දෙවන ලෝක යුද්ධයේ සුප්‍රකටම සෝවියට් නිලධාරියා – මාර්ෂල් ෂූකොව්

දෙවන ලෝක යුධ සමයේ දී සෝවියට් හමුදා සඳහා නායකත්වය දුන් අයගෙන් වඩාත්ම ප්‍රකට වූ සෙන්පතියා ලෙස අවිවාදයෙන්ම සැලකෙන්නේ මාර්ෂල් ජෝර්ජි කොන්ස්තන්තිනෝවිච් ෂූකොව් ය​. ඔහු බර්ලින් නගරය අල්ලාගත් අවසන් මෙහෙයුම ද මෙහෙයවූ අතර පසුව ජර්මනියේ සෝවියට් පාලන ප්‍රදේශයේ මිලිටරි ආණ්ඩුකාරවරයා ලෙස ද, ඉන්පසු කලෙක සෝවියට් ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළා. අදටත් රුසියානුවන් අතර සාමාන්‍යයෙන් ඔහු පිළිබඳ ඇත්තේ යහපත් ප්‍රතිරූපයක්.

ෂූකොව් උපන්නේ 1896 දෙසැම්බර් 1 වන දා රුසියාවේ කලූගා ප්‍රදේශයේ පිහිටි කුඩා ගම්මානයක ජීවත් වූ අන්ත දුගී පවුලක යි. ඔහුගේ ළමා කාලය ඉතා කටුක වූ අතර කුඩා කලකම ඔහු ඥාතියකුගේ ලොම් ඇඳුම් මැසීමේ ව්‍යාපාරයක අත් උදව්කරුවකු ලෙස මොස්කව් වෙත පැමිණියා. එහි දී ද ඔහුගේ ජීවිතය කටුක වූ නමුත් ගම්මානයේ ජීවිතය තරම්ම දුගී බවින් පීඩා විඳින්නට ඔහුට සිදු වූයේ නැහැ. අනෙක් අතට නාගරික ජීවිතය පිළිබඳ දැක බලාගැනීමට වගේම​, යම් කිසි ආකාරයක අධ්‍යාපනයක් ලැබීමට ද මොස්කව් ජීවිතය ඔහුට උපකාරී වුණා.

දුගී පවුලක උපත ලබා තිබීම බෝල්‍ෂවික් විප්ලවයෙන් පසු කොමියුනිස්ට් පක්ෂය තුළ වැදගත් ස්ථානයක් හිමි වීමට ෂූකොව්ට උපකාරී වුණා.

මුල් කාලීන යුධ සේවය

පළමු ලෝක යුද්ධය අතරතුර, 1915 දී, ෂූකොව් එවකට රුසියානු අධිරාජ්‍යයීය යුධ හමුදාවට බඳවා ගනු ලැබුණා. ඔහු එහිදී අවස්ථා දෙකක දී වීරත්වය සඳහා වූ සාන්ත ජෝර්ජ් කුරුසිය දිනාගත්තා. දෙවන අවස්ථාවේ තුවාල ලැබීම හේතුවෙන් ඔහු කලක් යුධබිමෙන් ඉවත්ව සිටියා.

1917 පෙබරවාරි විප්ලවයෙන් පසු ෂූකොව් කලක් හමුදා සේවය මඟහැර සිටියා. නමුත් ඔක්තෝබර් විප්ලවයෙන් අනතුරුව ඔහු රතු හමුදාවේ සේවයට එක් වුණා. ඔහු එහි මුලින් සේවය කළේ අශ්වාරෝහක හමුදාවේ යි. රුසියානු සිවිල් යුධ සමයෙහි එහි සේවය කළ ඔහු තම්බොෆ් කැරැල්ල මැඩීමටත් දායක වුණා.

ග්‍රිගොරි ස්ටර්න්, මොන්ගෝලියානු නායක කොර්ලූගින් චොයිබල්සාන් සහ ෂූකොව් කල්ඛින් ගොල් සටනේදී (Public Domain)

