ප්‍රංශයෙන් ලොවට පහළ වූ මහා කෙටි කතාකරු – ගී ද මෝපසාං

ලෝක සාහිත්‍ය පෝෂණය කිරීම උදෙසා ලොව බිහි වූ කෙටි කතා කරුවන් බොහෝමයක් දායක වී තිබෙනවා. මොවුන් සාහිත්‍යට රුචිකත්වයක් දක්වන්නේ පවුලෙන් කුඩා කාලයේ සිටම ලැබෙන ආභාෂය නිසාවෙන් හෝ සහජ දක්ෂතාවය යන ආදී කරුණු පදනම් කර ගනිමින්ය. ප්‍රංශයෙන් ලෝක සාහිත්‍ය උදෙසා පහළ වූ ගී ද මෝපසාං සාහිත්‍යට නැඹුරු වන්නේ මවගේ අභාෂය නිසාවෙනි. මෙම ලිපියේ අරමුණ වන්නේ මෝපසාං ලැබූ ප්‍රාථමික අධ්‍යාපනයේ සිට සාහිත්‍ය නිර්මාණ දක්වා වූ ගමන් මාර්ගය සම්බන්ධයෙන් කතා කිරීමයි.

ළමා විය

හෙන්රි රෙනේ ඇල්බට් ගී ද මෝපසාං නමැති ශ්‍රෙෂ්ඨ සාහිත්‍යධරයා උපත ලබන්නේ වර්ෂ 1850 අගෝස්තු මස 5 වන දිනයි. උපන් ස්ථානය ලෙස දැක්වෙන්නේ ඩියෙප් (Dieppe) නමැති ස්ථානයයි. මොහුගේ පියා ගුස්තාව් මෝපසාං වන අතරම මව වූයේ ලෝරිද මෝපසාං ය. මොහුට හර්ව් යනුවෙන් සොහොයුරෙක්ද සිටියා.

මෝපසාංගේ පවුල අග හිඟතාවයෙන් යුත් පවුලක් වූ අතරම මේ හේතුවෙන් දරිද්‍රතාවයට මුහුණ දීමට මොවුනට සිදු වුණා. මේ හේතුවෙන් නිරන්තරයෙන් අඬ දබර​ ඇති වූ අතර මෝපසාං ට වයස අවුරුදු 11 පමණ වන විටදී දෙමවුපියන් නීතියෙන් වෙන් වීම සිදු වුණා.  මව සිය පුත්‍රයන් ද සමඟ ප්‍රංශයේ එත‍්‍රතා පළාතේ වේර්ගීහි නමැති ප්‍රදේශයට පදිංචිය පිණිස යනු ලැබුවා. මෝපසාං සාහිත්‍ය කෙරෙහි නැඹුරු වීමට ඔහුගේ මවගේ අභාෂය දැඩිව බලපානු ලැබුවා. මව කතාන්දර කීමට දස්කම් කී අතරම ඇය ශේක්ෂ්පියර්ගේ නාට්‍ය ප්‍රංශ භාෂාවෙන් සිය පුත්‍රයාට කියා දුන්නා. මේ හේතුවෙන් ඔහුට කෙටිකතා ලිවීමට අවශ්‍ය කරන්නා වූ නිර්මාණාත්මක පරිකල්පනය වර්ධනය වීමක් නිරන්තරයෙන්ම සිදු වුණා.

අධ්‍යාපනය

මෝපසාං වයස අවුරුදු දහතුනේදී පමණ සිය මූලික අධ්‍යාපනය කතෝලික පාසලකින් හදාරනු ලැබුවා. ගණිතය, ලතින් භාෂාව, ව්‍යාකරණ ආදී විෂයන් මෙහි හැදෑරූ අතරම අනතුරුව වර්ෂ 1867 දී කජින් නමැති විශ්ව විද්‍යාලයට ඇතුල් වීමේ භාග්‍ය හිමි වුණා.  නමුත් මොහුව එම විශ්ව විද්‍යාලයෙන් නෙරපීමට ලක් කර තිබෙනවා. එයට හේතුව ලෙස දැක්වෙන්නේ පූජකයෙකුට විහිළු කිරීමක් හා සම්බන්ධ සිදුවිමකුයි. වර්ෂ 1869 දී පමණ නීතිය ඉගන ගැනීම සඳහා මෝපසාං පැරීසියට යනු ලැබූවත් එම අරමුණ සාර්ථක කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.

