කලාවට, මනුෂ්‍යත්වය ප්‍රධානය කළ අතලොස්සක් ශ්‍රී ලාංකික කලාකරුවන් අතරින් ප්‍රමුඛස්ථානය ලබා දෙන්නට හැකි කලාකරුවෙක් පිළිබඳවයි අද ලිපිය ඔබ වෙත ගෙන එන්නට අප අදහස් කලේ.

ඒ අන් කිසිවෙකුත් නොව විශාරද ගුණදාස කපුගේ පිළිබඳවයි. කිසිදා සමුනොගත් අසහාය කලාකරුවෙක් ලෙස මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවම සළකන ඔහු වෙනුවෙන් තබන මේ සටහනට තවත් දේවල් එකතු විය යුතු බව ඔබ සිතනවානම් comment එකකින් ඒ බව සටහන් කර යන්නට අමතක කරන්න එපා.

උපතින්ම ලයාන්විත කටහඩකට උරුමකම් කියූ කළු මහත්තයා

දුක් විදින මිනිසුන් වෙනුවෙන් කටහඩ අවධි කළ කපුගේ (www.amarasara.info)

1945 අගොස්තු 7 වනිදා ගාලු දිස්‌ත්‍රික්‌කයේ ගඟබඩපත්තුවේ මිරිස්‌වත්ත නම් වූ පිටිසර ග්‍රාමයේ  අට දෙනෙකුගෙන් යුත් පවුලක දෙවනියා ලෙස මෙලොව එළිය දුටු ඔහුගේ සම්පූර්ණ නම ඇල්ලමුල්ල කපුගේ ගුණදාස නම් විය. නමුත් කවුරුත් ඔහුව හැදින්වුයේ කළු මහත්තයා යන ආදරණිය නමින්. කුඩා කලුමහත්තයා එරමුල්ල කනිෂ්ඨ විද්‍යාලයට ඇතුල් වී අනතුරුව පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් වීමෙන් කරන්දෙනිය මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වීමට හැකියාව ලැබෙනවා. ඉන් පසුව ගාල්ල නගොඩ විද්‍යාලයෙනුත් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙනුත් තම පාසල් අධ්‍යාපනය නිමා කරනවා.

කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වීමෙන් තම කලා හැකියාව වර්ධනය කර ගන්නා කුඩා කපුගේ එහිදී ඩබ්. චූලරත්න හා එන්. ඩි ප්‍රේමරත්න යන ගුරුවරුන් යටතේ සංගීතය හදාරනවා. කළු මහත්තයාට උපතින්ම වටිනා කටහඩක් උරුම බව අවබෝධ කර ගන්නා ඔහුගේ මාමා වන එස්. එඩ්මන් විසින් කුඩා කපුගේව ගමේ වේදිකා නාට්‍ය වලට ගීත ගයනා කිරීම සඳහා සහභාගී කර ගන්නවා. පසු කාලයේදී දුක් විදින සාමාන්‍ය ජනතාවගේ ජිවන වෘතාන්ත වස්තු බීජය කර ගනිමින් ගීත ගායනා කිරීමට මෙම ගමන් හේතු වන්නට ඇති බව හිතන්නට පුළුවන්.

හේවුඩ් සංගීත පාසලෙන් භාත්ඛණ්ඩේ සංගීත ආයතනය

තම මව සමඟ (Archives)

ගාල්ල ධර්මාශෝක විද්‍යාලයේ ඉගෙන ගන්නා සමයේ එනම් 1959 වසරේ ගයනා අංශයෙන්  ගාල්ල දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය හිමි කර ගන්නේ කපුගේ සිසුවායි. පාසල් අධ්‍යාපනය හමාර කර 1963දී රජයේ ලලිත කලා ආයතනයට (හේවුඩ්) ඇතුළත් වන අතර තව දුරටත් සංගීතය ප්‍රගුණ කිරීම සඳහා 1965 වසරේදී ඉන්දියාවේ භාත්ඛණ්ඩේ සංගීත ආයතනයට ඇතුල් වෙනවා.