සිවිල් යුධ සමයෙන් පසුව ෂූකොව් අශ්වාරෝහක හමුදාවේ නිලධාරියකු ලෙස ක්‍රමක්‍රමයෙන් උසස්වීම් ලබමින් කටයුතු කළා. 1938 දී මොන්ගෝලියාව වෙත යවන ලද්දේ ඒ අතරතුර යි. 1939 දී ජපානයට එරෙහිව කල්ඛින් ගොල් සංග්‍රාමයේ දී ඔහු විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළා. එහිදී ෂූකොව් ප්‍රහාරක ගුවන් යානා, කාලතුවක්කු සහ යුධ ටැංකිවලින් ජපන් සේනාංකවලට වඩා සංඛ්‍යාත්මකව විශාල හමුදාවක් ගොඩනගාගෙන අවශ්‍ය අවස්ථාවේ ප්‍රහාරය එල්ල කළේ ජපන් සේනාංක සම්පූර්ණයෙන්ම අසරණ කරමින්. මෙම සටනින් පසු සයිබීරියාව දෙසට ව්‍යාප්ත වීම සඳහා වූ අදහස් ජපානය විසින් ඉවත දැමුවා.

1941 පෙබරවාරියේදී ෂූකොව් සෝවියට් රතු හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත් කරනු ලැබුණා.

දෙවන ලෝක යුද්ධය​

1941 ජූනි 22 වන දා ජර්මානු හමුදා විසින් බාබරෝසා මෙහෙයුම දියත් කළ අවස්ථාවේ සෝවියට් නායක ජෝසෆ් ස්ටාලින්ට ඒ බව දුරකථනය ඔස්සේ දැනුම් දුන්නේ ෂූකොව් බව යි සඳහන් වන්නේ. ස්ටාලින් ටික දිනක් පැහැදිලිව මානසිකව කඩා වැටුණා. මේ අතර යුධ පෙරමුණේ තත්ත්වය ද යහපත් වූයේ නැහැ. ෂූකොව් ජූලි මස අවසානයේ දී මාණ්ඩලික ප්‍රධානී තනතුරින් ඉවත් කරනු ලැබ​, අතිරේක බලඇණි භාර අණදෙන නිලධාරියා ලෙස පත් කෙරුණා.

ෂූකොව් සහ ස්ටාලින් (Getty Images)

සැප්තැම්බරයේදී ඔහුව ලෙනින්ග්‍රාද් නගරය ආරක්ෂා කරගැනීම සඳහා එහි අණදෙන නිලධාරියා ලෙස යවනු ලැබුණා. එම තීරණාත්මක සති කිහිපය තුළ නගරය ආරක්ෂා කිරීමට ෂූකොව් සමත් වුණා.

පසුකාලීනව යුද්ධයේ දී සිදු වූ විවිධ සටන්වල දී ප්‍රධාන රතු හමුදාවේ ප්‍රධාන කාර්යය මණ්ඩලය නියෝජනය කරමින් ද එම සටන් සඳහා දායක වීමට ෂූකොව් කටයුතු කළා. ස්ටාලින්ග්‍රාද් සටනෙහි දී ද කුර්ස්ක් සටනේ දී ද මෙසේ දායකත්වය දැක්වූ ඔහු 1944 දී විවිධ ප්‍රහාරක මෙහෙයුම් සැලසුම් කිරීමේ දී ද වැදගත් මෙහෙයක් ඉටු කළා.

පළමු බෙලෝරුසියානු පෙරමුණේ අණදෙන නිලධාරියා ලෙස ෂූකොව් යුද්ධයේ අවසන් සමයේදී විස්ටියුලා නදියේ සිට සිට ඕඩර් නදිය දක්වා ද එතැන සිට බර්ලින් නගරය දක්වා ද රතු හමුදා දියත් කළ ප්‍රහාරයන් මෙහෙයවූවා.

යුද්ධයෙන් පසු

ෂූකොව් යුද්ධයෙන් පසු නැගෙනහිර ජර්මනියේ සෝවියට් පාලන ප්‍රදේශයේ හමුදා ආණ්ඩුකාරයා ලෙස කටයුතු කළා. එකල ඔහු ඇමරිකානු ජෙනරාල් අයිසන්හවර් සහ බ්‍රිතාන්‍ය ජෙනරාල් මොන්ට්ගොමරි සමග යහපත් සබඳතාවක් ගොඩනගා ගත්තා. විශේෂයෙන්ම අයිසන්හවර් තුළ ෂූකොව් ගැන වූ ගෞරවය දිගටම පැවතුණා. අයිසන්හවර් පසු කලෙක ඇමරිකානු ජනාධිපති ලෙස පාත් වූ අතර ෂූකොව් ඊට සමකාලීනව කෙටි කලක් සෝවියට් ආරක්ෂක ඇමති වුණා. එහෙත් ඔවුන්ට දෙරට අතර සබඳතාව වඩා මිත්‍රශීලී තලයකට ගෙන ඒමට අවස්ථාවක් වූයේ නැහැ.