යුධ භටයෙකු වූ මෝපසාං

pinterest.com (තරුණ අවධියේ මෝපසාං)

නීතිය ඉගන ගැන්මට පැරීසියට ගිය මෝපසාංට එම අරමුණ ඉටු කර ගැනීමට බාධා කරන ලද්දේ වර්ෂ 1870 දී පමණ ආරම්භ වූ ප්‍රංශ – ප්‍රශියන් යුද්ධයයි. ඒ අනුව නීතිය ඉගන ගැනීම අතහැර දමා ඔහු යුධ භටයෙකු ලෙස යුද්ධයට එකතු වුණා. නමුත් නොයෙකුත් හේතු මත​ යුද්ධය ඔහුට නුරුස්සන ස්වභාවයක් ඇති වූ අතරම, මේ හේතුවෙන් කෙටි කලකින් මෝපසාං ඉන් ඉවත් වුණා.

අනතුරුව ඔහු රැකියාව වශයෙන් නාවික දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙකු වශයෙන් සේවය කරනු ලැබුවා. නමුත් මෝපසාං මෙම රැකියාවටද ඇලුම් නොකළ අතරම, අනතුරුව මොහුගේ මව එම වකවානුවේ ප්‍රංශයේ ජීවත් වූ ගුස්ටාව් ෆ්ලෝබෙයා හට යොමු කරනු ලබනවා. මෙම පුද්ගලයා ප්‍රංශයේ මහා ගත් කතු වරයෙකු ලෙසින් කීර්තිමත් නමක් දිනා සිටි අයෙකු වනවා.

මෝපසාංගේ සාහිත්‍ය ජීවිතයේ ආරම්භය

youtube.com(ගුස්ටාව් ෆ්ලොබට්)

ගුස්ටාව් ෆ්ලෝබෙයාගේ ඇසුරට පත් වීම මෝපසාංගේ සාහිත්‍ය ගමනේ ආරම්භය මෙන්ම ඔහුගේ ජීවන ගමනේ හැරවුම් ලක්ෂය ලෙස මෙය දැක්විය හැකියි. මොහු මෝපසාංගේ ඥාතියෙකු වූවා. එමෙන්ම මොහු ඇසුරේ හිද පුහුණුව ලබා ගැනීමට මෝපසාං දැඩි කැමැත්තක් දැක්වූවා. මෙහි දී ඉවාන් තුර්ගනෙව්, එමිල් සෝලා, හෙන්රි ජේම්ස් යන එවකට සිටි ඉතාමත් උසස් සාහිත්‍ය කරුවන් මොහු හට හඳුන්වා දෙනු ලැබුවා.

මොහු යටතේ හිඳ මෝපසාං රචනා ලිවීම් සිදු කළ අතරම ඒවා කියවා තම පුත්‍රයාගේ සාහිත්‍ය කරණයේ සිදුව තිබෙන වර්ධනය සම්බන්ධයෙන් ෆ්ලෝබෙයා නිරන්තරයෙන් මෝපසාංගේ මවට දන්වනු ලැබුවා.

ලේඛක දිවිය

biography.com (එමිල් සෝලා)

ඇතැම් අන්තර්ජාල ලිපි පවසා සිටින්නේ මෝපසාං ගේ ලේඛක දිවිය උදෙසා ෆ්ලොබෙයා උපකාර නොකළ බවත් ඒ සඳහා එවකට ප්‍රංශයේ විසූ සුප්‍රකට ගත් කතුවරයෙකු වූ එමිල් සෝලා සිය දායකත්වය ලබා දුන් බවත්ය. කෙසේ නමුත් 1880 වර්ෂයේදී ෆ්ලෝබෙයාගේ හදිසි හා අනපේක්ෂිත මරණය මෝපසාං හට දැඩිව බලපානු ලැබුවා.

