Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ආන්දෝලනාත්මක මතක සටහන් රැසක් රැගත් හැරී කුමරුගේ ‘Spare’ කෘතිය

බ්‍රිතාන්‍ය රජ පවුලේ ආන්දෝලනාත්මක චරිතයක් වන හැරී කුමරු පසුගිය 10 වැනිදා සිය ජීවිතය අළලා ලියූ “Spare” නම් කෘතිය ප්‍රකාශයට පත් කළේ ය. අමෙරිකානු නවකතාකරුවෙක් වන J. R. Moehringer ගේ සහය ද ඇති ව, හැරී කුමරු රචනා කළ එම කෘතිය, නිව්යෝර්ක් නගරයේ පිහිටා ඇති Penguin Random House නම් ග්‍රන්ථ ප්‍රකාශන ආයතනයේ ප්‍රකාශනයකි.

හැරී කුමරුගේ ජීවිතයේ ආන්දෝලනාත්මක මතක සටහන් රැසක් රැගත් මෙම කෘතිය ප්‍රබන්ධ නොවන කෘති අතරින් ලොව වේගයෙන් ම අලෙවි වූ පොත ලෙස ගිනස් වාර්තාවක් ද පිහිටුවා තිබේ. බ්‍රිතාන්‍යය, එක්සත් ජනපදය සහ කැනඩාව යන රටවල එය නිකුත්කළ පළමු දිනයේ දී ම පිටපත් මිලියන 1.43ක් අලෙවි වී තිබීම පදනම් කරගෙන එය ගිනස් පොතට ඇතුළත් ව තිබේ. මීට පෙර මෙම වාර්තාව තබා තිබුණේ හිටපු අමෙරිකානු ජනාධිපතිවරයෙක් වන බැරැක් ඔබාමා 2020 වසරේ ප්‍රකාශයට පත් කළ සිව්වන කෘතිය වන “අ ප්‍රොමිස් ලෑන්ඩ්” කෘතිය යි.

චරිතාපදානයක් ගැන කතාබහක්

හැරී සිය ජීවිතයේ සුවිශේෂී සිදුවීම් සහ අත්දැකීම් පාදක කරගෙන චරිතාපදානයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව  2021 ජූනි මස දී මාධ්‍ය වාර්තා පළ විය. එම වාර්තාවල සඳහන් වූයේ ඔහු සිය චරිතාපදානය අලෙවි කිරීමෙන් ලැබෙන මුදල් විවිධ පුණ්‍ය කටයුතු සඳහා සංවිධාන කිහිපයකට යෙදවීමට නියමිත බව යි. කෘතිය ප්‍රකාශයට පත් කිරීමට පෙර ඊට අදාළ කටයුතු හරහා හැරී කුමරුට ඩොලර් මිලියන 20කට ආසන්න ආදායමක් ලැබී ඇති බව ද මාධ්‍ය හරහා වාර්තා විය.

“Spare” කෘතිය වෙළෙඳපොළට නිකුත් කර දිනක් ඇතුළත එහි පිටපත් මිලියන 1.4ක් පමණ අලෙවි විය -www.bbc.com

“ඉපදෙන අවස්ථාවේම කුමාරයෙක් බවට පත් වූ පුද්ගලයා ලෙස නෙවෙයි, අද වන විට මා යම්කිසි ආකාරයක පුද්ගලයෙක් බවට පත් වෙලා තියෙනවා, ඒ පුද්ගලයා ලෙස තමයි මං මේ පොත ලියන්නේ. වසර ගණනාවක් තිස්සේ මා විවිධාකාරයේ අත්දැකීම්වලට මුහුණ දී තිබෙනවා. මම මුහුණ දුන් ඉහළ පහළ යාම්, සිදු කළ වැරැදි සහ උගත් පාඩම් ඇතුළත් මගේ කතාව ඔබට පැවැසීමෙන් මා බලාපොරොත්තු වන්නේ අප කුමන තත්ත්වයක සිටියත් – අපට පොදු බොහෝ දේ අප හිතනවටත් වැඩි ප්‍රමාණයක් තිබෙන බව ඔබට වටහා දෙන්නට යි.” සිය චරිතාපදානය පිළිබඳව අදහස් දක්වමින් හැරී පැවැසුවේ ය.

