මෙම ලිපිය ආරාධිත රචකයෙකු විසින් ලියැවුණකි.ඔබටත් අප හා ලිපි ලිවීමට අවශ්‍ය නම්, අපගේ ආරාධිත රචක කරළියට පිවිසෙන්න.

මිනිස් ඉතිහාසයේ ඉතාම ම්ලේච්ඡ යුගයක් වන්නේ දෙවන ලෝක යුධ සමය යි. ඇඩොල්ෆ් හිට්ලර් සහ නාසි පක්ෂය, යුදෙව්වන් මිලියන 6ක් පමණ ඇතුළුව මිලියන 11ක් පමණ ඝාතනය කර ඇතැ යි ගණන් බලා තිබේ. යුදෙව්වන්ට රැඳවුම් කඳවුරුවල වාසය කිරීමට බල කෙරුණු අතර පසුව ඔවුන්ව සමූල ඝාතන කඳවුරුවලට යවනු ලැබීය. එහිදී ඔවුන්ව ගෑස් කුටිවලට ගෙන ගොස් හෝ වෙඩි තබා මරා දමන ලදී. ගාල් කඳවුරු ගණනාවක දී නාසි වෛද්‍යවරුන් සිරකරුවන්ගේ කැමැත්තට එරෙහිව දරුණු හා බිහිසුණු වෛද්‍ය අත්හදාබැලීම්  සිදුකළහ. එම නාසි වෛද්‍යවරුන් අතරින් වඩාත්ම කුප්‍රකට නාසි වෛද්‍යවරයා වන වෛද්‍ය ජෝසෙෆ් මෙන්ගල පිළිබඳව අප මෙම ලිපියෙන් විමසා බලමු.

නාසි වෛද්‍ය ජෝසෙෆ් මෙන්ගල (photo by: britannica.com)

1911 මාර්තු 16 වන දින ජර්මනියේ ගුන්ස්බර්ග්හි සමෘද්ධිමත් පවුලක උපත ලැබූ ජෝසෙෆ් මෙන්ගල දරුවන් තිදෙනෙකුගෙන් වැඩිමලා විය. 1935 දී ඔහු මියුනිච් විශ්වවිද්‍යාලයයෙන් භෞතික මානව විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ගත් අතර වසර 2කට පසු ඔහු, නිවුන් දරුවන් යොදාගෙන කළ පර්යේෂණ සඳහා ප්‍රසිද්ධ විද්‍යාඥයෙකු වූ ආචාර්ය ඔට්මාර් වොන් වර්ෂුවර්ගේ සහායකයා බවට පත්විය. එම වසරේම මෙන්ගල නාසි පක්ෂයට බැඳුණු අතර 1938 දී SS භටයෙකු ලෙස සේවයට බැඳිනි. 1940 දී ඔහුව හමුදා සේවයට කැඳවන ලද අතර එහිදී ඔහු වෛද්‍ය සේවය සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය. කෙසේ වෙතත්, යුද්ධය අතරතුරේ තුවාල ලැබීමෙන් පසු ඔහුගේ හමුදාවේ කාලය කෙටි වූ අතර ඔහුව නැවත ජර්මනියට පිටත් කෙරිණි. එහිදී ඔහු වොන් වර්ෂුවර් සමග කයිසර් විල්හෙල්ම් මානව විද්‍යාව පිළිබඳ ආයතනයේ (The Kaiser Wilhelm Institute for Anthropology) සේවය ආරම්භ කළේ ය.

