පල්ලියේ මර්දනය හමුවේ නිහඬ නොවූ චින්තකයා: ගියර්දානෝ බෘනෝ

වසර දහසකට අධික යුගයක් කතෝලික පල්ලියේ ග්‍රහණයට නතුව සිට සිය ‘අඳුරු යුගය’ අවසන් කරමින් නව චින්තනයන් ඔස්සේ යුරෝපය විප්ලවීය පරිවර්තනයකට යොමුකළ නව යුගය, එනම් ‘පුනරුද සමය’ ඇරඹෙන්නේ 15 වන සියවස ආරම්භයත් සමගය. එහිදීත් නව සොයාගැනීම්, කලා නිර්මාණ මෙන්ම නව දාර්ශනික අදහස් ඔස්සේ නව යුගයක් කරා පියමැනීමේ ආරම්භය සනිටුහන් වන්නේ ඉතාලියෙනි.

නමුත් ආරම්භයේදී මෙය ඉතා මටසිළිටි අන්දමින් සිදුවූවක් නොවේ. ඒවන විට සමාජයේ ආධිපත්‍ය හිමිකරගෙන සිටි කතෝලික පල්ලිය සමඟ අනවරතව සටන් කිරීමට මෙම අභියෝගය භාරගත් සියලුදෙනාට සිදුවිය.

ගියර්දානෝ බෘනෝ(thehistoryblog)

ළමා කාලය

බෘනෝගේ මුල් නම ෆිලිපෝ බෘනෝ (Filippo Bruno) ය. ඔහු උපත ලබන්නේ 1548 ඉතාලියේ නේපල්ස් හිදීය. ඔහුගේ පියා හමුදා නිලධාරියෙකි. 1562 දී මානවවාදය, තර්ක ශාස්ත්‍රය, සහ දයලෙක්තිකවාදය පිළිබද ඉගෙනීමට ඔහු නේපල්ස් වෙත ගමන් කරනු ලබනවා. ඉගෙනීමේදී දක්ෂයකු වන ඔහු වඩාත් ආකර්ෂණය වන්නේ G.V. de Colle විසින් පවත්වන ලද දේශනවලට සවන්දීමෙන්.

තරුණ කාලය සහ පිටුවහල් කිරීම

1565 දී ඔහු නේපල්ස්හි ශාන්ත ඩොමිනිකන් ආශ්‍රමයට ඇතුලත්වන අතර ගියර්දානෝ (Giordano) නාමය එක් වන්නේ ඉන් අනතුරුවයි. මන්ද ඔහුගේ අදහස් සහ ඔහු ඉදිරිපත් කරනු ලැබූ කරුණු පල්ලියේ ඉගැන්වීම් අනුව  මිත්‍යාදෘෂ්ටික අන්තයක් නියෝජනය කල නිසා. එසේ වුවත් 1572දී බෘනෝ පුජකයකු ලෙස කටයුතු අරඹනවා.

දිගින් දිගටම අධ්‍යයන කටයුතුවල නියැලෙන ඔහු ක්‍රම ක්‍රමයෙන් වඩාත් නවමු ලෙසත් නිර්මානශිලීවත් ලෝකය දෙස බැලීමට යොමුවනවා. ඇත්තෙන්ම අපගේ පෘථිවිය වටා සූර්යයා ඇතුළු අනෙකුත් වස්තුන් ගමන් කරන්නේද යන්න පිළිබද ඔහු සිතන්නට වුනා. එසේම පෘථිවි කේන්ද්‍රවාදය ආගමික විශ්වාසයක් බවට පත්ව තිබීමත් ඔහුට ගැටළුවක් බවට පත් වුනා. ඒ අතර ඔහු පල්ලියේ විවිධ ඉගැන්වීම් සමග ගැටෙන්නෙකු බවට පත්වනවා. ජේසුස් ක්‍රිස්තුන් යනු දෙවියෙක් නොවන බවත් ඔහු මනුෂ්‍යයෙක් බවත් ගියර්දානෝ ප්‍රකාශ කළා. මේ නිසා පල්ලිය විසින් ඔහුට විරුද්ධව පරීක්ෂණයක් කැඳවූ අතර 1576 පෙබරවාරියේදී රෝමයට පලා යාමට ඔහුට සිදු වනවා.

රෝමයට පලා ආ පසුද ඔහුට විශ්වය සත්‍යය පිළිබඳව තිබු කුතුහලය අඩු වුයේ නැහැ. රෝමයේදී කතෝලික පල්ලිය විසින් තහනම් කරන ලද, Erasmus විසින් රචිත කෘතීන් පරිහරණය කිරීම නිසා නැවත පල්ලියේ උදහසට ලක් වීමෙන් රෝමයෙන්ද පලා යාමට ඔහුට සිදුවෙනවා.

