චිලියේ නාමය ලොව රැන්දූ, ඉසබෙල් අයියන්දේ

චිලී දේශය හා සාහිත්‍යය අතර තිබෙන්නේ ගසට පොත්ත වන් බැඳීමකි. සාහිත්‍යය හෝ කලා ලෝකයේ නම රැන්දූ චිලී ජාතිකයින් කිහිපදෙනෙකුම ඉතිහාසය පිරික්සීමේ දී අපට හමුවෙනවා. සංගීතඥ වික්ටර් හාරා හා කවියෙන් ලොව මන්මත් කළ පැබ්ලෝ නෙරූඩා වැන්නන් අභිමානවත් චිලී ජාතිකයින් වෙනවා. චිලියේ මේ අභිමානය මීළඟ පරම්පරාවටත් ගෙන ගිය ගත්කතුවරියක් සිටිනවා. ඇය ඉසබෙල් අයියන්දේ යි.

දිවියේ මුල් කාලය

ඉසබෙල් අයියන්දේ චිලී ජාතික කාන්තාවක වුව ද, උපත ලැබුවේ පීරු රාජ්‍යයේ අගනුවර වූ ලීමා නුවර දී 1942 වසරේ අගෝස්තු මස දෙවන දා යි. ඇයගේ පියා තෝමස් අයියන්දේ වූ අතර, මව ෆ්‍රැන්සිස්කා අයියන්දේ වුණා. ඇගේ කැපකරු පියා වූයේ චිලියේ පළමුවැනි සමාජවාදී ජනපති වූ සැල්වදෝර් අයියන්දේ යි. ඔහු ඇගේ පියාගේ ඥාති සොහොයුරෙකු වුණා.

ඉසබෙල් අයියන්දේ තුරුණු වියේ දී- quotabelle.com

ඉසබෙල්ගේ පියා ඇය දෙහැවිරිදි ව සිටින විට මව අතැර දමා යනවා. මේ නිසා ඇගේ මව සිය දරුවන් ද කැටුව චිලී දේශයට යනවා. ඒ, ඉසබෙල්ගේ මවගේ පියා සමග ජීවත් වීම සඳහා යි. ඉන්පසු ඉසබෙල්ගේ කුඩා කාලය දැඩි කම්කටොළුවලින් පිරුණු එකක් වුණා. සිය දරුවන්ගේ කෑමට පවා වියදම් කිරීමට ඉසබෙල්ගේ මව සතුව මුදල් නොතිබූ අතර, ඒ සියල්ල හැකි පමණින් සපයා දුන්නේ ඇගේ සීයා යි. මුල් ළමා වියේ දී ලත් අත්දැකීම් නිසා ඉසබෙල් දැඩි මතධාරිණියක බවට පත්ව තිබූ අතර, පුරුෂාධිපත්‍යයට එරෙහිව මෙන්ම පොලිසිය, පල්ලිය වැනි ස්ථානවලින් සිදුවන අකටයුතුකම්වලට ද එරෙහිව හඬ නැගුවා.

පසුකාලීනව ඉසබෙල්ගේ මව රමෝන් උඉඩොවෙරෝ නම් රාජ්‍ය නිලධාරියෙකු හා විවාහ වෙනවා. සිය රාජකාරී කටයුතු නිසා ඔහු හට චිලියේ තැනින් තැන පදිංචි වන්නට සිදු වූ අතර ඉසබෙල්, ඇගේ සොයුරු සොයුරියන් හා ඇගේ මව ද ඔහු සමග ඒ ඒ තැන්වල පදිංචියට ගියා. මේ කාලයේ දී ඉසබෙල් නව යොවුන් වියට එළැඹි අතර, ඇය මාධ්‍යවේදිනියක ලෙස සිය වෘත්තීය ජීවිතය ඇරඹුවා. කෙමෙන් කෙමෙන් එහි ස්ථාවර ස්ථානයකට පැමිණි ඇය, 1960 -70 දශකවල චිලියේ ප්‍රවීණ රූපවාහිනී හා පුවත්පත් මාධ්‍යවේදිනියක බවට පත් වුණා.

