Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මුළුතැන් ගෙයින් සාහිත්‍ය ලෝකයට පායා ආ, කමලා දාස්

ඉන්දියාවේ බිහි වූ ඉතාමත් ප්‍රකට සහ සුවිශේෂී කිවිඳියක වූ කමලා දාස්, ජාත්‍යන්තර කීර්තියට පත් කිවිඳියකි. ඇය කවියෙන් මෙන්ම කෙටි කතාවෙන් ද සිය හැඟීම් මුදා හැරියා ය. ලිංගිකත්වය, යොවුන්විය, ආදරය, ආශාව, ස්ත්‍රී සමලිංගිකත්වය, ‘අනියම් සබඳතා’ නමින් හඳුන්වන බැඳීම් ඇගේ නිර්මාණ තුළින් බොහෝ විට සමාජය ඉදිරියේ තබන ලදී. බලහත්කාරයෙන් සඟවා තැබීමට බලකර ඇති බොහෝ දේ ඇය දෝතින් ගෙන සමාජය ඉදිරියේ තැබුවා ය. ඇගේ කවීත්වය, ලේඛන හැකියාව පමණක් නොව ඇගේ නිර්භීතකම ද ඒ සමග ඉස්මතුව පෙනෙන්නේ කමලා දාස් තුළ ඉතාමත් සංවේදී ස්ත්‍රියක් ජීවත් ව සිටි බව ද යළි යළිත් පෙන්වමිනි.

කමලා දාස් (Wikipedia)

කමලා සූරයියා දාස් නැතහොත් මාධවිකුට්ටි උපත ලැබුවේ 1934 වසරේ මාර්තු මස 31 වන දා කේරලයේ, ට්‍රිෂුර් දිස්ත්‍රික්කයේ, පුන්නායුර්කුලම් ග්‍රාමයේ ය. ඇය ජාත්‍යන්තර ව ප්‍රසිද්ධ වූයේ කමලා දාස් ලෙස නමුත්, කේරලයේ දී ඇය ව හැඳින්වූයේ මාධවිකුට්ටි ලෙස යි. ඇගේ මව මලයාල කිවිඳියක වූ බාලමනී අම්මා ය. වී.එම්. නයිර් ඇගේ පියා ය. ඔහු Malayalama Daily Mathrubumi පුවත්පතේ සංස්කාරකවරයෙකු ලෙස ද කටයුතු කරන ලදී. ඒ අනුව කුඩාකල සිට ම ඇයට ලේඛන කලාව සඳහා අවශ්‍ය පසුබිම පවුල තුළින් ම සැකසී තිබුණි. ඇයගේ කවීත්වය සඳහා විශාලතම පිටුවහල ලැබුණේ, ඇගේ මාමා කෙනෙකු වූ නලප්පාට් නාරායන් මෙනන් විසිනි. ඔහු ඉන්දියාවේ ප්‍රකට ලේඛකයෙකි. කමලා තම ළමා කාලය ගත කළේ උපන් ගම වූ පුන්නායුර්කුලම් සහ කල්කටා නගරයේ ය. ඇගේ පියා රැකියාව කළේ කල්කටා නගරයේ නිසා ඇයට ද කල්කටාවේ ගත කිරීමට සිදුවිය. ඇගේ ස්වයං චරිතාපදානයේ පවසන පරිදි, ඇගේ ළමාකාලය සංස්කෘතික වශයෙන් ඉතා උසස් පරිසරයක ගත කිරීමට හැකිව තිබේ.

