Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පළිඟු බෝලයෙන් අනාගතය දුටු ජීන් ඩික්සන්

විවිධ ආකාරයට අනාගතය පිළිබඳ අනාවැකි කියන ලද පුද්ගලයන් පිළිබඳව ඉතිහාසය පුරාවට අපට හමු වෙනවා. සමහරුන්ගේ අනාවැකි වැරදී සමාජයේ ගැරහුමට ලක් වෙනකොට තවත් සමහරු සාර්ථක අනාවැකි පවසා ගරු බුහුමනට පාත්‍ර වී තිබෙනවා. රජ කාලයේ අනාවැකිකරුවන් දේවත්වයෙන් පුදා තිබෙන අතර වැරදි අනාවැකි වලට මරණය පවා හිමි වී තිබෙනවා.

ඇමෙරිකාව වැනි බටහිර රට වලිනුත් මෑත ඉතිහාසයේ පවා අනාවැකි කිවූ අය හමු වෙනවා. මේ අතර කියවෙන ජීන් ඩික්සන් නාමය සුවිශේෂී එකක්. ඒ ඇය සුරූපී ලලනාවක් වීම නිසාම නොවේ. ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් ඇතුළු ඇමෙරිකානු ජනපති වරු කිහිපයකගේම සමීපතමයෙක් වී සිටි ඇය කියූ සමහර අනාවැකි ඒ ලෙසම සාර්ථක වී තිබෙනවා. විශේෂයෙන් පාලන තන්ත්‍රය පිළිබඳ ඇය කියූ සාර්ථක අනාවැකි කිහිපයක් ඇමෙරිකානුවන් අදටත් සිහිපත් කරනවා. අනාවැකි කීම සඳහා ඇය යොදාගත්තේ සුවිශේෂී ක්‍රමයක්. එනම් පලිඟු බෝලයක් තුළින් නිරීක්ෂණය කිරීම.

කවුද මේ ජීන් ඩික්සන්?

ජීන් ඩික්සන් ඉපදුනේ 1904 වසරේ ජනවාරි 4 වෙනිදා ඇමෙරිකා එක්සත් ජනපදයේ විස්කොන්සින් ප්‍රාන්තයට අයත් මෙඩ්ෆෝඩ් හිදීයි. ඇයගේ උපන් නම ලිඩියා එමා පින්කර්ට්. උපතින්ම භක්තිමත් රෝමානු කතෝලික කාන්තාවක් වූ ඇය 1939 වසරේදී ජේම්ස් ඩික්සන් නැමැත්තෙක් හා විවාහ වෙනවා.

සාමාන්‍ය දැරියක් ලෙස උපත ලබන ජීන් හෙවත් ලිඩියාගේ ජීවිතය වෙනස් වන්නේ ඇය කුඩා කළ අනාවැකි කියන අහිකුණ්ඨික තැනත්තෙක් විසින් අත්ල පරීක්ෂා කිරීමෙන් අනතුරුව, ඇයගේ අනාවැකි කීමේ හැකියාව හඳුනාගෙන පලිඟු බෝලයක් තෑගි ලබා දීමෙනුයි.  මේ තුළින් වයස අවුරුදු 9 පමණ පටන් අනාගතයේ සිදු වන යම් යම් සිද්ධීන් පෙනෙන්නට ගත් බව ඇය විසින් පවසා තිබුනා.

ජීන් ඩික්සන් පළිඟු බෝලය සමඟ (pinterest.com)

වයස අවුරුදු 14 පමණ වන විට ඇය හොලිවුඩ් නළු නිළියන්ට පවා අනාගත වාක්‍යයන් ලබා දුන්නා. තමන් පුනරුප්පත්තිය විශ්වාස කරන බවත් තමන් පෙර භවයක ටිබෙට් දේශයේ ලාමා වරයෙක් වශයෙන් සිටි බවත් ඇය පසු කළෙක හෙළි කරනවා. තමන්ගේ හැකියාව ගැන විශ්වාසය තිබුණත්, ප්‍රසිද්ධ පුද්ගලයන්ට අතරින් පතර අනාවැකි ලබා දුන්නත් විවාහ වන තුරුම වෘත්තීය වශයෙන් ජීන් අනාවැකි කියන්නේ නැහැ. සිය සැමියාගේ ව්‍යාපාරික කටයුතු සඳහා ඇය සැපයූ අනාගත වාක්‍ය වලින් ඔහුගේ ව්‍යාපාර සාර්ථක වෙනවා. මේ නිසාම ඇය වෘත්තීමය වශයෙන් කෙමෙන් කෙමෙන් අනාවැකි කියන්නට පටන් ගන්නවා.

