යටත් වීම වෙනුවට වස කෝප්පය පානය කළ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයා : සොක්‍රටීස්

ග්‍රීක දර්ශනය තුළ ස්වභාවික දාර්ශනිකයන්ගේ අවසානය සනිටුහන් කරමින් කිරිමෙන් පසුව ස්වභාවික දර්ශනයට සීමා නොවී මිනිස් සමාජය පිළිබඳවත් හැදෑරීමට මිනිසුන් පෙළඹුණු අතර එහි දී අපට මුලින්ම හමු වන ශ්‍රේෂ්ටඨ දාර්ශනිකයා ග්‍රීසියේ ඇතැන්ස් හි විසූ සොක්‍රටිස් ය. සොක්‍රටීස් වාසය කළේ ක්‍රි.පු.470 සිට 399 දක්වා වූ කාල වකවානුවේ ග්‍රීසියේ ඇතැන්ස් නගරයේ ය. සොක්‍රටීස්ගේ ඉගැන්වීම් කලාවේ විශේෂත්වයක් වූයේ ඔහුගේ දේශනයන් ය. ඔහු නගරය පුරා ඇවිදිමින් දේශන පැවැත්වුවත් ඒ කිසිවක් ලියා තැබුවේ නැහැ. ඔහුගේ ඉගැන්වීම් ලේඛනගත කර තබන ලද්දේ ඔහුගේ ශිෂ්‍යයකු වූ ප්ලේටෝ විසිනි.

Wikimedia

ඉහත සඳහන් කළ පරිදිම සොක්‍රටීස් සිය ජිවිත කාලය පුරා වෙහෙසුනේ මිනිසාත් මිනිස් සමාජය පිළිබඳව සත්‍යයන් ගවේෂණය කිරීමට ය. එහි දී ඔහු මිනිසුන්ට වඩාත් සමීපව දාර්ශනික අදහස් ගෙනයාමට දැරූ උත්සාහය පිළිබඳව පසුකාලීනව රෝමයේ විසු දාර්ශනිකයකු වූ සිසරෝ ප්‍රකාශ කළේ සොක්‍රටීස් අහසේ තිබු දර්ශනය මහ පොළොවේ මිනිසුන් අතරට රැගෙන ආ බවයි.

කිසිවක් නොදනිමි

සොක්‍රටීස් විසින් සෑම විටම ප්‍රකාශ කරන ලද්දේ තමන් කිසිවක් නොදන්නා බවයි. ඒ තුළ ඔහුගේ ඉගැන්වීම් කලාවේ විශේෂත්වය වුයේ ද එය යි. හුදෙක්ම තමන් විසින් සකසාගත් කරුණු ඉගැන්වීමකට වඩා තමන්ටම අවබෝධ කරගැනීමට මග පෑදීමට හැකි වන අයුරින් ඔහුගේ දේශන සාකච්ඡාමය ස්වරූපයක් අනුව පවත්වන ලදී. සොක්‍රටීස්ගේ මව වින්නඹුවක් නිසා ඔහු තම ඉගැන්වීමේ කලාව ද දරුවෙක් බිහි කිරීමට උපකාර කරන අයුරින්ම විග්‍රහ කරන ලදී. දරුවා බිහි කරන්නේ මවයි, වින්නඹුව කරනු ලබන්නේ ඊට උපකාරයක් ලබා දීම පමණි. එසේම සත්‍යය අවබෝධ කරගත යුත්තේ පුද්ගලයා විසින්ම යි. තමන් ඊට මග පෙන්වීම පමණක් තමන් සිදු කරන බවයි සොක්‍රටීස් ප්‍රකාශ කරන ලද්දේ.

තමා සියල්ල දන්නා අයුරින් සිතා සිටීම හැසිරීම තමාගේම පරිහානියට හේතුවක් බව අමුතුවෙන් පැවසිය යුතු නොවේ. තමන් නොදන්නා සුළු දෙය ගැන පවා සොයා බැලීමටත් ඉගෙනීමටත් උනන්දු වීමකින් තොරව වඩාත් සාර්ථකව සත්‍යයන් ගවේෂණය කරමින් නිවැරදි දර්ශනයක් උගත නොහැකි බව සත්‍යයකි. සොක්‍රටීස් ද තමන් කිසිවක් නොදන්නා බව ප්‍රකාශ කිරීම තුළ අඩංගු හරය මෙය යි.

