Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ව්‍යාජ වසංගතයක් මවා යුදෙව්වන් මරණයෙන් බේරා ගත් පෝලන්ත වෛද්‍යවරයා

දෙවන ලෝක යුධ සමයේදී හිට්ලර් විසින් ජර්මනියේ පමණක් නොව, ලෝකය පුරා සිටි යුදෙව්වන් සමූල ඝාතනය කිරීමට සැලසුම් සකස් කරනවා. නොයෙකුත් පරීක්ෂණ සදහා යුදෙව්වන් බොහෝ ප්‍රමාණයක් මරා දමන අතර ලෙඩ රෝග වලට ගොදුරු වන හා නාසි කර්මාන්තශාලා වල සේවය කිරීමෙන් අනතුරුව කාය ශක්තිය හීනවී ගිය යුදෙව්වන් තොග පිටින් ඝාතනය කිරීමටද  කටයුතු කරනවා.

එවැනි සමයක ෂින්ඩ්ලර් (Oskar Schindler) නම් ජර්මන් ජාතිකයෙක් වූ නාසි හමුදාවට හිතවත් ව්‍යාපාරිකයෙක් තමා යටතේ ඇති කර්මාන්ත ශාලවන් හි සේවය කල යුදෙව්වන් මරණයෙන් ගලවා ගැනීම සඳහා ඔවුන්ගේ නම් ලැයිස්තුවක් සකසා නාසි හමුදා නායකයන් හමු වී එම යුදෙව්වන් මරණයෙන් ගලවා ගැනීමට ඉතා ප්‍රබල උත්සාහයක් ගත් බවත් එය සාර්ථක වූ බවත් ඔබ දන්නවා ඇති. ඉතින් අද ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නට අදහස් කරන්නේ ෂින්ඩ්ලර් මෙන්ම යුදෙව්වන් බොහෝ ප්‍රමාණයක් තම උත්සාහයෙන් නාසි හමුදාවන්ගෙන් බේරාගත් පුද්ගලයෙක් පිලිබඳවයි. ඒ ඉයුජින් ලැසොව්ස්කි (Eugene Lazowski) නම් පෝලන්ත ජාතික වෛද්‍යවරයායි.

දෙවන ලෝක යුද්ධ සමයේදී ලොව පුරා පැතිරී ගිය ටයිෆස් වසංගතය

යුදෙව් ජාතිකයන් සිර කඳවුරක් තුළ (Jewish Currents)

ජර්මනිය විසින් පෝලන්තය ආක්‍රමනය කර පෝලන්තයේ සිටි සියළුම යුදෙව්වන් සිර කඳවුරු ගත කිරීමට අණ කරන අතර වරින් වර ඔවුන්ට සයික්ලෝන් B වායුව ආශ්වාස කරවා මරණයට පත් කරනවා. එම සිර කඳවුරු වල හා ජර්මානුවන් ආරම්භ කරන ලද කර්මාන්තශාලා වල සේවය සදහා පෝලන්ත ජාතිකයන් ඇතුළු වෙනත් ජාතීන්ට අයත් පුද්ගලයන්ද යොදාගනු ලබනවා.

මේ සමයේදී ටයිෆස් (Typhus) නම් බැක්ටීරියාවක් හේතුවෙන් පෝලන්තය පුරා දරුණු උණ වසංගතයක් පැතිරී යනවා. මෙම උණ රෝගයට ගොදුරු වූ බොහෝ පුද්ගලයන් ප්‍රමාණයක් මරණයට පත් වූ අතර ජර්මානුවන් විසින් එම රෝගය සිර කඳවුරු හා වධකාගාර වලට සම්ප්‍රේෂණය වීම වැළක්වීම සදහා ගත හැකි සියළුම ක්‍රියාමාර්ග ගනු ලබනවා.

සිර කඳවුරු වල සිටි උණ රෝගයට ගොදුරු වූ සියළුම යුදෙව්වන් කුරිරු ලෙස ඝාතනය කළ අතර උණ රෝගයට ගොදුරුව කඳවුරු වල සිටි අනෙකුත් ජාතිකයන්ට නාසි හමුදා විසින් එතරම් දරුණු ලෙස සලකනු ලබන්නෙ නෑ.