ප්‍රවීන ඉන්දියානු සංගීත වේදීන්ගේ ගුරු හරුකම් යටතේ 1969 වසරේදී ඔහුගේ අධ්‍යාපන කටයුතු නිමා වන්නේ සංගීත විශාරද උපාධිය හිමිකර ගනිමින්.

විශාරද ගුණදාස කපුගේ ශ්‍රී ලංකා ගුවන් විදුලියට

සරත් දසනායක, ලූෂන් බුලත්සිංහල හා ගුණදාස කපුගේ යන තිදෙනා පටිගත කිරීමකට එක්ව සිටින අයුරු (sathhanda.lk)

1969 වර්ෂයේදී ගුවන් විදුලි සංස්ථාවට ශබ්ද පරිපාලකයකු ලෙස එක් වන්නට කපුගේට හැකියාව ලැබෙනවා. 1969 දී තාවකාලික පදනම මත බදවාගත් ඔහුට 1970 වසරේදී එම තනතුරේ ස්ථිර රැකියාව හිමි වෙනවා.

සමාජවාදී දර්ශනයක් ඔස්සේ දුප්පත්කමින් හා සූරා කෑමෙන් හෙම්බත් වුන පීඩිත පන්තියේ කම්කරු ජනතාව උදෙසා තම නිර්මාණකරණය මෙහෙයවීම තුළින් ධනවාදී ආණ්ඩුවට විරුද්ධ වූ කලාකරුවන් අතරට ඔහු එක් වෙනවා. පීඩිත ජන කොටස් වල ජීවන තත්වයේ යථාර්තය ගීතයන් ඔස්සේ සමාජගත කරන්නට උත්සුක වූ කපුගේට 1977 වර්ෂයේ බලයට පත් වන ජේ. ආර් ජයවර්ධනගේ ආණ්ඩුව විසින් රතු එළියක් නිකුත් කරන්නේ ඔහුගේ ගීත ගුවන් විදුලියෙන් ප්‍රචාරය වීම වළක්‌වාලීමට වාරණ නියෝගයක්‌ නිකුත් කරමින්.

විවාහය හා රැකියාව අහිමි වීම

විවාහය (sathhanda.lk)

1978 වසරේදී ප්‍රේමා කපුගේ සමඟ විවාහ වන ඔහුට එම වසරේම දේශපාලනික පළිගැනීමක් නිසා තම රැකියාව අහිමි වෙනවා. කියුබාවේ හවානා නුවර පැවති ජාත්‍යන්තර තරුණ සමුළුවකට ආරාධනා ලැබුණු කපුගේ එයට සහභාගී වීමට ගුවන් විදුලි සංස්ථාවෙන් රැකියා නිවාඩු අයදුම් කළත් දේශපාලනිකමය හේතූන් නිසා ඔහුගේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප වෙනවා.

ගුවන් විදුලි සංස්ථාවේ නිලධාරීන්ගේ එම තීරණය තඹයකට මායිම් නොකරන කපුගේ 1978 ජූලි 22 වන දින හවානා නුවර තරුණ සමුළුවට සහභාගී වන්නට තීරණය කරනවා. සමුළුවට සහභාගී වී නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළටම සේවය හැරගියා සේ සැලකෙන ලිපිය ගෙනවිත් භාර දීමට එම නිලධාරීන් කටයුතු කරනවා.

රැකියාව හිමිවීම නැවත අහිමිවීම් හා දඩුවම් මාරු වලින් පිරුණු ජීවිතය

කපුගේගෙ පුත් මිත්‍ර කපුගේ (YouTube)

1979 වසරේ නැවත රැකියාව හිමි වූවත් එම වසරේම රණසිංහ ප්‍රේමදාස අගමැතිවරයාට අපහාස කළේයැයි යන චෝදනාව මත ඔහුව පොලිස් අත්අඩංගුවට පත් වෙනවා. නමුත් චෝදනා විමර්ශනයේදී කපුගේට නිදහස් වීමට හැකියාව ලැබෙනවා. නැවතත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් ඔහුව නෙරපනවා.

