බොහෝ දමිළ ජනතාවගේ ඉමහත් ආදරයට සහ ගෞරවයට පාත්‍ර වූ සහ මිලියන ගණනක් ‘අම්මා’ යන නාමයෙන් හැඳින්වූ තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් 2016 දෙසැම්බර් මස 5 සිය අවුරුදු 68ක ජිවන ගමන නිමා කර මෙලොවින් සමුගත්තා.

ජයලලිතාගේ දේහය වටා සිටින දේශපාලනඥයන් සහ සමීපතමයන්. (Times of India)

2016 සැප්තැම්බර් 22 වන දා ඇය රෝහලට ඇතුලත් කරනු ලැබුවේ තද උණ සහ විජලනය හේතුවෙනුයි. දින 75ක් පුරා චෙන්නායි හි පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි ඇය 5 දින සවස් යාමයේ දරුණු හෘදයාබාධයකට මුහුණ දුන්නා. එතැන් සිට පැය ගණනාවක් පුරා ජීවිතයත් මරණයත් අතර සටනක නිරතවූ ජයලලිතා අවසානයේ සොබාදහමේ තීරණයට හිස නැවුවා. එම පෞද්ගලික රෝහල නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ ඇය අභාවප්‍රාප්ත වූවේ රාත්‍රී 11.30ට පමණ බවයි.

ලෝකයේ රටවල් බොහොමයක නායකයන් ඇගේ මරණය වෙනුවෙන් සිය ශෝකය පල කර අතර ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩි සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබුණේ ජයලලිතාගෙන් පසු දේශපාලන අවකාශයේ රික්තකයක් ඇතිවන බවයි.

ජයලලිතා ජයරාම්ගේ දේහය පිලිබඳ අවසන් කටයුතු දෙසැම්බර් 06 වන දින සවස් වරුවේදී ලක්ෂ සංඛ්‍යාත ජනකායකගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා. අවසානයේදී වීදුරු පෙට්ටියක දැමූ දේහය, ඇයට දේශපාලන මාවත විවර කර දුන් එමෙන්ම ඇය ප්‍රේම කළ හිටපු තමිල්නාඩු මහ ඇමතිවරයෙකු සහ ජනප්‍රිය දමිළ නළුවෙකු වූ M.G රාමචන්ද්‍රන්ගේ සොහොන සමීපයේ වළ දමනු ලැබුවා.

හඬා වැළපෙන ජනතාව. (The Guardian)

මතිමතාන්දර වශයෙන් කෙසේ වුවත් ජයලලිතා ජයරාම් යනු දකුණු ආසියානු දේශපාලන කරළියේ කිසිදිනක නොමැකෙන මතකයන් රැසක් ඉතිරි කළ අයෙකු බව ඇයට වෛර කරන අයට පවා ප්‍රතික්ෂේප කළ නොහැකි කාරණාවක්. විශේෂයෙන්ම පුරුෂාධිපත්‍යය රජකරන දකුණු ආසියානු දේශපාලනයේ කාන්තාවක ලෙස ඇය පණ පෙවූ භූමිකාව ඉතා වැදගත් එකක් බව අප විසින් පිළිගත යුතුයි.

මුල් කාලයේ ජීවිතය

කුඩා ජයලලිතා. (Times of India)

1948 වසරේ පෙබරවාරි මස 24 දින කර්ණාටක ප්‍රාන්තයේ මෙලුකොටේ ප්‍රදේශයේ උපත ලද ජයලලිතා සාම්ප්‍රදානුකුලව උපතත් සමගම හැඳින්වූවේ ඇගේ පියපස මිත්තණියක වූ කෝමලවල්ලිගේ නමිනුයි. ඉන්පසු අවුරුදු 1 සම්පූර්ණ වන විට ඇගේ පියාගේ දෙමව්පියන් වන ජයා විලස් සහ ලලිතා විලස් දෙපළගේ මුල් නම් දෙක එක්කරමින් ඇයට ජයලලිතා යන නාමය ලැබුණා.

