කපිල එම්. ගමගේ නම් ඔහු, අසික්කිතයාගේ සිහිනය දැක පිබිද, දෙවියන්ට පළිගැසූ ගැහැනිය ගැන සිතමින්, හේමන්ත නිද්‍රාවෙන් විසිරි වළාකුළු මතින් ගොස්, කෝකිලා වෙත එළඹුණේ හැඩිදැඩි කාව්‍යකාරයෙකුගේ ලීලාවෙනි. එතැන් සිට සෝදාපාලුව හා තවත් කතා කිහිපයක්ම තරුණ සන්නිවේදකයා සහ ගුවන් විදුලිය හරහා ද අපට කීවේය. අපරාදේ ඒ නොවැම්බර් කියමින් යළිත් අප සම්මුඛ වන්නේ මුහුදට මුහුණලෑ සොහොනක දී ය. මෙතැන් සිට කතාවට අප, ඔබට ද ඇරයුම් කරන්නෙමු.      

දිගු කාලයක් තිස්සේ සාහිත්‍යය ඇතු⁣ළේ වැඩ කරමින් ඉන්න ඔබෙන්, පාඨකයින් වෙත අලුත් කෘති දෙකක් නිකුත් වන බව ආරංචි වුණා. අපි එතනින්ම කතාබහ අරඹමු.

ඔව්. සාහිත්‍ය පරිශීලනය කරන ගමන් ජීවත් වන අතරේ දී දැනෙන දේ ලියැවෙනවා. ප්‍රකාශකයෙක් ඉන්න නිසා දැන් ඒවා පොත් හැටියට පාඨකයා වෙත ගෙන යන්න අවකාශයක් නිර්මාණය වෙලා තියෙනවා. කෙසේ වෙතත්, මා ලියූ හයවන කාව්‍ය සංග්‍රහය සහ දෙවන කෙටිකතා සංග්‍රහය පාඨකයා වෙත අත්පත් කරන්න දැන් සූදානම්.

කවියත් එක්ක වැඩිපුර සමීප කෙනෙක් නිසා මං දැනගන්න කැමතියි, මේ මොහොතේ බිහිවන වත්මන් කවිය සහ කවි කිවිඳියන් පිළිබඳ ඔබේ කියැවීම?

වර්තමානයේ කවිය කෙරෙහි වැඩි උනන්දුවක් මතුව තිබෙන බව පේනවා. එය අතීතයට සාපේක්ෂව හොඳ දෙයක්. නමුත් බොහෝ දෙනෙකුට ගැටළුවක් තියෙනවා, මේ ප්‍රමාණාත්මක වැඩිවීම ගුණාත්මකව කවියට කොයි විදියේ බලපෑමක් කරනවාද කියන එක. මම නම් මේක දකින්නේ සාධනීය දෙයක් හැටියට. මොකද මේ තියෙන අර්බුදකාරී සමාජ, දේශපාලන, ආර්ථික හා සංස්කෘතික අවකාශයක කෙනෙක් කවියක් ලියන්න, පද හතරක් ගැටගහන්න කාලය වෙන් කරනවා කියන්නෙම ඒක මාර දෙයක්. අනෙක කාව්‍ය කියන ගෝලය ඇතුළේ හොඳයැ යි සම්මත කවි වගේම, නරකයැ යි ලේබල් ගසන කවියත් පැවතිය යුතු යි. මිනිස්සුන්ගේ රසවින්දනය විවිධ යි. ඒ නිසා කෙනෙක් බරසාර දෙයකින් රස වින්දනය ලබනවා වගේම, තවත් කෙනෙක් සරල දෙයකින් සිය ජීවිත වෙහෙස නිවාගන්න පුළුවන්. ඒ නිසා ඒ දෙකම පැවතිය යුතු යි කියන අදහසේ තමා මම ඉන්නේ. සරල සාමාන්‍ය කවිය ලියන කෙනා කාලයක දී තමන්ගේ කවියේ හැඩරුව වර්ධනය කර ගනීවි.

කවියේ මේ පිබිදීමට සයිබර් අවකාශය හේතු වුණා කියන කියැවීමකුත් මට තියෙනවා. කවියක් ලියන්න කැමති, ඒ ගැන උනන්දුවක් තියෙන කෙනෙකුට දැන් තමන්ගේ නිර්මාණ රසිකයා අතරට ගෙන යන්න වැඩි අවස්ථාවක් ලැබී තිබෙනවා. මේක අපි කවි ලියන්න ගත්ත 80 දශකයේ තිබුණේ නෑ. අපිට කවියක් රසිකයා අතරට ගෙනියන්න තිබ්බ එකම ඉඩ පුවත්පත හා රේඩියෝව විතරයි. නමුත් සයිබර් අවකාශයේ ලියැවෙන හැම කවියම විශිෂ්ට වෙන්නෙත් නෑ. නමුත් ඔවුන් මෙය තමන්ගේ වැඩබිමක් කරගන්නවා නම් ඔවුන් කාලෙක දී විශිෂ්ට කවියෝ වේවි. ඉතින්, මේ යන විදියට මම පෞද්ගලිකව කැමතියි. තමන් අධිතක්සේරු නොකරගෙන යන ගමනක දී එහෙම යන අය ඉතිරි වෙයි, නැති අය මැකෙයි. ඒක අතීතයෙත් වුණා, අනාගතයෙත් එහෙම තමයි.

