ජෙෆ්රිගේ මහන්සිය උඩ හාන්සි වුණාට කමක් නෑ, එතන කැත කරන්න එපා!

රට සරසපු මනුස්සයෙකු නිර්මාණිත ගෘහයක ඉඳන් රට වනසන එක අප්‍රසන්නජනක වුවත්, එකී පාර්ලිමේන්තුවේ ගෘහ නිර්මාපක “ජෙෆ්රි බාවා” ගැන ප්‍රසන්න වූ මනසකින් යුතුව කතා කරන්නට අපට පුළුවන්. ශ්‍රී ලාංකීය ගෘහ නිර්මාණ ක්ෂේත්‍රයේ පීතෘත්වය දරන ඔහු මියගොස් අද දිනට (2019 මැයි 27) වසර 16ක් සපිරෙයි. ඉතින්, දහසය වසරකට එපිට හිඳ ජෙෆ්රිගේ මතකය අවුස්සන්නට මෙතැන් සිට අවසර.

ජෙෆ්රි බාවා (pinterest)

1919 ජූලි 23 වන දා උපත ලබන ජෙෆ්රි මැනිං බාවා, යටත් විජිත ප්‍රවේණිගත බහුවාර්ගික පවුලක අයෙකි. ඔහු මුස්ලිම් හා ඉංග්‍රීසි පෙළපතකින් පැවත ආ බෙන්ජමින් ඩබ්ලිව්. බාවා නම් නීතීඥවරයාගේ සහ සිංහල, ජර්මානු හා ස්කොට් ජාතික සම්භවය ලද බර්තා මේරියන් කැම්බෙල් ශ්‍රේඩර් යන අයගේ ආදරණීය පුත්‍රයා විය. කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික හා ද්විතීයික අධ්‍යාපනය ලබන ජෙෆ්රි, උසස් අධ්‍යාපනය සඳහා එංගලන්තයේ කේම්බ්‍රිජ් සරසවියට පිවිසෙන්නේ ය. ඉනික්බිතිව, තම පිය සෙවනැල්ලේ එල්ලී ලන්ඩන් මිඩ්ල් ටෙම්පල්හි දී නීතිය හැදෑරූ ඔහු, 1944 දී නීති ක්ෂේත්‍රයට අඩි තබයි. නමුදු, වැඩි කලක් යන්නට මත්තෙන් ඉන් විඩාවට පත්වන ජෙෆ්රි, නීතියෙන් නික්මී ගෘහ නිර්මාණ ක්ෂේත්‍රයේ ඇසුර ලබන්නට සිතයි.

ලුණුගඟ වෙනකෙකු බිලී බාවා ගන්නට මත්තෙන් ජෙෆ්රි බාවා ඉස්සර වෙයි.

ලුණුගඟ උද්‍යානය (lunuganga-country-estate-bentota-sri-lanka-en.ww.lk)

ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපය හා පෙරදිග රටවල් ද ඇතුළු ව ලෝ වටා සංචාරයක යෙදීමෙන් අනතුරුව ජෙෆ්රි නැවත ලංකාවට සම්ප්‍රාප්ත වනුයේ හිස් අතින් නම් නොවේ. තම පළමු ව්‍යාපෘතිය ඇරඹීමේ අරමුණින්, වෙනකෙකු බිලි බාවා ගන්නට ප්‍රථම ලුණුගඟ රබර් වතුයාය ඔහු ලංකාවට ආ විගස මිල දී ගන්නේ එය නිවර්තන පාරාදීසයක් කිරීමේ අටියෙනි. ගෘහ නිර්මාණ ශිල්පයේ මුලකුරු කියවන සැමගේ පළමු විෂයානුබද්ධ කියැවීම මෙකී ලුණුගඟ උද්‍යානය වන අතර, ජෙෆ්රී බාවා එය නිර්මාණය කිරීමේ දී මධ්‍යධරණී කලාපීය අලංකරන ශිල්පයන් යොදා ගෙන ඇතැ යි කියැවේ. එමෙන්ම මෙම ව්‍යාපෘතියේ සුවිශේෂි ම කාර්යය වන්නේ, ජෙෆ්රිට තමන් ගැන ම තක්සේරුවකට එළඹෙන්න ද මෙය ඉවහල් වූ නිසාවෙනි. මන්දයත්, තමා සතු පරිකල්පනීය ශක්තිය හා නිර්මාණශීලි බව මෙන්ම තමාට අහිමි තාක්ෂණික දැනුම පිළිබඳව ද ජෙෆ්රි හඳුනාගන්නේ මේ ඔස්සේ ය. එහෙයින් ඔහු කෙටි කලක් කොළඹ, කුමාර වීදියේ “එඩ්වඩ්ස් රීඩ් සහ බෙග්” නම් ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ඇසුරෙහි ආධුනිකයෙකු ලෙස කාලය ගෙවයි. ඉන්පසු, නැවත වරක් එංගලන්තය බලා යන ජෙෆ්රි ලන්ඩන් හි වාස්තු විද්‍යා සංගමයෙන් ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය හදාරා වයස අවුරුදු 38 දී පමණ තම ගෘහ නිර්මාණ ශිල්පීය සුන්දරත්⁣වයේ සිහිනය සාක්ෂාත් කර ගනී.