එවකට ගුවන් විදුලි සංස්ථා සභාපති ඒමන් කාරියකරවනගේ මැදිහත් වීමෙන් නැවත රැකියාව ලැබුනත් දඩුවම් මාරුවක් ලෙස රැකියා ස්ථානය ලෙස ලැබෙන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවයයි. රජරට සේවයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන මෙම කාලයේදී එම සේවය තුළින් රටම ප්‍රබෝධයට පත් කරන්නට ඔහුට හැකියාව ලැබෙනවා.

1981 දී රජරට සේවය සංගීත අංශයේ ප්‍රධානියා ලෙසත් පසුව රජරට සේවයේ ප්‍රධානියා ලෙසත් කපුගේ කටයුතු කරනවා. 88/89 භීෂණ සමයේදීද තම ආකල්ප වෙනස් නොකළ කපුගේව 1990 වසරේ ජනවාරි 29 වැනිදා රජරට සේවයෙන් අනිවාර්ය නිවාඩු යැවෙනවා. පසුව කම්පන ප්‍රසංගය සමඟ නැවත ජන හදවත් තුළට කා වදින්නට ඔහුට හැකි වෙනවා.

ගායකයෙකු, ගීත රචකයෙකු ලෙස

ප්‍රියානන්ද විඡේසුන්දර ලියූ ගී පද මාලාවට කපුගේ සරළව නිමැවූ තනුවට, විශාරද සනත් නන්දසිරි නිර්මාණය කළ සංගීත රටාවට “දෑස නිලුපුල් තෙමා – කඳුළු මුතු ලැල් සලා” ගීතය ගයනා කරමින් ගායකයෙක් ලෙස රසික හදවත් වලට ආමන්ත්‍රණය කළ කපුගේ දවසක් පැල නැති හේනේ, උල ලේනෝ, බිංදු බිංදු තාරකා, විදුලි මිණි පහන් දැවී, මගෙ හද මඬල මල් යහනකි, සිංහල සින්දු කියන, දම් පාටින් ළා සඳ බැස යනවා (මාලනී බුලත්සිංහල සමඟ), බිරිඳ මගේ ඔබ (නන්දා මාලනී සමඟ), නාඹර ගොයමට, උන්මාද සිතුවම් (එක්ටැම් ගේ චිත‍්‍රපටයේ) වැනි ගීත මඟින් රසික සිත් ඇද බැඳ ගැනීමට සමත් වෙනවා.

දවසේ කරදර කරපිට, කරගල ගගා ඉන්න, සබද අපි කඳු නොවෙමු හා බිම්බරක් සෙනග ගැවසුණු වැනි ගීත තුළින් මෙරට වැඩකරන ජනතාවගේ සිතුම් පැතුම් නිරූපනය කරන්නට කපුගේ සමත් වෙනවා. අමරදේව ශුරින් විසින් ගයනා කළ “කොළොම්තොට නැත මහලු වී” ගීතයත් විජය කුමාරණතුංගයන් විසින් ගයනා කළ “දඟ ගෙයි දඬුවම් සියුමැලි වැඩිනම්” ගීතයත් රචනා කරන්නේ කපුගේයි.

පළමු කැසට් පටය ලෙස “දම් පාටින් ලා සඳ” කැසට් පටය මාලනී බුලත්සිංහල සමඟ නිකුත් කරන්නේ 1980 වසරේදීයි. පසුව කළ කැසට් අතරින් රසිකයන් ආදරයෙන් වැළදගත් කැසට් ලෙස සීතල සඳ එළියේ (1981), උන්මාද සිතුවම් (1983), ඉරබටු තරුව (1999) හා සඳ රෑ සිහිනේ (2000) හදුන්වන්නට පුළුවන්.

