ගජමන් නෝනාගේ මාතර ඓතිහාසික මතක

ලන්දේසීන් ලංකාවේ මුහුදුබඩ පාලනය කරන කාලයේ ජීවත් වූ ගජමන් නෝනා හෙවත් දෝන ඉසබෙල් කොර්නේලියා පෙරුමාල් ගැන අදත් ලියැවෙනවා. කතාබහ කරනවා. ඇගේ කවි රස විඳිනවා.  කොල්ලුපිටියේ ඉපදී දකුණේ මාතර ජීවත්වුණු ගජමන් නෝනා ලන්දේසින්ට සේවය කළ ගජමන් ආරච්චිගේ දියණිය යි. ඇය මාතර කවි යුගයේ ප්‍රබල ම  ජන කිවිඳිය යි. මාතර නගරය අවට අදටත් ඉතිරි ව පවතින ගජමන් නෝනාගේ මතක සටහන් සොයා ගිය ගමනක තොරතුරුයි, මේ.

1 කරතොට හිමි ප්‍රබන්ධ කළ බව පැවසෙන බාරස කාව්‍ය -elearnig.lk

කරතොට ධම්මාරාම හාමුදුරුවෝ

වේරගම්පිට රජමහා විහාරය පිහිටා ඇත්තේ මාතර නගරයට ආසන්නව යි. වේරගම්පිට විහාරයේ වැඩ වාසය කළ කරතොට ධම්මාරාම හිමිගෙන් ගජමන් නෝනා සිප් සතර උගත් බව කියවෙනවා.
දොන් දාවින් විජේසිංහ හා බාල එතනාට දාව ක්‍රිස්තු වර්ෂ 1731දී උපත ලද කරතොට ධම්මාරාම හාමුදුරුවන් බාල වියේ දී මහණ වුණේ වේරගම්පිට විහාරයේදි යි. ඒ කාලය 18 වැනි සියවසේ මැද භාගය වුණා. කඳුරු පොකුණේ ස්වර්ණජෝති හිමියන් යටතේ උන්වහන්සේ පැවිදි වී තිබෙනවා.  

මාතර ඇතුළු මුහුදුබඩ ඒ කාලෙ පාලනය කළේ ලන්දේසීන්. පිරිවෙන් අධ්‍යාපනයට ලන්දේසීන්ගෙන් කිසිදු අනුග්‍රහයක් ලැබුණේ නැහැ. උඩරට රජකම් කළේ රාජාධිරාජසිංහ රජ්ජුරුවෝ. ඉගනුමට සමත් මේ හාමුදුරුවන් මූලික අධ්‍යාපනයෙන් පසු කන්ද උඩරට මල්වතු විහාරයට කැඳවා ගියේ වැඩිදුර ඉගෙනීමට යි.

ධම්මාරාම හිමියන් වැඩසිටි වේරගම්පිට විහාරය -lankadeepa.lk

 

ධම්මාරාම හාමුදුරුවන් අත්තරගම රාජගුරු බණ්ඩාර පඬිතුමාගෙන් අවශ්‍ය ධර්ම විනය ශබ්ද ශාස්ත්‍ර ඉගෙන ගෙන මල්වතු විහාරයේම වැඩ වාසය කරමින් සිටියා.  උන්වහන්සේ උගත් භික්ෂූවක් ලෙස මෙන් ම කවි ප්‍රබන්ධ කළ හැකි දක්ෂ තෙරනමක් ලෙස ද ප්‍රකට වුණා. ටික කලකින් කරතොට ධම්මාරාම හිමියන් රජුට හසුන් පතක් යවා උඩරට පහතරට දෙකෙහි ම සංඝ පාලනය තමන් අතට පවරන ලෙස ඉල්ලීමක් කළ බව පැවසෙනවා. ඒ ගැන උදහස් වූ රාජාධිරාජසිංහ රජු කරතොට ධම්මාරාම හිමියන් උඩරට රාජධානියෙන් නෙරපුවා කිලයයි කියන්නේ.  අවසානයේ තමන් බාල කාලේ වැඩ වාසය කළ මාතර වේරගම්පිට රජ මහා  විහාරයට එන්නට උන්වහන්සේට සිදු වුණා.