ජෝසෙෆ් මෙන්ගල හමුදාවේ දී (photo by: flicker)

අවුෂ්විට්ස් වෙත පැමිණීම

වොන් වර්චුවර්ගේ දිරිගැන්වීම මත මෙන්ගල මානව විෂයයන් පිළිබඳ ජානමය පර්යේෂණ පැවැත්වීමේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම සඳහා වදකඳවුරු සේවයට මාරු කිරීම සඳහා ඉල්ලුම් කළේ ය. ඔහුගේ අයදුම්පත පිළිගත් අතර ඔහුව 1943 වසන්තයේ දී අවුෂ්විට්ස් II කඳවුර (බර්කනූ) වෙත යවන ලදී. කඳවුරට පැමිණෙන සිරකරුවන්ගෙන් ගෑස් කුටිවලට යවනු ලබන්නේ කවුරුන් ද සහ බලහත්කාරයෙන් වැඩ කරන කම්කරුවෙකු වන්නේ කවුරුන් ද යන්න තීරණය කිරීම ඒ වන විට ඉහළ නිලධාරී තනතුරකට පත්ව සිටි මෙන්ගලගේ තීරණයන් විය. මෙය ඔහුට “මරණයේ දූතයා” ලෙස අපකීර්තියක් අත්කර දුන්නේ ය. අනෙක් වෛද්‍යවරුන්ගෙන් බොහෝ දෙනෙකු සිරකරුවන් මරණයට යවන්නට තෝරා ගැනීමේ ක්‍රියාවලිය ඉතාම භයානක රාජකාරියක් ලෙස සැලකූ අතර, එය විඳදරාගැනීම සඳහා බීමත්ව සිටීමට ඔවුන්ට සිදු වූ නමුත්, මෙන්ගලට එම කර්තව්‍යය පිළිබඳ කිසිදු ගැටළුවක් නොවීය. ඔහු බොහෝ විට සිනහවෙන් හා සිවුරුහන් බාමින්, ඔහුට පවරා නොතිබූ තේරීම් සඳහා පවා පෙනී සිටියේ ය.

අවුෂ්විට්ස් ගෑස් කුටි (photo by: flicker)

ඔහු අවුෂ්විට්ස් වෙත පැමිණ මාසයක් ඇතුළත, රොමානි ගෝත්‍රිකයින් රඳවා සිටි බැරැක්කයේ බෝවන රෝගයක් පැතිර ගියේ ය. මෙන්ගලගේ විසඳුම වූයේ සිරකරුවන් 1000කට වැඩි ප්‍රමාණයක් ගෑස් කුටියට යැවීම යි. මාසයකට පසුව කාන්තා කඳවුරේ ද එවැනිම සිදුවීමක් සිදු වූ අතර වෛද්‍යවරයා කහ උණ ඇති කාන්තාවන් 600කට වැඩි ප්‍රමාණයක් එකම ඉරණමකට යැවීමට කටයුතු කළේ ය. 

මානව අත්හදා බැලීම්

මෙන්ගල පසු කාලයේ මානව අත්හදා බැලීම්වලට යොමු විය. ජර්මානු ආර්ය ජාතියේ සුපිරි මිනිසුන් නිර්මාණය කිරීම සඳහා, ජනගහනයෙන් දුබල ජාන තුරන් කිරීම ඔහුගේ අධ්‍යයන පථය වූ අතර එය සුජනක විද්‍යාව යනුවෙන් හැඳින්විණි. නිවුන් දරුවන් යොදාගෙන මෙම පර්යේෂණ වඩා හොඳින් සිදුකළ හැකි බව ඔහු විශ්වාස කළ අතර, ඔවුන්ගෙන් යුගල 1500ක් පමණ තෝරා ගැනීමේ ක්‍රියාවලිය හරහා මෙන්ගල වෙත ගෙන එන ලදී. නිවුන් දරුවන්ට අනෙක් සිරකරුවන්ට වඩා ඉහළින් සලකන ලද අතර ඔවුන් නිරෝගීව තබා ගැනීම සඳහා අමතර ආහාර සලාක ලබා දෙන ලදී. අවුෂ්විට්ස් වෙත නිවුන් දරුවන් දෙදෙනෙකු පැමිණි විගසම ඔවුන් පච්ච කොටා ගත් අතර මෙන්ගල ඔවුන්ගේ ඉතිහාසය ගැන ප්‍රශ්න අසනු ලැබුණි. සෑම උදෑසනකම ඔවුන්ගේ නම් ලකුණු කෙරුණු අතර එහිදී ඔවුන් උදෑසන ආහාරය අනුභව කළේ ය. එවිට මෙන්ගල ඔවුන් සමග කතා කිරීමට, ඔවුන්ට රසකැවිලි ලබා දීමට, සහ ඔවුන්ගෙන් සමහරක් සමග ක්‍රීඩා කිරීමට පැමිණියේ ය. කුඩා දරුවන්ට ඔහු තමා හඳුන්වාදුන්නේ "මෙන්ගල මාමා" ලෙස ය. අත්හදාබැලීම් සඳහා කාලය පැමිණෙන තෙක්, නිවුන් දරුවන් සඳහා එහි ජීවිතය එතරම් නරක නොවුණි.

