Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලාංකේය කලාවේ නොමැකෙන සලකුණ: අයිරාංගනී

කාන්තාවන් අධ්‍යාපනය ලැබීම හෝ රැකියාවල නිරතවීම අත්‍යවශ්‍ය නොවන බවත්, ඔවුන් නිවෙස්වලට වී ගෘහස්ථ වැඩපොළ සිදුකරමින් කාලය ගත කළ යුතු බවත් බොහෝදෙනෙකු විශ්වාස කළ ජන සමාජයක්, මීට දශක කිහිපයකට පෙර ශ්‍රී ලංකාව තුළ පැවැති බව අප කවුරුත් දන්නා කරුණකි. එකල කාන්තාවට තමන්ට අවශ්‍ය පරිදි කිසිදු තීරණයක් ගැනීමට නොහැකි වූ අතර, ඔවුන්ට ඒ සියල්ල කිරීමට සිදුවූයේ ඔවුන්ගේ පියාගේ, සහෝදරයින්ගේ, හෝ පසුකාලීනව සිය ස්වාමිපුරුෂයාගේ අභිමතය අනුව ය. එම සංස්කෘතිය අභිබවා ගිය තැනැත්තියකි අයිරාංගනී සේරසිංහ. 

වර්තමාන සමාජයට වඩා හාත්පසින්ම වෙනස් ජන සමාජයක ප්‍රභූ පවුලකට දාව ජන්මලාභය ලබා ශ්‍රී ලංකික සිනමාවට, ටෙලි නාට්‍ය කලාවට සහ සමස්ත කලා ක්ෂේත්‍රයටම අද්විතීය මෙහෙවරක් සිදුකරන, ලාංකික ජනතාවගේ ඉමහත් ගෞරවාදරයට පත්වන ශ්‍රේෂ්ඨ රංගන ශිල්පිනියක් ලෙස අයිරාංගනී රොක්සැනා මීදෙණිය හෙවත් ඔබ අප කවුරුත් දන්නා අයිරාංගනී සේරසිංහ හැඳින්විය හැකිය.

අයිරාංගනී සේරසිංහ/Uditha Devapriya – Medium

වර්ෂ 1927 ජුනි මස 9 දින ජෝසප් හර්කියුලිස් මිදෙණිය සහ වයලට් එල්ලාවල යුවළට දාව උපත ලද අයිරාංගනී, සිය කුඩා කාලය ගත කළේ ඉතාමත් නිසංසල වටපිටාවක පිහිටි රුවන්වැල්ල මුදුගමුව වලව්වේ ය. ඇයගේ පියාගේ පියා වූයේ ජෝන් හෙන්රි මීදෙණිය අධිකාරම් වන අතර, පියාගේ මව වුයේ ඇන්ග්ලිකානු දේවගැතිවරයෙකුගේ දියණියක වූ කොර්නේලියා මැග්ඩලින් සේනානායක ය.

අයිරාංගනීගේ පියාට ඇලිස් මීදෙණිය සහ ඇඩ්ලින් මීදෙණිය යනුවෙන් සහෝදරියන් දෙදෙනෙකු වූ අතර ඇලිස් මීදෙණිය විවාහවූයේ ඔබ අප කවුරුත් දන්නා එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) නිර්මාතෘ ඩී. ආර්. විජේවර්ධන සමග ය. ඇලිස් සහ විජේවර්ධනගේ එක් දියණියක් වන නාලිනී විජේවර්ධන, එස්මන්ඩ් වික්‍රමසිංහ සමග විවාහ වූ අතර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඔවුන් දෙදෙනාගේ පුත්‍රයෙකු වේ. අයිරාංගනී සහ රනිල් එක්තරා විවාහ මංගල්‍යයක දී නර්තනයක යෙදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් පසුගිය කාලයේ සමාජ මාධ්‍ය හරහා විශාල වශයෙන් ප්‍රචාරය වූ අතර ඔවුන් දෙදෙනාගේ ඥාතීත්වය කුමක්දැ යි දැන් ඔබට පැහැදිලි වන්නට ඇති.

අයිරාංගනීගේ පියාගේ අනික් සොහොයුරිය වූ ඇඩ්ලින් මීදෙණිය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රථම කථානායකවරයා වූ ෆ්‍රැන්සිස් මොලමුරේ සමග විවාහ වූ අතර, ඇඩ්ලින් මෙරට පාර්ලිමේන්තුවේ පළමුවැනි මන්ත්‍රීවරිය ලෙස ද ඉතිහාසයට එක් වූවාය.