ජයලලිතාට අවුරුදු දෙකක් වන විට ඇගේ පියා මරණයට පත්වනවා. ඉන්පසු ඇගේ මව වේදවල්ලි, ජයලලිතා සහ ජයලලිතාගේ සොහොයුරා සමග බැංගලෝරයේ ඇයගේ දෙමව්පියන් වෙත යන අතර නිසි වයස් සැපිරූ විට ඔවුන් දෙදෙනාව එම ප්‍රදේශයේ පාසලකට ඇතුළු කරනු ලබනවා.

සිය දෙමව්පියන්ට බරක් වීමට කැමති නොවූ වේදවල්ලි යතුරු ලියන්නියක ලෙස සේවය කිරීම අරඹනවා. ගුවන් සේවිකාවක ලෙස කටයුතු කළ ඇගේ සොහොයුරියගේ උනන්දු කිරීමෙන් චෙන්නායි නගරයට පැමිණෙන වේදවල්ලි, නොබෝ දිනකින් අනතුරුව සිනමා නිලියක් වීමේ භාග්‍යය හිමි කරගන්නවා. රිදී තිරයේ ඇය හැඳින්වූවේ සන්ධ්‍යා නමින්.පසුව ඇය සිය දරුවන් දෙදෙනා මදුරාසියේ පාසලකට ඇතුලත් කරනු ලබනවා.

ජයලලිතා ඉගෙනීමට මහත් සේ දස්කම් දැක්වූ බව ප්‍රකට කරුණක්. ඇයට අවශ්‍ය වුණේ වෛද්‍යවරියක හෝ නීතිඥවරියක වීමට. නමුත් ඇගේ මව එකහෙළාම පවසා සිටියේ ජයලලිතාත් ඇය මෙන් සිනමා නිළියක විය යුතු බවයි. ජයලලිතාගේ සුන්දර රුව රිදී තිරය කළඹවනු ඇති බව සිනමා නිෂ්පාදකවරුන්ද සහතික කරනු ලැබුවා. සිනමා නිළියක වීමට කැමැත්තක් නොදැක්වූ නමුත් මවගේ බලකිරීම නිසා අධ්‍යාපන කටයුතුවලින් ඉදිරියට යාමේ අවස්ථාව ඇයට හිමි වුණේ නැහැ.

MGR සහ සිනමා දිවිය

තරුණ ජයලලිතා. (The Hindu)

මවගේ තීරණය අනුව රඟපෑමට පිවිසෙන ජයලලිතා සිය ප්‍රථම රංගන දායකත්වය ලබා දෙන්නේ ‘චින්නඩ ගොම්බේ’ කියන කන්නඩ චිත්‍රපටයට. ඒ වන විට ඇය 15 වන වියේ පසුවූවා. ඉන් පසුව 1965 වසරේ තිරගත වූ ‘වෙන්නිර ආදයි’ චිත්‍රපටයෙන් ඇය දමිළ සිනමාවේ තමන්ගේ ස්ථානය තහවුරු කර ගත්තා. එවකට කොලිවුඩ් සිනමාවේ සුපිරි තරුවක් වූ MGR හෙවත් M.G රාමචන්ද්‍රන්ගේ අවධානය ඇයගේ රංගනය දෙස යොමු වූවේ මේ චිත්‍රපටයෙන් පසුවයි. ඔහු තමන් ප්‍රධාන රංගනයෙන් දායක වීමට නියමිතව තිබූ ‘අදිමයි පෙන්’ (1969) චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ලෙස තෝරාගන්නෙ ජයලලිතායි. කොලිවුඩ් සිනමාවෙ MGR – ජයලලිතා යුගය ඇරඹෙන්නේ එසේයි.

කොලිවුඩ් සිනමාවේ අනෙක් ජනප්‍රිය නළුවන් සමග සම චරිත නිරූපණය කළත් සිනමා ලෝලීන් වඩාත්ම ආකර්ෂණය වූවේ මේ යුවළ වෙතයි. MGR ජයලලිතාට වඩා වසර 31කින් පමණ වැඩිමහළු වුණත් ඔවුන් දෙදෙනා අතර ඉතා සමීප සබඳතාවක් පැවති බව නොරහසක්. එහෙත් එය විවාහයක් කරා රැගෙන යාමට ඔවුන් දෙදෙනාට හැකි වූවේ නැහැ.