Caption

 

සයිබර් කවිය තුළින් මතු වූ කවි කිවිඳියන්ගෙ කෘතීන් ද දැන් දැන් සම්මානවලට නිර්දේශ වෙමින් පවතිනවා. ඒ එක්කම එම කෘතීන්ගේ ගුණාත්මක බව ගැනත් සමාජයේ යම් කතාබහක් ඇති වෙලා තියෙනවා. ඒ ගැන මොකද හිතෙන්නෙ?

මෙහෙමයි. සම්මාන නිර්දේශයන් කියන්නේ සාමූහික තීරණ. බහුතරයේ කැමැත්ත තමයි එතන දී  මතු වෙන්නේ. ඒක නිසානේ සම්මාන මණ්ඩලවලට ඔත්තේ සංඛ්‍යාවක් පුද්ගලයින් පත්වෙන්නේ. සයිබර් අවකාශය, සිය ලේඛන භාවිතාවේ නාලිකාව කර ගත්තාම ඒ කෘති සම්මානයට නුසුදුසු ද? එහෙම නෑ, සයිබර් අවකාශයෙන් පමණක් මතු වුණ ඉතාම හොඳ කවි කිවිදියන් ඉන්නවා. ඒ වගේ ම තමන් අධිතක්සේරු කරගෙන සරල කවියම පමණක් ලියන අයත් ඉන්නවා. ඒ අය අතරින් හොඳ කෙනෙක් සම්මානයට නිර්දේශ වීම වරදක් නෙවෙයි. 

අනෙක් අතට කලක් ඉතාම හොඳ කවි ලියූ ප්‍රවීණයන්ගේ දුර්වලම කවි පොත් පවා සම්මාන ලබන්නේ. ඉතින්, සම්මාන කියන්නේ ජීවිතයම නෙමේ. නමුත් එහෙම හිතන අයත් ඉන්නවා. එක සම්මාන උළෙලක දී ප්‍රවීණ කවියෙක් තවත් කෙනෙකුට කිව්වා, "අලුත් එකෙකෙුට සම්මානේ ගියොත් නම් ඉවරයි" කියලා. එහෙමයි දේවල් සිද්ධ වෙන්නේ දැන්.

අපි දැන් කෙටි කතාවට එමු. මොකද්ද මේ 'අපරාදේ ඒ නොවැම්බර්' කියලා පාඨකයාට කියන්න යන කතාව?

මේක මගේ දෙවන කෙටිකතා එකතුව. පළමු එකේ ඉඳලා දෙවැනි එකට එන්න මට අවුරුදු 20ක් ගියා. ඒකට හේතුව කෙටිකතාව මම සීරියස් ලෙස ගැනීම කියලා මට හිතෙනවා. ඒකෙන් ඇඟවෙන්නේ නෑ කවිය මට සීරියස් නෑ කියලා. නමුත් මගේ ආත්ම ප්‍රකාශනයට මම භාවිතා කළේ කවිය. ඒ නිසා කවිය මට වඩාත් ළඟ යි. කෙටිකතාවට ආවාම මට ඒක ටිකක් වැඩිපුර හදාරන්න අවශ්‍ය වුණා. ඒකට මට අවශ්‍ය පෙළඹවීම කළේ සාහිත්‍යධරයෙක් මෙන්ම අධීන පුවත්පත් කතුවරයෙක් වුණ නැසීගිය දයාසේන ගුණසිංහ මහත්තයා. ඔහු මගේ පළමු කෙටිකතා පොතට පෙරවදනක් ලියා දෙන ගමන් මට සුවිශේෂ වන මඟක් පෙන්වා දුන්නා. අන්න ඒක අවබෝධ කරගැනීමට මම කල් ගත්තා. මේ කෙටිකතා එකතුවට දශකයක විතර කාලයක් තිස්සේ ලියූ කෙටිකතා අඩංගු යි. ඒවා යළි යළිත් සකසා තමයි මේකට එකතු කළේ. රසිකයා අවසන් තීරණය ගනීවි.

නූතන කෙටිකතාකරුවන්ට සහ කෙටිකතා ලියන්න යම් උනන්දුවක් දක්වන, ඒ පිළිබඳ හදාරන නවක ලේඛකයන් වෙත ඔබගේ යෝජනාව?