ලේඛන කලාව

ඉසබෙල් අයියන්දේගේ ජීවිතය සම්පූර්ණයෙන් කණපිට ගැසුවේ සිය කැපකරු පියාගේ වියෝව යි. 1973 වසරේ දී ජනපති සැල්වදෝර් අයියන්දේ හමුදා කුමන්ත්‍රණයක් මඟින් බලයෙන් පහ කොට ජෙනරල් ඔගස්ටෝ පිනෝචේ විසින් චිලියෙහි හමුදා පාලනයක් ස්ථාපිත කරගත්තා. කුමන්ත්‍රණය ක්‍රියාත්මක වන අතරතුර සැල්වදෝර් අයියන්දේ සියදිවි හානි කරගත්තා.

ඔගස්ටෝ පිනෝචේ ඉතා කුරිරු පාලකයෙක් වූ අතර තමන්ට එරෙහි වූ අයවලුන් හට එරෙහිව ඉතා මර්දනකාරී ප්‍රතිපත්තියක් පිළිපැද්දා. මේ රෙජීමයට එරෙහිව නැගී සිටි කිහිපදෙනා අතර ඉසබෙල් ද සිටි අතර ඇය හැකි පමණින් අසාධාරණයට ලක් වූවන් වෙනුවෙන් හඬ නැගුවා. කෙසේ නමුත්, මේ නිසා පිනෝචේගෙන් තමන් හට ජීවිත තර්ජන එල්ල වී ඇති බැව් වටහා ගත් ඇය, සිය සැමියා හා දරුවන් දෙදෙනා සමග චිලිය අතැර වෙනසුවේලාවට යනවා. ඇය මෙහි ගත කරන ලද කාලය වසර 13ක්.

දරුවන් දෙදෙනා සමග- timetoast.com

1981 වසරේ දී ඉසබෙල් සිය මුත්තණුවන් හට ලිපියක් ලියන්නට පටන් ගන්නවා. මේ වන විට ඔහු සිය මරණ මංචකයේ යි සිටියේ. මෙයින් ඇයගේ පළමු නවකතාවට අඩිතාලම වැටුණු අතර, The House of the Spirits නම් වූ එය, ඇය විසින් 1985 වසරේ දී එළිදක්වනවා. මෙය අනපේක්ෂිත අන්දමින් ලොව පුරා පාඨකයින්ගේ අසීමිත ජනප්‍රියත්වයට බඳුන් වූ අතර, එහි අන්තර්ගතය වූයේ 1920 දශකයේ සිට 1973 හමුදා පාලනය වන තුරු චිලියේ පවුල් දෙකක් ගත කළ ජීවිතය යි. මීට ඇය දේශපාලනය හොඳින් මුසු කොට තිබූ අතර, මායා යතාර්ථාවාදී ලේඛන සම්ප්‍රදාය යොදාගෙන තිබුණා. පසුකාලීනව ඇය විසින් Of Love and Shadows (1987), Eva Luna (1987), Two Words (1989), The Infinite Plan (1991), Daughter of Fortune (1999), Portrait in Sepia (2000), Zorro (2005), Ines of My Soul (2006), Island Beneath the Sea (2010), Maya’s Notebook (2011), Ripper (2014) සහ The Japanese Lover (2015) වැනි කෘති රාශියක් රචනා කළා.

ඉසබෙල් හට මුණුපුරු මිණිපිරියන් තිදෙනෙක් සිටිනවා. 2002 වසරේ දී ඇය සිය ප්‍රථම නව යොවුන් නවකතාව වන City of the Beasts රචනා කළේ ඔවුන්ගේ ඉල්ලීම මත යි. තුන් ඈඳුතු නවකතා මාලාවක ප්‍රථම නවකතාව වූ එයට අනතුරුව එහි දෙවන හා තෙවන කොටස් වන Kingdom of the Golden Dragon (2003) සහ Forest of the Pygmies (2005)ත් ඇය විසින් රචනා කළා.