අයිරාංගනීට ඉන්ද්‍රානි සහ කාමිණී යනුවෙන් සහෝදරියන් දෙදෙනෙකුත්, මහින්ද නමින් සහෝදරයෙකුත් සිටි අතර කාමිණි මීදෙණිය යනු හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ බිරිඳ යි.

අයිරාංගනී සේරසිංහගේ පියා, ඔහුගේ සහෝදරියන් දෙදෙනා (ඇලිස් සහ ඇඩ්ලින්), සහ ඔවුන්ගේ දෙමව්පියන් (ඉඳගෙන)/Pinterest – Nilan Wettasinghe

අලංකාර පරිසරයක පිහිටි රුවන්වැල්ල මුදුගමුව වලව්වේ හැදී වැඩුනු අයිරාංගනී එනිසාම ද කොහේදෝ පසුකාලීනව විශිෂ්ට ගණයේ පරිසර ක්‍රියාකාරිනියක බවට ද පත්විය. කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය, බිෂොප් විද්‍යාලයය, සහ මහනුවර උසස් බාලිකා විද්‍යාලයය යන පාසල්වලින් අධ්‍යාපනය හැදෑරූ අයිරාංගනීට පාසල් වියේ දීම වේදිකා නාට්‍ය කිහිපයකට රංගනයෙන් දායක වීමට අවස්ථාව උදා විය.

අයිරාංගනී එවකට එස්.එස්.සී විභාගය ලෙස හැඳින්වූ, වර්තමානයේ දී උසස් පෙළ යනුවෙන් හඳුන්වන විභාගයෙන් සමත් වී විශ්වවිද්‍යාලයයට පිවිසීමට වරම් ලද නමුත්, විශ්වවිද්‍යාලයයට පිවිස උසස් අධ්‍යාපනය ලබාගැනීම එතරම් පහසු කාර්යයක් වූයේ නම් නැත. ඒ මන්දයත් ඇයගේ පියා වූ ජෝසප් හර්කියුලිස් මීදෙණිය ඇයව විශ්වවිද්‍යාලයයට යැවීමට දැඩි අකමැත්තක් පළකිරීම යි.

වේදිකා නාට්‍ය දර්ශනයක්/Explore Sri Lanka

 

කෙසේ වෙතත් සිය ඥාති සහෝදර සහෝදරියන් කිහිප දෙනෙකුගේ ද සහය ලබාගත් ඇය 1947 වසරේ දී ඇය එවකට ලංකා විශ්වවිද්‍යාලයය ලෙස හැඳින්වූ වර්තමාන කොළඹ විශ්වවිද්‍යාලයයට ඇතුළත්වූවා ය. උසස් අධ්‍යාපනය ලබාගන්නා අතර කලා නිර්මාණ රැසකට දායක වීමට එහිදී ඇයට අවස්ථාව හිමි විය. මෙරට ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ ඩී. එස්. සේනානායක ඇයගේ පියාගේ ළඟම හිතවතෙකු වූ බවත්, කාන්තාවන් ද අධ්‍යාපනය ලැබිය යුතු බව සිය පියාට තේරුම්කර දීමට ඔහු කටයුතු කළ බවත් අයිරාංගනී මෑතක දී පුවත්පත් සාකච්ඡාවක් අතරතුර පවසා තිබුණි. ඊට අමතරව ඇය එවකට ප්‍රකට නර්තන ශිල්පියෙකු වූ චිත්‍රසේන යටතේ නර්තනය හදාරා දක්ෂ නර්තන ශිල්පිනියක් බවට ද පත්වූවා ය. පසුකලෙක ඇය ලන්ඩන් නගරය වෙත යන්නේ වැඩිදුරටත් කලාව ඉගෙනගැනීමේ අරමුණිනි. එසමයේම ඇය මහාචාර්යවරයෙකු සමග විවාහ වන නමුත්, ලන්ඩනයේ ආයතන කිහිපයක දිගටම නර්තනය සහ රංගනය හැදෑරුවා ය. 