බොරු වසංගතයක් මවා පෑ පෝලන්ත හමුදාවේ වෛද්‍යවරයා

වෛද්‍ය ඉයුජින් ලැසොව්ස්කි (sztafeta.pl)

පෝලන්ත හමුදාවේ මෙන්ම තවත් වරෙක රතු කුරුස සංවිධානයේ වෛද්‍යවරයෙක් ලෙස සේවය කල  ඉයුජින් ලැසොව්ස්කි (Eugene Lazowski) උපත ලබන්නේ 1913 වර්ෂයේදීයි. ඔහු උසස් අධ්‍යාපනය ලබන්නේ වර්සෝ හි විශ්ව විද්‍යාලයකින්. වෛද්‍ය අධ්‍යාපනය නිම කර ඔහු පෝලන්ත හමුදාවට සම්බන්ධ වීමත් සමඟ ජර්මනිය විසින් පෝලන්තය ආක්‍රමණය කරනු ලබනවා. ඒ 1939 වසරේදීයි.

පෝලන්තය ආක්‍රමණය කළ ජර්මානුවන් විසින් පෝලන්ත​ සොල්දාදුවන්ව යුදෙව් ජාතිකයන් සිරකර සිටින  කඳවුරුවල සේවය කිරීම සදහා රැගෙන යනවා. ඉතා අකමැත්තෙන් ඒවායේ සේවය කරන ඔවුන්ට කලාතුරකින් සති දෙකක නිවාඩු කාලයක් හිමිවෙනවා. එක් එක් පුද්ගලයා අදාල සති දෙක නිමවීමෙන් පසුව කඳවුරට වාර්තා කල යුතු අතර එසේ නොකිරීම මුළු පවුලම මරා දැමීමට තරම් බරපතළ හේතුවක් වුණා.

අපූරු මවා පෑම

දෙවන ලෝක යුධ සමයේ පෝලන්තය (Atlas Obscura)

නිවාඩු පැමිණෙන පුද්ගලයෙකුට ටයිෆස් උණ රෝගය ව්‍යාජව ඇති බව පෙන්වීම මගින් මෙම පුද්ගලයන්ව ජර්මානුවන්ගෙන් ගලවා ගැනීමට වෛද්‍ය ඉයුජින් ක්‍රියා කරනවා. මේ සදහා ඔහුට සහය වන්නේ ඔහුගේ වෛද්‍ය විද්‍යාලයේ මිතුරෙක් වන වෛද්‍ය Stanisław Matulewiczය. ඔහු සමඟ සිදුකරන පරික්ෂණ වල ප්‍රතිඵලයක් ලෙසයි මෙම එන්නත ඔවුන් විසින් සොයා ගනු ලබන්නේ.

නීරෝගි පුද්ගලයින්ට විදින එන්නතක් මගින් අදාල පුද්ගලයා ටයිෆස් රෝගයෙන් පෙලෙන බවට ව්‍යාජව නිරූපනය කිරීම මෙහිදී සිදුවෙනවා. මෙහි විශේෂත්වය නම් එන්නත ශරීර ගත කිරීමෙන් පසුව කිසිදු රෝග ලක්ෂණයක් මතු නොවීමයි. නමුත්  ටයිෆස් සදහා වන රුධිර පරික්ෂාවේදි රෝගය ඇති බවට තහවුරු වන ප්‍රතිඵල ව්‍යාජව නිරූපනය කිරීමට මෙම එන්නතට හැකියාවක් තිබෙනවා.

පෝලන්ත සොල්දාදුවන් වධකාගාර වලින් ගලවා ගැනීම

නිවාඩු පැමිනෙන පෝලන්ත ජාතිකයන්ට එම එන්නත ශරීර ගත කිරීමෙන් පසුව ඔහුගේ රුධිර වාර්තාවක් ලබා ගන්නා ඉයුජින් එය වහාම ජර්මානු කදවුරේ වෛද්‍යවරයාට යවනු ලබනවා. එම වාර්තාවට අනුව ඔහුට උණ රෝගය බෝ වී ඇති බව තහවුරු වන නිසා අදාළ පුද්ගලයාට නැවත දන්වන තුරු කඳවුරට පැමිණීම  තහනම් කරනු ලබනවා.

