බෝම්බකාරියක් වූ රංගන ශිල්පිනිය- කිටී මැරියන්

පසුගිය සියවස ආරම්භයේ දී වඩාත් ක්‍රියාකාරී තලයකට පැමිණ තිබූ කාන්තා ව්‍යාපාරය තුළ බ්‍රිතාන්‍යයේ කාන්තා ව්‍යාපාරය වඩාත් සුවිශේෂී විය. දැනුවත් කිරීමේ අත්පත්‍රිකා බෙදා දීමේ සිට සිවිල් නීති කඩ කිරීමේ ව්‍යාපාර දක්වා පැතිර තිබූ එය, කාන්තා ව්‍යාපාරයට විශාල අත්දැකීම් ප්‍රමාණයක් එකතු කළ අරගලයක් විය. මෙම සටනට දායකත්වය දැක්වූ ක්‍රියාකාරිනියන් අතරින් ජර්මන් සම්භවයක් සහිත කාන්තාවක පිළිබඳ පුවතකි මෙය.

ලන්ඩන් කෞතුකාරයේ ප්‍රදර්ශනයට ඇති කිටී මැරියන්ගේ මතක සටහන් (bbc)

කැතරිනා මරියා ස්කෝෆර් උපත ලද්දේ 1871 මාර්තු 12 වන දා ජර්මනියේ රියෙට්බර්ග් හි දී ය. කුඩාකල දී ම මව අකල් මරණයකට ගොදුරු වූ අතර, පියා සමග ජීවත් වීමට සිදුවිය. නමුත් පියාගෙන් ආදරයක් නොලද කැතරිනා, හිංසනයට පත් විය. අවසානයේ නැන්දනියගේ පවුලත් සමග 1889 දී ලන්ඩන් වෙත පැමිණි අතර, නැගෙනහිර ලන්ඩන්හි පදිංචි විණි. ඉතා ඉක්මනින් ම ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට ඉගෙනීමට කැතරිනා සමත් වූ අතර, ඇය රංගනයට වඩාත් ප්‍රිය කළා ය. එසේ ම රංගනයට ද ඇය දක්ෂතාව දැක්වීය.

තමන්ගේ මුල් නම වූ කැතරිනා මරියා නාමය කිටී මැරියන් ලෙස වෙනස් කර ගනිමින් ඇය රංගන ශිල්පිනියක සහ නර්තන ශිල්පිනියක ලෙස වෘත්තීය ජීවිතයට පිවිසුණි. වෘත්තීය ජීවිතය නිසා ඇය බෙහෝ විට ගත කළේ සංචාරක දිවියකි. විවිධ ප්‍රදේශවල සංචාරය කරමින් කටයුතු කිරීමට ඇයට සිදුවිය. මේ වන විට ලන්ඩන් නගරය කේන්ද්‍ර කර ගනිමින් බ්‍රිතාන්‍යයේ කාන්තාවන්ට ඡන්ද අයිතිය ලබා ගැනීමේ දේශපාලන ක්‍රියාකාරී කටයුතු සිදුවෙමින් තිබූ නමුත්, මැරියන් මේ වන විට කාන්තා ව්‍යාපාරය හා සම්බන්ධ ව නොසිටියා ය. නමුත් ඇය විවිධ කාන්තා ක්‍රියාකාරිනියන් ඇසුරු කිරීම සිදුවිය. ඇගේ ගමන තීරණාත්මක ලෙස වෙනස් කිරීමට සමත් සිදුවීමක් වූයේ ද ඇගේ වෘත්තීය ජීවිතය තුළ ම ය.

සිරභාරයට පත්වීමක් වාර්තාකර තිබූ අයුරු (bbc)

