අපි “එදිරිගාමී” විය යුතු යි!- ගුරුගොඩ සිරිවිමල හිමි (පොඩි සාධු)

ජූලි 03 වෙනි දා කවි වගයක් අහස් ඉම සිපගන්න යි සූදානම කියලා අපට ආරංචි වුණා. ඉතින්, ඒ කවි ලියපු ගුරුගොඩ සිරිවිමල හාමුදුරුවෝ එක්ක සංවාදයකට එළඹෙන්නට අප තීරණය කළා. උන්වහන්සේ දැනට කැළණිය නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලයයේ අධ්‍යාපන කටයුතු සිදුකරන ගමන්, විවිධායුරින් ලේඛන කලාවේත් නිරත වෙලා ඉන්නවා. මීට කලිනුත් “පැතුරුණ අඳුරු පතනෙහි” නමින් තම පළමු පොත එළිදැක්වූ අතර, මේ “අහස් ඉම සිප ගනිමි” නමින් පළ කෙරෙන්නේ උන්වහන්සේගේ දෙවන කාව්‍ය සංග්‍රහය යි. එහෙනම්, අපි දැන් සංවාදයට මුලපුරමු.

පුජ්‍ය ගුරුගොඩ සිරිවිමල හිමි

පොඩි හාමුදුරුවෝ ඇයි කවි ලියන්නෙ?

කවි ලිවීම ගැන මට දෙන්න උත්තර දෙකක් තියෙනවා. අංක එක; මම කලින් කවි ලිව්වෙ ආත්මාර්ථය වෙනුවෙන්. බැනුම් අහලා, ගුටි කාලා, අනුන්ගෙ වැඩ කරලා, නන්නත්තාර වෙලා ඉන්න වෙලාවට කවියෙන් හම්බෙන නිවීම මාව නිරන්තර සහනයකට පත් කරනවා. ඒ ආත්මාර්ථය වෙනුවෙන් මම පළවෙනි කවි පොත කරන තෙක්ම ලිව්වා.

නමුත් එතැන් පටන් මේ දක්වා මගේ කවි ලිවීම ආත්මාර්ථයෙන් එහා ගියපු පරාර්ථකාමී දෘෂ්ටියක් නියෝජනය වෙනවා. එතැනදි මම මිත්‍යාවෙන් ගුටි කන, දේශපාලන වේදිකාවෙන් ගුටි කන, කොයි වෙලාවෙත් අඬ අඬ ඉන්න මිනිස්සුන්ගෙ ඔළුවලට යම් සත්‍ය දර්ශනයක් පෙන්වල දෙන්න උත්සාහ කරනවා. ඒ තමයි දෙවැන්න.

පළමු කෘතිය

මොකද්ද ඔය කියන සත්‍ය දර්ශනය?

මෙහෙමයි! හැම කවියෙකුටම සමාජය කෙරෙහි පුළුල් වූ දැක්මක් තියෙනවා. ඒ දැක්ම එන්නෙ, තමන් ජීවත් වෙන සමාජ වපසරියට අනුගතව යි. සමහරවිට, ඒක තමන් නියෝජනය කරන ඒ සමාජ සම්ප්‍රදායට පිටින් යාමක් වෙන්නත් පුළුවන්. මම සත්‍ය දර්ශනය කියලා කිව්වෙ, උඩ දී කියපු විදියට තමන් නියෝජනය කරන සමාජයේ උඩුගම් බලා පිහිනීම. කෙනෙක් “කෙනෙකුට ලෙඩක් ය, බෝධි පූජාවක් තියමු” කියද්දි මම කියන්නෙ, “යමු ඩොක්ටර් කෙනෙක් ළඟට බේත් ටිකක් ගන්න” කියලා. ඒ අවම තැන ඉඳන් සමාජයේ හැම තැනම තියෙන අවුල් සහගත දේවල් යම් බුද්ධිමය පැතිකඩක ඉදලා බලන එක තමයි “සත්‍ය දර්ශනය” කියන්නෙ.

ඇයි සිවුර දාගත්තෙ ඇත්තටම?