අයිරාංගනී වරක් පුවත්පත් සාකච්ඡාවක් අතරතුර සඳහන් කළේ හෙළයේ මහා සිනමාකරු යන විරුදාවලිය ලත් නැසීගිය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් නොහිටින්නට තමන්ට සිනමාවට පිවිසීම සඳහා අවස්ථාවක් නොලැබිය හැකිව තිබූ බව යි. තමන් විශ්වවිද්‍යාලයයේ අධ්‍යාපනය ලබන අවධියේ දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස්ගේ බිරිඳ වූ සුමිත්‍රා පිරිස්ගේ සොහොයුරා තමන් සමග අධ්‍යාපනය ලැබූ බව සඳහන් කළා ය. ඒ කාලයේ දී ලන්ඩනයේ සිට නැවත මෙරටට පැමිණ සිටි ආචාර්ය ලෙස්ටර් අයිරාංගනී විසින් රංගන දායකත්වය ලබාදුන් නාට්‍ය නැරඹීම සඳහා පැමිණ ඇති අතර, පසුව ඔහු විසින් නිෂ්පාදනය කළ පළමු සිනමාපටය සහ මෙරට පළමු වර්ණ රූපරාමු සහිත චිත්‍රපටය වූ ‘රේඛාව’ චිත්‍රපටයේ ‘කතරිනා’ චරිතය සඳහා 1956 වසරේ දී ඇයව තෝරාගෙන ඇත.

රේඛාවේ රූප රාමුවක්/Explore Sri Lanka

එතනින් ආරම්භ වන අයිරාංගනී සේරසිංහ නම් වූ ඒ මහා කලාවේදිනියගේ රංගන ජීවිතය තුළ ඇය සංදේශය, දෙලොවක් අතර, බක්මහ දිගේ, සාගරයක් මැද, දෙවැනි ගමන, දඩයම, සහ අවරගිර වැනි විශිෂ්ට සිනමා කෘතීන් ගණනාවකට රංගනයෙන් දායක වන්නී ය. සිනමාවට පමණක් නොව ටෙලි නාට්‍ය සඳහා ද සිය රංගන දායකත්වය සපයන ඇය යශෝරාවය, දූ දරුවෝ, නෑදෑයෝ, සත්පුරවැසියෝ, විහඟ ගීතය, මුතු කිරිල්ලි, තාත්තා, දූවරු වැනි ටෙලි නාට්‍ය විශාල ප්‍රමාණයකට රංගනයෙන් දායක විය.

ඇය කලක් කොළඹ මියුසියස් විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරියක ලෙස ද සේවය කර ඇති අතර, ‘ටයිම්ස්’ නම් සඟරාවක කතුවරියක ලෙස ද සේවය කර තිබේ. පළමු විවාහයෙන් වෙන්ව පසුකාලීනව වින්ස්ටන් සේරසිංහ සමග විවාහ වන ඇය පුතුන් දෙදෙනෙකුගේ ආදරණීය මවකි. දීර්ඝ කාලයක පටන් නිර්මාංශ ආහාර පමණක් ලබාගන්නා ඇය “රුක් රැකගන්නෝ” වැනි සංවිධාන හරහා පරිසරය සුරැකීම වෙනුවෙන් ද විශාල මෙහෙවරක් ඉටු කරමින් සිටියි.

Fragments.- Blogger

මේ වන විට 94 වෙනි වියට පිය තැබීමට ආසන්නව සිටින මේ මහා කලාවේදිනිය තවමත් විවිධ කලාකෘතීන්ට සිය දායකත්වය ලබා දෙයි. ඇය ‘කලා කිර්ති’ සම්මානයෙන් ද පිදුම් ලැබුවා ය. ඊට අමතරව සරසවිය සම්මාන උළෙල වැනි සම්මාන උළෙල රැසක දී දෙස් විදෙස් සම්මාන රැසකින් පිදුම් ලැබූ ඇය වත්මන් පරපුරට සැබැවින්ම ආදර්ශමත් කලාවේදිනියකි. කුඩාකල සියලු සැප සම්පත් මධ්‍යයේ උපත ලබා, එකල කාන්තාවන්ට මහත් අභියෝගයක් වූ අධ්‍යාපනය කෙසේ හෝ ලබාගෙන, පසුකාලීනව විවිධ බාධක කම්කටොලු ජයගනිමින් ජනතාව අතර ඉමහත් ගෞරවාදරයට පත්වූ ඇයට අපි දීර්ඝායුෂ පතමු.

Related Articles