පස්වැනි වතාවටත් ඊශ්‍රායලයේ අගමැති ලෙස පත් වූ බෙන්ජමින් නෙතන්යාහු

බෙන්ජමින් නෙතන්යාහු ගැන ඔබ බොහෝ විට අසා තිබෙන්න පුළුවන්. ඔහු තමයි ඊශ්‍රායලයේ 9වන අගමැතිවරයා. ඒ වගේම වර්තමාන අගමැතිවරයා වන්නේත් බෙන්ජමින් නෙතන්යාහු යි. පසුගිය දා පැවති ඊශ්‍රායල් පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ඔහු 5ස් වන වතාවටත් එරට අගමැතිවරයා බවට පත්වෙනවා.

2009 වසරේ සිට මේ දක්වා අඛණ්ඩව අග්‍රාමාත්‍ය ධූරය දරන ඔහු ඊට පෙර 1996 වසරේ සිට 1999 වසර දක්වා ද එරට අගමැතිවරයා ලෙස කටයුතු කර තිබෙනවා.

ඊට අමතරව එදා මෙදා තුර ඊශ්‍රායලයේ බිහි වූ ලාබාලතම අගමැතිවරයා මෙන්ම ඊශ්‍රායලයේ ඉපදී අගමැති ධූරයට පත් ප්‍රථමයා වන්නේත් බෙන්ජමින් නෙතන්යාහු යි. වර්තමානයේ එරට ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන ලිකුද් (Likud) හි නායකයා මෙන්ම සභාපතිවරයා ලෙස කටයුතු කරන්නෙත් මොහු යි.

වගකීම් සහගත, ක්‍රියාශීලි, නිර්භීත දරුවා

තරුණ අවධියේ දී (BrainBerries.co)

1949 වසරේ ඊශ්‍රායලයේ ටෙල් අවිව් හි උපත ලබන බෙන්ජමින් නෙතන්යාහු දරුවන් තිදෙනෙකුගෙන් යුක්ත පවුලේ දෙවැනියා විය. පාසල් වියේදී අනෙකුත් දරුවන් අතර කැපී පෙනුණු කුඩා බෙන්ජමින් වගකීම් සහගත, ක්‍රියාශීලි හා නායකත්ව ලක්ෂණ පෙන්නුම් කරන සිසුවෙක් බව ගුරුවරුන් විසින් ප්‍රකාශ කරනවා.

ඔහු පාසල් අධ්‍යාපනය ලබන සමයේ ඔවුන්ගේ පවුල ඇමෙරිකා එක්සත් ජනපදයේ කාලයක් පදිංචිව සිටි බැවින් නෙතන්යාහුට හිබ්රු  භාෂාවට අමතරව ඉංග්‍රීසි භාෂාව ද හොදින් කතා කළ හැකි යි.

සයරේට් මර්කාල් බළකායට

1967 වසරේ දී ඇමෙරිකා එක්සත් ජනපදයෙන් තම උසස් අධ්‍යාපනය අවසන් කරන බෙන්ජමින් නෙතන්යාහු නැවතත් ඊශ්‍රායලයට පැමිණෙන අතර ඉන් පසුව ඔහු එරට ආරක්ෂක හමුදාවට එකතු වෙනවා. ඔහු අයත් වෙන්නේ එරට විශේෂ බළකායක් වන සයරේට් මර්කෙල් විශේෂ බළකායට යි.

මෙම බළකායේ සිටින කාලයේ දී විශේෂ මෙහෙයුම් කිහිපයකට සහභාගී වෙන ඔහු එම මෙහෙයුම්වලදී ඊශ්‍රායලය වෙනුවෙන් සිය දස්කම් දක්වනවා. Operation Inferno (1968) ඉන් එකක් ලෙස සඳහන් කළ හැකි යි. 1972 වසරේ දී ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමක දී ඔහු තුවාල ලබනවා.