ජෙෆ්රි, ලංකාවේ ඉදිකළ සුපිරි තැන්

ඔස්මන්ඩ් හා ඊනා ද සිල්වාගෙ නිවස

ඊනා ද සිල්වාගෙ නිවස (al jazeera)

ජෙෆ්රිගේ සහෝදරයා වන බෙවිස් බාවාගේ හිතවතියක මෙන්ම සුප්‍රකට බතික් නිර්මාණ ශිල්පිණියක ද වූ ‘ඊනා ද සිල්වා’ගේ නිවස, ජෙෆ්රිගේ මුල්කාලීන නිර්මාණ අතර සුවිශේෂිත්වයක් ගනී. ඊනාගේ අභිමතය පරිදි නුවර යුගයේ සාම්ප්‍රදායික නිවසක හැඩය ද ගත්, විශාල ඉඩම්වල ඉදිකරන ලද වලව් සම්ප්‍රදායේ ගොඩනැගිලිවල ලක්ෂණත්, ලන්දේසි සම්ප්‍රදායේ ගොඩනැගිලිවල ලක්ෂණත්, ලන්දේසි සහ මුවර් ගණයට අනුකූල වීදි නිවාස සම්ප්‍රදායත් මුසුකොට මැනවින් වාතාශ්‍රය ලැබෙන පරිදි ජෙෆ්රිගේ අතින් නිමැවුණු නවීන පන්නයේ නිවසකි මේ.

2009 වසරේ දී ඊනා ද සිල්වා විසින් මෙම නිවස ප්‍රසිද්ධ පෞද්ගලික රෝහල් සමාගමකට විකුණා දැමීමට තීරණය කෙරිණි. ඔවුන් විසින් මෙම නිවස කඩා ඉවත් කිරීමට කටයුතු සුදානම් කරමින් පවතින අවස්ථාවක ජෙෆ්රි බාවා පදනමත්, චන්න දාස්වත්ත, අමිලා ද මැල්. සී. අන්ජලේන්ද්‍රන්, නිලාන් කුරේ යන වාස්තු විද්‍යාඥයන් කිහිපදෙනකුගේ මැදිහත්වීමෙන් මෙම වාස්තු විද්‍යා ස්මාරකය කොටසක් නෑර අංකනය කොට ඒ අයුරින්ම ගලවාගෙන ගොස් වෙනත් ස්ථානයක ප්‍රතිස්ථාපනය කිරීමට යෝජනා විය. ජෙෆ්රි බාවාගේ සමීපතමයන් කිහිපදෙනකුගේ ආර්ථිකමය මැදිහත්වීමෙන් ප්‍රථමයෙන්ම මෙම නිවස මොරටුව විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ස්ථාපනය කිරීමට සැලසුම් කොට තිබුණු අතර පසුව අලුත්ගම, ලුණු ගඟ ජෙෆ්රි බාවාගේ පුද්ගලික නිවාඩු නිකේතනය සහ ලෝකප්‍රකට උද්‍යාන පරිශ්‍රයට යාබදව පිහිටුවීමට යෝජනා විණි. අනතුරුව ජාතික පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ උපදෙස් හා අධීක්ෂණය යටතේ යෝජනා වූ පරිදි වසර කිහිපයක දුෂ්කර පරිශ්‍රමයක ඇවෑමෙන් සෑම කණුවකටම, සෑම ගල් ඇතිරුමකටම නියමිත ස්ථානය ලැබෙන පරිදි ඒ අයුරින්ම ස්ථාපනය කෙරිණි.

