‘වසංගතවේදය’ ඇරඹුනේ මෙහෙමයි

මේ දවස්වල කතාබහට ලක්වෙන කොරෝනාවෛරසයේ පැතිර යාමත් එක්ක වසංගතවේදය කියන වචනය ඔබට ඉඳහිට හෝ අහන්නට ලැබෙන්න ඇති. වසංගතවේදය යනුවෙන් හඳුන්වන්නේ යම් නිශ්චිත ජනගහණයක (ගමක්, පාසලක්, රටක්) රෝග හෝ සෞඛ්‍යමය තත්ත්වයන්වල පැතිරීම, පැතිරීමක් ඇතිකළ හැකි සාධක, කරුණු ආදිය සලකා බලන විද්‍යාත්මක අධ්‍යයනය යි. වර්තමානයේ දියුණුව පවතින වසංගතවේදයට මූලික වෙන්නෙ එක්තරා වෛද්‍යවරයෙකුගේ නිරීක්ෂණ සහ නිගමන ක්‍රියාවලියක්. ඔහු නමින් ජෝන් ස්නෝව්. ඒ මිට සියවස් දෙකකට ආසන්න කාලයකට කලින්. මේ වසංගතවේදයේ උත්පත්ති කතාව යි.

කවුද මේ ජෝන් ස්නෝව්?

ජෝන් ස්නෝව් උපත ලබන්නෙ 1813 මාර්තු 15 උතුරුදිග එන්ගලන්තයේ යෝර්ක් ප්‍රදේශයේ. ඒ නව දෙනෙක්ගෙන් යුතු පවුලක පළමුවැන්නා විදියට. කුඩා කාලයේ සිටම ගණිතයට සහ විද්‍යාවට දක්ෂකම් පාන ස්නෝව් වයස අවුරුදු 14 වෙද්දි (1827 දී) ආධුනික වෛද්‍යවරයෙකු ලෙස ජ්‍යේෂ්ඨ වෛද්‍යවරයෙකු යටතේ පුහුණුවීම් අරඹනවා.

John Snow in 1856, image adapted from Wikipedia Courtesy of Renato Sabbatini CC BY-SA 4.0
ජෝන් ස්නෝව්/ Wikimedia

කොලෙරා රෝගය

වර්තමානයේ අපට ටිකක් නුහුරු රෝගයක් වුණත්, කොලෙරා රෝගය මීට කාලයකට කලින් බොහෝ දෙනෙකුට වැළඳුනු මාරාන්තික රෝගයක්. ඒත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුවත් (මේ වෙද්දි රෝගයට නිශ්චිත ප්‍රතිකාර සොයාගෙන තියෙනවා), සනීපාරක්ශක ක්‍රමවල වැඩිදියුණු වීමත් එක්ක දැන් මේ රෝගය දකින්න ලැබෙන්නෙ අඩුවෙන්.

කොලෙරා රෝගය ඇතිවෙන්නෙ Vibrio cholerae කියන බැක්ටීරියාව නිසා. අධික පාචනය තමයි මූලික රෝග ලක්ෂණය. අධික පාචනය නිසා ශරීරයේ ජලය ඉවත් වෙනවා. ඒ විදියට ඉවත් වෙන ජලය නැවත ශරීරයට නොලැබුණොත් (ආහාරපාන හෝ කෙලින්ම රුධිර වාහිනීවලට ලබාදෙන ද්‍රාවණ විදියට) බොහෝ රෝගීන් අධික විජලනයට (ශරීරයේ ජල පරිමාව අඩු වීම) පත්වෙනවා. කොලෙරා රෝගය නිසා සිදුවන මරණ බොහෝමයකට හේතු වෙන්නෙ අධික විජලනය යි.

කොලරාව ගැන වැඩි තොරතුරු මේ ලිපියෙන්: 19 වැනි සියවසේ දී කොළරාවෙන් ලෝකය බැට කෑ හැටි

ජෝන් ස්නෝව් සහ කොලරා රෝගයේ සම්බන්ධය

දහනමවන සියවසේ මුල් කාලයේ දී ඇමරිකාවේ සහ යුරෝපා රටවල කොලරා රෝග ව්‍යාප්තිය දහස් ගණනකට මරු කැඳවන්න සමත් වුණා. ලන්ඩනයේ පළමු කොලරා රෝග ව්‍යාප්තිය වාර්තා වෙන්නේ 1831 දී යි. ඒ වෙනකොට ජෝන් ස්නෝව් ආධුනික වෛද්‍යවරයෙකු විදියට කටයුතු කරමින් හිටියා. 1848 දී නැවතත් කොලරා රෝග ව්‍යාප්තියක් ලන්ඩන් නගරයේ වාර්තා වෙනවා. මේ රෝග ව්‍යාප්තිය අවුරුද්දක් වගේ දීර්ඝ කාලයක් පවතිනවා. මේ වෙනකොට ස්නෝව් රෝගී සත්කාරයේ යෙදෙන වෛද්‍යවරයෙක්.

