රූපවාහිනී යන්ත්‍රය නිවසට ගෙන ආ ජෝන් ලොගී බෙයාර්ඩ්

රූපවාහිනිය වර්තමානය වන විට ඕනෑම නිවසක දකින්නට හැකි සාමාන්‍ය භාණ්ඩයක් වී අවසාන යි. වර්තමානය වන විට ලොව පුරා මිලියන ගණනින් භාවිතා වූවත් රූපවාහිනිය උරුමකම් කියන්නේ වසර සියයකටත් වඩා අඩු ඉතිහාසයකට යි. විසිවන සියවස ආරම්භය වන විට ‘රූප පෙට්ටියක්’ ඔස්සේ නාලිකාවක් ග්‍රහණය කොට ගෙන නිවසේ සිට නැරඹීම හුදු සිහිනයක්ව තිබුණා. ලෝකයා වෙනුවෙන් මහත් අභියෝග රාශියක් මැද්දේ එම සිහිනය සබෑ කිරීමට පළමු සාර්ථක වෙඩිමුරය එල්ල කරනු ලැබුවේ බ්‍රිතාත්‍ය ජාතික විද්‍යාඥයෙකු වන ජෝන් ලොගී බෙයාර්ඩ් විසිනුයි. පාඨක ඔබගේ දැනුම පොහොසත් කරනු වස් අපි ඔහුගේ ජීවිත කතාව ඔබ වෙත ගෙන එන්නට තීරණය කළා.

ජෝන් ලොගී බෙයාර්ඩ් ගේ  කුඩා කාලය

මහා බ්‍රිතාන්‍ය කිරීටයට අයත් ස්කොට්ලන්තයේ, ඩන්බාර්ටන් ප්‍රදේශයේ හෙලන්ස්බර්ග් හි ජීවත් වූ ජෝන් හා ජෙසී බෙයාර්ඩ් යුවලට 1888 වසරේ අගෝස්තු මස 13 වනදා පුත්‍ර සම්පතක් ලැබුණා. මේ එම යුවලට ලැබුණු සිව්වැනි දරුවා වූ අතර ඔහුට ජෝන් ලොගී බෙයාර්ඩ් ලෙස නම් තැබුණා.

ජෝන් ලොගී බෙයාර්ඩ් තුරුණු වියේදී -publicevents.ru

කණිෂ්ඨ ජෝන් කුඩා කල සිටම පවුලේ අනෙක් උදවියට වඩා වෙනස් ගති ලක්ෂණ පෙන්වූ දරුවෙක් වූ අතර ඉලෙක්ට්‍රොනික විද්‍යාවට හා නව නිපැයුම් සිදු කිරීම කෙරෙහි මහත් වූ ඇල්මක් හා නිපුණත්වයක් පෙන්වූවා. සිය මූලික අධ්‍යාපනය මැනවින් නිම කළ බෙයාර්ඩ් විද්‍යුත් ඉංජිනේරු විද්‍යාව හැදෑරීම සඳහා ග්ලාස්ගෝ හි රාජකීය තාක්ෂණික විද්‍යාලයට ඇතුළත් වුණා. නමුත් ඔහුගේ උසස් අධ්‍යාපනයට බාධා පැමිණුනේ පළමුවන ලෝක යුද්ධය ඇවිළී යාමත් සමඟයි. ඔහුගේ සඟයින් බොහෝදෙනාට අනිවාර්යය යුධ සේවයේ යෙදීමට සිදුවෙද්දී බෙයාර්ඩ් ඉන් ගැලවුණේ ඔහු යුධ සෙබලෙකු වීමට තරම් සුදුසු සෞඛ්‍ය තත්ත්වයක නොසිටින බවට අදාල බලධාරීන් විසින් තීරණය කරන නිසාවෙනුයි. සිය ද්විතියික අධ්‍යාපනය හමාර කිරීමෙන් පසු බෙයාර්ඩ් එංගලන්තයේ හා බටහිර ඉන්දීය කොදෙව් වලට අයත් ට්‍රිනිඩෑඩ් හා ටොබේගෝහි සේවය කරනවා. එංගලන්තයේ දී සේවා සපයන සමගමකට අනුබද්ධව සේවය කළ ඔහු පසුකාලීනව නිෂ්පාදන ව්‍යාපාරයක් ආරම්භ කළ අතර, ට්‍රිනිඩෑඩ් හා ටොබේගෝහි දී කෙටිකාලීනව ජෑම් නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක් පවත්වාගෙන යනවා.