වාර්තාගත අලෙවියක්

පිටු 416කින් යුතු මෙම කෘතිය මුද්‍රිත පිටපත් ආකාරයෙන් මෙන් ම ඩිජිටල් පිටපත් ආකාරයෙන් ද වෙළෙඳපොළට නිකුත් කර ඇත. ඉංග්‍රීසි භාෂාවට අමතර ව තවත් භාෂා 15කට පරිවර්තනය කර ඇති කෘතියේ ශ්‍රව්‍ය පිටපත පැය 15ක ඇසුම් කාලයකින් යුක්ත වේ. හැරී සහ බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයන් පිළිබඳ ආන්දෝලනාත්මක කරුණු රැසක් ඇතුළත් මෙම කෘතිය වෙළෙඳපොළට නිකුත් කර දිනක් ඇතුළත එහි පිටපත් මිලියන 1.4ක් පමණ අලෙවි විය.

හැරී කුමරු – www.vanityfair.com

මෙම කෘතියේ හැරීගේ ළමා කාලය, ඔහුගේ මව වූ වේල්සයේ කුමරිය – ඩයනා කුමරියගේ අභාවය ඔහුට බලපෑ අයුරු, තරුණ වයසේ දී ඔහු මුහුණ පෑ යම් යම් ගැටැලුකාරී තත්ත්ව, බ්‍රිතාන්‍ය හමුදාවට සම්බන්ධ වී ඇෆ්ගනිස්ථානයේ ගත කළ කාලය වැනි කරුණු මූලික වශයෙන් විස්තර කර ඇත. ඊට අමතර ව තෙවැනි චාල්ස් රජු (පියා), ඔටුන්න හිමි විලියම් කුමරු (සොහොයුරා), කැමිලා රැජන (සුළු මව), මේගන් මා(ර්)ක්ල් (බිරිය) සහ දෙවැනි එළිසබෙත් රැජන (මිත්තණිය) සහ හැරී කුමරු අතර සම්බන්ධතාවේ විවිධ පැතිකඩ ද විස්තර කොට ඇත.

හැරී කුමරුගේ චරිතාපදානයේ ඇතුළත්, මේ දිනවල ලොව පුරා කතාබහට ලක් වෙමින් පවතින කරුණු කිහිපයක් පිළිබඳ ව දැන් විමසා බලමු !

හැරී කුමරු සහ මේගන් -Samir Hussein/WireImage

විලියම් හැරීට පහර දෙයි

මෙම කෘතියේ සඳහන් වන වඩාත් ආන්දෝලනාත්මක කරුණක් ලෙස විලියම් සිය සොහොයුරා වූ හැරීට පහර දීමේ සිදුවීම හැඳින්විය හැකි ය. මේගන් පිළිබඳ ව දෙසොහොයුරන් අතර ඇති වූ සංවාදයකින් පසු එම පහර දීම සිදු වී ඇත. පහරදීමෙන් පසු තමන්ට ද පෙරළා පහර දෙන ලෙස විලියම් හැරීට පැවැසුවත් හැරී එය ප්‍රතික්ෂේප කළේ ය.

එම ස්ථානයෙන් පිටත්ව ගිය විලියම් ඉන් ටික වෙලාවකට පසු ආපසු පැමිණ තිබේ. ආපසු පැමිණි ඔහු කනගාටුදායක ස්වරූපයකින් තමන්ගෙන් සමාව අයැද සිටි බව හැරී විස්තර කර ඇත.

විලියම් සහ හැරී දෙසොහොයුරෝ – www.abcnews.go.com

එවකට හැරී-මේගන් යුවළ ජීවත් වූ, කෙන්සින්ටන් මාලිගයට අයත් භූමියේ පිහිටි නිවෙසක දී මෙම ගැටුම ඇති වී තිබේ. හැරී සහ මේගන් අතර සම්බන්ධය සහ මාධ්‍ය හේතුවෙන් ඇති වූ ගැටලු කිහිපයක් පිළිබඳ ව සාකච්ඡා කිරීමට විලියම් එහි පැමිණි අවස්ථාවක ගැටුම ඇති වූ බව කියැවේ. තමන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කළ විලියම්ට ජල වීදුරුවක් ලබා දුන් අවස්ථාවේ මෙම පහරදීම සිදු වූ බව හැරී සඳහන් කළේ ය.