කමලාගේ මව බාලමනී අම්මා (notednames)

වයස අවුරුදු 15 දී විවාහ ජීවිතයට ඇතුළු වීමට ඇයට සිදු වූ අතර, ඇගේ සැමියා වූයේ බැංකු නිලධාරියෙකු වූ මාධව දාස් ය. විවාහයෙන් පසුව ද ඇයට තම ලේඛන කටයුතු පවත්වා ගෙන යාමට සැමියාගෙන් අවසර ලැබුණි. ඒ නිවසේ කටයුතු නිසි ලෙස ඉටුකිරීමේ එකඟතාව මත යි. මේ නිසා විවාහයෙන් පසු ඇගේ ලේඛන දිවිය මුළුතැන්ගෙයි මේසයෙන් ඇරඹුණි. කුඩාකල සිට ම දෙමාපියන්ගෙන් ලැබුණු ඉංග්‍රීසි ආභාෂය මෙන්ම ලේඛන හැකියාව ද වර්ධනය කර ගැනීමට ඇය සමත් විය. ඇගේ ලේඛන භාෂාව ලෙස ඉංග්‍රීසි මෙන්ම මව්බස වූ මලයාලම් භාෂාව ද විය. ප්‍රධාන වශයෙන් ම ඉංග්‍රීසි බසින් කාව්‍යය ද, මලයාලම් බසින් කෙටිකතා සහ නවකතා ද රචනා විය. ‘නූතන ඉන්දියානු ඉංග්‍රීසි කාව්‍යයේ මව’ ලෙස ද ඇය ව හඳුන්වන්නේ ඉන්දියානු ඉංග්‍රීසි සාහිත්‍ය වෙනුවෙන් කළ මාහැඟි සේවය නිසා යි.

බිරිඳක සහ ලේඛිකාවක වීමේ දී ඇය මුහුණ දුන් දුෂ්කරතාව පිළිබඳ ව ඇය අදහස් දක්වයි.

“කාන්තාවකට සිද්ධ වෙනවා තමන් බලාපොරොත්තු වන අන් කිසිදු අරමුණක් ඉටුකරගැනීමට පෙර හොඳ බිරිඳක, හොඳ මවක බව ඔප්පු කර පෙන්වීමට. එනම් වසර ගණනාවක් බලා සිටීමට. තරුණ කාලය ම ගතවන තෙක් බලා සිටීමට. මට බලා සිටීමට කාලයක් තිබුණේ නැහැ. මා දැඩි නොඉවසිල්ලෙන් පසුවීමි. ඒ නිසා මා බොහොමත් පෙර සිට ම ලිවීම ආරම්භ කළා. සමහර විට මම වාසනාවන්ත විය හැකියි. පවුලේ ආදායමට දායක වෙමින් මා කළ කටයුත්ත පිළිබඳ ව මගේ සැමියාගේ ප්‍රශංසාව හිමිවුණා. ඒ නිසා ඔහු මට රාත්‍රී කාලයේ දී ලිවීමට අවසර ලබා දුන්නා. නිවසේ කටයුතු අවසන් කිරීමෙන් පසුව, දරුවන්ට සැමියාට ආහාර ලබාදීමෙන් පසුව, මුළුතැන්ගෙයි පිරිසිදු කිරීමෙන් පසුව මට අවසර ලැබුණා උදෑසන වන තෙක්ම අවදියෙන් සිට ලිවීමේ කාර්යයේ නිරත වීමට. අවසානයේ එයම මගේ සෞඛ්‍යය තත්ත්වය සඳහා ද බලපෑම් එල්ල කළා”

කමලා දාස් මාධව දාස් දරුවන් සහ කමලාගේ දෙමව්පියන් (photoartinc)

ඇගේ ලේඛන දිවිය තුළ ඇය විසින් ප්‍රධාන වශයෙන් ම උත්සාහ දරන ලද්දේ, මුළුතැන්ගෙය මෙන්ම සියලු ආකාරයෙන් සිරකරන ලද කාන්තාවන්ගේ හැඟීම් අවදි කිරීමටත්, ඊට හඬක් වෙමින් කාන්තාව ද පුරුෂයා මෙන්ම ආශාවන්, වේදනාවන්, හැඟීම් සහිත මනුෂ්‍යයෙක් බව පෙන්වා දීමට යි. කාන්තාව අයිස් වතුරේ ගිල්වා හැඟීම් නසා දැමූ පුරුෂයාගේ ආශාවන් සංසිඳුවීමට පමණක් භාවිතා කරන මෙවලක් ලෙස සලකන සමාජයට ඇය අභියෝග කර කියා සිටියේ එය යි. ඇය තමන්ව ස්ත්‍රීවාදිනියක ලෙස හඳුන්වා දී නැතත්, ඇගේ ලේඛන බොහොමයක් ස්ත්‍රීවාදී සාහිත්‍ය පෝෂණය කළ කෘතීන් වේ.