අනාගත වක්තෘවරියක් ලෙස

ක්‍රි.ව. 1942 ජනවාරි මස ජීන් ඩික්සන් එවකට ප්‍රසිද්ධ හොලිවුඩ් නිළි කැරොල් ලොම්බාර්ඩ් ට අමුතු උපදෙසක් ලබා දෙනවා. ඒ ඊළඟ සති සය තුළ ගුවන් යානා වල ගමන් කිරීම ඇයට අනතුරුදායක බවයි. කැරොල් විසින් එය ඉතා දැඩි ලෙස විශ්වාස නොකලත් කාසියක් උඩ දමා ඇය යන්නට සිටි  ගමනක් ගුවනින් යාම අවලංගු කොට දුම්රියෙන් යාමට තීරණය කරනවා. කරදර අනතුරු නොමැතිව අදාල කර්තව්‍යයන් කරගන්නා ඇය නැවත පැමිණීමෙදී ඉක්මන් වීමට සිදු වෙන කාරණයක් යෙදීම නිසා ගුවන් යානයෙන් පැමිණීමට අවසානයේ තීරණය කරනවා. යානය මගදී අනතුරට ලක් වන අතර ලොම්බාර්ඩ් ට ජීවිතය අහිමි වෙනවා.

කැරොල් ලොම්බාර්ඩ් (nypost.com)

ලොම්බාර්ඩ් ගේ සාර්ථක අනාවැකියත් සමඟ ජීන් ඩික්සන්ගේ නම ඇමෙරිකාව තුළ ප්‍රසිද්ධ වෙනවා. මේ අතර 1945 දී එවකට ඇමෙරිකානු ජනපති ෆ්‍රෑන්ක්ලීන් රූස්වෙල්ට් ඇය ගෙන් සිව්වෙනි වර සඳහා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමෙන් තමන් ජයග්‍රහණය කරයිද විමසූ විට ‘ඔබට තව ජීවත් වීමට ඇත්තේ කෙටි කාලයක්’ යැයි පවසනවා. කෙටි කලෙකින් ඔහු මිය යනවා. ඒත් සමඟම ඇය බ්‍රිතාන්‍යයේ වින්ස්ටන් චර්චිල් ලඟ එන මැතිවරණය පරාජය වන බවත් එහෙත් හෙතෙම නැවත බලයට එන බවත් පවසනවා. කියූ ලෙසම අනාවැකිය සාර්ථක වෙනවා. මීට අමතරව ඇය 1940 හා 50 දශක වල කළ ප්‍රසිද්ධ හා සාර්ථක පෙරැයීම් වලින් කිහිපයක් ලෙස 1947 ඉන්දු-පාකිස්තාන බෙදීමත්, කොරියානු යුද්ධය පිළිබඳ අනාවැකිත්, 1953 දී සිදු වුණු ස්ටාලින් ගේ මරණය පිළිබඳ අනාවැකියත් ගත හැකියි. ක්‍රි.ව 1953 දී ඇය සාර්ථකව රුසියාව ස්පුට්නික් යානය අභ්‍යාවකාශ ගත කිරීම පිළිබඳ අනාවැකියක් පැවසූ අතර 1961 වසරේදී ගුවන් අනතුරකින් මියගිය එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඩැග් හැමර්ෂල්ඩ් හට පවසා තිබුණේ එම ගුවන් යානයේ ගමන් නොකරන ලෙසයි.

ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් (history.com)

ජෝන් එෆ්. කෙනඩි පිළිබඳ අනාවැකිය

ජෝන් එෆ්. කෙනඩි පිළිබඳව ජීන් ඩික්සන් කළ අනාවැකිය ඇය ජීවිත කාලය තුළ කළ අනාවැකි අතරින් වඩාත්ම කතාබහට ලක් වුණු එකක්. 1956 වසරේදී ඇය 1960 මැතිවරණය ඩිමොක්‍රටික් පාක්ෂිකයා දිනන බවත් ඔහු සිය ධූර කාලය තුළ ඝාතනය වන බවත් ප්‍රකාශ කරනවා. 1960 වන විට ඇය සිය මතය වෙනස් කරමින් කෙනඩි ඡන්දය පරාජය වනු ඇති බව ප්‍රකාශ කළත් එය වරදිනවා. අළුතෙන් පත් වුණු ජනපති ගේ ආරක්ෂාව ගැන නිති පතා වධ වුණු ඇය 1963 නොවැම්බර් 22 වන දා උදෑසනම සිය මිතුරු මිතුරියන්ට ප්‍රකාශ කර තිබුණේ ‘එය අද සිදුවනු ඇති’ බවයි. එදිනම ජෝන් එෆ් කෙනඩි ඝාතනය වෙනවා.