සිවුර දාගන්න එක අහම්බයක්! චතුරාර්ය සත්‍ය විස්තර කරගන්න බැරි කාලේ මහණ වෙලා, “මම මහණ වුණේ නිවන් දකින්න බලාගෙන” කියලා කිව්වොත් ඒක බොරුවක්නෙ. මම මහණ වෙන්න මගේ පවුල් පරිසරය ලොකු බලපෑමක් කළා. ඒ වගේ ම මගෙත් කැමැත්තක් තිබුණා. එතන නිවන කියන එක තිබුණේ නෑ. නමුත්, එතන තිබුණෙත් එක්තරා නිවීමක්. නමුත් දැන් මට යමක් තේරෙනවා. මම මහණ වෙලා ඉන්නවා. එතන නිවීම ⁣හොයාගෙන යන ගමනකුත් තියෙනවා.

“පොඩි සාධු” කියලා නමක් හදාගෙන, “රැඩිකල් භික්ෂුවක්” වෙන්න ද හදන්නෙ?

“පොඩි සාධු” කියන්නෙ මම හදාගත්ත නමක් නෙමෙයි. ඒක සමාජය විසින් මාව නම් කරපු තැන. බහුතරය, අපි ගැටෙන මුහුණ පොත වගේ තැන්වල දීත්, මේ මහපොළොවෙත් මට මිනිස්සු කතා කළේ පොඩි සාධු, පොඩි හාමුදුරුවෝ කියලා. එතනදි මම ටිකක් ආඩම්බර යි; උද්දච්ච යි. මොකද ඒක ආදරයක්! ඉතින්, මමම පසුකාලීනව ඒ නම ටිකක් ප්‍රමෝට් කරගෙන ගියා. ඒක ඇත්තෙන්ම සාර්ථක යි කියලා දන්නෙ ඔබ මේ ප්‍රශ්නය අහද්දි.

රැඩිකල් වෙන්නෙ නම්, මේ නම පටබැඳෙන්න කලින් ඉඳන්. ගුරුගොඩ සිරිවිමලත් රැඩිකල් භික්ෂුවක්. නමුත්, දැන් ඔය රැඩිකල් කියන කෑල්ල තරම් අවභාවිත වෙච්ච කෑල්ලක් සමාජ මාධ්‍ය තුළ තවත් නැති තරම්. මොකද, රැඩිකල් කියන වචනෙට වඩා මේ රටේ ඉන්න මිනිස්සු හරිම පසුගාමී යි.

පුජ්‍ය ගුරුගොඩ සිරිවිමල හිමි (පොඩි සාධු)

එහෙව් පසුගාමී සමාජයකට පොඩි සාධු කරන ඉදිරිගාමී යෝජනාව?

ඒකට මම දෙන සරලම උත්තරේ, අපි “එදිරිගාමී” විය යුතු යි!

ඒ මොකට ද?

මේ රටේ වත්මන් තත්ත්වය ගැන මම අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. මේ රටේ හැම සමාජ ක්ෂේත්‍රයකම පසුගාමීත්වය නිසා යි මම “එදිරිගාමීත්වය” යෝජනා කරන්නෙ.

මළගෙදර බණ කියන්න යන හාමුදුරුවරු ගුණ ගායනා කරනවා. සිංදු දාගෙන නටන්න ඕන තැන්වල දී, මිනිස්සු බෙග් මාස්ටර්ගෙ බුද්ධං සරණං ගච්ඡාමි සිංදුව දාගෙන නටනවා. දේශපාලකයෝ ගිහින් ටොයිලට් වළවල් සුද්ධ කරනවා. එයාලා මහජනතාව ඉස්සරහට ඇවිත් දුක කියනවා. මේ වගේ කොන්ෆියුස් වෙච්ච සමාජයකට “එදිරිගාමීත්වය” කියන්⁣නෙ “මූලික අවශ්‍යතාවයක්”.

නොතේරෙන කාලෙ සිවුර දාගත්තට, තේරෙන කාලෙට එද්දී කොන්ෆියුස් වුණේ නැද්ද?

නොතේරෙන කාලෙ මහණ වෙන එක, තේරෙන වයසට එද්දි කෙරෙන හොඳ අනාගත බලාපොරොත්තුවක්. ඒ පළපුරුද්දට කියන්නෙ හික්මීම කියලා. ඒ ඇතුළේ හික්මෙන කෙනෙක් කවමදාවත් දහම් පාසලට එන කොල්ලො/ කෙල්ලන්ව අපහරණය කරන්න යන්නෙ නැහැ. ඒ හික්මීම ඇතුළේ ඉන්න කෙනා කවමදාවත් තමන්ට දානෙ දෙන දායකයා ව හූරන් කන්න යන්නෙ නැහැ.  