MGR සහ ජයලලිතා රිදී තිරයේදී. (The Hindu)

එවකට කොලිවුඩ් සිනමාවේ දැවැන්ත චරිතයක් වූ MGR සමඟ රඟපෑමට නවක නිළියක් වූ ජයලලිතාට අවස්ථාව ලැබීම සහ ඔවුන් දෙදෙනාගේ සුසංයෝගය නොසිතූ ලෙස ජනතා ආකර්ෂණය දිනාගැනීමත් නිසා බොහෝ දෙනාගේ ඊර්ශ්‍යාවට පාත්‍ර වීමට ඇයට සිදුවුණා.  ඒ නිසා මුහුණ පෑමට සිදුවුණ කේලාම්, ඕපාදූප සහ කටකතා ආදී සියල්ල නිසා අවසානයේ සිදුවූවේ මේ නළු නිළි දෙපළ වෙන වෙනම රඟපෑමට පටන් ගැනීමයි.

දේශපාලන ගමන

ජයලලිතා රාජ්‍ය සභාවේදී. (The New Indian Express)

ජයලලිතාගේ දේශපාලන ගමන ගැන පවසන බොහෝ දෙනා විශ්වාස කරන්නේ ඇයව දේශපාලන වේදිකාවට රැගෙන ආවේ MGR බවයි. එහෙත් පසුව පැවති රූපවාහිනී වැඩසටහනකදී ජයලලිතා මෙය ප්‍රතික්ෂේප කරමින් තමන් දේශපාලනයට පැමිණියේ ස්ව කැමත්තෙන් බව පැවසුවා.

කෙසේ නමුත් ගේ අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂයට බැඳුන ජයලලිතාව පක්ෂයේ ප්‍රචාරක ලේකම් ලෙස පත් කිරීමට MGR ට අවශ්‍ය වූවා. ඒ ප්‍රධාන වශයෙන්ම ඇය සතුව තිබූ චතුර ලෙස ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව නිසායි. ඒ වන විට විපක්ෂ නායකව සිටි කරුණානිධිට දේශපාලන වේදිකාවේ ප්‍රබල අභියෝගයක් එල්ල කළ හැකි අයෙකු තම පක්ෂයට බඳවා ගැනීමට MGR ට වුවමනාව තිබුණා. ඒ සඳහා සුදුසුම පුද්ගලයා ලෙස ඔහු දුටුවේ එවකට ජනතා ආකර්ෂණය හිමිව තිබූ ජයලලිතාවයි.

ප්‍රචාරක ලේකම් ධුරයේ කටයුතු කරමින් සිටි අතරතුරදීම  1984 වසරේ රාජ්‍ය සභා මැතිවරණයට ඇයව ඉදිරිපත් කරවීමට MGR කටයුතු කළා. එයින් ජයග්‍රහණය ලබා ගැනීමට ඇය සමත් වුණා.

නමුත් එම වසරේදීම රෝගාතුර වූ MGR ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදේශ ගත වූවා. මේ නිසා ජයලලිතාට සිදුවූවේ පක්ෂය තුළ තම ස්ථානය රැක ගැනීමට දැඩි සටනක නිරත වීමටයි. ඇය පක්ෂයේ බලය සියතට ගැනීමට උත්සාහ කිරීම නිසා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඇය හා අමනාප වුණ බවත් කියවෙනවා. කාන්තාවක් සාර්ථක ලෙස දේශපාලනයේ නිරත වීමත් ඒ බොහෝ දෙනෙකුට නොරිස්සුමක් ගෙන දෙන කරුණක් වූවා. MGR පවා ඇතැම් අවස්ථාවල ඇය කෙරෙහි දැක්වූවේ දැඩි බවක්.

