Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පාද හතරක් ඇතිව උපන් දැරියගේ කතාව

වර්ෂ 1868 මැයි මස 12 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ, ටෙනසි ප්‍රාන්තයේ, ලින්කන් කවුන්ටි ප්‍රදේශයේ දී එක්තරා සුවිශේෂි දැරියක් මෙලොව එළිය දකිනවා. ඇයට ජොසපින් මර්ටල් කෝබින් ලෙස ඇගේ දෙමාපියන් නම් තැබීම සිදු කරනවා. ඇගේ උපත සිදුවන විට ඇගේ පියා විලියම් කෝබින්ගේ වයස අවුරුදු 25ක් සහ ඇගේ මව නැන්සි කෝබින්ගේ වයස අවුරුදු 34ක් වනවා. 

විලියම් සහ නැන්සි ජොසපින් ඇතුළුව ගැහැණු දරුවන් හතර දෙනෙකු සහ පිරිමි දරුවන් හතර දෙනෙකු ලබනවා. ජොසපින් හැරුණුකොට අනිත් දරුවන් හත් දෙනාම ඉතා සාමාන්‍ය දරුවන් ලෙස යි උපත ලබන්නේ. නමුත් ජොසපින් කෝබින් මේ සියළු දරුවන්ට වඩා වෙනස් ස්වරූපයක් උසුලමින් උපත ලබනවා. ඇය උපත ලබන්නේ ඉතාම විරල ශරීර පිහිටීමක් සහිත දැරිවියක් ආකාරයෙනුයි. ඇයගේ උපත ලෝකය මෙතෙක් නොදුටු ආකාරයේ ශාරීරික පිහිටීමක් සහිතව, පාද හතරක් සහ ජනනේන්ද්‍රියයන් දෙකක් සහිතව, සිදුවනවා. මෙය “ඩයිපිගස්” තත්ත්වය ලෙස පොදුවේ හඳුන්වනු ලබනවා. ඒ අනුව පසුකාලීනව ඇය “සිව්-පාද ගැහැණිය” යන අන්වර්ථ නාමයෙන් හැඳින්වීමට ලක්වනවා. 

අප්‍රිකානු ගෝත්‍රික සමාජ තුළ මෙවන් විරල පිහිටීම් සහිත දරුවන් ඉපදීම නරක පෙරනිමිත්තක් සේ සළකා, එවැනි දරුවන් කැලෑ සතුන්ගේ ආහාර බවට පත් වීමට කැලයට විසිකර දමන බවත් ඉතිහාසය තුළ සඳහන් වී පවතිනවා. කෙසේ වෙතත් අධ්‍යාපනය සහ ශිෂ්ටාචාරය පිළිබඳ දැනුමක් පැවති කාල පරාසයක උපන් ජොසපින්ගේ ඉරණම ඊට වඩා වෙනස් මඟකට යොමු වෙනවා. 

ජොසපින්ගේ කුඩා කළ ඡායාරූපයක් (www.bizzarrobazar.com)

ශරීරයේ පැවති වෙනස්කම්

ජොසපින්ගේ උපත සිදුවූ අවස්ථාවේ එම ස්ථානයේ රැඳී සිටි වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබුණේ, ගර්භාෂයේ සිට දරුවා තල්ලු වන විට යම් හෙයකින් දරුවාගේ පාද හෝ තට්ටම් ප්‍රදේශය ප්‍රමුඛ වී දරු ප්‍රසූතිය සිදුවූවා නම්, එය දරුවාට සහ මවට  යන දෙදෙනාටම මාරාන්තික වීමේ අවදානමක් පැවතී තිබූ බව යි. නමුත් පසුව ඇය ඉතා සාමාන්‍ය අයුරින් ශක්තිමත් ලෙස වර්ධනය වන බව පෙන්නුම් කරමින් උපතින් සති තුනක් පමණ ගතවන විට රාත්තල් 10ක බර සහිතව නීරෝගීව වැඩෙන බව තහවුරු වී තිබුණා. ජොසපින් උපන් අවස්ථාවේ ඇය සතුව පාද හතරක් පැවතුනත්, ඇය ක්‍රමයෙන් වැඩිවියට පත්වන විට බාහිර පාද ද්විත්වයට වඩා අභ්‍යන්තර පාද ද්විත්වය කෙටි ස්වභාවයක් උසුලන බව දැක ගැනීමට හැකි වුණා. ඊට අමතරව ඇගේ බාහිර පාද යුගළයෙන් එක් පාදයක් උපතින්ම විකෘත ස්වභාවයක් ඉසිලූ නිසා පාද හතරක් තිබූ මුත් ඇය සතුව පැවතුනේ එක් නීරෝගී පාදයක් පමණ යි. අනෙකුත් පාද තුනෙහි සම්පූර්ණ පාලනය ඇය සතුව පැවතුනත්, ඒවා ඇවිදීමට භාවිතා කිරීම අපහසු වූ බව සඳහන් වෙනවා. එමෙන්ම ඇයගේ සෑම පාදයකම ඇඟිලි තුන බැගින් පමණක් පිහිටා තිබූ බවත් සඳහන් වෙනවා. මීට අමතරව ඇයට වම සහ දකුණ වශයෙන් ඉතා පැහැදිලිව වෙන්වූ ජනනේන්ද්‍රියයන් දෙකක් පැවතුනු අතර, මාසික ආර්තව චක්‍රය සිදුවන විට එකිනෙකට අනන්‍ය වූ වෙනස් දිනයන්හි දී එම ජෛව ක්‍රියාවලිය සිදුවී තිබෙනවා. 