නව නිර්මාණකරුවෙකු ලෙස

බෙයාර්ඩ් සිය ටෙලිවයිසරය සමඟ -Hulton Archive/Getty Images

ජෝන් ලොගී බෙයාර්ඩ් 1920 වසරේ දී නැවත මහා බ්‍රිතාන්‍යය බලා පැමිණෙනවා. සිය කුඩා කළ සිහිනයන් හා ආශාවන්ට පණ දෙන්නට ඉටාගත් ඔහු රූපය හා ශබ්දය යන දෙකම යම් දුරකට සම්ප්‍රේෂණය කිරීමේ උත්සාහයක නිරත වෙනවා. මේ වන විට ගුග්ලිඑල්මෝ මාකෝනි සාර්ථකව හඬ සම්ප්‍රේෂණය කර තිබුණා. කෙසේ නමුත් ඔහු බලාපොරොත්තු වූ තරම් අනුග්‍රහයක් කිසිවෙකුගෙන් ලැබෙන්නේ නැහැ. උත්සාහය අත නොහැරි ඔහු සිය ආර්ථික මට්ටමට අනුව උපයෝගී කරගත හැකි සියළු දේ යොදාගනිමින් සිය පර්යේෂණ කටයුතු දිගටම කරගෙන යනවා.

රූකඩ හිසක් යොදාගෙන පර්යේෂණ කරන බෙයාර්ඩ් – Rex Features/telegraph.co.uk

අපහසුතා මධ්‍යයේ පර්යේෂණ කටයුතු සිදු කළත් බෙයාර්ඩ් කෙමෙන් කෙමෙන් සාර්ථක වනවා. ක්‍රි.ව 1924 දී කාඩ්බෝඩ් කැබැල්ලක්, පාපැදි වලට යොදා ගන්නා විදුලි පහනක්, ගම්, රැහැනක් හා ඉටි අමුද්‍රව්‍ය වශයෙන් උපයෝගී කරගෙන චලනය වන නොපැහැදිලි රුවක් අඩි කිහිපයක් දුරට සම්ප්‍රේෂණය කරන්නට ඔහු සමත් වෙනවා. මේ ඔස්සේ බෙයාර්ඩ් සිය පර්යේෂණ දිගටම සිදු කළ අතර ඉන් වසරකට පසු හෙවත් 1925 වසරේ දී රූකඩයක පැහැදිළි දසුනක් යම් දුරකට සම්ප්‍රේෂණය කරගැනීමට ඔහුට හැකි වෙනවා. එහි පැහැදිළි බව දැක බෙයාර්ඩ් පවා පුදුමයට පත් වෙනවා.

බෙයාර්ඩ්ගේ ටෙලිවයිසරය – earlytelevision.org

නොසිතූ තරම් ඉක්මනින් සිය පර්යේෂණ වල මූලික අදියර සාර්ථක කරගැනීමෙන් පසු බෙයාර්ඩ් සිය සොයාගැනීම ලන්ඩනයේ වෙළඳසැලක මහජන ප්‍රදර්ශනය සඳහා තබනවා. ඊට හොඳ ප්‍රතිචාර ලැබෙන අතර 1926 වසරේ දී බෙයාර්ඩ් සිය නව නිපැයුම වූ ‘ටෙලිවයිසරය‘ බ්‍රිතාන්‍යයේ රාජකීය ආයතනයේදී ලෝ පතල විද්‍යාඥයින් 50 දෙනෙක් අභිමුඛයේ ගෙනහැර පානවා. කෙසේ නමුත් මේ වන විටත් එමඟින් සම්ප්‍රේෂණය කළ බොහෝ චලන රූප අපහැදිලි හා දුර්වල ඒවා වුණා. සිතූ තරම් පහසුවෙන් ටෙලිවයිසරයේ ඉදිරි මංපෙත් එළි කරගැනීමට බෙයාර්ඩ්ට හැකියාව නොලැබුනත් මෙලෙස චලන රූප සම්ප්‍රේෂණය කිරීමට ‘ක්‍රමවේදයක්’ සොයාගැනීම ඉතා වැදගත් සොයාගැනීමක් බව විද්‍යාඥයින් බොහෝ දෙනා ප්‍රකාශ කර සිටියා.

