාවේ ලංකා විහාරයෙන් නෙරපා දැමීමට රහසේ කටයුතු කළ බව වාර්තා වෙනවා.

පසුව ඕස්ට්‍රේලියාවේ විසූ ශ්‍රී ලාංකිකයන් පිරිසකගේ මුලිකත්වයෙන් 1994 මැයි මාසයේදී විවිධ බාධක රැසක් මධ්‍යයේ වික්ටෝරියා බෞද්ධ මධ්‍යස්ථානය ඉදිකරන අතර උන්වහන්සේට එදිරිව කටයුතු කළ ශ්‍රී ලාංකිකයන් පිරිස පසුව උන් වහන්සේගෙන් සමාව ඉල්ලා සිටි බවයි පැවසෙන්නේ.

ජීවිතයෙන් සමුගැනීම

අවමගුල් පෙරහැර (The Sunday Leader)

බොහෝ දෙනාගේ හිත සුව පිණිස ලොවපුරා ධර්ම ප්‍රචාරයේ යෙදුනු උන්වහන්සේ විසින් රචිත “බෞද්ධ ස්ථූප” කෘතියට දර්ශන විද්‍යා ආචාර්ය උපාධිය පිරිනැමීම සඳහා 2003 වසරේ ඔක්තෝම්බර් 3 වනදා රුසියාවේ ශාන්ත පිටර්ස්බර්ග් ජාත්‍යන්තර දේව ධර්ම විශ්වවිද්‍යාලයෙන් උන්වහන්සේට ආරාධනා කර සිටිනවා.

නමුත් එහිදී නොසිතූ ලෙස අසනීප වූ උන්වහන්සේ රෝහල්ගත කරන සිටින විට ඇති වූ දරුණු හෘදයාබාධයක් හේතුවෙන් දෙසැම්බර් 12 වනදා අපවත් වෙනවා. අවුරුදු 55ක් තරම් කෙටි කාලයක් ජීවත් වූ උන්වහන්සේගේ දේහය මහරගම වජිරඥාන ධර්මායතනයට වැඩම වූ අතර එම අවමඟුල් උළෙල සිදු වන්නේබෞද්ධයන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්.

මුලාශ්‍ර –  සෝම හාමුදුරුවෝ – ඉන්දු පෙරේරා ISBN-955-551-30-7

              අමර සමර IX – අමර හේවාමද්දුම ISBN – 978-955-671-900-0

කවරයේ ජායාරූපය – Sakyamuni Sambuddha Vihara

Related Articles