“විලියම් මගේ බෙල්ලෙන් අල්ලා, මා පැළඳ සිටි මාලය කඩා දමා, මා බිමට තල්ලු කර දමන තත්ත්වයක් දක්වා ගැටුම උත්සන්න විය. ඔහු ජලය බිමට හලා මට වෙනත් නමකින් ආමන්ත්‍රණය කළා. ඒ සියල්ල ඉතා වේගයෙන් සිදු වුණා. ඔහු මගේ කොලරයෙන් මා අල්ලා බිමට තල්ලු කළා. මා බල්ලන්ට ආහාර දමන බඳුන මතට ඇදගෙන වැටුණා. එය මගේ ඇඟට යට වෙලා කැබලි කිහිපයකට බිඳී ගියා. මා ටික වෙලාවක් එතැන ම වැතිර සිටියා. ඊට පසු මා නැඟිට ඔහුට එළියට යන්න කිව්වා.” යනුවෙන් හැරී සිදුවීම විස්තර කර ඇත.

විලියම් සහ හැරී කුඩා කල පියා සමඟ – www.insider.com

විරසක වූ පුතුන්ගෙන් චාල්ස් කළ ඉල්ලීම

රාජකීය තනතුරුවලින් ඉවත් වීමෙන් පසු, 2021 අප්‍රේල් සිදු වූ සිය මුත්තණුවන් වූ එඩින්බරෝ හි ආදිපාද පිලිප් කුමරුගේ අවමංගල්‍යය වෙනුවෙන් එක්සත් රාජධානියට පැමිණි ආකාරය ද හැරී කුමරු සිය කෘතියේ සඳහන් කර ඇත. එය රජ පවුලෙන් ඉවත් ව යාමෙන් පසු හැරී, චාල්ස් සහ විලියම් ආපසු හමු වූ පළමු අවස්ථාව වේ. ඒ වන විට හැරී සහ මේගන්, Oprah Winfrey සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක් අතර සිදු කළ ආන්දෝලනාත්මක හෙළිදරවු කිරීම් නිසා රජ පවුල පිළිබඳ විශාල කතාබහක් ඇති වී තිබිණි.

“මං හිතුවා මම අවමංගල්‍යයට සහභාගී වෙන්න යනවා. ඒ අතරතුර මා මගේ වැඩිමහල් සොහොයුරු “විලී” සහ මගේ පියාගෙන් රහස් සාකච්ඡාවක් ඉල්ලා සිටියා ඒ වන විට සිදු වෙමින් පැවති දේවල් ගැන කතා කරන්න. මා මගේ පැත්තෙන් කරුණු දක්වන්න උත්සහ කළා, නමුත් මට එය හැකි උපරිමයෙන් කරන්න පුළුවන් වුණේ නැහැ.” යනුවෙන් හැරී එම සිදුවීම කෘතියේ විස්තර කර ඇත.

හැරී, පිලිප් කුමරු, සහ විලියම්/www.insider.com

එම හමුවට සිය පියා සහ සොහොයුරා පැමිණ තිබුණේ “සටනකට සූදානම්” ආකාරයෙන් බව හැරී කුමරු සඳහන් කර ඇත. ඔහු විස්තර කර ඇති ආකාරයට සාකච්ඡාව අතරතුර ඔහු සහ විලියම් අතර සංවාදාත්මක තත්ත්වයක් ඇති වී තිබේ.

ඒ අවස්ථාවේ සිය අවසාන අවුරුදු කිහිපය දුක්ඛිත කාල වකවානුවක් බවට පත් නොකරන්නැයි එවකට ඔටුන්න හිමි කුමරු වූ වර්තමාන චාල්ස් රජු දෙසොහොයුරන්ගෙන් ඉල්ලීමක් කර ඇත. සොහොයුරන් දෙදෙනා “විලී” සහ “හැරල්ඩ්” යනුවෙන් එකිනෙකාට ආමන්ත්‍රණය කරන බවත් කෘතියෙන් හෙළි වේ.

කෘතියේ පසු කවරය : gettyimages.com

හැරීගේ සැබෑ පියා ගැන විහිළු කළ චාල්ස්

හැරීගේ සැබෑ පියා කවුද යන්න පිළිබඳ චාල්ස් වරක් විහිළු කළ බවත් චරිතාපදානයේ සඳහන් වේ. තමන්ට සහ විලියම්ට කතන්දර කියා දීමට ප්‍රිය කළ චාල්ස්, වරක් ඩයනා කුමරිය සහ මේජර් ජේම්ස් හෙවිට් අතර පැවැති සම්බන්ධයක් පිළිබඳ ව විහිළු කළ බව හැරී විස්තර කර ඇත.