වර්ෂ 1963 නොවැම්බර් 22 දින, ඇමෙරිකානු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි හා ජනාධිපති ආර්යා ජැක ලීන් කෙනඩි ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලස්හි සංචාරයක නිරත වෙමින්. මේ ඡායාරුපය ගෙන මොහොතකට පසු ජනාධිපති කෙනඩි ඝාතනය විය. (Bettmann/Corbis / AP Images)

කෙනඩිලා ගැන අනාවැකි කීම මෙතැනින් නොනැවතූ ජීන් ඩික්සන් 1965 වසරේදී ජනපතිවරණයට අනාගතයේදී ඉදිරිපත් වීමට සිටී රොබට් කෙනඩි ගැන පුදුමාකාර අනාවැකියක් පවසනවා. කිසියම් උත්සවයකට ලොස් ඇන්ජලීස් හි ඇම්බැසිඩර් හෝටලයට ගොස් සිටි ඇයගෙන් කිසිවෙක් රොබට් කෙනඩි අනාගතයේදී ජනපති වේදැයි විමසනවා. ඇය ඊට පිළිතුරු දෙමින් කිසි දිනෙක ඔහු ජනපති නොවනු ඇති බවත්, මේ හෝටලයේදීම ඉත දුක්බර සිදුවීමක් වීම නිසා එසේ සිදු වන බවත් පවසනවා. 1968 වසරේදී රොබට් කෙනඩි සාහසික වෙඩි පහරකට ලක් වී ඝාතනය වන්නේ එම හෝටලයේදීමයි.

රොබට් කෙනඩි ඝාතනය (serialkillersschoolshooters.tumblr.com)

වැරදුණු අනාවැකි

ජීන් ඩික්සන්ගේ අනාවැකි ඉතාම නිවැරදි ලෙස සාමාන්‍යයෙන් සැලකුණත් ඇයගේ සැලකිය යුතු අනාවැකි ප්‍රමාණයක් වැරදී තිබෙනවා. 1962 වසරේ ඇය ප්‍රකාශ කළ ලෝකයට සාමය ගෙන එන පුද්ගලයෙක්ගේ අනාවැකිය තවමත් විවාදිත මට්ටමේ තිබෙන එකක්.

ජීන් ඩික්සන්ට වැරදුණු අනාවැකි අතර රුසියානුවන් ඇමෙරිකානුවන්ට කලින් සඳට යෑම, 1958 දී තෙවන ලෝක යුද්ධයක් ඇති වීම, 1967 දී පිළිකාවට ඖෂධයක් සොයා ගැනීම, රිචඩ් නික්සන් ජනපති තුමා හොඳින් රට පාලනය කිරීම, රෝමය නැවත ලෝකයේ ප්‍රධාන පාලන මූලස්ථානය වීම, 2000 වසර වන විට ලෝකයේ සාමය ස්ථාපිත වී තිබීම ප්‍රමුඛ තැනක් ගන්නවා.

රිචඩ් නික්සන් හොඳින් රට පලනය කරන බව ඩික්සන් පැවසුවත් ඔහුට ඉල්ලා අස් වෙන්නට සිදු වුණා (youtube.com)

ජනපති ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් ගේ සිට රොනල්ඩ් රේගන් දක්වාම අතරින් පතර ජීන් ඩික්සන් ධවල මන්දිරයේ අනාවැකිකාරිණියක් ලෙස ක්‍රියා කර තිබෙනවා.

ජීවිතයේ සැඳෑ සමය

ක්‍රිස්තු වර්ෂ 1997 ජනවාරි 25 වන දින හෘදයාබාධයක් හේතුවෙන් ජීන් ඩික්සන් මිය යනවා. එවිට ඇය වයස අවුරුදු 93 ක වයෝවෘද්ධ තැනැත්තියක්. අද වන විට ඇයගේ ලිය කියවිලි, බඩු භාණ්ඩ වර්ජිනියා ප්‍රාන්තයේ ස්ටාර්ස්බර්ග් හි පිහිටුවා ඇති ජීන් ඩික්සන් කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙනවා.

මූලාශ්‍ර

newworldencyclopedia.org

කවරයේ පින්තූරය – legacy.com 

Related Articles