නමුත් මිනිස් හැඟීම් කියලා ජාතියක් මේ ලෝකෙ තියෙනවා. ඒ මිනිස් හැඟීම් භික්ෂුවටත් පොදු යි. නමුත් ඒ හැඟීම ඇතුළේ භික්ෂුව කොයිතරම් හික්මීමෙන් වැඩ කරනව ද කියන එක යි අපි සාකච්ඡා කළ යුතු දේ.

“මහණ වෙලා ඉගෙන ගෙන, සිවුරු ඇරලා….” වගේ එක එක කතා අපි මේ වෙසෙන සමාජයෙන්ම අපට ඇහිලා, දැකලා තියෙනවා. ඒවා ගැන මොනවද පොඩි සාධු දරන මතය?

ඔය ගැන මට ලොකු අද්දැකීම් තියෙනවා. ඒ වගේ ම මට ඒ ගැන ලොකු කියැවීමක් තියෙනවා. මං එක්ක හිටපු ගොඩක් අය දැන් මේ පන්සලේ නැහැ. ගොඩක් අය සිවුර ඇරල යනවා. ඒක අවුල් ජාලයක්. අංක එක; ඔයා උඩ දී අහපු ප්‍රශ්නය. හැඟීම් ගැන කතාව. ඒ හැඟීම් හරියට ඇතුළේ සැනසුණේ නැති වුණාම අනිවාර්යයෙන්ම කැම්පස් එකකට ගිහින් කෙල්ලෙක් එහෙම දැකලා එළියට බැහැල ඉද්දි “අපි ඇත්ත ලෝකෙ දැකල නෑ” කියලා වගේ හැඟීමක් ඕනම කෙනෙක්ට ඇති වෙන්න පුළුවන්.

අනිත් එක තමයි; මේ සමාජ ක්‍රමය. කන්න බොන්න නැති වෙලා මහණ කරපුවාම ඇති වන ප්‍රශ්නය, සහ ඊට පස්සෙ ඒ අයට රජයෙන් රක්ෂණාවරණ ලබා දීම, අම්මට තාත්තට ගෙවල් දීම, මේ වගේ වැඩ අද පාර්ලිමේන්තුවේ අවුරුද්දකට වතාවක් කතා ක⁣රන අයවැයෙන් පවා මුදල් වෙන් කෙරෙන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒක රජයෙන් කරන්නෙත් “සසුනට අරුණ” වගේ පාඨයක් දාගෙන. ඉතින් කන්න-බොන්න නැති හැමෝම ඇවිත් මේකෙ පැල් පදියන් වෙනවා. අන්තිමට, තමන්ට දෙයක් කරගත්තම සිවුර ඇරල යනවා. මේ කියන කාරණා දෙකම බුදු හාමුදුරුවෝ කිව්ව “ඒහි පස්සිකෝ- එව බලව” කියන කාරණයට ගොඩක් එහායින් තියෙන දෙයක්.

ඉතින්, ඔය කියන දේ ගැන මගේ අදහස තමයි මහණ වෙලා ඉගෙනගෙන සිවුර ඇරල හරි සමාජයේ එදිරිගාමී මිනිහෙක් වෙනවා නම් එයා සිවුර ඇරියට කමක් නෑ. නමුත් සිවුර දාගෙනත්, ඇරලත් කරන්නෙ අන්ත ජඩ වැඩ වීම යි කණගාටුවට කාරණය. භික්ෂුවක් සිවුර අරින්න සමාජ-දේශපාලනික කාරණා බොහෝමයක් තියෙද්දි, ඒ අය සිවුර ඇරියට පස්සෙ පන්න පන්න ගහන එක වැරදි යි. මේක ඇතුළේ සංවේදී කතාන්දර ගොඩක් තියෙනවා. මම ඒව ම⁣ගෙ කවි ඇතුළේ දී යම් මට්ටමකට සාකච්ඡා කරලා තියෙනවා.

දෙවන කෘතිය

“ආගම” කියන සංකල්පය?

කොතැන දීත් “ආගම” කියන්නෙ; නූතන සමාජය ඉස්සරහා තනිකරම ළිං මැඬියෙක්! නූතනත්වයට පත්වෙන හැම මොහොතකම අපේ හරහට හිටියෙත්, හිටින්නෙත් ඔය ආගම.