මේ කාලයේ බොහෝ වෛද්‍යවරුන් විශ්වාස කළේ කොළරා රෝගය අපිරිසිදු වාතය නිසා, එහෙමත් නැත්නම්  එකිනෙකාට ස්පර්ශය මඟින් බෝ වෙනවා කියලා යි. මතක තියාගන්න, මේ කාලය වෙද්දිත් රෝග ඇති වන්නේ විෂබීජවලින් බව ලෝකය දැනගෙන හිටියේ නෑ (රොබට් කොක් කියන විද්‍යාඥයා විෂබීජවලින් රෝග හැදෙනවා කියන නිගමන ඉදිරිපත් කරන්නේ 1884 දී).

නමුත් කොලරා රෝගීන්ගේ මූලික රෝග ලක්ෂණ වෙන්නේ ආහාර මාර්ගය හා සම්බන්ධ රෝග ලක්ෂණ බව ජෝන් ස්නෝව් දිගින් දිගටම නිරීක්ෂණය කළා. මේ නිසාම කොලරා රෝගය අපිරිසිදු වාතයට වඩා අපිරිසිදු ජලය හෝ ආහාර මඟින් බෝ වෙන්න පුළුවන් බව ස්නෝව් අනුමාන කළා. 1948-49 කොලරා වසංගතය සමයේ මේ අනුමානයන් ඉදිරිපත් කළත් බොහෝ දෙනෙක් ඊට එකඟ වුණේ නැහැ.

1800 දශකයේ මැද භාගය වෙද්දි ලන්ඩන් නගරය ව්‍යාපාර සහ නිවාසවලින් ජනාකීර්ණ වෙන්න පටන් අරගෙන තිබුණා. විධිමත් ජල සැපයුමක් වගේම විධිමත් මළ අපවහන පද්ධතියක් මේ වෙනකොටත් ලන්ඩන් නගරය සතුව තිබුණේ නැහැ. බොහෝ දෙනා තමන්ගේ ජල පහසුව සපයා ගන්න නගරයේ ස්ථාපිත කර තිබුණු වතුර පොම්ප හෝ පොදු ළිං පාවිච්චි කළා. ඔවුන් අපද්‍රව්‍ය බැහැර කිරීම සිදුකළේ තේම්ස් ගඟට හෝ ‘සෙස්පූල්’ කියල හඳුන්වපු විවෘත වලවල්වලට. 

ලන්ඩනයට ජලය බෙදාහරින වතුර පොම්ප අයත් වුණේ සමාගම් දෙකකට. ඔවුන් තේම්ස් ගඟෙන් නගර මධ්‍යයට ජලය පොම්ප කරලා මුදලට නගර වැසියන්ට සැපයුවා. සරලවම කියනවා නම්, ලන්ඩන් නගරය මේ විදියට කොලරා රෝගයට අත වනමින් හිටියා. 1854 කොලරා වසංගතය ලන්ඩන් නගරයට එන්නේ මෙන්න මේ වගේ තත්ත්වයක් යටතේ.

වසංගත කාලය පුරාවට දිවා රෑ දින ගණනක් ගෙන් ගෙට යමින්, රෝහල් වාර්තා පරීක්ෂාකර බලමින් ජෝන් ස්නෝව් රෝගීන්ගේ සිතියමක් නිර්මාණය කළා. ඔහුට පෙන්නන්න හැකි වුණා කොලරා රෝගීන් විශාල සංඛ්‍යාවක් එක් වතුර පොම්පයක් අවට ජීවත්වන බව. මේ වතුර පොම්පය තිබුණේ බ්‍රෝඩ් වීදියේ නිසා ස්නෝව් ඒ වතුර පොම්පය ‘බ්‍රෝඩ් වීදියේ පොම්පය’ නමින් හැඳින්වූවා. ඒ වතුර පොම්පය අවට දින 10ක් ඇතුළත කොලරා මරණ පන්සියයකට අධික සංඛ්‍යාවක් ඔහු හඳුනාගෙන තිබුණා. මීට අමතරව ඉතිරි කොලෙරා රෝගීන් හැමදෙනාම වගේ කලින් කියපු වතුර පොම්පය එක්ක සම්බන්ධකමක් පවතින බව ඔහුට පෙන්නන්න පුළුවන් වුණා. මේ නිසා ඔහු නිගමනය කළා කොළරා රෝගය ව්‍යාප්ත වෙන්නේ මේ වතුර පොම්පය හරහා බව.