MGR, ජයලලිතා (වමේ) සහ ජානකී. (Times of India)

ඇමරිකාවේ නැවතී ප්‍රතිකාර ගනිමින් සිටි MGR 1987 වර්ෂයේ අභාවප්‍රාප්ත වුණා. ඉන් පසු ඔහුගේ බිරිඳ ජානකී මහ ඇමති ධුරයට පත් කරනු ලැබුවා. එහෙත් ඊට මාස කිහිපයකට පසු පැවැත්වූ මැතිවරණයෙන් ඔවුන්ගේ පක්ෂය පරාජය වුනා. මහ ඇමති ධුරය DMK පක්ෂයේ කරුණානිධිට හිමි වූ අතර AIADMK පක්ෂයට හිමි වූවේ ආසන 29ක් පමණයි. එයින් ආසන 27ක්ම හිමි වූවේ ජයලලිතාගේ ආධාරකරුවන්ට වීම විශේෂත්වයක්. ඒ ජයග්‍රහණයත් සමඟ පක්ෂයේ බලය තහවුරු කර ගැනීමට ඇය සමත් වුණා.

කරුණානිධි සහ ජයලලිතා

හිටපු මහ ඇමතිවරයෙකු වන එම්. කරුණානිධි සහ ජයලලිතා අතර පැවතියේ දැඩි නොහොඳ නෝක්කාඩුවක්. එය ඇතැම් අවස්ථාවන්වල පෞද්ගලික මට්ටම දක්වාද ඇදී ගියා. එයට මූලිකම හේතුව ලෙස බොහෝ දෙනා ගෙන හැර පාන්නේ 1989 වසරේ තමිල්නාඩු ප්‍රාන්තයේ අයවැය විවාදය අතර තුරදී හටගත් ගැටුම්කාරී තත්වයයි.

ගැටුම ආරම්භ වූවේ ජයලලිතා සිය කතාවේදී එවකට මහ ඇමති වූ කරුණානිධි හට එම ධුරය දැරීමට සදාචාරාත්මක අයිතියක් නැති බව ප්‍රකාශ කිරීමත් සමඟයි. ඒ ප්‍රකාශයත් සමඟ ප්‍රකෝපකාරී වූ කරුණානිධිගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් ඇය වට කර ගත් අතර ඉන් ඇතැමෙක් ඇගේ සාරි පොටෙන් පවා ඇදීමට කටයුතු කළ බව ඇය පසුව පවසා සිටියා.

අවුල් වී ගිය හිසකෙසින් සහ කඳුළු පිරි දෙනෙතින් යුතු ජයලලිතා සභා ගර්භයෙන් පිටතට යන අයුරු කැමරාවල සටහන් වී තිබුණා.

සභා ගැබෙන් පිටතට යන ජයලලිතා. (The Hindu)

මහ ඇමති ධුරය හිමි වීම සහ දූෂණ චෝදනා

1991 වසරේ ජුනි මස පැවැත්වූ ප්‍රාන්ත සභා මැතිවරණයේදී කරුණානිධිගේ පක්ෂය පරදවමින් දැවැන්ත ජයක් ලබා ගැනිමට ජයලලිතාගේ පක්ෂය සමත් වුණා. ඒ කොන්ග්‍රස් පක්ෂය හා සන්ධානගත වෙමින්. මෙම මැතිවරණයේදී එම සන්ධානය ආසන 225 ක් දිනා ගනිද්දි කරුණානිධිට ලැබුණේ ආසන 7ක් පමණයි.

1996 මැතිවරණය එලඹෙන විට ජයලලිතාගේ ජනප්‍රියත්වය හීන වෙමින් පැවතුණා. ඇයට එල්ල වූ දූෂණ සහ විරුද්ධවාදීන් මර්ධනය කිරීමට කටයුතු කිරීම ආශ්‍රිත චෝදනා මෙයට හේතු වුණා. ඇගේ මිතුරිය වූ ශශිකලාගේ පුත්‍රයා වෙනුවෙන් අති සුඛෝපබෝගී විවාහ මංගල උත්සවයක් පැවැත්වීම ඒ අතරින් ප්‍රධාන චෝදනාවක් වුණා. මෙම මැතිවරණයෙන් ඇයට හිමු වුණේ ආසන 4ක් පමණයි. කරුණානිධි නැවතත් මහ ඇමති ධුරයට පත් වූවා.