මේ ලෝකෙ මුලින්ම ආගම් බිහිවෙන සත්‍ය කාරණයත් එක්ක මම එකඟ යි. බටහිර දී කතා කෙරෙන Ethics හරියටම ගොඩ යන්නෙ, ආගම තියෙන තැන දී. නමුත්, ඒ සදාචාරවාදයෙන් පීලි පැනලා මිනී මරාගන්න, තමන්ගෙ ශාස්තෘවරයා ජීවිතේට කියපු නැති දේවල් උඩ දාගෙන හයේ පාරවල් ගහන අනුගාමිකයෝ පිරිසක් අපිට ඉන්නෙ. ආගම් හොඳ නම් ඇයි මිනිස්සු ඇහැට, ඇහැක් ඉල්ලන්නෙ? ප්‍රාණෙට, ප්‍රාණයක් ඉල්ලන්නෙ?

ආගම කියන්නෙ මේ වෙද්දි අශිෂ්ටයන්ගෙ තිප්පොළක්. මේ වෙද්දි හැමෝම ඒ තිප්පොලේ අඩියක් ගහමින් ඉන්නෙ. ආගමක් අනිවාර්යයෙන්ම නිර්මාණය විය යුත්තේ තමන්ගෙ ආගමේ ශාස්තෘවරයා පෙන්නලා දුන්න දර්ශනයේ හෙවනැල්ල මත. නමුත් මේ පුංචි දූපත විතරක් උදාහරණයකට අරන් බලන්න. කවමදාවත් බුදු හාමුදුරුවෝ, යේසුස් වහන්සේ, නබි තුමා කියපු යහපත් දේ අනුගාමිකයා විසින් ප්‍රායෝගිකව කරලා පෙන්වනවා ද? නැහැනේ.

ආගම ජඩ එකක් නිසා තමයි බුදු හාමුදුරුවෝ ඊට පිටින් ගියේ. බුදු හාමුදුරුවන්ගෙ ආගම ශිෂ්ට මිනිසෙකු සමාජගත කිරීම. කෝ මේ බෞද්ධ රටේ බහුතර ශිෂ්ට මිනිස්සු? මේ මොහොතේ සියලු ආගම් ලංකාව ඇතුළේ හැසිරෙන විදිහ බලන්න. කුලය හොයනවා, කවුරු හරි දේශපාලකයෙකුට කඩේ යනවා, මිත්‍යාව වපුරනවා. මේකට ද ආගම කියන්නෙ?

ආගම සම්බන්ධයෙන් මට තියෙන්නෙ ඔය වගේ ප්‍රශ්න කන්දරාවක්. අපි ආගම තුරන් කළ යුතු නැහැ. ප්‍රතිසංස්කරණ තුළින් නූතන සමාජයට ගැලපෙන විදියට ආගම නිර්මාණය කළ යුතු යි.

කවියෙන් පිට පැනලා, ඊට එහා තැනකට මේ සංවාදය ගෙනිච්චෙ ජූලි 03 වෙන දා කවිය විඳින්න ඉඩ දෙන්න ඕනි හන්දා. අපි ඒ ගැනත් මතක් කරලම මේ කතාබහ නිමා කරමු නේද අපේ හාමුදුරුවනේ?

විවෘත ආරාධනාවයි!

ඔව්! ජූලි 03 වන දා, කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී දවල් 02.00ට තමයි KSP ප්‍රකාශනයක් විදිහට “අහස් ඉම සිපගනිමි” කාව්‍ය කෘතිය ජනගත කෙරෙන්නෙ. එතන දී දේශන දෙකක් සිද්ධ කෙරෙනවා. ප්‍රවීණ දේශක චූලානන්ද සමරනායක මහත්මයා සහ ප්‍රවීණ කිවියර සුනන්ද කරුණාරත්න යන දෙපළ තමයි ඒ දෙසුම් පවත්වන්නෙ. ගල්කන්දේ ධම්මානන්ද හාමුදුරුවෝ එදාට මුලසුන හොඹවනවා.

කවියට, සාහිත්‍යයට ළබැඳි හැමෝටම විවෘතව ආරාධනා කරනවා අනිවාර්යයෙන්ම එදාට එන්න!

Related Articles