“කවුද දන්නේ මං සැබෑ ම වේල්සයේ කුමරා ද කියලා? කවුද දන්නේ මං ඔබේ සැබෑ ම පියා ද කියලා? සමහරවිට ඔබේ සැබෑ පියා ඉන්නේ බ්‍රෝඩ්මෝර්වල වෙන්න පුළුවන් ආදරණීය කොල්ලෝ” යනුවෙන් චාල්ස් හැරීට පැවැසූ බව සඳහන් වේ.

ඩයනා කුමරිය මේජර් හෙවිට් සමඟ – www.eonline.com

සිය සැබෑ පියා ඩයනා කුමරියගේ පෙම්වතෙක් වූ මේජර් ජේම්ස් හෙවිට් බවට එවකට කටකතා පැතිර ගිය බැවින් හැරී ගේ අදහස සිය පියාගේ විහිළුව විනෝදකාමී එකක් නොවන බව යි. හැරීගේ උපතින් වසර දෙකකට පසු, එනම් 1986 දී තමන් සහ මේජර් ජේම්ස් හෙවිට් අතර සම්බන්ධයක් ඇති වූ බව ඩයනා කුමරිය එවකට ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක් අතරතුර සඳහන් කළා ය. කෙසේ වෙතත් චාල්ස් එම සම්බන්ධතාව පිළිබඳ ව යමක් සිතුවේ නම් ඔහු එය ඔහු තුළ ම පමණක් තබා ගත් බව හැරී සිය චරිතාපදානයේ සඳහන් කර ඇත.

කැමිලා සමඟ විවාහ නොවන්නැයි පියාගෙන් ඉල්ලා සිටි දෙසොහොයුරෝ

කතන්දර පොත්වල එන “දුෂ්ට කුඩම්මා” කෙනෙක් වනු ඇතැයි බියෙන් තමන් සහ විලියම් කුමරු, කැමිලා සමඟ විවාහ නොවන්නැයි සිය පියාගෙන් ඉල්ලීමක් කළ බව හැරී “Spare” හි සඳහන් කර ඇත. එම හෙළිදරව්ව ද බොහෝ දෙනකුගේ අවධානයට ලක් වී ඇත. තමන් සහ කැමිලා අතර සම්බන්ධය විවාහයක් දක්වා ගෙන යාමට චාල්ස්ට අවශ්‍ය වූ අවස්ථාවේ හැරී සහ විලියම් වෙන් වෙන් ව කැමිලා හමු වූ බවත් එහි සඳහන් වේ.

චාල්ස්-කැමිලා විවාහය -www.harperbazaar.com

“තේ වෙලාවට කලින් ඇය කතන්දර පොත්වල එන ආකාරයේ “දුෂ්ට කුඩම්මා” කෙනෙක් වෙයි ද කියලා කල්පනා කළ හැටි මට තවම මතකයි. ඇය මට නපුරු විදියට සලකයි ද කියලා මං බය වුණා, නමුත් ඇය එහෙම වුණේ නැහැ. ඒ නිසා “විලී” වගේ ම මටත් ඇය පිළිබඳ කෘතඥතාවක් දැනුණා.” යනුවෙන් කැමිලා පිළිබඳ ව ඔහු සඳහන් කර ඇත. ඔහු සහ විලියම් කැමිලා හැඳින්වීමට “අනික් ගැහැනිය” යන යෙදුම භාවිත කරන බව ද කෘතියෙන් හෙළි වේ.

හැරී ඇෆ්ගනිස්ථානයේ දී

බ්‍රිතාන්‍ය හමුදා සොල්දාදුවෙක් ලෙස ඇෆ්ගනිස්ථානයේ සේවය කළ කාලයේ දී තමන් පුද්ගලයන් (බොහෝ විට ත්‍රස්තවාදීන්) 25ක් මරා දැමූ බව හැරී චරිතාපදානයේ සඳහන් කර ඇත. ඔහු 2007 සිට 2008 දක්වා වසරකුත්, 2012 සිට 2013 දක්වා වසරකුත් වශයෙන් දෙවරක් ඇෆ්ගනිස්ථානයේ රැඳී සිට ඇත.

“එය මට කිසිදු තෘප්තියක් ගෙන දුන් සංඛ්‍යාවක් නොවේ. කෙසේ වෙතත් එය මට ලැජ්ජාවක් ගෙන දුන් සංඛ්‍යාවක් ද නොවේ.” යනුවෙන් ඔහු ඒ පිළිබඳ විස්තර කර ඇත.