ඒ සංගීත ශාලා පවත්වාගෙන යන ඒජන්තයෙකු විසින් ඇයට අතවරයක් කිරීමට උත්සාහ කිරීමයි. කර්මාන්තය තුළ පුරුෂ ඒකාධිපතිත්වය ආර්ථික වශයෙන් පමණක් නොව ලිංගික වශයෙන් ද පැවති බව ඇයට පැහැදිලි විය. එම සිදුවීම පිළිබඳ ව මැරියන් තම ස්වයං චරිතාපදානයේ සඳහන් කර ඇත්තේ සියලු දේ පෙරළියක් කළ සිදුවීමක් ලෙස යි. එසේ ම මෙය තමන්ට පමණක් නොව බොහෝ කාන්තාවන් මුහුණ දෙන ගැටලුවක් බව තහවුරු කර ගැනීමට සංචාරක ශිල්පිනියක් ලෙස ඇයට අපහසු නොවීය. ඇය මුලින්ම Actresses’ Franchise League හා සම්බන්ධ විය. මෙය ඒ වන විට ලන්ඩන් කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වූ කාන්තා සංවිධානය වූ WSPU (Women’s Social and Political Union) (කාන්තා සමාජ හා දේශපාලන සංවිධානය) සමග ක්‍රියාත්මක වූ සංවිධානයකි.

1911 වසරේ දී Actresses’s Franchise League (spartacus-educationa)

ඉන්පසු ව, ඇය සම්පූර්ණයෙන් ම දේශපාලන කටයුතු වෙනුවෙන් දායක වූ අතර, එමලින් පෑන්කස්ට්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වූ WSPU හා සම්බන්ධ විය. මැරියන්ගේ ක්‍රියාකාරීත්වය තිබුණේ සිවිල් නීති කඩකිරීමේ ව්‍යාපාරය තුළ ය. ඇය Suffragette ව්‍යාපාරය තුළ බෝම්බ ප්‍රහාරිකාවක් විය. සන්නද්ධ ප්‍රහාර එල්ල කරමින් සිවිල් කටයුතු අඩාල කිරීම සිදුවිය. මෙම ප්‍රහාරවල අරමුණ වූයේ ජීවිත හානි කිරීම නොවේ. දෛනික කටයුතු අඩාල කර එමඟින් රජයට බලපෑමක් එල්ල කර ඔවුන් ඉල්ලා සිටි ඡන්ද අයිතිය ලබා ගැනීම ය. මැරියන් පළමුවරට සිරගත වන්නේ තැපැල් කාර්යාලයකට ගල් ප්‍රහාරයක් එල්ල කිරීම නිසා ය. සිරගෙදර තුළ ද ඔවුන්ගේ සටන දියත් වුණේ ආහාර වර්ජනය මඟිනි. බලහත්කාරයෙන් මුඛයෙන් සහ නාසයෙන් ආහාර ඇතුල් කිරීම දෛනික කටයුත්තක් විය. මැරියන් අවස්ථා හතක් සිරගත විය. වරක් ඇයට වසර 3ක සිර දඬුමක් නියම ව සිරගත වූ නමුත් ආහාර වර්ජනයේ නිරත වී ඉක්මනින් නිදහස ලැබීමට සමත් විය. මන්ද ආහාර වර්ජනය නිසා රැඳවියෙකු මරණයට පත් වුවහොත් ඊට වගකිව යුත්තේ බන්ධනාගාර බලධාරීන් විසිනි. මෙම ආහාර වර්ජන ක්‍රියාමාර්ගය බ්‍රිතාන්‍යය රජයට මහත් අර්බුදයක් විය. මේ නිසා 1913 වසරේ දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් මෙම ආහාර වර්ජන අර්බුදයට විසඳුමක් ලෙස රෝගී වීම නිසා තාවකාලික ව නිදහස් කිරීමේ පනත (Cat and Mousse act) සම්මත කරන ලදී. ඒ අනුව ආහාර වර්ජනයේ යෙදෙන විට ඔවුන්ව තාවකාලික ව නිදහස් කිරීමට අවස්ථාව ලැබෙන අතර, ඔවුන්ව පසු ව නැවත අත්අඩංගුවට ගැනීමට බලතල ලබාදුනි.