ද ගැලරි කැෆේ අවන්හල

The Gallery Cafe අවන්හල (lanka.com)

මේ වන විට ‘Paradise Road’ ව්‍යාපාර සමූහයේ හිමිකාරීත්වය දරණ උදේශාන්ත් ප්‍රනාන්දු මහතා විසින් පවත්වාගෙන යන The Gallery Cafe නම් අවන්හල ද ජෙෆ්රිගේ තවත් සුවිශේෂි නිමැවුමකි. කොළඹ අවන්හල්වල ප්‍රමිතිය ඉහළ තලයකට ඔසවා තැබීමට සමත් වූ මෙය 1998 දී විවෘත කෙරුණු අතර, ඩෙන්මාර්ක් ජාතික උල්රික් ප්ලෙස්නර් නැමැත්තා සමග හවුල් ව ව්‍යාපාර කටයුතු කරගෙන යන අතරවාරයේ දී ජෙෆ්රි බාවා තමාගේ කාර්යාලයීය පහසුව උදෙසා 1987 දී පමණ කොළඹ, ඇල්ෆ්‍රඩ් හවුස් පාරේ ඉදිකරන ලද්දකි.  

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණය (wikipedia)

ජෙෆ්රි බාවාගේ ගෘහ නිර්මාණ දිවියේ හැරවුම් ලක්ෂය ලෙස සැලකෙන ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණය නිර්මාණය කිරීම සැලසුම් කෙරුණේ, අප ඉහත දී සඳහන් කළ ඊනා ද සිල්වාගේ නිවසේ සිටයැ යි කියැවේ. ජෙෆ්රි බාවා වෙත ජාත්‍යන්තර අවධානය යොමුවෙන්න බලපෑ ඔහුගේ දැවැන්තම නිර්මාණය ලෙසට සැලකෙන්නේ ද මෙය යි. ශ්‍රී ලංකාව ජනරජයක් වීමත් සමග 70 දශකයේ දී ජෙෆ්රිට මෙම ව්‍යාපෘතියේ වගකීම පැවරුණු අතර, 1982 වසරේ දී පාර්ලිමේන්තු සංකීර්ණය ඔහු අතින් නිමැවිණි. ගෘහ නිර්මාණ ශිල්පීය ක්ෂේත්‍රයේ අපූර්වත්වය අතින් ගත් කල මෙය, ලොව ආකර්ෂණීයම පාර්ලිමේන්තු ගොඩනැගිල්ලක් ලෙසට ද සැලකේ.

ගංගාරාමයේ සීමාමාලකය

සීමා පැන නිමැවූ සීමාමාලකය (albinger.me)

අප ඉහත කී පාර්ලිමේන්තු සංකීර්ණය ගොඩනැගීමේ දී ද ජෙෆ්රි විසින් සීමාමාලකයේ ආකෘතිය ආශ්‍රය කොට ගෙන ඇති බව කියැවේ. 1971 වර්ෂයේ රිය අනතුරකට ලක්ව ශල්‍යකර්මයක් සඳහා ගංගාරාමේ පොඩි හාමුදුරුවෝ (ගලබඩ ඥානිස්සර නාහිමි) එංගලන්තයට ගොස්, ඒ අතරතුර කාලයේ දී කැනඩාවේ සංචාරය කොට ඇත. එම සංචාරය අතරවාරයේ විල් නැරඹීමට ගිය උන්වහන්සේට සීමාමාලකය මතකයට නැගෙන අතර, 1976 දී නැවත ලංකාවට පැමිණි විගස මෙම නව සීමාමාලකය ගොඩනැගීමට ජෙෆ්රි බාවාට පැවරෙන්නේ පොඩි හාමුදුරුවන්ගේ පුරෝගාමිත්වයෙනි. එකී සීමාමාලකය ගොඩනැගීමට එකල බැරපැන දැරුවේ හුණුපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි එච්. එස්. මුසාජී නම් මුස්ලිම් ජාතිකයෙකු විසිනි. එමෙන්ම ශ්‍රීමත් සිරිල් ද සොයිසා නමැති ධනපතියෙකුගේ ආධාර උපකාර ද සීමාමාලකය ගොඩනැගීමෙහි ලා ලැබී ඇති බව එහි ඉතිහාසය පිරික්සීමේ දී අපට හමුවේ. දෙස් විදෙස් සංචාරකයින්ගේ මෙන්ම බැතිමතුන්ගේ නොමඳ අවධානය හා ගෞරවය ලද තවත් අපුර්ව නිමැවුමකි මේ.   