මොන්ට්ගොමරි, අයිසන්හවර්, ෂූකොව්, සහ එයාර් චීෆ් මාර්ෂල් ආතර් ටෙඩර් (Public Domain)

බර්ලිනයේ සේවය කරන සමයේදී ෂූකොව්ගේ කටයුතු පිළිබඳ ස්ටාලින් සැක කිරීමට පටන් ගත්තා. ඒ අනුව 1946 දී ඔහුව හමුදා ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් කර සෝවියට් දේශයට කැඳවනු ලැබුණා. ඔහුට ඔඩෙස්සා ප්‍රදේශයේ අණදෙන නිලධාරී තනතුරක් ලැබුණා. එකල ඔහු පළමුවරට හෘදයාබාධයකට ලක් වුණා. ෂූකොව්ට සමීප ඇතැම් නිලධාරීන් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම මඟින් ඔහුව කොටු කිරීමට උත්සාහ කෙරුණා. මේ කටයුතු භාරව සිටියේ සෝවියට් රහස් පොලිස් ප්‍රධානී ලැව්රෙන්ති බෙරියා යි.

1948 දී ෂූකොව්ගේ නිවස පරික්ෂා කිරීමේදී ඔහු ළඟ තිබී ජර්මනියෙන් ගෙනා රත්‍රන් ආභරණ කිහිපයක් සහ රෙදි, ලොම් ඇඳුම් සහ චිත්‍ර සොයාගත්තා. ෂූකොව්ට මේ පිළිබඳව සමාව ගැනීමට ද සිදු වුණා. මෙය ඔහුගේ හමුදා ජීවිතයේ ඔහු වැටුණ පහළම තත්ත්වය යි. කෙසේ නමුත් මෙසේ විවිධ දෑ ජර්මනියෙන් ගෙන ආවේ ෂූකොව් පමණක් නොවේ. ඒ බව ඔහුද හොඳාකාරවම දැන සිටියා. ඔහු බෙරියාගේ ඉලක්කයක් වීම නිසා මෙසේ සිදු වූ බවයි ෂූකොව් විශ්වාස කළේ.

මොස්කව් හි අර්බාත් වීදියේ ෂූකොව්ගේ චිත්‍රයක් (Chamara Sumanapala)

ෂූකොව් බෙරියාගෙන් පළිගත්තේ ස්ටාලින්ගේ මරණින් ටික කලකට පසු යි. නව සෝවියට් පාලකයින් බෙරියා ඉවත් කිරීමට කටයුතු කළා. ඔහුව හදිසියේම අත් අඩංගුවට ගන්නා ලද අතර ඒ සඳහා යවන ලද කණ්ඩායම මෙහෙයවූයේ ෂූකොව් විසින්.

1955 දී ෂූකොව් ආරක්ෂක ඇමති ලෙස පත් කරනු ලැබුණා. ඔහු හා කොමියුනිස්ට් පක්ෂ මහ ලේකම් නිකිතා කෘෂ්ශොෆ් අතර මිත්‍රත්වය ඉහළම තලයකට ළඟාවූයේ ද ඒ සමයේ යි. 1957 දී කෘෂ්ශොෆ් ඉවත් කිරීමට පක්ෂය තුළින් මතු වූ උත්සාහය පරාජය කිරීමට ද ෂූකොව් මූලික වුණා.

මොස්කව් හි රාජ්‍ය ඉතිහාස කෞතුකාගාරය ඉදිරිපිට ෂූකොව් පිළිමය (Chamara Sumanapala)

නමුත් ඉන් ස්වල්ප කලකට පසු ඔහුව ආරක්ෂක ඇමති තනතුරින් ඉවත් කෙරුණා. එතැන් පටන් ෂූකොව් වැඩිපුර ගතකළේ විශ්‍රාම සුවයෙන්. ඔහු සිය මතක් සටහන් ලියූ අතර 1969 දී පළ කෙරුණ එය අලෙවි වාර්තා තැබූ කෘතියක් බවට පත් වුණා. ෂූකොව් 1967 දී තවත් ආඝාතයට ලක්ව පක්ෂඝාතයට ලක් වුණා. ඔහු නැවත හෘදයාබාධයකට ලක් ව මියගියේ 1974 ජූනි 18 වන දා යි.

Related Articles