අත්හදා බැලීම්වලට ගොදුරු වූ දරුවන් (photo by: GettyImages)

සෑම දිනකම අත්හදාබැලීම් සඳහා නිවුන් දරුවන් තෝරා ගන්නා ලදී. ඔහු ඔවුන්ගෙන් රුධිරය ලබාගත් අතර, සමහර විට නිවුන් දරුවන් ක්ලාන්ත වන තරමට රුධිරය ලබාගන්නා ලදී. සමහරු එක් නිවුන් දරුවකුගේ සිට අනෙකාට විශාල රුධිර පාරවිලයනයකට භාජනය වූහ. ඔවුන්ගේ ඇස්වල වර්ණය වෙනස් කිරීමේ උත්සාහයක දී ඔහු වේදනාකාරී වන රසායනික ද්‍රව්‍ය ඔවුන්ගේ ඇස්වලට එන්නත් කළ අතර මේවායින් සමහර විට අන්ධභාවය ඇතිකළේ ය. එක් රාත්‍රියක ඔහු දෙවර්ණ ඇස් සහිත නිවුන් දරුවන් 7ක් ඝාතනය කර, ඔවුන්ගේ ඇස් විශ්ලේෂණය සඳහා වොන් වර්චුවර් වෙත යැවීය. බොහෝ නිවුන් දරුවන් අත්හදා බැලීම්වලින් මිය ගිය අතර පසුව ඔවුන්ගේ සිරුරු විනාශ කර හරින ලදි. 

මෙන්ගලගේ මානව අත්හදාබැලීම් පරීක්ෂණ (photo by: GettyImages)

හුදකලා විඳදරාගැනීම, විවිධ උත්තේජකවලට ප්‍රතික්‍රියා කිරීම, නිර්වින්දනයකින් තොරව කොඳු ඇට පෙළ, ලිංගික අවයව ඉවත් කිරීම වැනි වෙනත් අත්හදාබැලීම් මෙන්ගලගේ පරීක්ෂණ අතර වුණු බව කියැවේ. මෙන්ගල විසින් පර්යේෂණයන්ට ලක්කළ නිවුන් දරුවන් 1500න් 200ක් පමණ යුද්ධය අවසානයේ දී දිවි ගලවාගැනීමට සමත්ව ඇත. අවුෂ්විට්ස්හි මෙන්ගලගේ ක්‍රියාකාරකම් පිළිබඳ වැඩි ප්‍රමාණයක් එහි සිරකාර වෛද්‍යවරයෙකුව සිටි වෛද්‍ය මික්ලොස් නයිස්ලි ඔහුගේ පොතක සඳහන් කරයි. නයිස්ලි සිය අත්දැකීම් මුලින් ඔහුගේ මවු භාෂාව වන හංගේරියානු භාෂාවෙන් 1946 දී ප්‍රකාශයට පත් කළේ ය. ඔහුගේ කෘතිය වන “අවුෂ්විට්ස්: වෛද්‍යවරයකුගේ ඇසින් දුටු සාක්ෂි” 1960 දී ඉංග්‍රීසියෙන් පළ විය.