Original map by John Snow showing the clusters of cholera cases in the Broad Street outbreak, drawn and lithographed by Charles Cheffins
ස්නෝව් නිර්මාණය කළ රෝගීන්ගේ සිතියම.
කළු පැහැති කොටුවලින් පෙන්නන්නේ රෝගීන්. කළු පැහැති කොටු බ්‍රෝඩ් වීදිය අවට ගොනුවී ඇති ආකාරය පැහැදිලිව දැකගන්න පුළුවන්.

ස්නෝව් ඔහුගේ සොයාගැනීම් ලන්ඩන් නගරයේ වගකිවයුතු නිලධාරීන් වෙත ඉදිරිපත් කළා. ජෝන් ස්නෝගේ මතය පිළිගන්න අදිමදි කළත්, වසංගතයේ තීව්‍රතාවය නිසාම බලධාරීන් ස්නෝව් සඳහන් කළ බ්‍රෝඩ් වීදියේ වතුර පොම්පයේ අත්දණ්ඩ ඉවත් කරන්න තීරණය කළා. ඉන්පස්සෙ එම ප්‍රදේශයේ කොලරා වසංගතය සීඝ්‍රයෙන් අඩු වෙන්න පටන් ගත්තා. ඒ වුණත් නගරයේ බලධාරීන් පිළිගන්න කැමැති වුණේ නැහැ ජල සැපයුමට කොලරා රෝගකාරක විසබීජ ඇතුල්වෙලා තියෙනවා කියන මතය. වසංගතය ඉවරවෙලා නගරයේ කටයුතු යථා තත්ත්වයට පත් වෙද්දී නැවතත් කොලරා වසංගතය මතු වෙන්න පටන් ගත්තා

ජෝන් ස්නෝව්ට තමන්ගේ මතය තහවුරු කර ගන්න වෙහෙස වෙන්න සිද්ධ වුණා. කාලයක් ගතවෙලා සොයාගන්න පුළුවන් වුණා අදාල වතුර පොම්පය අසලම තිබුණු සෙස්පූල් එකකට කොළරා රෝගය ආසාදනය වුණු දරුවෙකුගේ ඇදුම් සෝදපු වතුර බැහැර කළ බව. සෙස්පූල් එකේ බිත්තිය හරහා වතුර පොම්පයේ ජල මූලාශ්‍රයට අපද්‍රව්‍ය කාන්දු වී ඇති බවත් සොයාගන්න ලැබුණා.

අවසානයේ දී ජෝන් ස්නෝව්ගේ මතය තහවුරු වුණා.

ඊට අවුරුදු තිහකට විතර පස්සෙ රොබට් කොක් කොලරා ‍රෝගය ඇති කරන විෂබීජය හඳුනාගත්තා.

ජෝන් ස්නෝව්ගේ පරීක්ෂණය වසංගතවේදයේ මූලධර්ම මුලින්ම භාවිතාවන අවස්ථාව විදියට ඉතිහාසගත වෙනවා. ඒ වගේම ජෝන් ස්නෝව් නූතන වසංගතවේදයේ පියා විදිහට විරුදාවලිය ලබනවා.

සියලුදෙනාගේ නොසැලකීම්, අපහාසකිරීම් මැද තමන්ගෙ දැනුමත් විද්‍යාත්මක චින්තනයත් විශ්වාස කළ මිනිසෙකුට ඉතිහාසය සාධාරණය ඉෂ්ට කරලා තියෙනවා.

The John Snow memorial and public house, on Broadwick Street (formerly Broad Street), Soho, image sourced from Wikipedia Courtesy of Renato Sabbatini CC BY-SA 2.0
එංගලන්තය ජෝන් ස්නෝව්ට ගෞරවයක් විදියට බ්‍රෝඩ් වීදියේ (දැන් බ්‍රෝඩ්වික් වීදිය) වතුර පොම්පය සංරක්ෂණය කරලා තවමත් ඉතිරි කර තබාගෙන ඉන්නවා.

Related Articles