Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කවටකමක් නොවූ කවටයා – ජෝන් වේන් ගේසි

1972 වසරේ ජනවාරි මස පළමුවන දා මිෂිගන් වෙත යමින් සිටි තිමති මැකෝයි නම් තරුණයාට චිකාගෝවේ නවාතැන් ගැනීමට අවශ්‍ය වී තිබුණා. චිකාගෝ වැසියෙකු වන ජෝන් වේන් ගේසි ඔහුට නවාතැන් දීමට කාරුණික වී තිබුණේ අවට පැවති ශීතල කාලගුණය සලකා යි. නිරුපද්‍රිතව එහි රැය පහන් කළ තිමති පසු දා අවදි වූයේ උදෑසන ආහාරය පිළියෙල කරගෙන, එය අනුභව කොට ඉක්මණින් පිටත්වීමේ අභිප්‍රායෙන්. තමන්ට නවාතැන් දුන් ගේසිට ද උදෑසන භෝජනය පිළියෙල කළ ඔහු ඉහළ මාලයට නගින්නට පටන්ගත්තේ ගේසි අවදි කිරීමේ අටියෙනුයි. නමුත් ඔහුගේ පා හඬින් එක්වරම අවදි වූ ගේසි පහළ මාලයට පැමිණෙනවා. ඔහු දකින්නේ පිහියක් අතේ තබාගෙන සිටින තිමතිව යි. ඔහු තමන්ට හානියක් කරන්නට සැරසේයැ යි බිය වූ ගේසි තිමතිට පහර දී, මරා දමා අවසන ගෙවත්තේ වළලා දමනවා. අනතුරුව එම ස්ථානය කොන්ක්‍රීට් දමා ආවරණය කරන්නට ඔහු ක්‍රියා කරනවා.

ඇමෙරිකා එක්සත් ජනපදයෙන් බිහි වූ තවත් දාම ඝාතකයෙකුගේ ආරම්භය සනිටුහන් වූයේ එලෙසිනුයි. මේ ඝාතනයෙන් යම් ආශ්වාදයක් ලබාගන්නා ගේසි ඉන් පසුව උදා වූ වසර 6 තුළ මෙලෙසින්ම තරුණයින් 28 දෙනෙකු ඝාතනය කර වළලා දැමුවා.

ජෝන් වේන් ගේසි- serialkillershop.com

ප්‍රසන්න අයෙක්

ජෝන් වේන් ගේසි හඳුනාගෙන සිටි සියළුදෙනාම පාහේ පැවසුවේ ඔහු ප්‍රසන්න පෙනුමැති, මෘදු හදවතක් සහිත අයෙකු බව යි. ඔහුගේ ජීවිතයේ වැඩි කාලයක් ඔහු ගතකොට තිබුණේ කේ.එෆ්.සී වෙළඳ ජාලයේ පාරිහෝගික සේවයට අනුයුක්තව යි. අනතුරුව ඔහු තමන්ගේම කියා ඉදිකිරීම් ව්‍යාපාරයක් අරඹා තිබුණා.

සිය පාරිභෝගිකයින්ට ඉතා සුහදශීලී ලෙස සැලකූ ඔහු ප්‍රදේශයේ රැකියා විරහිත තරුණයින් සිය ව්‍යාපාරයේ සේවයට බඳවාගෙන ඔවුන්ට යහපත් ආර්ථික තත්ත්වයක් සලස්වා දී තිබුණා. මීට අමතරව ඔහු සති අන්තයේ පැවති කුඩා දරුවන්ගේ උපන්දින සාදවලට ද කවටයෙකු ලෙස සහභාගී වූයේ ප්‍රදේශයේ බොහෝ දෙනාගේ සිත දිනාගනිමිනුයි.

අයහපත් කුඩා කාලය

පිටතින් ප්‍රසන්න අයෙකු ලෙස පෙනුණ ද ජෝන් වේන් ගේසි ඇතුලාන්තයෙන් ඊට වඩා වෙනස් අයෙකු වුණා. ඔහුගේ පියා ඉතා සැරපරුෂ අයෙකු වූ අතර කුඩා කල සුළු වරදටත් ඉණ පටියක් ආධාරයෙන් ඔහුට පහර දී තිබුණා. යමක් කමක් තනිවම කරගත හැකි වයසකට පැමිණි විටම ගේසි සිය පියාගෙන් මිදී ලාස් වේගස් නුවරට සංක්‍රමණය වුව ද ඒ වන විටත් මානසිකව ඔහුට දැඩි ලෙස හානි වී තිබුණා.