ඒ අනුව වර්ෂ 1880 දී එමිල් සෝලා විසින් කෙටි කතා සංග්‍රහයක් රචනා කිරීමට කටයුතු යෙදුවා. මේ සඳහා පාදක වූ සිදුවීම වූයේ 1880 දී ඇති වූ ප්‍රංශ – ප්‍රශියන් යුද්ධයයි. “Boule de suif”  නම් කෙටි කතාව මෝපසාං ගේ ප්‍රථම කෙටි කතාව වූ අතරම එය එමිල් සෝලාගේ කෙටි කතා සංග්‍රහය උදෙසා ඔහුගේ ආරාධනය පරිදි සිදු කළ කෙටිකතාවක් වනවා. මෙම කෙටි කතාව එම කෙටි කතා අතරින් හොඳම කෙටි කතාව වූ අතරම මෝපසාං විසින් ලියූ හොඳම කෙටි කතාවද​ විය හැකියි.

මෙම කෙටි කතාවත් සමඟ මෝපසාංට වටා පාඨකන් එක් රොක් වීමක් සිදු අතරම, අනතුරුව ඔහු සිය නිර්මාණකරණය දිගින් දිගටම පවත්වාගෙන යනු ලැබුවා. ඒ අනුව 1880 වසරේදී ඔහුගේ ප්‍රථම කවි සංකල්පනා පොතද, නවකතා හයක්ද, සංචාරක පොත් 6ක් ද රචනා කිරීමට සමත් වුණා.1880 – 1890 යන වකවානු දක්වා කෙටි කතා තුන්සියය ඉක්මවා රචනා කරනු ලැබුවා. Pierre et Jean, Bel-Ami, The Necklace, Mother Sauvage ආදී නිර්මාණ ඉන් කිහිපයකි.

රචනා ශෛලිය හා දිවියේ අවසන් කාලය

මෝපසාං නූතන කෙටි කතාවේ පියවරුන්ගෙන් අයෙකු ලෙස සලකනු ලබනවා. ඔහුගේ නිර්මාණවල දක්නට ලැබුණ විශේෂත්වය වන්නේ ඉතාමත් චමත්කාර ගැඹුරු ස්වභාවයේ සංකල්පනා අන්තර්ගත වීමයි. කතාව නිමාව සිදු වන්නේ හාත් පසින්ම නොසිතන සංසිද්ධියකිනි. නමුත් ඔහුගේ නිර්මාණ තුළ ගැඹුර වගේම රසය නොඅඩුවම තිබුණා. මෝපසාංගේ නිර්මාණ තුළින් යථාර්ථවාදී ලක්ෂණ පෙන්නුම් කෙරුණා. එමෙන්ම ඔහු ස්වභාවික ගුරු කුලය නියෝජනය කළ ලේඛකයෙකුද වෙනවා.

කෙටි කතාවල නියැළීමෙන් මුදල් උපයා ගැනීමට හැකියාව උදා වූ අතරම මෙම මුදල් වලින් මන්දිර, බෝට්ටු ආදිය මිලදී ගැනීමට මෝපසාංට හැකි වුණා. ජිවිතයේ අවසන් වකවානුව වන විට රෝගාතුර වීම හේතුවෙන් වෛද්‍ය නිර්දේශය වූයේ ලිවිම අත්හැරිය යුතු බවයි. නමුත් මොහු තම ලිවීම් කටයුතු අත් නොහළ අතර මෙම අවසන් භාගයේ නිර්මාණ වල දක්නට ලැබුණ නිර්මාණ බොහොමයක් නම් සුඛාන්ත වූයේ නැහැ..

මානසික රෝගාතුර තත්ත්වය හේතුවෙන් එක් අවස්ථාවාදී ඔහු සියදිවි හානි කර ගැනීමටද උත්සහා දරා තිබෙනවා. ප්‍රංශයෙන් ලෝක සාහිත්‍යයේ උන්නතිය උදෙසා පහළ වූ සාහිත්‍යධරයන් වර්ෂ 1893 ජූලි මස 6 වන දින මිය යනු ලැබුවා.

කවරයේ පින්තූරය: Famous People

Related Articles