ඉන්පසුව බෘනෝගේ නවාතැන වන්නේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයයි. එය ඒ යුගයේ ආගමික සරණාගතයන්ගේ නගරයක් ලෙසින් ප්‍රසිද්ධව පැවතියා. කැල්වින්වාදය ගුරුකොටගත් නගරයක් වූ නිසා මෙය රෝමානු කතෝලික පල්ලියේ උදහසට ලක්වූවන්ට නිවහනක් වුනා. නමුත් මෙහිද තමන්ට අවශ්‍ය කරන නිදහසක් නොමැති බව බෘනෝ අවබෝධ කරගනු ලබනවා. කැල්වින්වාදය විවේචනය කිරීම නිසා ඔහුව ස්විට්සර්ලන්තයෙන් ද බැහැර කරනු ලබනවා.

බෘනෝගේ විශ්වය පිලිබඳ චින්තය තේරුම් ගැනීමට සරල ආකෘතියක් (4.bp.blogspot)

විශ්වය

බෘනෝ විශ්වය පිළිබඳව ඉදිරිපත් කළ අදහස අපූරු එකක් වුණා. අපට ලෝකය පෙනෙන ආකාරය අර්ධ ගෝලාකාර කුහර භාජනයක ඇතුලට සිට දකින දර්ශනයක් බව බෘනෝ ප්‍රකාශ කළා. දැනට පවතින මතවාදයන් මගින් මෙම කුඩා කුහරයක් තුලට විශ්වය පටු කර ඇති බව ඔහු දුටුවා. එසේම එම භාජනයට පිටතින් සිමා මායිම් නොමැති අනන්ත වූ විශ්වයක් ඇති බවත් ඔහුගේ මතය වුනා. නිකොලස් කොපර්නිකස් නිවැරදි බවත් පෘථිවිය වටා හිරු ගමන් නොකරන අතර පෘථිවිය සූර්යයා වටා ගමන් කරන බවත් ඔහු ප්‍රකාශ කළා.

නිකොලස් කොපර්නිකස්ගේ අදහස තව දුරටත් ඉදිරියට ගෙන යමින් වඩාත් විස්තරාත්මක පුළුල් විග්‍රහයක් ඔහු ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අනුව අපගේ පෘථිවිය හා ග්‍රහයන් සූර්යයා වටා ගමන් කරන අයුරින්ම තවත් සූර්යයන් ඇති විශාල ප්‍රමාණයක් විශ්වයේ පවතින බවත්, එම සූර්යයන් වටා ගමන් කරන ග්‍රහයන් පවතින බවත්, එම ග්‍රහලෝක වඅතර පෘථිවිය මෙන්ම ජීවය පවතින ග්‍රහයන් පැවතිය හැකි බවත් ඔහු ප්‍රකාශ කරනු ලබනවා. මෙය අද අපට ඉතා සමීප සාමාන්‍ය සරල අදහසක් වුවත් එදා මෙය සමාජයේ අධිපති මතවාදය දැඩි ලෙස ප්‍රශ්න කළ ඉගැන්වීමක් වුනා. ඒ අතරම එය පිළිගැනීමට ද උගතුන් අතර මැලිකමක් තිබුනා. මෙතෙක් කල් පැවති මතයන් බැහැර කර අලුතින් සිතීමට උගතුන් තුල පවා උනන්දුවක් නොතිබුණු නිසා මෙය තනි සටනක් වුනා.

ඇත්තෙන්ම මෙම අදහස් වෙනුවෙන් සාක්ෂි ඔහු සතුවුයේ නැහැ. මෙය සම්පූර්ණයෙන්ම ඔහුගේ චින්තනය විසින් බිහිකළ මතවාදයක් වුනා. එම අදහස් සනාථ කිරීමට තාක්ෂණයක් ඔහුගේ සමයේ තිබුයේ නැහැ. පසුව ගැලිලියෝ විසින් දුරේක්ෂය දියුණු කළ පසුව අහස නිරීක්ෂණය කරන මොහොතේ සිට මෙම අදහස් ක්‍රමයෙන් සනාථ වන්නට වුනා.

Camo de’ Fior චතුරශ්‍රයේ ස්මාරකය (en.wikipedia.org)

ඔහුට වරෙක එංගලන්තයේ ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාලයේ දේශනයක් සඳහා ඇරයුමක් ලැබී ඒ සඳහා සහභාගී වනවා. තමන්ගේ මතය ප්‍රකාශ කිරීමට පිරිසක් හමුවීම පිළිබඳව ඔහු ඉමහත් සතුටට පත් වුවත් එහිදී ඔහුට හිමිවන්නේ නොසිතු ප්‍රතිචාරයක්. ඔහුගේ අදහස් උපහාසයට ලක්කරමින් නින්දා සහගත ලෙස ප්‍රතික්ෂේප කරනු ලබනවා.