1972 වසරේ දී හමුදාවෙන් ඉවත් වී නැවතත් ඇමෙරිකා එක්සත් ජනපදයට පැමිණෙන බෙන්ජමින් නෙතන්යාහු එහිදී ගෘහ නිර්මාණ ශිල්පය හදාරනවා. නමුත් 1973 වසරේදී ඊශ්‍රායලය හා මැදපෙරදිග රටවල් ගැටුණු යෝම් කීපූර් යුද්ධය සඳහා සහභාගී වෙනු පිණිස 1973 වසරේ දී ඔහු නැවතත් ඊශ්‍රායලය බලා පැමිණෙනවා. අර්බුද යම්තාක් දුරට නිමා වීමෙන් අනතුරුව එනම් 1975 වසරේ දී ඔහු නැවතත් තම උසස් අධ්‍යාපන කටයුතු සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය වෙත යනවා.

වැඩිමහල් සහෝදරයාගේ මරණය

පුටින් සමඟ (Jewish Telegraphic Agency)

ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයේ වාසය කරන කාලයේ දී යි ඔහුගේ වැඩිමහල් සොහොයුරා වන යොනතන් නෙතන්යාහු මෙහෙයුමක් අතරතුර මරණයට පත්වෙන්නේ.

1976 දී පලස්තීන විමුක්තිකාමී ත්‍රස්තයන් විසින් පැහැරගත් සිවිල් මගීන් රැගත් ඊශ්‍රායල් ගුවන් යානාවක් උගන්ඩාවේ එන්ටැබේ ගුවන්තොටුපොළ කරා ගෙන යනවා. මෙහිදී ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ අරමුණෙන් ඊශ්‍රායල් රජය ගුවන් මගින් හමුදා කණ්ඩායමක් උගන්ඩාව වෙත පිටත් කරන හරින අතර එම කණ්ඩායමේ අණ දෙන්නා ලෙස කටයුතු කරන්නේ බෙන්ජමින් නෙතන්යාහුගේ වැඩිමහල් සහෝදරයා යි. ඊශ්‍රායල් හමුදා කණ්ඩායම විසින් මෙහෙයුම සාර්ථකව නිමා කරන නමුත් එල්ල වූ වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් යොනතන් නෙතන්යාහු මරණයට පත්වෙනවා.

1976 වසරේ දී තම උසස් අධ්‍යාපනය අවසන් කිරීමෙන් තවත් වසර දෙකක් පමණ ඇමෙරිකා එක්සත් ජනපදයේ පෞද්ගලික ආයතනයක සේවය කරමින් එහිම රැදී සිටීමට නෙතන්යාහු තීරණය කරනවා.

දේශපාලනයට

ට්‍රම්ප් සමඟ (Politico)

1978 වසරේ දී ඊශ්‍රායලයට පැමිණෙන ඔහු වසර කිහිපයක් එක්සත් ජාතීන්ගේ ඊශ්‍රායල් නියෝජිතයා ලෙස කටයුතු කරනවා. 1988 වසරේ දී ඊශ්‍රායල් මහා මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කරනවා. ඒ ලිකුද්  (Likud) පක්ෂය නියෝජනය කරමින්. ඉන්පසු සියලුම මැතිවරණවලදී ඔහු ලිකුද් පක්ෂය නියෝජනය කරමින් ඊශ්‍රායල් පාර්ලිමේන්තුවට (ක්නෙස්ට් සභාවට) තේරී පත්වෙනවා.

1996 වසරේදී ඊශ්‍රායල් පාර්ලිමේන්තුවේ ඇමති ධූරයක් ලබා ගැනීමට ඔහු සමත්වෙන අතර ඔහුගේ ප්‍රථම ඇමතිධූර විෂය වන්නේ විද්‍යා හා තාක්ෂණය යි. පසුව ඔහු නිවාස හා ඉදිකිරීම්, විදේශ කටයුතු, සෞඛ්‍ය, ආර්ථික හා මුදල් ඇමති ධූරවල වරින් වර කටයුතු කරනවා.