හැරී සොල්දාදුවෙක් ලෙස – ww.independent.co.uk

ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එසේ මරා දැමූ පුද්ගලයන් මිනිසුන් ලෙස නොව චෙස් පුවරුවකින් ඉවත් කළ ඉත්තන් ලෙස සිතූ බව යි. මිනිසෙක් ලෙස සිතා කිසිවෙක් ඝාතනය කිරීම කළ නොහැකි දෙයක් බවත් ඔහු සඳහන් කළේ ය.

බ්‍රිතාන්‍ය හමුදා ඇෆ්ගනිස්ථානයේ කළ කී දෑ පිළිබඳ ව මෙම කෘතියේ සඳහන් කර තිබීම සම්බන්ධයෙන් සමහර බ්‍රිතාන්‍ය හමුදා ප්‍රධානින් සහ ආරක්ෂක අංශයට අදාළ නිලධාරීන් මෙන් ම, තලිබාන් සංවිධානයට පක්ෂපාත පිරිස් ද විවේචනාත්මක අදහස් දක්වා ඇත.

දෙවැනි එළිසබෙත් රැජනගේ සෞඛ්‍ය තත්ත්වය

හැරී කුමරු සිය චරිතාපදානයට ඇතුළත් කරනු ඇද්දැයි බොහෝ දෙනෙක් කුතුහලයෙන් යුතුව බලා සිටි කොටසකි, 2022 සැප්තැම්බර් සිදු වූ දෙවැනි එළිසබෙත් රැජනගේ අභාවය. ඒ පිළිබඳ ව වන කොටසේ හැරී සඳහන් කරන්නේ රැජනගේ සෞඛ්‍ය තත්ත්වය යම්කිසි හැරවුමක් ගෙන ඇති බව මුලින් ම තමන්ට දුරකතනයෙන් දැනුම් දුන්නේ සිය පියා බව යි.

එම පණිවිඩය ලද විගස විලියම්-කේට් යුවළ බැල්මොරල් මාලිගය බලා යන්නේ ද, එසේ නම් කවදා, කෙසේ ද යන්න විමසා තමන් විලියම්ට කෙටි පණිවිඩයක් යොමු කළ නමුත්, ඒ සඳහා පිළිතුරක් නොලද බව ඔහු හෙළි කර ඇත.

රැජනගේ මරණය සිදු වූ මාලිගය – www.britannica.com

චරිතාපදානයට අනුව, බැල්මොරල් මාලිගය වෙත හැරීගේ පැමිණීම අපේක්ෂා කරන නමුත් මේගන්ගේ පැමිණීම අපේක්ෂා නොකරන බව දන්වමින් චාල්ස් දුරකතනයෙන් හැරීට නැවැත වරක් දැනුම් දී ඇත. එම පණිවිඩය ලැබීමෙන් පසු මාලිගය බලා යාමට ගුවන්යානයට නැගි ඔහු වලාකුළු දෙස බලමින් තමන් අවසන් වරට සිය මිත්තණිය සමඟ කතා කළ අවස්ථාව සිහි කරමින් සිටි බව ද එහි සඳහන් වේ.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ හැරී ඊට දින හතරකට පෙර රැජන සමඟ දුරකතනය හරහා ඇගේ සෞඛ්‍ය තත්ත්වය වැනි මාතෘකා ගණනාවක් පිළිබඳ ව දීර්ඝ සංවාදයක යෙදී ඇති බව යි.

කෘතියේ පසු කවරය – Gettyimages.com

රැජනගේ අභාවය

රැජනගේ අභාවය පිළිබඳ ව කරුණු හෙළි කරන හැරී පවසන්නේ යානය ගොඩබෑම ආරම්භ කරන විට ඔහුට මේගන්ගෙන් කෙටි පණිවිඩයක් ලැබුණු බවත්, පසුව ඔහු බී.බී.සී. වෙබ් අඩවිය පරීක්ෂා කළ බවත් ය. “මිත්තණිය ගියා, මගේ පියා රජ වුණා”, යනුවෙන් ඔහු සඳහන් කර ඇත. මාලිගයේ කාමරයක රැජනගේ දේහය දුටු අවස්ථාව පිළිබඳ ව විස්තර කරමින් ඔහු පවසන්නේ තමන් ඉතා අවිනිශ්චිත ලෙස එම කාමරය දෙසට ඇවිද ගිය බව යි.