ටෙලිවයිසරයේ ක්‍රියාකාරීත්වය ගෙනහැරපාන බෙයාර්ඩ් (1926) -Bettmann/Getty Images

බෙයාර්ඩ්ගේ මූලික සාර්ථකත්වයත් සමඟ අනුග්‍රාහකයින් ඔහු වෙත ඇදී ආ අතර ඔවුන්ගේ අනුග්‍රහය උපයෝගී කොට ගෙන 1927 වසරේ දී ලන්ඩනයේ සිට සැතපුම් 400ක් දුරින් පිහිටි ග්ලාස්ගෝ වෙත දුරකථන රැහැනක් ඔස්සේ සාර්ථකව රුව හා හඬ සම්ප්‍රේෂණය කිරීමට ඔහුට හැකි වෙනවා. ඉන් නොනැවතුණු ඔහු 1928 වසරේ දී අත්ලාන්තික් සාගරය හරහා සාර්ථකව ඇමෙරිකා එක්සත් ජනපදයට එංගලන්තයේ සිට රූපවාහිනී සම්ප්‍රේෂණයක් සිදු කරනවා. ක්‍රි.ව 1929 වන විට බී.බී.සී සමාගම සිය මුල්ම රූපවාහිනී සම්ප්‍රේෂණ අත්හදාබැලීම සඳහා බෙයාර්ඩ්ගේ තාක්ෂණය උපයෝගී කරගනවා.

බෙයාර්ඩ් විසින් නිපදවූ මුල්ම රූපවාහිනී යන්ත්‍රයේ යාන්ත්‍රික කොටස් -YouTube

වර්තමානය වන විට රූපවාහිනියේ අඩිතාලම සැපයූ පුද්ගලයා ලෙස සැලකුණත් ජෝන් ලොගී බෙයාර්ඩ් භාවිතා කළ තාක්ෂණය අනුව රූපවාහිනී සම්ප්‍රේෂණ සිදු කිරීමේදී සීමාවන් රැසකට මුහුණ දෙන්නට එසේ උත්සාහ කළ අයට සිදු වුණා. මේ නිසා ඔහුගෙන් ලබාගත් මූල බීජය තව තවත් වැඩි දියුණු කරන්නට පර්යේෂණ රාශියක් සිදු කළ යුතු වුණා. බෙයාර්ඩ් යාන්ත්‍රිකව සිදු කළ රූපවාහිනී දසුන් හා හඬ සම්ප්‍රේෂණය ඉලෙක්ට්‍රොනික තාක්ෂණය යොදාගෙන සිදුකළ හැකි බව ඉක්මණින්ම සොයා ගැණුනා. එය වඩා කාර්යයක්ෂ්ම හා සාර්ථක වුනා. බෙයාර්ඩ්ගේ ක්‍රමවේදය ඉක්මණින්ම යල්පැණ ගිය එකක් බවට පත් වූ අතර 1930 දශකයේ කරළියට පැමිණි මාකෝනි එමි (405 – Line) ඉලෙක්ට්‍රොනික රූපවාහිනී ක්‍රමවේදය ලොව ප්‍රචලිත වුණා. ක්‍රි.ව 1937 දී බී.බී.සී ආයතනය බෙයාර්ඩ්ගේ රූපවාහිනී සම්ප්‍රේෂණ ක්‍රමවේදය භාවිතයෙන් අත්හැර සම්පූර්ණයෙන් මාකෝනි එමි ක්‍රමවේදය භාවිතා කරන්නට ගත්තා.

මුල්ම යුගයේ රූපවාහිනී යන්ත්‍රයක්-wikiwand.com

ජීවිතයේ සැඳෑ සමය

ක්‍රි.ව 1931 දී ජෝන් ලොගී බෙයාර්ඩ් මාග්‍රට් අල්බු නම් කාන්තාවක් හා විවාහ වෙනවා. මේ වන විට ඔහු 43 වියැති වුණා. මේ යුවලට ඩයනා නම් දියණියක් හා මැල්කම් නම් පුත්‍රයෙකු ලැබෙනවා. සිය ජීවිතයේ සම්පූර්ණ පසුකාලීන සමයම බෙයාර්ඩ් ගත කරන්නේ රූපවාහිනියේ දියුණුව සඳහා වූ ඉදිරි පර්යේෂ්ණ කටයුතු සිදු කරමින්. වර්ණ රූපවාහිනී හා ත්‍රිමාණ රූපවාහිනී පිළිබඳවද ඔහු පර්යේෂණ සිදුකළා. කෙසේ නමුත් ඒ කිසිවක් සාර්ථක කරගන්නට දෛවය ඔහුට ඉඩ සලසන්නේ නැහැ. ක්‍රි.ව 1946 ජුනි මස 14 වනදා හදිසියේ වැළඳුණු හෘදයාබාධයක් හේතුවෙන් මේ අසහාය විද්‍යාඥයා මෙලොව හැර යනවා. ඒ වන විට ඔහු සිය දිවියේ 58 වන සැතපුම් කණුව පෙණෙන මානයේ සිටියා.

කවරයේ පින්තූරය – bbc.co.uk

Related Articles