පස්වතාවක් අගමැති ධූරයේ

එක්සත් ජාතින් අමතමින් (Cross to Light)

නෙතන්යාහු, 1996 සිට 1999 වසර දක්වා කාල සීමාව තුළ එරට අගමැතිවරයා ලෙස කටයුතු කරනවා. ඒ එරට ලාබාලතම අගමැතිවරයා ලෙස වාර්තාවක් තබමින්. 1999 වසරේ මහා මැතිවරණයෙන් පසුව දේශපාලනයෙන් තාවකාලිකව සමුගන්නවා. නෙතන්යාහු නැවතත් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙනේ 2002 වසරේ දී යි. 2006 වසරේ දී එරට විපක්ෂ නායකයා බවට පත්වෙන නෙතන්යාහු 2009 වසරේ පැවති ඊශ්‍රායල් මහා මැතිවරණයෙන් පසුව එරට අගමැතිවරයා බවට පත්වෙනවා. එතැන් පටන් 2013 වසරේ, 2015 වසරේ හා 2019 වසරේ පැවති මහා මැතිවරණවලින් අනතුරුවත් එරටඅගමැතිවරයා බවට පත්වෙන්නේ බෙන්ජමින් නෙතන්යාහු යි. මේවන විට ඔහු එරට අගමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටින්නේ පස් වන වරට යි. ඔහු නියෝජනය කරන පක්ෂය දක්ෂිණාංශික පක්ෂයක් වන අතර මෙම මැතිවරණ බොහොමයකදී ඔවුන්ට බහුතර බලය දිනාගැනීමට අවස්ථාව නොලැබුනත් තවත් දක්ෂිණාංශික පක්ෂ සමඟ එකතු වී ආණ්ඩුවක් පිහිටුවීමේ බලය ලබාගැනීමට සමත් වෙනවා.

එල්ලවෙන දූෂණ චෝදනා

පස්වැනි වතාවටත් අගමැතිවරයා ලෙස පත්විමෙන් අනතුරුව (Washington Times)

නෙතන්යාහුට එල්ල වෙන ප්‍රධාන චෝදනාවක් වන්නේ යුධවාදී හා ජාතිකවාදී ප්‍රකාශන සිදු කරමින් ඊශ්‍රායල් ජනතාව තමන් වෙත නම්මවා ගැනීමට උත්සාහ දරන්නෙක් ලෙසයි.  තවද ඔහු ඇමෙරිකානු මෙන්ම රුසියානු හිතවාදියෙක් ද වෙනවා. පලස්තීනය සම්බන්ධ නොයෙකුත් ප්‍රශ්නවලදී ඇමෙරිකාව ඊශ්‍රායල් පාර්ශවය නියෝජනය කිරීමට ට්‍රම්ප්ගේ හා නෙතන්යාහුගේ පෞද්ගලික දැන හැදුනුම්කම් වඩා වැඩියෙන් බලපාන බව සඳහන් වෙනවා.

පසුගිය දිනෙක පැවති මහා මැතිවරණයට ප්‍රථම අල්ලස්, දූෂණ චෝදනා සම්බන්ධයෙන් වසර දෙකක පරීක්ෂණයකින් පසුව ඔහුට විරුද්ධව චෝදානා ගොනු කරන බව එරට නීතිපතිවරයා සඳහන් කළ නමුත් ඔහුට ඊශ්‍රායල් ජනයා අතර පවතින ජනප්‍රියත්වය අහිමි නොවූ බව සඳහන් කළ හැකියි. ඊට ප්‍රධානම සාධකය ලෙස ඉදිරිපත් කළ හැක්කේ මෙවර මහා මැතිවරණයෙන් පසුවත් ඔහු එරට අගමැතිවරයා බවට පත් වීමයි.

කවරයේ පින්තූරය - Middle East Eye

මූලාශ්‍රයයන් -

haaretz.com

aljazeera.com

biography.com

edition.cnn.com

Related Articles