තමන්ගේ කාර්යය මීට සමාන බව සොක්‍රටීස් විශ්වාස කරන ලදී (coloradobirthphotos)

බුද්ධිවාදියෙක්

ඇත්තෙන්ම සොක්‍රටීස් යනු බුද්ධිවාදියෙ කි. ඔහු විශ්වාස කරන ලද්දේ සත්‍යය අවබෝධ කරගැනීම මිනිස් බුද්ධිය පුහුණු කිරීමෙන් ඒ තුළින්ම ලබා ගත හැකි බවයි. (බුද්ධිවාදය යනු අත්දැකීමෙන් ලබා ගන්නා දැනුම ප්‍රතික්ෂේප කරමින් සිත පමණක් යොදවමින් ලෝකය තේරුම් ගත හැකියි යන පිළිගැනීම යි. අනුභූතිවාදය යනු එහි ප්‍රතිවිරුද්ධ අන්තය යි) සිත පුරුදු පුහුණු කිරීමෙන් සිත තුළ ගැබ්ව පවතින ලෝකය පිලිබඳ සැබෑ සත්‍යයන් ගවේෂණය ඔහුගේ අරමුණ බවට පත් වන ලදී.

සොක්‍රටීස්ගේ ඉගැන්වීම් හමුවේ සිදු වූ වැදගත් දෙයක් නම් බොහෝ දෙනාට තම තමන් කිසිවක් නොදන්නා පිරිස් බව වටහා ගැනීමට කටයුතු කිරීම යි. ඔහුගේ සුප්‍රසිද්ධ ප්‍රකාශයක් වූයේ ‘ඇතැන්ස් නගරය යනු කුසීත අශ්වයෙක්. ඌ ප්‍රාණවත් කිරීමට ඇඟට විදින ඇටමැස්සා මමයි ’ යන්නයි. මෙයින් ඔහු අදහස් කළේ මිනිසුන්ට තමන් ගැන සත්‍යය වටහා ගැනීමට බල කරන කටයුත්තක තමන් යෙදී සිටි බවයි.

ඇතැන්ස්හි සොක්‍රටීස්ගේ ප්‍රතිමාව (Wikimedia)

සොක්‍රටීස්ගේ විශ්වාසය වුයේ යහපත අයහපත තෝරා බේරා ගැනීම හැකියාව පුද්ගලයා සතු හැකියාවක් බවයි. එනම් එය සමාජයට අදාළ නොවන දෙයක් බවයි ඔහුගේ මතය. ඊට හේතුව ද ඔහු විශ්වාස කළ පුද්ගලයා තුළ ඇති බුද්ධිය සියලු සත්‍යයන් අනාවරණය කරන්නේය යන බුද්ධිවාදී ඉගැන්වීම ය. සත්‍යය පිලිබඳ තමන් තුළින්ම ඇසෙන දෙවියන්ගේ හඬට අනුව කටයුතු කිරීමට සොක්‍රටීස් වෙහෙසුනේ ද මේ නිසාය.

තමන්ගේ සිත තමන්ට පවසන සත්‍යයට පටහැනි දේ කරන විට අපට අසතුට ඇති වන්නේ ඇයිදැයි ඔබ සිතා බැලුවාද?

මරණ දඬුවම

සොක්‍රටීස්ගේ ඉගැන්වීම් තුළ ඔහු සෑමවිටම ප්‍රකාශ කළ දෙයක් වූයේ ඔහු තුළ දෙවියන්ගේ හඬක් පැවති බවයි. මෙම දෙවියන් යනු පෙර කී ලෝකය පිලිබඳ සියල්ල අවබෝධ කරගත හැකි තම තමන් තුළ ඇති බුද්ධිය යි. නමුත් මේ ඉගැන්වීම ඔහුගේ ඉරණම තීරණය කරන්නක් වුනා. එපමණක් නොව ඔහු වටා එක්ව දර්ශනය හදාරන ලද ශිෂ්‍යයන් ද සිටි නිසා මේ ඉගැන්වීම් එතෙක් පැවති ඉගැන්වීම් ප්‍රශ්න කරන්නක් බවට පත්වීම ඇතැන්ස් පාලකයන්ගේ කෝපයට හේතු වූ නිසා ඔහුට ‘නව දෙවිවරුන් හඳුන්වා දීම, පිළිගත් දෙවිවරු ඇදහීමෙන් වැළකීම සහ තරුණයන් නොමග යැවීම’ යන චෝදනා ඔස්සේ පන්සියයක් වූ ජූරි සභාවක් මගින් වැරදිකරු කරන ලදී. දඬුවම ලෙස මරණ දණ්ඩනය නියම විය.