“ඇය කාමරය තුළ සිටියා. මා සීතල වෙලා ඇය දෙස බලා සිටියා. එය ඉතා දුෂ්කර කාර්යයක් වුවත් මා ඇය දෙස ම බලා සිටියා. මගේ මවගේ අවසන් මොහොත දැකගන්නට නොහැකි වීම ගැනත් මට මතක් වුණා. අවසානයේ ඇය ඇගේ සැමියා සමඟ සතුටින් ඉඳියි කියලා මා බලාපොරොත්තු වෙන ඉව මං රැජනගේ කනට කොඳුරලා කිව්වා.” ඔහු විස්තර කළේ ය.

විලියම්-කේට් සහ හැරී-මේගන් -www.bbc.com

මවගේ මරණය සිදු වූ උමං මාර්ගයේ අත්දැකීම

සිය හිතවතකුට අයත් නිවසක් තුළ අවස්ථා කිහිපයක දී කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කළ බව හැරී චරිතාපදානයේ සඳහන් කර තිබේ. කොකේන් භාවිතය නිසා තමන් වටා සිටි සියලු දෙනා ප්‍රබෝධයට පත්ව තිබූ බව හැඟුණත් තමන්ට එවැනි ආස්වාදයක් නොදැනුණු බව ද ඔහු සඳහන් කර ඇත.

ඔහු විස්තර කරන ආකාරය අනුව ඔහු ඒ අයුරින් කොකේන් භාවිත කර ඇත්තේ වයස අවුරුදු 17දී පමණ බවට බොහෝ පාර්ශව අදහස් දක්වා ඇත.

සසෙක්ස් හි ආදිපාදවරයා සහ ITV හි ටොම් බ්‍රැඩ්බි සමඟ ඔහුගේ මතභේදාත්මක මතක සටහන් වන ස්පෙයාර් නිකුත් කිරීමට පෙර රූපවාහිනී සම්මුඛ සාකච්ඡාව පිළිබඳ පුවත්පත් වල මුල් පිටු කිහිපයක් – gettyimages.com

ඩයනා කුමරිය මාරාන්තික රිය අනතුරකට මුහුණ දුන් ප්‍රංශයේ පිහිටි උමං මාර්ගයේ (Pont de l’Alma) ගමන් ගත් අවස්ථාවක ලබා ගත් අත්දැකීමක් පිළිබඳව ද ඔහු විස්තර කර තිබේ.

රිය අනතුර සිදු වූ අවස්ථාවේ ඩයනා කුමරිය ගමන් ගත් වාහනය ගමන් කළ වේගයෙන්, එනම් පැයට කිලෝමීටර් 104.6ක වේගයෙන් තමන් එම උමං මාර්ගය හරහා ගමන් කළ වාහනය ධාවනය කරන ලෙස රියදුරුට උපදෙස් දුන් බව ඔහු විස්තර කර ඇත.

2007 දී ප්‍රංශයේ පැවති ලෝක කුසලාන රග්බි තරගාවලියට සහභාගී වූ අවස්ථාවේ ඔහු මෙම අත්දැකීම ලබා තිබිණි.

අනතුරට ලක් වූ ඩයනා කුමරිය ගමන් ගත් මෝටර් රථය – www.insider.com

පිරිසුදු බව අහිමි කරගත් හැටි

වයස්ගත කාන්තාවක් නිසා තමන්ගේ පිරිසුදු බව අහිමි වූ බවට හැරී කුමරු සිය චරිතාපදානයේ සිදු කර ඇති අනාවරණය ද බොහෝ දෙනකු ගේ අවධානයට ලක්ව තිබේ. එම කාන්තාව අශ්වයන්ට විශාල කැමැත්තක් දැක්වූ බවත් ඔහු සඳහන් කර ඇත. කෙසේ වෙතත් ඔහු ඇගේ නම හෙළි කර නැත.

“මෙම සිදුවීමට අදාළ බොහෝ වැරදි අතර, ජනාකීර්ණ අවන්හලක් පිටුපස තණකොළ වැවුණු බිමක එය සිදු විය. නියත වශයෙන් ම කවුරුන් හෝ අප දැක තිබුණා.” යනුවෙන් ඔහු ඒ පිළිබඳ ව විස්තර කළේ ය.

කවරයේ ඡායාරූපය - බ්‍රිතාන්‍ය රජ පවුලේ ආන්දෝලනාත්මක චරිතයක් වන හැරී කුමරු පසුගිය 10 වැනිදා සිය ජීවිතය අළලා ලියන ලද "Spare" නම් කෘතිය ප්‍රකාශයට පත් කළේය/ www.salon.com

මූලාශ්‍ර - www.washingtonpost.com
www.wsj.com
www.cnn.com
www.scotsman.com

Related Articles