සංගීතවේදියෙකු ලෙස

තුරඟ සන්නිය, පරපුටුවෝ, නන්දි විසාල, තාරාවෝ ඉගිලෙති හා සසර සෙවනැළි වැනි වේදිකා නාට්‍ය සඳහා සංගීත අධ්‍යක්ෂණය හා දායකත්වය ලබා දෙනවා. තවද ගිගිරි වළලු, රන්දෝලි, දොළොස් පැය හා පාරමීදම් වැනි ටෙලි නාට්‍යයන්හි විශිෂ්ට සංගීත අධ්‍යක්ෂණය කපුගේගෙනි. පළමු වරට චිත්‍රපටයක සංගීතය සඳහා දායක වූයේ ස්ටැන්ලි පෙරේරා මහතාගේ “සඳා” (1980) චිත්‍රපටය සඳහායි. අනතුරුව රතු මකරා, මාල ගිරවී, චුට්ටි, පුතුනි මට සමාවන්න, බව දුක හා භවකර්ම චිත්‍රපට සඳහා තම දායකත්වය ලබා දෙනවා.

සම්මාන

මෑතකදී ජනාධිපති ප්‍රධානත්වයෙන් පැවැත්වුණු විශාරද ගුණදාස කපුගේ කලාකරුවාණන් සැමරුම් ප‍්‍රත්‍යාවලෝකන ප‍්‍රසංගය (president.gov.lk)

තමන්ට ලැබෙන ජනතා සම්මාන උතුම් කර සැලකූ මෙම අසහාය කලාකරුවාට එම සම්මාන නොඅඩුව ලැබුණු බවට සාක්ෂියක් ලෙස අදටත් ඔහුගේ ගීත වල ඇති ඉහළ ජනප්‍රියතාව ගෙන හැර දක්වන්නට පුළුවන්.ඉහළ ජනතා ප්‍රසාදයට අමතරව ඔහුට ලැබුණු සම්මාන අතර –

ස්වර්ණ සංඛ සම්මානය – හොඳම කටහඬ (1996), සරසවි සම්මානය – හොඳම කටහඬ (1996), රස සංගීත සම්මානය – හොඳම ගායකයා (1997), ජනාධිපති සම්මානය – හොඳම ඉදිරිපත්කිරීම් ගයකයා (1997), සරසවි සම්මානය – හොඳම කටහඬ (1997), OCIC සම්මානය – නිර්මාණශීලී සංගීත අධ්‍යක්ෂණය(1997), ජනාධිපති සම්මානය – හොඳම ගායකයා (1998) හා සරසවි සම්මානය – ප්‍රසාද පූජා සම්මානය (1999) එම සම්මාන ගොන්නට අයත් වෙනවා.

2003 වසරේ  අප්‍රේල් මස 03 වන දින විදෙස් සංචාරයක් නිමවී පැමිණීමේදී බණ්ඩාරනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ සිදු වූ හදීසි අනතුරකදී තුවාල ලැබූ ඔහු රෝහල් ගත කිරීමට තරමක් ප්‍රමාද වෙනවා.අනතුර හේතුවෙන් එදිනම කපුගේ අවාසනාවන්ත ලෙස මිය යන්නේ ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයට පිරවිය නොහැකි හිඩැසක් ඉතුරු කරමින්.

ජනතා කලාකරුවෙක් ලෙස සමාජයට සක්‍රියව තම සේවය ඉටු කළ අසහාය වීරයා වෙල්ලස්සේ ඉඩම් අරගලයේදී, සරසවි සිසු අරගල වල දී මෙන්ම පදවි ශ්‍රී පුර ජනතා අරගල වල දී ද ජනතාව අත් හරින්නේ නෑ. කලාවට මනුෂ්‍යත්වය ප්‍රදානය කළ මිනිසා ඔහුය.” එල්පින්ස්ටන් රඟහළෙහි උතුරා යමින් සිටි කපුගේ ප්‍රේමීන් අමතා වරක් රත්නශ්‍රී ප්‍රකාශ කරනවා.

”සබද අපි කඳු නොවෙමු”  යනුවෙන් කලාවට මනුෂ්‍යත්වය ආරෝපණය කළ ඔහු අදටත් ජනතා සිත් තුළ මුල් ස්ථානයක් ගන්නා කලාකරුවෙක් ලෙස හැදින්වීම ඉතා නිවැරදියි.

මුලාශ්‍ර – Wikipedia, දිවයින හා සත්හඩ පුවත්පත්

කවරයේ පින්තුරය: Geeyaka Wathagotha – Wikia