රුහුණු විශ්වවිද්‍යාලය

රුහුණු විශ්වවිද්‍යාලය (ruh.ac.lk)

මාතර දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන රුහුණු විශ්වවිද්‍යාලය 1978 දී ජේ. ආර්. ජයවර්ධන අගමැතිවරයාගේ සමයේ ජෙෆ්රිගේ අතින් නිර්මාණය වූ සුවිශේෂී නිර්මාණයකි. මානව ශාස්ත්‍ර, විද්‍යා, කළමනාකරණ, සහ මූල්‍ය, ධීවර සහ සාගර විද්‍යා හා තාක්‍ෂණ, පශ්චාත් උපාධි අධ්‍යයන සහ තාක්‍ෂණ පීඨය යන පීඨ නවයකින් ද, උපකුලපති ‍කාර්යයාලය ඇතුළු පරිපාලන සංකීර්ණයකින් ද, ප්‍රධාන පුස්තකාලය, ගෘහස්ත ක්‍රීඩාගාරය සහ පරිගණක විද්‍යාගාරයකින් ද සමන්විත මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකොට ඇත්තේ එකල පැවති බැල්පර් බියැටි නම් ඕලන්ද සමාගමක් විසිනි. දකුණු පළාතෙහි පිහිටා ඇති එකම විශ්වවිද්‍යාලය වන මෙය, අක්කර 72ක පමණ වපසරියක ඉතාමත් අලංකෘත අන්දමින් නිමවන්නට ජෙෆ්රි තම ශිල්පීය දැනුම මනාව උපයෝගී කොට ගෙන ඇත.  

ජෙෆ්රිගේ අනෙකුත් නිර්මාණ

කණ්ඩලම හෝටලය (efl.lk)

ජෙෆ්රිගේ ගෘහ නිර්මාණයන් ලංකාවට පමණක් සීමා නොවූ අතර, මෙම ලිපියෙහි අප සඳහන් කළේ ඔහු ලංකාවට දායාද අපුරු නිර්මාණයන් ගැන පමණි. ඉහත සඳහන් කළ නිර්මාණයන්ට අමතරව දෙස් විදෙස් අවධානය දිනාගත් හෝටල් ක්ෂේත්‍රයේ පවතින අපුර්ව නිර්මාණ කිහිපයක් ද වේ. එනම්, බෙන්තොට බීච් හෝටලය, සෙරන්ඩිබ් හෝටලය, ද ට්‍රයිටන් හෙවත් හෙරිටන්ස් අහුන්ගල්ල, ද නෙප්චූන් හෙවත් හෙරිටන්ස් ආයුර්වේද මහගෙදර, කණ්ඩලම හෝටලය, ද ලයිට් හවුස් හෙවත් වත්මන් ජෙට්වින්ග් හෝටලය, සහ බ්ලූ වෝටර් හෝටලය යනාදිය යි. මේ අතරින් බෙන්තොට බීච් හෝටලය, කණ්ඩලම හෝටලය හා ජෙට්වින්ග් හෝටලය වැඩි සංචාරක ආකර්ෂණයක් දිනාගෙන තිබෙන බව නොරහසකි.

ජෙට්වින්ග් හෝටලය (jetwinghotels)

ජෙෆ්රිගේ හුස්ම නික්මෙයි.

ලෝකයේ සුප්‍රකට කලාවන්, දේශීයත්වය හා මනාව මුහුකොට ශ්‍රී ලාංකීය ගෘහ නිර්මාණ ක්ෂේත්‍රයට අනර්ඝ නිමැවුම් රැසක් දායාද කළ ජෙෆ්රි බාවා නම් මේ අපුර්ව විප්ලවවාදී මිනිසා, 2003 මැයි 27 වන දා ඔහුගේ අවසන් හුස්ම නික්මවාලන ලදී. වර්තමානයේ දී ගෝලීය වශයෙන් හඳුන්වන “නිවර්තන නූතනවාදය” පසුපස සිටි ප්‍රමුඛ බලවේගය ද, දෙස් විදෙස් සියල්ලන්ගේ ම අමතක නොවන අමරණීය චරිතයක් වන දේශමාන්‍ය ජෙෆ්රි බාවා ය.

ජෙෆ්රි බාවා (Baroari)

මෙය කියැවූ ඔබට, ජෙෆ්රි බාවා පිළිබඳව මීට අමතරව දන්නා කරුණු පහතිත් කමෙන්ටුවක් ලෙස එක් කරන ලෙසට ඇරයුම්.

මූලාශ්‍රයයන්:

roar.media

divaina.com

srilankamirror.com

paradiseroad.lk

ruh.ac.lk

Related Articles