නමුත් මේ පිළිබඳව කිසිදු තොරතුරක් ඉයුජින් ලැසොව්ස්කි විසින් අදාළ පුද්ගලයාට හෙළි නොකළ අතර ඔහු දැනගත් එකම දේ වූයේ තමන්ට කඳවුරට පැමිණීම තහනම් කිරීමේ නියෝගය පමණයි. මේ ආකාරයට පෝලන්ත ජාතිකයන් දහසකට අධික ප්‍රමාණයකගේ ජීවිත රැක දීමට ඉයුජින් හා ඔහුගේ මිතුරාට හැකියාව ලැබෙනවා.

පෝලන්ත යුදෙව්වන් මරණයෙන් බේරා ගැනීම

දකුණු පසින් දැක්වෙන්නේ ටයිෆස් හේතුවෙන් ඇතුල්වීම තහනම් කර ඇති කලාපයකි (vanillamagazine.it)

සිර කඳවුරු වලදී වසංගතයට ගොදුරු වන යුදෙව් ජාතිකයන් අනිවාර්යෙන්ම මරා දැමුණු බැවින් ඔවුන් කදවුරු වෙත රැගෙන යාම වැලැක්වීම සඳහා තවත් ආකාරයකින් ක්‍රියාත්මක වන්නට ඉයුජින් ලැසොව්ස්කි තීරණය කරනවා. ඒ යුදෙව් ජාතිකයන් සිටින ගම්මාන ආශ්‍රිතව සිටින සියළු පෝලන්ත ජාතිකයන්ට මෙම එන්නත ඇතුල් කර එම ප්‍රදේශය තුල බරපතළ වසංගත තත්වයක් නිර්මාණය වී ඇති බව ජර්මානුවන්ට දැනුම් දීම මගිනුයි.

මෙම රෝගයට ඉතා බියක් දැක්වූ නාසීන්, රෝගය තම සෙබළුන්ට බෝ වීම වැලැක්වීම සඳහා වසංගතය පැතිරී ඇති ප්‍රදේශ වලට ඔවුන්ට ඇතුළු වීම තහනම් කරනු ලබනවා. අඩුම තරමින් ඒ බව පරික්ෂා කිරීමට ජර්මානු හමුදා වෛද්‍යවරුන් පවා රෝහල් වලට ඇතුල් වන්නේ නෑ.

ඒ හේතුවෙන් එම ගම්මාන වල ජිවත් වූ යුදෙව් ජාතිකයන් හට මරණයෙන් ගැලවීමට හැකියාව ලැබෙනවා.

මේ ආකාරයෙන් ඔහු යුදෙව් ගම්මාන 12ක ප්‍රදේශයක ව්‍යාජව වසංගත තත්වයක් ඇතිකර ජර්මානු සෙබළුන් ඇතුල් වීම වැළැක්වූ අතර ඒ හේතුවෙන්  වසර තුනක් පුරා දිවි බේරා ගත් යුදෙව් ජාතිකයන් ප්‍රමාණය 8000ක් පමණ වෙනවා.

තොරතුරු හෙළිකිරීම

යුද්ධය අවසන් වීමෙන් පසුව 1958 වසරේදී තම පවුල සමඟ ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වන ඉයුජින් ලැසොව්ස්කි චිකාගෝ නගරයේ පදිංචි වෙනවා. 1976 වසරේ සිට ඉලිනොයි විශ්වවිද්‍යාලයේ (University of Illinois) මහාචාර්යවරයෙක් ලෙස සේවය කරන ඔහු 1993 වසරේ දෙවන ලෝක යුද්ධය සමයේදී මිනිසුන් බේරා ගැනීමට තමන් දැරූ උත්සාහය පිළිබඳව මෙතෙක් සඟවාගෙන සිටි රහස්  “A Private War” නම් ග්‍රන්ථයෙන් හෙළිකරනවා. “මට යුද්ධ කරන්න ගිනි අවියක් හෝ කඩුවක් තිබුනේ නෑ. නමුත් මම මාර්ගයක් හොයා ගත්තා ජර්මානුවන්ව බය කළ හැකි.” ඔහු තම ග්‍රන්ථයේ එලෙස සටහන් කර තිබෙනවා.

එලෙස මනුෂ්‍යත්වය වෙනුවෙන් තම දිවිය කැපකළ මේ අසහාය වෛද්‍යවරයා 2006 වසරේ දෙසැම්බර් මස 16 වනදා මිය යනවා.

Cover Image: ඉයුජින් ලැසොව්ස්කි මහළු වියේදී (buzzworthy.com)

Related Articles