උපදෙස් වගේ දේවල් දෙන්න නම් මම කැමති නෑ. අනික උපදෙස් දෙන්න මම කවුද? මම තවම මාව හොයනවා. මෙහෙම දෙයක් කියන්න පුළුවන්. පැරණි භාරතීය විචාරකයින් පවා කියූ ආකාරයට සාහිත්‍ය කලා විෂයයන්හි දී නිසර්ග සිද්ධි ප්‍රතිභාව පමණක් සෑහෙන්නේ නෑ. ඒකට සතතාභ්‍යාසයත් අවශ්‍යයි. නැත්නම් කෙටි කාලෙකින් ඒ සාහිත්‍ය ප්‍රතිභාව ඉවර වෙනවා. ඒ නිසා නිතර හදාරමින් ලියන්න. මොකද අපේ පුරාතන සාහිත්‍යයේ ඉඳලා, නූතනම සාහිත්‍ය දක්වාම යම් කියැවීමක් තිබිය යුතු යි ලියන්නෙකුට.

ඒ විතරක් මඳි. විදෙස් සාහිත්‍ය පවා පරිශීලනය කරන තරමට හොඳයි. අලුත් සාහිත්‍ය භාවිතාවන්, අත්දැකීම් ප්‍රතිනිර්මාණය කරන උපක්‍රමයන් හඳුනාගන්න පුළුවන්. කෙටිකතාවේ දී පන්සිය පනස් ජාතක කතාවලින් පටන් ගන්න. ඒවාගේ තියෙනවා නූතන කෙටිකතාවට භාවිතා කෙරෙන බොහෝ උපක්‍රමයන්. ඒවා ආකෘතිමය උපක්‍රමයන් වගේම භාෂාමය උපක්‍රමයන්.

ජාතිය, ආගම කියන සංකල්පයන්ගේ ඉතාම ඛේදනීය අතුරුඵල අපට අත්විඳින්න වුණා අතීතයේත්, වර්තමානයේත්. මේ ලේබල් අලවාගෙන සිදුවන සමාජමය ක්‍රියා කලාපයන් ගැන ඔබේ අදහස?

මේක හරිම ඛේදනීය සමයක්. මහත් බලාපොරොත්තු සහිත මිනිසුන්ගේ සක්‍රීය මැදිහත්වීම් නාය ගිය කාලයක්. ආගම, ජාතිය කියන්නේ පෞද්ගලික දෙයක් කියලයි මම විශ්වාස කරන්නේ. ඒක මොනම වේශයකින්වත් පොදු මර්දනීය අවියක් විය යුතු නෑ.

හැබැයි, මේ තත්ත්වය ගොඩනැගෙන්නේ අද ඊයේ නෙවෙයි. මේක යුධ ජයග්‍රහණය උත්කර්ෂයට නැගීමේ ඵලයක්. මිනිස්සු තත්වාරෝපණය වුණා, සිංහල බෞද්ධ ස්වෝත්තමවාදයට. අන් ජාතීන්, ආගම්වලට වඩා තමන් උසස් කියන මනසක් වර්ධනය වුණා. ‘දෙමළාට’ ගහලා කුඩුපට්ටම් කරපු නිසා නොතිබූ වීරත්වයක් ආරෝපණය වුණා. ඒක අනෙක් ජාතීන්, ආගම්වලටත් ව්‍යාප්ත කිරීම යි මේ සිද්ධ වෙන්නේ. මගේ මූලික අදහස නම්, රාජ්‍යය ආගමෙන් වියුක්ත වෙන්න ඕනේ. එතකොට හුඟක් ප්‍රශ්න විසඳාගන්න හැකි වේවි. නමුත් දැන් ඒක කරන්න අමාරුයි. අවුරුදු 10ක් තිස්සේ වවපු තණකොළ තමයි අපි දැන් මේ බලෙන් කන්නේ.

පොත් දෙකේ එළිදැක්වීම සිදුවීමට නියමිත අයුරු ගැන ටිකක් කතා කරලම අපි මේ කතාබහ අවසන් කරමු.

මගේ මේ කෘතීන් දෙක රසිකයා වෙත අත්පත් කිරිම සිදුවෙන්නේ ජූලි මාසේ 27 වන සෙනසුරාදා, පස්වරු 03.00ට, කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේ දී. සාහිත්‍යමය වැඩක දී මහා කතා ගොඩක් දාන්න මම කැමති නෑ. අනික දිග කතාවලින් රසිකයා හෙම්බත් වෙනවා. ඒ නිසා කතා දෙකයි තියෙන්නේ. කවිපොත පාදක කරගෙන "පොත් ගැහුවට කවි ලියන්න පුළුවන් ද?" කියන මාතෘකාවෙන් සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය, ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි සහෝදරයා අදහස් දැක්වීමක් කරනවා. කෙටිකතා පොත පදනම් කරගෙන "මොනවද මේ කෙටිකතා?" මැයෙන් ප්‍රවීණ ලේඛකයෙකු මෙන්ම පරිවර්තකයෙකු ද වන, චූලානන්ද සමරනායක සහෝදරයා අදහස් දැක්වීමක් කෙරෙනවා. ඒ අතර වෙහෙස නිවෙන විදියේ පුංචි වැඩ ටිකක් සැලසුම් වෙනවා. බලමු එදාට.