වස පානය කිරීමේ තවත් සිතුවමක් (freeimages)

මරණ දඬුවම ලිහිල් කරගැනීමට නැවත ආයාචනා කිරීමට අවස්ථාව තිබුණු නමුත් සොක්‍රටීස් දඬුවම පිළිගෙන වස කෝප්පය තමා විසින්ම පානය කරන ලදී. දඬුවම ලිහිල් කරගැනීමට තමන් විශ්වාස කළ බුද්ධියේ සත්‍යය පාවා දීමට කිසිසේත්ම ඔහු ඉදිරිපත් නොවිය. එසේ දඬුවම ලිහිල් කරගත්තේ නම් සොක්‍රටීස් පිළිබඳව එතැන් පටන් ගොඩනැගුණු මතවාදයන් මීට වඩා හාත්පසින් වෙනස් වීමට ඉඩ තිබුණි. ලෝකය වෙනස් වූයේ සැමදා ඝනිභූත වූ මතයන් තුල මිනිසුන් සිර වී සිටීමෙන් නොව නව දේ අත්හදා බැලීමත් අලුත් මතවාදයන් ගොඩනැගීමත් නිසා බව අප ඉදිරියේ ඇති සත්‍යයකි. සොක්‍රටීස් පමණක් නොව ඊට සහශ්‍ර ගණනකට පසුව වුවද මේ ආකාරයේම කැපකිරීම් කළ මිනිසුන් අපට හමු වේ. 16 වන සියවසේදී ඉතාලියේ විසු ගියර්දානෝ බෘනෝ යනු ද මෑත කාලීනව අපට හමුවන තමන් විශ්වාස කළ මතයන් වෙනුවෙන් යටත් නොවී මරණය තෝරා ගත් දාර්ශනිකයෙකි.

sru.edu

සොක්‍රටීස්ගේ දාර්ශනය බුද්ධිවාදයක් බව සැබෑය. නමුත් ඔහුගෙන් උගත යුතු දේ බොහෝ වෙයි. එතෙක් ග්‍රීක දර්ශනය තුළ අධ්‍යයනය කරන ලද්දේ ස්වභාවික විද්‍යාවන් පිළිබඳව පමණි. එහි එක් සීමාවකින් පසුව දර්ශනය තවත් සංවර්ධනය වෙමින් මිනිස් සමාජය පිළිබඳවද අධ්‍යයනය කිරීමට පෙළඹීම සොක්‍රටීස්ගේ දර්ශනය තුළ ඇති එක් සුවිශේෂිතත්වයකි. අනෙක නම් තම මතවාදයන් වෙනුවෙන් සියල්ල කැප කළ හැකි තරමේ විශ්වාසයකින් කටයුතු කිරීමයි.

සොක්‍රටීස්ගේ දර්ශනය ද ඉන් පසුව විවිධ දාර්ශනිකයන් විසින් සංවර්ධනය කරමින් ඉදිරියට රැගෙනවිත්  නව මානයන් ලොවට විවර කර පෙන්වීමට සමත් විය. සංවර්ධනය යනු එවැනි දෙයකි. පැරණි දේ පසුපසම හඹා යාම දියුණුවේ ලක්ෂණයක් නොවේ. පැරණි දේ තුළ අඩංගු වැදගත් දේ ඉතිරි කරමින් බැහැර කළ යුතු දේ බැහැර කරමින් නව දේ එකතු කිරීම අනෙක් සියලු අංශයන්හි මෙන්ම දර්ශනයේදී ද ඉතාමත් වැදගත් දෙයකි. පූර්වජයාගේ සිට නූතන මිනිසා දක්වා පරිණාමය සිදු වූයේද දුර්වල ලක්ෂණ ඉවත දමමින් නව ලක්ෂණ බිහි කරමින් ආ ගමන් මග නිසාමය.

conversionxl

සොක්‍රටීස්ගේ දර්ශනය සම්පුර්ණයෙන්ම ලියා තැබුයේ ප්ලේටෝ විසින් නිසා එම ඉගැන්වීම් සියල්ලම සොක්‍රටීස් විසින්ම ප්‍රකාශ කරන ලද දේද යන්න පිලිබඳ ගැටළුවක් ඇත. ප්ලේටෝ සහ සොක්‍රටීස්ගේ දර්ශනයන් අතර ඉතාමත් සමානකමක්ද දක්නට ඇත. මෙම ගැටළුව සොක්‍රටීස්ගේ දර්ශනයට පමණක් නොව ජේසුස් වහන්සේට සහ බුදුන් වහන්සේට පවා අදාළ කරුණක් බව පැහැදිලිය.

මූලාශ්‍ර: සොෆිගේ ලෝකය- යුස්ටයින් ගෝඩර්

කවරයේ පින්තුරය: Jacques-Louis David චිත්‍ර ශිල්පියා 1787 දී නිර්මාණය කළ සොක්‍රටීස් වස පානය කිරීම සිතුවම (Wikimedia)

Related Articles