තරුණ කමලා (goodreads)

ආදරයේ දී, ලිංගිකත්වයේ දී හැඟීම් සිතෙහි හෝ සිරුරෙහි සඟවා නොගෙන මුදා හැරිය යුතු බව ඇය පවසයි. තමන්ගේ ද, තම සහකරුවාගේ ද සුවිශේෂීත්වය ප්‍රකාශ කිරීමටත් එය වින්දනය කිරීමටත් නොබිය ව ඉදිරිපත් වන ලෙස ඇය ආයාචනා කරයි. ඇගේ The Looking Glass කාව්‍යයේ කොටසකි මේ.

“Getting a man to love you is easy
Only be honest about your wants as
Woman. Stand nude before the glass with him
So that he sees himself the stronger one
And believes it so, and you so much more
Softer, younger, lovelier. Admit your
Admiration. Notice the perfection
Of his limbs, his eyes reddening under
The shower, the shy walk across the bathroom floor,
Dropping towels, and the jerky way he
Urinates. All the fond details that make
Him male and your only man. Gift him all,
Gift him what makes you woman, the scent of
Long hair, the musk of sweat between the breasts,
The warm shock of menstrual blood, and all your
Endless female hungers.”

නිමනොවන ස්ත්‍රී සාගින්නක් පිළිබඳ ව ඇය පවසයි. ඒ ආශාවේ සාගින්න යි.

තමන්ගේ ස්ත්‍රීමය සුවිශේෂීත්වය මෙන්ම සහකරුවාගේ පුරුෂ ගුණාංගත් දෙදෙනා විසින් ම වින්දනය කරන්නේ නම් ආදරය කිරීම පහසු කටයුත්තක් බව ඇය පවසයි.

My Story: ස්වයං චරිතාපදානය

1973 වසරේ ‘Ente Katha’ නමින් මලයාලම් බසින් පළ කළ ඇගේ ස්වයං චරිතාපදානය සමන්විත වූයේ, ඇය විසින් මලයාලනාඩු පුවත්පතට සතිපතා සැපයූ ලිපි සංයුක්තයකිනි. අනතුරුව එය සංස්කරණයකින් පසුව ඉංග්‍රීසි භාෂාවට ද පරිවර්තනය කරන ලදී. මෙහි අඩංගු වන්නේ ඇගේ පුද්ගලික අත්දැකීම් ඇසුරෙන් සමකාලීන පුරුෂ කේන්ද්‍රීය සමාජය පිළිබඳව සහ ආදරය පිළිබඳව ඇගේ කියවීමකි.

My Story (amazon)

ඇගේ ඉංග්‍රීසි භාෂා කෘති පෙළ මෙසේ ය.

Summer in Calcutta (කාව්‍යය), The Descendants (කාව්‍යය), The Old Playhouse and Other Poems (කාව්‍යය), My Story (ස්වයං චරිතාපදානය), Alphabet of Lust (නවකතා), The Anamalai Poems (කාව්‍යය), Padmavati the Harlot and Other Stories (කෙටිකතා එකතුව), Only the Soul Knows How to Sing (කාව්‍යය), Yaa Allah (කාව්‍යය), Tonight,This Savage Rite (with Pritish Nandy), My Mother At Sixty-six (කාව්‍යය)

මලයාලම් බසින් වූ ඇගේ නිර්මාණ පෙළ මෙසේ ය.