කුඩාකල- biography.com

ලාස් වේගස්හි මල්ශාලාවක සහායකයෙකු ලෙස රැකියාවක් සොයාගන්නට ඔහුට හැකි වුණා. මෙහිදී ඔහුට නිදාගැනීමට ලැබුණේ මෘතශරීර සකසන කාමරයට යාබදව යි.

ජෝන් ගේසි සමරිසි සේවනයට යම් අනුකූලතාවක් දැක්වූ අයෙකු වුණා. එක් දිනෙක ගැටවරයෙකුගේ මළසිරුරක් සැකසීම සඳහා මල්ශාලාවට ගෙනැවිත් තිබුණා. ඔහුට ඒ සඳහා ආශාවක් ඇති වූ අතර රාත්‍රියේ නිදාගත්තේ ඒත් සමග යි.

විවාහය හා ඉදිරි ජීවිතය

නව යොවුන් වියෙහි පසුවූ තරුණයෙකු වූ ගේසි තමන් ලැබූ ‘අමුතු’ අත්දැකීමෙන් එක් ආකාරයකින් සතුටු වූ අතර තවත් ආකාරයකින් කම්පනයට පත්වූවා. නිතර නිතර එය සිතෙහි හොල්මන් කරන්නට පටන්ගත් නිසා ඉන් ඉවත් වී නැවත නිවෙස් බලා ගොස් ව්‍යාපාර අධ්‍යයනය ඔස්සේ වැඩිදුර අධ්‍යාපනය හැදෑරුවා.

අධ්‍යාපනය හමාර කළ පසු ගේසිට මැරලින් මයර්ස් නම් යුවතියක් මුණගැසෙනවා. ඔවුන් විවාහ වන අතර මැරලින්ගේ පියා ඔස්සේ කේ.එෆ්.සී වෙළඳ ජාලයටත් සම්බන්ධ වෙනවා. මේ යුවලට දරු දෙදෙනෙක් ද ලැබෙන අතර ඒ සමගාමීව ආර්ථික අතින් ද ඔවුන්ගේ තත්ත්වය යහපත් බවට පත් වුණා.

පළමු විවාහයේ බිරිඳ හා දරු දෙදෙනා සමග- wattpad.com

හොල්මන් කෙරූ අතීතය

ගේසි තමන් හට තරුණයින් කෙරෙහි වූ රිසි භාවය යටපත් කර ගැනීමේ මහත් වූ උවමනාවක් තිබුණා. කෙසේ නමුත් එය සම්පූර්ණයෙන්ම යටපත් කරගන්නට ඔහුට හැකි වූයේ නැහැ. යහපත් විවාහ දිවියක් ගත කළ ද කාටත් හොරෙන් ඔහු තරුණයින් කණ්ඩායමක් හා සම්බන්ධ වුණා. සමරිසි සේවනයට අමතරව ගණිකා ඇසුර, මධුවිත, හා අනෙකුත් මත්ද්‍රව්‍ය භාවිතයත් ඔවුන් සමග සිදුකළ ගේසි, ඔහු යටතේ සිටි සේවකයින්ට සිය බිම්මහලේ ‘නිදහසේ ක්‍රීඩා කරන්නට හා හැසිරෙන්නට’ සුදුසු අවකාශ ලබා දුන්නා. ඔහු යටතේ තරුණයන් හා තරුණියන් යන දෙකොට්ඨාසයම සිටියත් ඔහුගේ අවධානය වැඩිමනක්ම යොමු වූයේ තරුණයන් දෙසට යි.

පළමු වර සිරගත වීම හා දෙවන විවාහය

1968 වසරේ ගේසි පොලිස් ග්‍රහණයට ලක්වන්නේ කුඩා පිරිමි දරුවන් කිහිපදෙනෙකුට ලිංගික අඩන්තේට්ටම් කිරීමේ චෝදනාව යටතේ යි. මෙයට ඔහු වැරදිකරු වූ අතර දස වසකට සපිරි ගෙට නියම වුණා. මේ හේතුවෙන් ඔහුගේ බිරිය ද ඔහුගෙන් දික්කසාද වුණා.

සිරගත වී වසර එකහමාරක් ගත වූ පසු ගේසිට සමාව ලැබෙන්නේ යහපත් කල්ක්‍රියාව නිසා යි. අළුත්ම අයෙකු ලෙස නැවතත් සමාජයට බට ඔහුට වැඩිකල් නොගොස්ම සිය දෙවන බිරිඳ වන කැරොල් හොෆ් හමුවනවා.