ලන්දේසි හා ඉංග්‍රීසි ආණ්ඩුකාරවරුන් යටතේ පහතරට නායක පදවිය උන්වහන්සේට ලැබුණා.  ක්‍රිස්තු වර්ෂ 1827 ජුලි මස 14 වන දින වේහෙරගම්පිට විහාරයේ දී කරතොට නාහිමියන් අපවත් වුණා. විහාරයයේ සිට මීටර් සියයක් පමණ දුරින්  ධම්මාරාම හිමියන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කරන ලද සොහොන් කොත අදත් දැක ගත හැකි යි.

වේරගම්පිට විහාර ගොඩනැගිලි- Mihithuru.lk

වේරගම්පිට පන්සල

මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උයන්වත්ත සහ වේහෙරගම්පිට කියන ගම්මානවල මැදිවයි මේ විහාරය පිහිටා ඇත්තේ. මාතර නගරයේ සිට දුර කිලෝ මීටර් 3යි. පුරාණයේ මේ ගමේ වෙහෙරක් තිබුණු නිසා වේහෙරගම් පිට යන නම ලැබී තිබෙන බව ජනප්‍රවාදවල කියවෙනවා.

කීර්ති ශ්‍රී රාජසිංහ රජ කාලේ මහ කදුරුපොකුණේ සුවණ්ණජෝති හිමිපාණන් වහන්සේ දවස එම විහාරය ඉදිකර ඇති බව පැවසෙනවා. පහතරට සංඝනායක ධූරය දැරූ කරතොට ධර්මාරාම හිමියන් තමයි මෙහි නායක හිමි ලෙස කලක් වැඩවාසය කළේ.

විහාරයේ බුද්ධ ප්‍රතිමා- facebook

 

මහනුවර යුගයේ ඉදි කළ මේ විහාරයට  ඉංග්‍රීසි ආණ්ඩු කාලේත් වැඩි අවධානයක් ලැබුණේ එහි විසූ කරතොට ධම්මාරාම හාමුරුවන්ගේ භාෂා ඥානය නිසා යි. ඉංග්‍රීසි ආණ්ඩුවේ දිසාපතිවරයකු වූ ජෝන් ඩොයිලි සිංහල ඉගෙන ගැනීමට මේ හාමුදුරුවන් ළඟට පැමිණි බව පැවසෙනවා.

ගජමන් නෝනා ද සිය සිංහල භාෂා ඥානය දියුණු කර ගැනීමට   කරතොට ශ්‍රී ධම්මාරාම හිමියන්ගේ ඇසුර පසුව  ලබා ගෙන තිබෙනවා. එවකට කාන්තාවන්ට අකුරු ශාස්ත්‍රය උගෙනුම අකැප වූ නිසා ඇය පිරිමි වෙස්ගෙන කරතොට හිමියන් යටතේ කාව්‍ය ශාස්ත්‍රය හදාරන්නට ගිය බව පැවසෙනවා. 

විහාර මන්දිරය හා එයට දකුණු පසින් ආවාස ගෙයත්, වම් පසින් බෝධී වෘක්ෂය සහ  විහාර ගෙයට පිටුපසින් දාගැබ ද පිහිටා තිබෙනවා.

විහාර බිතුසිතුවම් – mihithuru.lk

 

මෙය දෙමහල් ආකාරයක් පෙනෙන පරිදි වහල මට්ටම් දෙකකින් තැනූ පන්සලක්. විහාරයට පිවිසෙන දොරටුව දෙපස දොරටුපාල මූර්ති දෙකක් තනා තිබෙනවා. ඇතුළත විහාරගෙයි හිඳි පිළිමය වැඩසිටින්නේ මකර තොරණක් යට යි. ඒ දෙපස සැරියුත් මුගලන් දෑගසව් රූප දැකගත හැකියි.