නැවත මව් රට බලා පැමිණීම

බෘනෝ විසින් නැවත සිය මවු රටට පැමිණීමට ගත් තීරණය ඔහුගේ ඉරණමත් තීරණය කළා. ඔහුට 1592දී වෙනිසියේ Padua විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ දේශනා සඳහා ලැබෙන ආරාධනයක් අනුවයි මෙසේ පැමිණෙන්නේ. නමුත් එම තනතුර බෘනෝ වෙනුවට ගැලිලියෝ ගැලීලිට පිරිමනනවා. ගැලිලියෝද පසුව පල්ලියේ ඉගැන්වීමට පිටුපෑ නිසා වද හිංසාවට පත්ව අවාසනාවන්ත ඉරණමකට ගොදුරුවන්නෙක් බවට පත්වනවා.

මෙසේ පැමිණ සිටීමේදී බෘනෝට වෙනිසියේදී මිත්‍යාදෘෂ්ටික අදහස් දරන්නෙක් බවට චෝදනා එල්ලවනවා. බෘනෝ එම චෝදනා සඳහා තර්ක කරමින් පිළිතුරු දීමට යාම සමග පල්ලියේ උදහසට තව තවත් ලක්වනවා. ඔහුට විරුද්ධව එල්ලවූ පරීක්ෂණවලදී ඔහුගේ ඉගැන්වීම් දේවවාදයට පටහැනිබවට චෝදනා එල්ල කරනු ලබනවා. 1593 ජනවාරි 23 දින ඔහුව වසර හතකට රෝමයේදී සිරභාරයට පත්කරනු ලබනවා. නැවත 1600 දී ඔහුට තමන්ගේ මිත්‍යාදෘෂ්ටික යැයි සැලකුණු මතයක් ඉවතදමා පල්ලියෙන් සමාව අයැදීමට අවස්ථාවක් ලබාදෙනවා. නමුත් තීරණාත්මක ලෙස බෘනෝ ඊට එකඟ නොවී තමන්ගේ අදහස් වෙනුවෙන් පෙනී සිටිමින් ආගමික ඉගැන්වීම් ප්‍රතික්ෂේප කරනු ලබනවා. ඒ අනුව තුන්වන ක්ලෙමන්ට් පාප් වහන්සේ විසින් ගියර්දනෝ බෘනෝගේ පාපකර්ම සඳහා දඬුවම ලෙස ඔහුව පණපිටින් පුළුස්සා මරා දැමීමට තීන්දුව ලබා දෙනවා.

Camo de’ Fior චතුරශ්‍රයේ ස්මාරකයේ පාදමේ මුර්තිමත් කර ඇති බෘනෝගේ නඩු විභාගය (davidmacchi.Com)

ඒ අනුව 1600 පෙබරවාරි 17 දින ඉතාලියේ Camo de’ Fior චතුරශ්‍රයේදී  ගියර්දානෝව ප්‍රසිද්ධියේ පුළුස්සා මරා දමනවා. ඔහුට අවසන් මොහොතේදීත් පල්ලියට විරුද්ධව අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාව මග හරිනු පිණිස යකඩ මුඛවාඩමක් පළඳවා ඔහුව රැගෙන විත් දඬුවම ක්‍රියාත්මක කරනු ලබනවා.

බෘනෝ පුළුස්සා මරා දැමීම සිත්තරකුගේ ඇසින් (churchandstate.org.uk)

බෘනෝව සිහි කරනු වස් පසුව 1889දී ඔහුව ඝාතනය කළ ස්ථානයේදී ඔහු වෙනුවෙන් ස්මාරකයක් Ettore Ferrari විසින් ඉදිකරනු ලබනවා. බෘනෝ පිලිබඳ අද ලෝකය අවධානය යොමු කරන්නේ ඔහුගේ මතවාදයන් පසුකාලීනව නිවැරදි වූ නිසාම නොවේ. සමාජයේ නිදහස සිමාකොට තිබු යුගයකට ඊට එරෙහිව හඬ නගා මරණය ඉදිරියේ පවා බියේ යටත් වීම වෙනුවට තමන් විශ්වාස කළ අදහස් වෙනුවෙන් දිවිහිමියෙන් සටන් වැදීම නිසයි.

කවරයේ පින්තුරය: davidiacus .pl

මුලාශ්‍ර:

www.armstrongeconomics.com

www.britannica.com

Cosmos A Space Time Odyssey- වාර්තා වැඩසටහන

Related Articles