Cat and Mouse Act (parliament.uk)
ආහාර වර්ජකයන්ට ආහාර ඇතුල් කළ අයුරු (bbc)

1913 වසරේ පටන් Suffragette ව්‍යාපාරය සන්නද්ධ ප්‍රහාරවලට විශාල ඉඩක් වෙන් කර තිබූ අතර, මැයි මාසයේ පමණක් ප්‍රහාර 52ක් සිදුකර තිබූණි. ඉන් 29ක් ම බෝම්බ ප්‍රහාර විය. මෙම බෝම්බ සියල්ලක් ම ගෘහස්ත ව නිපදවන ලදී. 1913 ජූනි 11 වන දා Epsom Derby තුරඟ තරගය අතරතුර පස්වන ජෝර්ජ් රජු වෙත තුරග පිටිය හරහා දිව යාමේ දී අශ්වයෙකු ගැටීමෙන් Suffragette ක්‍රියාකාරිනී එමිලි ඩේවිඩ්සන් මරණයට පත් විය. එම මරණයට ප්‍රතිචාර වශයෙන් ජූනි 13 වන දා Hurst Park පිටියට ගිනි තැබූ අතර, පසුදින ම මැරියන් නැවත අත්අඩංගුවට පත් විය.

ගිනිබත් කළ ක්‍රීඩාගාරය (bbc)

නැවත ආහාර වර්ජනය කළ අතර, දිනකට අවස්ථා 232ක් බලහත්කාරයෙන් ආහාර ඇතුල් කිරීමට බන්ධනාගාර බලධාරීන් කටයුතු කරන ලදී. ලන්ඩන් පොලිසියට අනුව මැරියන් වඩාත් භයානක ම Suffragette ක්‍රියාකාරිනියන් 20 දෙනා අතර විය.

භයානක ම ලැයිස්තුවට ඇය ඇතුළත් විය (bbc)

1914 දී පළමුවන ලෝක යුද්ධය ආරම්භ වූ අතර, ඒ සමග ඇයට බ්‍රිතාන්‍යයේ සිට ඇමරිකාව බලා පැමීණීමට සිදුවිය. ඇයගේ ජර්මන් සම්භවය නිසාත්, ප්‍රචණ්ඩ ක්‍රියා ඉතිහාසය නිසාත් රටින් පිටවීමට බල පෑ හේතු විය. නිව්යෝක් වෙත පැමිණි මැරියන් නැවත දේශපාලන ක්‍රියාකාරී කටයුතු අරඹන ලදී. නමුත් මෙහි ඇය සම්බන්ධ වූයේ උපත් පාලන පිළිබඳ දැනුවත් කිරීමේ ව්‍යාපාරයක ය. මාගරට් සැන්ගර්, ලෝ රොජර්ස්, කොනීලියා බාන්ස්, සමග එක් ව Birth Controll Review සඟරාවේ කටයුතු කරන ලදී. එකල උපත් පාලන ක්‍රම පිළිබඳ අවබෝධයක් නොමැතිකම නිසා සාමාන්‍ය පවුල්වල දරුවන් විශාල ප්‍රමාණයක් සිටි අතර, කාන්තාවට සියලු දරුවන්ගේ කටයුතු ඉටුකරමින් ගත කිරීමට සිදුවූයේ අතිදුෂ්කර ජීවිතයකි. එම තත්ත්වය ආර්ථික වශයෙන් ඉහළ මට්ටමේ පවුල්වල දක්නට නොවීය. මේ නිසා බහුතරයක් වූ සාමාන්‍ය වැඩ කරන පවුල්වල කාන්තාවන් වෙනුවෙන් උපත්පාලනය පිළිබඳ ව දැනුවත් කිරීමට මෙම ව්‍යාපාරය කටයුතු කරන ලදී.

නිව්යෝක්හි උපත් පාලන සඟරා විකුණන මැරියන් (bl.uk)

කිටී මැරියන් විසින් තම අත්දැකීම් ස්වයං චරිතාපදානයක් ලෙස රචනා කරන ලදමුත්, එය ප්‍රකාශයට පත්කර ගැනීමට නොහැකි විය. 1930 නැවත ලන්ඩන්හි පදිංචියට පැමිණි ඇය, තම චරිතාපදානය Fawcett පුස්තකාලයට ලබාදුනි. ඇය උපත් පාලන අන්තර්ජාතික මධ්‍යස්ථානයේ කටයුතු කරන ලද අතර, නැවත නිව්යෝක් වෙත පදිංචියට ගොස් සිටිය දී 1944 ඔක්තෝබර් 9 වැනි දා නිව්යෝක්හි දී මිය ගියා ය.

මැරියන්ගේ සටහන් පොතෙහි අඩංගු මතකයන් (bbc)
තරුණ මැරියන් (npg.org)

Related Articles