කරුණානිධිගේ පාලන සමය තුළ වංචා දූෂණ සම්බන්ධයෙන් පරීක්ෂණවලට මුහුණ දීමට ජයලලිතාට සිදු වුණා. 1996 සැප්තැම්බර් මස 7 වන දින ඇයව අත්අඩංගුවට පත් වූ අතර පසු කළෙකදී එම චෝදනාවෙන් ඇයව නිදොස් කොට නිදහස් කරනු ලැබුවා.

මේ දූෂණ චෝදනා නිසා 2001 මැතිවරණයට ජයලලිතා ඉදිරිපත් වූයේ නැහැ. එහෙත් එයින් ජයගත්තේ ඇගේ පක්ෂයයි. ජයගත් පසු මහඇමති ධුරයට පක්ෂය විසින් ඇගේ නම යෝජනා කළ මුත් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය එම පත්වීම අවලංගු කළා.

අනතුරුව 2002 වසරේ පැවති අතුරු මැතිවරණයෙන් ජයගත් ඇය මහ ඇමති ධුරයේ දිවුරුම් දුන්නා. 2006 වසරේ මැතිවරණයෙන් පරාජය වීමට ඇගේ පක්ෂයට සිදුවුණා. නැවතත් ඇය බලයට පැමිණියේ 2011 වසරේදීයි.

අනිසි ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාවට වරදකරු වුණ ඇය වසර 4ක් සඳහා සිරගත කිරීමට 2014 සැප්තැම්බර් 17 දින අධිකරණය නියෝග කළා. ඉන්දීය රුපියල් බිලියනයක දඩයක් ගෙවීමට ඇයට නියම වූ අතර මහ ඇමති ධුරයෙන්ද පහකරණු ලැබුවා.

නමුත් 2015 මැයි මාසයේ කර්ණාටක මහාධිකරණය ඇයව නිදහස් කිරීමට නියෝග කරනු ලැබුවා. ඉන්පසුව මහ ඇමති ධුරයට පත් කෙරුණු ඇය 2016 වසරේ පැවති මැතිවරණය ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

ජයලලිතා සිරෙන් නිදහස් වීමේ සතුට සමරන තමිල්නාඩු වැසියෙක්. (The Guardian)

තමිල්නාඩුවේ ‘අම්මා’

දේශපාලන මතිමතාන්තර සහ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විවධ අවස්ථාවන්වල කල  ප්‍රකාශයන් නිසා බුහුතරයක් වූ ශ්‍රී ලාංකිකයන්ට ජයලලිතා පිළිබඳ ඇත්තේ නොරිස්සුමක්. එසේ නමුත් තමිල්නාඩුවේ ජනතාව ඇයට දැඩිව ආදරය කරනවා.

එම ජනතාව ඇයව හඳුන්වන්නේ ‘අම්මා’ යන නාමයෙන්. එමෙන්ම තමිල්නාඩු මැති ඇමතිවරු වයස නොතකා ඇගේ දෙපා වැඳ ආශිර්වාද ගන්නටත් හුරුව සිටියා.

මීට වසර ගණනාවකට පෙර රූපවාහිනී නාලිකාවක් හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජයලලිතා මෙසේ පවසා සිටියා.

“ඕනාම ගැහැනියක් ආශා කරන යහපත් බිරිඳක වීම සහ අම්මා කෙනෙකු වීම යන ආශාවන් දෙකම ඉෂ්ඨ කරගැනීමේ සතුට මට හිමි වුණේ නැහැ. එහෙත් යම් දිනෙක මා මිය යනු ඇත්තේ ලක්ෂ ගණනකගේ ‘අම්මා’ ලෙසිනුයි.”

මුලාශ්‍ර: The Hindu, The New Indian Express, Times of India පුවත්පත්වල පළ වූ ලිපි.

කවරයේ පින්තුරය: Al Jazeera