බිත්තිය තීරුවලට බෙදා චිත්‍ර ඇඳ තිබෙන අතර, සූවිසි විවරණය ඒ අතර ප්‍රධාන තේමාවක්. ඇතුළු මාලය මෙන් ම පිට මාලය ද අලංකාර චිත්‍ර සහ මූර්තිවලින් පිරී පවතිනවා. මේ සිතුවම් සහ මූර්ති නම් පසුකාලීන ප්‍රතිසංස්කරණවලදී කළ ඒවායි.

ගජමන් වලව්ව – mihithuru.lk

ගජමන් වලව්ව

මාතර නගරයේ සිට කිලෝමීටරයක් පමණ දුරකින් පිහිටි ගජමන් වලව්ව අද නම් පාළු ස්ථානයක්.  ගජමන් නෝනාගේ පියා වූ ගජමන් ආරච්චිට මාතර වේරගම්පිටට පැමිණීමට සිදුවුණේ ඔහු ලන්දේසි ආණ්ඩුව යටතේ සේවය කළ නිස යි.  මාතර සේවයට පැමිණි පසු ගජමන් ආරච්චි සිය දූදරුවන් සමඟ පදිංදිව සිටීමට තනාගත් නිවස තමයි ගජමන් වලව්ව කියල හඳුන්වන්නේ.

ලන්දේසී කාලෙ මුලින් ම තැනූ මේ නිවස පසුව අලුත්වැඩියාවට ලක් වූ බව පේනවා. වලව්ව ආසන්නයේ ම තමයි වෙහෙරගම්පිට රජමහා විහාරය පිහිටා තිබෙන්නෙත්.  ගජමන් නෝනා 1814 දී ජීවිතයෙන් සමුගන්නා තෙක් ජීවත්වුණේ මේ ගෙදර යි.

නිවසේ ඇතුළත- mihithuru.lk

 

ගජමන් නෝනා තරුණ වියේ දී විවාහ වන්නේ තල්පෙ පත්තුවේ ආරච්චි වූ මෙරෙංචිගේ ගාර්දියස්  සමඟ යි. ඒ විවාහය සතුටින් ගත කරමින් සිටියදී ඇගේ සැමියා මිය පරලොව යනවා.  තම  පළමු සැමියාගේ මරණයත් සමඟ ම මහගෙදරට එන ඇය කලක් ගත වනතුරු හුදකලාව ම විසුවේ මෙම වලව්වේ යි. ඒ අතර පියා වූ ගජමන් ආරච්චිත් අලියකුගේ පහර දීමෙන් මරණයට පත්වෙනවා. ඇය දෝන් ගේබ්‍රියල් හෙන්ද්‍රික් විමලසේකර මුහන්දිරම් සමඟ දෙවැනි වරට විවාහ වෙනවා. ගජමන් නෝනාගේ ජීවිතය යළිත් දුක්බර වන්නේ දෙවැනි සැමියාත් හදිසියේ මිය පරලොව යාමෙන් පසුව යි.

කවි ලිවීමට තිබූ ඇගේ දක්ෂකම  එකල රටේ බොහෝ ප්‍රදේශවල ප්‍රකට වෙනවා. යළිත් බොහෝ දෙනා ගජමන් නෝනාගේ ප්‍රේමය ලබාගැනීමට ආවත් ඇය ඒවා ප්‍රතික්ෂේප කරනවා. ඇලපාත මුදලි ඇගේ ප්‍රේමය පතා වෙහෙසුණු පොහොසත් පෙම්වතකු ලෙස සැලකෙනවා. දෙදෙනා අතර කවියෙන් හුවමාරු කළ අදහස් අදටත් අපූරු කවි ලෙස අගය කෙරෙනවා.   ගජමන් නෝනාගේ  දරු පැටවුන් ද අකාලයේ රෝ දුක්වලට ලක්ව මිය ගියෙන් ඇය තනි වෙනවා. ජෝන් ඩොයිලි දිසාපති ඇයට “නෝනාගම” නින්දගම පිරිනමන්නේ මේ අතර යි. නෝනාගම හන්දියේ ගජමන් නෝනාගේ ප්‍රතිමාවක් මෑතක දී ඉදිකර තිබෙන්නේ ඇය සිහිපත් වීමට යි.