මෙන්ගලගේ අවසාන කාලය

අත්අඩංගුවට ගැනීම සදහා වූ පෝස්ටරය (photo by: GettyImages)

අවුෂ්විට්ස් බිඳ වැටීමෙන් පසු සෝවියට් සෙබළුන්ගෙන් මිදී පලා යමින් සිටි මෙන්ගල එක්සත් ජනපදයේ අත්අඩංගුවට පත්විය. මෙන්ගලගේ නම දැනටමත් අවශ්‍ය යුද අපරාධකරුවන්ගේ ලැයිස්තුවක ඇති බව නොදත් එක්සත් ජනපද නිලධාරීන් ඔහුව ඉක්මනින් නිදහස් කළේ ය. ඔහු 945 ග්‍රීෂ්මයේ සිට 1949 වසන්තය දක්වා ව්‍යාජ අනන්‍යතාවයක් යටතේ ජර්මනියේ රොසෙන්හයිම් අසල ගොවිපොළක සේවය කළේ ය. ඔහුගේ සමෘද්ධිමත් පවුල පසුව දකුණු ඇමරිකාවට සංක්‍රමණය වීමට ඔහුට ආධාර කළේ ය. ඔහු ආර්ජන්ටිනාවේ පදිංචි විය.

මැන්ගල් ආර්ජන්ටිනාවේ දී සිය පවුල සමග (දකුණේ සිට තුන්වැන්නා)

මෙන්ගලගේ අපරාධ ජාත්‍යන්තර මිලිටරි විනිශ්චය සභාව (IMT) සහ අනෙකුත් පශ්චාත් යුධ අධිකරණ ඉදිරියේ මනාව ලේඛනගත කර තිබුණි. බටහිර ජර්මානු බලධාරීන් 1959 දී ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක්, සහ 1960 දී අජන්ටිනාවෙන් ඔහුව පිටුවහල් කරන ලෙස ඉල්ලීමක් නිකුත් කළේ ය. එම වසරේම බුවනෝස් අයර්ස්හි දී ඇඩොල්ෆ් අයික්මාන් අල්ලා ගැනීම ගැන තැතිගත් මෙන්ගල, පැරගුවේ හා පසුව බ්‍රසීලයට සංක්‍රමණය විය. ඔහු සිය ජීවිතයේ අවසාන කාලය ගත කළේ සාඕ පවුලෝ අසල ය. සෞඛ්‍යය පිරිහීම නිසා 1979 පෙබරවාරි 7 වන දින බ්‍රසීලයේ බර්ටියෝගා අසල නිවාඩු නිකේතනයක පිහිනමින් සිටිය දී දියේ ගිලී මිය ගියේ ය.

පසුකාලීනව මෙන්ගලගේ හැදුනුම්පත්‍රය හා ඡයාරූපයක් (photo by: flicker)

මෙන්ගල වසර 34ක් තිස්සේ පොලිසිය මඟ හැරියේ ය. 1985 දී ජර්මානු පොලිසිය, ගුන්ස්බර්ග්හි මෙන්ගල පවුලේ මිතුරෙකුගෙන් ලද සාක්ෂ්‍ය මත වැඩ කරමින්, මෙන්ගලගේ සොහොන සොයාගෙන එහි තිබූ මළ සිරුර ගොඩගන්නා ලදී. ඉන්පසුව බ්‍රසීල අධිකරණ වෛද්‍ය විශේෂඥයින් දේහය ජොසෙෆ් මෙන්ගල ලෙස හඳුනා ගන්නා ලදී. 1992 දී ඩීඑන්ඒ සාක්ෂ්‍ය මෙම නිගමනය සනාථ කළේ ය.

Cover Photo: YouTube/The Story Behind

මූලාශ්‍රයයන්:

  1. Josef Mengele. United States Holocaust Memorial Museum website.
    http://www.ushmm.org/ wlc/en/article.php?ModuleId=10007060.
  2. Lynott DB. Josef Mengele, the ‘Angel of Death.’ Crime Library website.
    http://www.crime library.com/serial_killers/history/mengele/index_1.html.
  3. Rosenberg J. Holocaust facts. About website.
    http://history1900s.about.com/od/holocaust/ a/holocaustfacts.htm.
  4. https://encyclopedia.ushmm.org/content/en/article/josef-mengel