සිරගතව සිටි යදී ගේසි තමන් සතු අළුත් හැකියාවක් හඳුනාගෙන සිටියා. ඒ, කවටයෙකු ලෙස වෙස්ගෙන මිනිසුන් සිනහ ගැස්වීම යි. ඔහු එය අත්හදා බැලීම සඳහා ප්‍රදේශයේ සමාජයකට සම්බන්ධ වන අතර එම ව්‍යායාමය සාර්ථක වෙනවා. ඔහුට කවටයෙකු ලෙස බොහෝ උත්සවවලට සහභාගී වන්නට ලැබෙන අතර මේ නිසාම අසල්වැසියන්ගේ ද ප්‍රසාදය ඔහුට හිමි වෙනවා.

ගේසි අත් අඩංගුවට පත් වූ විට (වමේ) හා කවටයාට හැඳ (දකුණේ)- historicmysteries.com

වැඩිකල් යන්නට මත්තෙන් නැවතත් ගේසි සම සේවනයට හුරු වෙනවා. මෙය වටහාගත් ඔහුගේ බිරිඳ ඔහු දික්කසාද කරන අතර ඔහු නැවතත් සිය නිවසේ තනි වෙනවා. අප පෙර සඳහන් කළ තිමති මැකෝයි ගේ සිද්ධිය වන්නේ මේ අතර යි.

අත්අඩංගුවට පත්වීම හා නඩු තීන්දුව

තිමතිගේ සිද්ධියෙන් පසු ගේසි ඝාතන කරන්නට පටන්ගත්තේ ආශ්වාදයට යි. විවිධ හේතු කාරණා ඔස්සේ තරුණයින් සිය නිවෙසට ගෙන්වාගන්නට සමත් වූ ඔහු ඉන් සමහරක් දෙනා සමග ලිංගිකව හැසිරීම පමණක් සිදුකළ අතර තවත් සමහරෙක් මරා දැමුවා. ගේසිගේ ඝාතන හඳුනාගන්නා විට ඔහු තරුණයින් 30 දෙනෙකු පමණ ඝාතනය කර තිබුණා. මින් සමහරක් සෙවීම සඳහා ඔවුන්ගේ දෙමවුපියන්ට ද ඔහු නොමඳව ‘සහාය’ වී තිබුණා.

ගේසිට වැඩ වැරදී ගියේ 15 වියැති දරුවෙකු ගොදුරු කරගත් අවස්ථාවක යි. ඔහු ගේසිගෙන් රැකියාවක් ගැන විමසීමට පැමිණ තිබූ අතර ඉන් අනතුරුව අතුරුදන් වී තිබුණා. මෙහිදී වරෙන්තුවක් ගෙන පොලිසිය ගේසිගේ නිවස සෝදිසි කළේ ඔහු මෙහි පැමිණි බවට ප්‍රමාණවත් සාක්ෂි තිබූ නිසා යි. එහිදී ඔවුනට දැනගන්නට ලැබුණේ කිසි සේත්ම අදහාගත නොහැකි දෙයක්. ගෙතුල තිබූ නව යොවුන් තරුණයින්ගේ ඇඳුම් රාශියක් හමු වූ අතර අවසන වළදමා තිබූ සිරුරු 29ක කොටස් ඔහුගේ ගෙවත්තෙන් හමුවනවා.

ගේසි ගේ ගොදුරුවලින් හඳුනාගත් කිහිප දෙනෙක්- Bettman/Getty Images

1977 වසරේ දී ජෝන් වේන් ගේසි අත් අඩංගුවට ගැණුනු අතර නඩු විභාගයකින් අනතුරුව මරණ දඬුවම හිමිවෙනවා. තීන්දුව ලබා දීමෙන් පසු එය ක්‍රියාත්මක කරන්නට වසර 14ක් ගත වූ අතර මරා දමන්නට පෙර දිනයේ ඔහු සිය අවසන් භෝජනය ලෙස කේ.එෆ්.සී කුකුළු මස් භාජනයක් ඉල්ලා තිබුණා.

ජෝන් වේන් ගේසි විසින් ඝාතනය කළ බොහෝ දරුවන් එක්කෝ නිවෙස්වලින් පලායන හෝ ඈත පෙදෙස්වලින් රැකියා සොයා පැමිණි අය වුණා. මේ නිසා ඉන් සමහරක් හඳුනාගැනීම උගහට වුණා.

Related Articles