ගජමන් වලව්ව තනි මහල් ගොඩනැගිල්ලක්. එහි ඉදිරිපස විවෘත පෝටිකෝවක් තිබෙනවා. පල දෙකකින් යුතු වහලය සෙවිලි කොට ඇත්තේ පැරැණි සිංහල උළුවලින්. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ආරක්ෂිත ස්මාරකයක් වන මේ ගොඩනැගිල්ලේ නඩත්තු  කටයුතු   සිදු කෙරෙන්නෙ මාතර මහ නගර සභාව මඟින්.

 නුගරුක ඇති තැන දැන් තිබෙන නුගය- lankadeepa.lk

දෙනිපිටියේ නුගරුක

ගජමන් නෝනා ලියූ දෙනිපිටියේ නුගරුක නම් කවි පන්තිය නිසා නුග ගසක් ගැන අවුරුදු සිය ගණනක් තිස්සේ රටේ කතා වෙනවා.  මේ එම කවි පන්තියේ කොටසක්:

යන එන අය සැපසේම
එහි ඉඳ ගිම් සැනසීම
දස දිග අතු විහිදීම
ගිමෙන විසල්
දෙනිපිටියට ම ඉතාම
වටිනා මහ නුග දූ
බල සකි එහි සිත් සේම
නිලඹර දුල්

ගජමන් නෝනාගේ පිළිරුව- Wikipedia.org

 

මේ නුග ගස පිහිටි තිබුණේ මාතරට නුදුරු දෙනිපිටියේ. සංස්කෘතිය මධ්‍යස්ථානයට අවහිර යයි පවසමින් එම ගසේ කොටස් වසර කිහිපයකට පෙර කපා දැමූ බව අසන්නට ලැබුණා. එහි ඉතිරි කොටස් ද වසර 15කට පෙර දිරාපත් ව ඉදිරී වැටී තිබෙනවා. අද දකින්නට ලැබෙන්නේ ඒ ඇසුරින් පසුව හැදුණු  නුග පැළයක්.  නිතර හමුනොවන දුලබ විරිතකින් ලියූ දෙනිපිටියේ නුගරුක කවිය එදා මෙදාතුර අතිශයින්ම ජනප්‍රිය යි.  මේ කවිය නිසාම දෙනිපිටියේ නුගරුක ද ඓතිහාසික වෘක්ෂයක් බවට පත්වුණා.

පුරාණයේ ගාලු පාර තිබී ඇත්තේ දැන් තිබෙන මාර්ගයේ නොව දෙනිපිටියේ නුග ගස අසලින්. කරත්තවල යන මිනිසුන් කරත්ත ලිහා ගිමන් නිවාගන්නේ නුගරුක ළඟ බවයි කියවෙන්නේ.  අසලින්  ගලාගෙන යන ගඟෙන් නාල, හරකුන්ට වතුර පොවා  විවේක ගෙන යන සිරිතක් එකල පැවතී තිබෙනවා. මෙතන පිංතාලියකුත් තිබිලා තියෙනවා. පයින් යන මිනිසුන් මේ පිංතාලියෙන් වතුර බී නුගේ දෙබලක ටිකක් වෙලා ගිමන් නිවාගෙන ඉඳලා තමයි ගිහින් තියෙන්නෙ.

කවරයේ ඡායාරූපය: ගජමන් නෝනාගේ ප්‍රතිමාව සහ ඇගේ චිත්‍රයක්- dailynews.lk 

මූලාශ්‍ර:

Mihithuru.lk

රුහුණේ කිවිඳිය ගජමන් නෝනා- ශාන්ත කුමාර විතාන

ගජමන් නෝනාගේ කවි සීපද- බන්දුසේන ගුණසේකර

පෞරාණික ස්ථාන සම ස්මාරක- මාතර දිස්. ඉනෝකා වික්‍රමසිංහ, පුරාවිද්‍යා දෙපා.

Related Articles