Pakshiyude Manam (කෙටිකතා), Naricheerukal Parakkumbol (කෙටිකතා), Thanuppu (කෙටිකතා), Ente Katha (ස්වයං චරිතාපදාන), Balyakala Smaranakal, Varshangalkku Mumbu, Palayan (නවකතා), Neypayasam (කෙටිකතා), Dayarikkurippukal (නවකතා), Neermathalam Pootha Kalam (නවකතා), Chekkerunna Pakshikal (කෙටිකතා), Nashtapetta Neelambari (කෙටිකතා), Chandana Marangal (නවකතා), Madhavikkuttiyude Unmakkadhakal (කෙටිකතා), Vandikkalakal (නවකතා), My Mother at Sixty-six (නවකතා)

ඇය තම කෘති හරහා ලබාගත් ජයග්‍රහණ ද බොහෝ යි. 1963 දී ඇය P.E.N. ආසියානු කාව්‍යය සම්මානය හිමි වූ අතර, 1969 දී කේරල සාහිත්‍ය ඇකඩමි සම්මනාය ද, 1985 දී ජාතික සාහිත්‍ය ඇකඩමි සම්මානය ද හිමිකර ගැනීමට සමත් විය.

1993 දී ඇය චිත්‍ර මාලාවක් ද ප්‍රසිද්ධ කරන ලදී. එය නම් කර තිබුණේ Unfinished Women නමිනි.

Unfinished Women හි එක් චිත්‍රයක් (joannearnott)

ඇය හින්දු උසස් කුලයක උපත ලැබුවත් ඇගේ කෘතීන් නිසා ඇය හින්දු අන්තවාදී කොටස්වල විරෝධයට ද පාත්‍ර විය. ඒ අතර ඇය සාදික් අලි නම් මුස්ලිම් තරුණයකු සමග ඇති කරගත් ප්‍රේම සබඳතාවකින් පසුව ඇය 1999 වසරේ ඉස්ලාම් දහම වැළඳගන්නා ලදී. මේ වන විට ඇගේ මුල් සැමියා මියගොස් ය.

කමලා සහ මාධව (hpssociety)

ඒ වන විට කමලාගේ වයස අවුරුදු 65ක් වූ අතර තරුණයා 38 වියේ පසු විය. කමලා දාස් මෙම සබඳතාව ඉතා සතුටින් පැවැත්වූ නමුත්, අවසානයේ දෙදෙනා වෙන් වූ බවත් අනාවරණය විය. කෙසේනමුත්, කමලා- සාදික් සමග ඇති කරගත් සබඳතාව පිළිබඳ ව මුලින්ම පැවසු දේ ඇගේ වචනයෙන් ම මෙසේ යි.

“I was almost asleep when Sadiq Ali climbed in beside me, holding me, breathing softly, whispering endearments, kissing my face, breasts… and when he entered me, it was the first time I had ever experienced what it was like to feel a man from the inside.”

ඇය තම කෘති තුළ ප්‍රකාශ කළ ලෙස ම ඇය තම ප්‍රේම සබඳතාව පිළිබඳව ද මෙසේ අදහස් දක්වා ඇත.

2009 මැයි 31 මහාරාෂ්ටයේ පූනේ හි රෝහලක දී 75 වියැති කමලා දාස් අවසන් සුසුම් හෙළූ අතර, ඇය ජීවත් ව සිටි කාලයට වඩා ඈ පිළිබඳ අවධානයක්, ඇගේ නිර්මාණ සඳහා ඇගයීමක් පසුව හිමි විය.

කමලා දාස්ගේගේ ජීවන චරිතය අලලා කමලුදීන් මජීඩ් විසින් රචනා කර අධ්‍යක්ෂණය කළ Aami මලයාලම් චිත්‍රපටය ද 2018 වසරේ දී බිහි විය.

Aami (voxcinemas)

Related Articles