ජොසපින්ගේ ශරීරය ඇය උපන් අවස්ථාවේ, සහ වැඩිවියට පත් වීම සමග පිහිටි ආකාරය (www.bizzarrobazar.com)

යෞවනියක ලෙස ජොසපින් ගත කළ ජීවිතය

ජොසපින් සතුව පැවති මේ අපූර්ව ශරීර ලක්ෂණ නිසා ඇගේ වයස අවුරුදු 13 දී, ඇගේ දෙමාපියන් ඇය සංදර්ශන පවත්වන ස්ථානවල දී ජනතාවට ප්‍රදර්ශනය කිරීම ආරම්භ කරනවා. “ටෙක්සාස්හි සිව්-පාද තරුණිය” යන නාමයෙන් ඇයගේ ප්‍රදර්ශන පත්‍රිකා එකල ප්‍රසිද්ධියට පත්කර තිබුණා. ඉතා විචිත්‍ර ලෙස හැඩ ගන්වා ප්‍රදර්ශනය සඳහා යොමු කළ ඇය එකල ඉතා ප්‍රසිද්ධියට පත් වුණා. මේ ප්‍රදර්ශන කටයුත්ත හරහා ඇයගේ දෙමාපියන්, ආසන්න වශයෙන් සතියක් තුළ ඩොලර් 450ක් පමණ උපයා ගත් බව සඳහන් වෙනවා. 

ජොසපින් තරුණ වියේ ඡායාරූපයක් (www.postize.com)

මේ මුදල් භාවිත කරමින් ඇයට හොඳ අධ්‍යාපනයක් ලබා දීමටත්, යහපත් ජීවිතයක් ගත කිරීමටත් අදාල පසුබිම සකස් කර දීමටත් දෙමාපියන්ගේ අරමුණ වූ බව සඳහන්. බාහිර වශයෙන් වෙනස් ස්වරූපයක් ඉසිලුවත් ඇයගේ අනෙකුත් සහෝදර-සහෝදරියන් ඇයට වෙනස් ආකාරයකින් නොසැලකූ බවත්, ඇය ඉතා සාමාන්‍ය, සතුටුදායක ජීවිතයක් ගත කළ බවත් සඳහන් වෙනවා. සංදර්ශන පවත්වන ස්ථානවල ඇයගේ ප්‍රදර්ශන කටයුතු නවතා දැමූ පසු, රටේ විවිධ ප්‍රදේශවලින් තවත් පාද හතරේ ව්‍යාජ කාන්තාවන් මතු වූ බවත්, ඔවුන් ද ඉතා ඉහළ මට්ටමින් ව්‍යාජ ලෙස මුදල් ඉපයීම කළ බවත් සඳහන් වෙනවා.

ජොසපින් ප්‍රදර්ශනය සඳහා භාවිත කළ අත් පත්‍රිකාව (perma.cc)

විවාහ ජීවිතයක්, දරුවන් ලබන්න හැකි වුණා ද? 

ජොසපින් හට පාද හතරක් හිමි වී තිබුණත්, ඇය විවාහ කර ගැනීමට කැමැත්ත තිබුණු තරුණයෙකු සිටියා. ජේම්ස් ක්ලින්ටන් බික්නෙල් නම් වූ මේ තරුණයා වෘත්තීය වශයෙන් වෛද්‍යවරයෙක්. ජොසපින් හට වයස අවුරුදු 19 දී ඔවුන් විවාහප්‍රාප්ත වනවා. ඉන් වසරකට පසුව ඇය පළමුවරට ගැබ් ගැනීමක් සිදු වුණත්, 1887 ශීත ඍතුවේ දී ඇති වූ සංකූලතා හේතුකොටගෙන ඇයගේ දරු ගැබ ගබ්සාවට ලක්වෙනවා. ජනනේන්ද්‍රියයන් දෙකක් සහ තනි තනි වශයෙන් පිහිටා තිබූ ගර්භාෂ ද්විත්වයත්, ජොසපින් විවාහ වන කාලය වන විට පූර්ණ ලෙස ලිංගිකව පරිණතභාවයට පත් වී තිබුණා. පසුකාලීනව ඇයට නීරෝගී ගැහැණු දරුවන් හතර දෙනෙකු සහ එක් පිරිමි දරුවෙකු බිහි කිරීමට හැකියාව ලැබෙනවා. මෙම දරුවන්ගෙ තිදෙනෙක් එක් ගර්භාෂයකිනුත්, අනෙකුත් දරුවන් දෙදෙනා අනෙක් ගර්භාෂයෙනුත් උපන් බවටත් මතවාද පවතිනවා. ඒ පිළිබඳව සත්‍යතාව ගැටළුසහගත වුණත්, වෛද්‍ය විද්‍යාත්මකව ගත් කළ ලිංගිකව පරිණත වූ ඇයගේ ගර්භාෂ ද්විත්වයෙන්ම එලෙස දරුවන් බිහි කිරීමේ හැකියාව තිබුණු බව පැවසෙනවා. තත්ත්වය එසේ වුණත් ඇය සිය ලිංගික ක්‍රියාකාරකම් සඳහා දකුණු පස ශරීරාංග භාවිත කිරීමට වඩා කැමැත්ත පළ කළ බව යි සඳහන් වෙන්නේ. මුල්ම අවස්ථාවේ ඇයගේ ගැබ් ගැනීම වම් පස ගර්භාෂයේ සිදුවී තිබූ අතර, වෛද්‍යවරුන් එය හඳුනාගෙන ඇයට දැන්වූ අවස්ථාවේ විශ්මයට පත්වූ ඇය ප්‍රකාශ කර තිබුණේ “ඇගේ දකුණු පස ගර්භාෂයේ ගැබ් ගැනීම සිදුවී තිබුණි නම්, ඇය ගැබ් ගෙන ඇති බව විශ්වාස කිරීමට තමා මැලි නොවෙන බව,” යි. 