ඉසබෙල්ගේ රචනා ශෛලිය 20 වන සියවසේ දී ලතින් ඇමෙරිකානු ගත්කතුවරුන් කිහිපදෙනෙක්ම යොදාගත් මායා යතාර්ථවාදී රචනා ක්‍රමයට, ස්ත්‍රීවාදය හා දේශපාලනය මුසු කළ එකක් වුණා. මෙය ජනතාව විසින් වැළඳගත්තා.

නවකතාවලට අමතරව සිය පෞද්ගලික අත්දැකීම අළලා ඉසබෙල් අයියන්දේ ස්වයං චරිතාපදාන කිහිපයක් ද ලියා තිබෙනවා. Paula (1994) හි දුර්ලභ රෝගයක් හේතුවෙන් ඇගේ දියණියකගේ මියයාම ඉදිරිපත් කර ඇති අතර, Aphrodite: A Memoir of the Senses (1998) ඇගේ ආහාර රුචිය හා ලිංගිකත්වය ගැනත්, My Invented Country: A Nostalgic Journey Through Chile (2003) ඇගේ දිව්යේ මුල් අවධිය ගැනත්, The Sum of Our Days: A Memoir (2008) දියණියගේ මරණයෙන් පසු ඇය ගත කළ ජීවිතය ගැනත් දක්වමින් ඇය විසින් රචනා කළ චරිතාපදාන වෙනවා.

ඉසබෙල් අය්යන්දේ ලැබූ බුහුමන්

සිය ලේඛිකා දිවිය පුරාවටම ඇය සම්මාන කිහිපයකින්ම පිදුම් ලැබුවා. මීට 2010 වසරේ දී ලැබුණු චිලීයේ සාහිත්‍ය සඳහා වූ ජාතික ත්‍යාගය ද ඇතුළත්. 2014 වසරේ දී ඇමෙරිකානු ජනපති බැරැක් ඔබාමා ඇයට නිදහස් සඳහා වූ ජනාධිපති පදක්කම පිළිගැන්වූවා.

පෞද්ගලික ජීවිතය

ඉසබෙල් පළමුවෙන් ම විවාහ වූයේ 1962 වසරේ මිගෙල් ෆ්‍රියාස් සමග යි. ඔවුනට 1963 වසරේ දී පෝලා නම් දියණියක් ද, 1966 වසරේ දී නිකලස් නම් පුතණුවෙක් ද ලැබුණා. කෙසේ නමුත්, එම විවාහය පැවතියේ 1987 වසර වන තුරු පමණයි. 1988 වසරේ දී ඇය නීතීඥයෙක් හා කතුවරයෙකු වන විලී ගෝර්ඩන් හා විවාහ වුණා. ඔවුන් ද 2015 වසරේ දී වෙන් වුණා.

ඉසබෙල් සිය දෙවන සැමියා සමග- Lori Barra

ඉසබෙල් අයියන්දේගේ දියණිය වන පෝලා ප්‍රොෆයිරියා නම් දුර්ලභ රෝගාබාධයෙන් පෙළුණා. මෙයින් ඇති වූ සංකූලතාවක් හේතුවෙන් ඇය මියගියා. ඒ 1992 වසරේ දී යි. මෙයින් කනස්සල්ලට පත් වූ ඉසබෙල්, ඉසබෙල් අය්යන්දේ පදනම ආරම්භ කළා. මෙමඟින් අසරණ වූ කාන්තාවන්ට පිහිට වීම සිදුකෙරෙනවා.

1987 වසරේ දී ඉසබෙල් ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවට සංක්‍රමණය වුණා. 1993 වසරේ දී ඇයට ඇමෙරිකානු පුරවැසිභාවය ලැබුණා. තවමත් 77 හැවිරිදිව ඇය එහි සුවසේ දිවි ගෙවනවා. කෙසේ නමුත්, ඇය පවසන්නේ තමන් ගතින් ඇමෙරිකාවේ සිටිය ද සිතෙන් සිටින්නේ චිලියේ බව යි.

Related Articles