ශාරීරික වශයෙන් කොතෙක් අපහසුතා පැන නැඟුණත් මවක සහ බිරිඳක වශයෙන් ඇය සියලු කාරණා නොපිරිහෙලා ඉටුකළ බවත්, ඉතා සාර්ථක විවාහ ජීවිතයක් ගත කළ බවත් පැරණි වාර්තාවන් සටහන් කරනවා. 

ජොසපින් සිය ස්වාමියා සහ දියණියක් සමග (www.bizzarrobazar.com)

ජොසපින්ගේ මරණය

වසර 50ක් පමණ ඉතා නීරෝගී ලෙස ජීවිතය ගත කළ ජොසපින්ගේ මරණය සිදුවීම යම් අවාසනාවන්ත සිදුවීමක් බව දැකගත හැකියි. වර්තමානය වන විට සුවකළ හැකියැ යි සම්මත රෝගයක් හමුවේ ඇයට සිය ජීවිතය හැර යාමට සිදුවෙනවා. ජීවිතයේ අවසාන සමයේ ස්ට්‍රෙප්ටොකොකස් නම් බැක්ටීරියාවෙන් ඇතිවූ සමේ රෝගයකින් පීඩා විඳින ඇය, වර්ෂ 1928 මැයි 6 වැනි දා මරණයට පත් වෙනවා. බැක්ටීරියා ආසාදනයක් හේතුවෙන් හටගන්නා මෙම රෝගය වර්තමානය වන විට සම්පූර්ණයෙන්ම සුව කිරීමේ හැකියාව පවතින අතර, ජීවිත අවදානමක් නොමැති රෝගයක් ලෙස හඳුන්වා දිය හැකියි. කෙසේ වෙතත් ජොසපින්ගේ ජීවිතයේ අවසාන කාලය වන විට මේ රෝගය සඳහා ප්‍රතිකාර සොයා ගැනීමක් සිදුවී තිබුණේ නැහැ. 

ඇගේ අවසන් කටයුතු සිදුකරන අවස්ථාවේ දී ඇගේ සොහොන් ගර්භය සම්පූර්ණයෙන්ම කොන්ක්‍රීට් තට්ටුවකින් ආවරණය කොට ආරක්ෂා කීරීමට කටයුතු කර තිබුණා. ඊට හේතුව ඇගේ ශරීරයේ පිහිටි විශේෂ ස්වභාවය හේතු කොටගෙන සොහොන් හොරුන් ඇගේ අස්ථි කොටස් සොරකම් කිරීම වැළැක්වීමේ අරමුණ ඇතිව යි. මීට අමතරව ඇතැම් විද්‍යාඳයින් ඇයගේ මළ සිරුර මිල දී ගැනීමට ද ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණා. මෙවැනි හේතු සාධක පදනම් කර ගනිමින්, ඇයගේ භූමිදානය අවසන් වනතෙක් පවුලේ සාමාජිකයන් කිහිපදෙනකු ඉතා අවධානයෙන් සොහොන් ගර්භය අසල රැඳී සිට තිබෙනවා. 

කවරයේ ඡායාරූපය(www.tuko.co.ke)

මූලාශයයන්:

 https://briefly.co.za/39117-josephine-myrtle-corbin-4-shocking-facts-4-legged-woman.html 

https://www.findagrave.com/memorial/31675682/josephine-myrtle-bicknell

https://www.postize.com/four-legged-woman

 https://www.tuko.co.ke/amp/343117-josephine-myrtle-corbin-4-legged-woman-story-facts-photos.html

Related Articles