Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පුස්තකාල ගිනිතබා වධකාගාර විවෘත කළ ආජන්ටියානු නායකයා – හුවාන් ඩි පෙරෝන්

නිර්ධන ප්‍රාන්තිකයන්ගේ ගැලවුම්කරුවා ලෙස පෙනී සිටිමින් බලයට පත් වී අනතුරුව ආජන්ටිනාවේ සිරගෙවල් තුල තම සතුරන්ව සිරකර, නිදහස් ජනමාධ්‍ය සම්පූර්ණයෙන්ම විනාශ කරමින්, තමාට අභිමත පරිදි රටේ නීතිය වෙනස් කර, රට පුරා වධකාගාර සිය ගණනක් නිර්මාණය කල ආජන්ටියානු ජනාධිපතිවරයෙක් පිළිබඳවයි අද ලිපිය ගෙන එන්නට අපි අදහස් කරන්නේ.

තම ප්‍රතිරූපය ගොඩනගා ගනු වස් රටේ මුදල් කෝටි ගණනින් විනාශ කළ මේ පුද්ගලයා විසිවන සියවසේදී ආජන්ටිනාවේ භීෂණ පාලනයක් ඇතිකළ හුවාන් ඩි පෙරෝන්ය. (ඔහුගේ නම ලියන්නේ Juan de Peron ලෙස වුවද උච්ඡාරණය හුවාන් ඩි පෙරෝන් ලෙසයි). ඉතින් මේ දිග හැරෙන්නේ ඔහුගේ කතාවයි.

කුඩා පැල්පතක ඉපදුණු හුවාන් ඩි පෙරෝන්  

කුඩා පෙරෝන් (La Campora La Rioja)

ලතින් ඇමරිකානු රටක් වන ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් නගරයෙන් සැතපුම් 60ක් දුරින් පිහිටි ලෝබෝස් නම් පිටිසර ගම්මානයේ මැටියෙන් ඉදිකරන ලද කුඩා පැල්පතක 1895 වසරේ ඔක්තෝම්බර් 8වන දා උපත ලබන පෙරෝන්ගේ පවුල ජිවත් වූයේ පියා විසින් බැටළු පාලනය තුළින් ලබා ගත් අදායමෙන්.

කුඩා කල සිටම තම පියා අනුව යමින් බැටළු පාලනය පිළිබඳව මනා දැනුමක් ලබා ගැනීමට කුඩා පෙරෝන්ට හැකියාව ලැබෙනවා. අනතුරුව වයස අවුරුදු 10 වන විට ඔහු බුවනෝස් හි පාසලකට ඇතුලත් වෙනවා.

වයස අවුරුදු 18දී දෙවන ලුතිනන්වරයෙකු ලෙස පත්වීම් ලැබීම

තරුණ වියේදී (pinterest.com)

වයස අවුරුදු 16දී ආජන්ටියානු හමුදා පාසලට ඇතුල්වන ඔහු එහිදී කඩු හරඹ හා බොක්සිං ක්‍රීඩාව සඳහා විශේෂ දක්ෂතා දක්වනවා. වයස අවුරුදු 18ක් වන විට ඔහු හමුදා පාසලෙන් පිට වෙන්නේ දෙවන ලුතිනන්වරයකු ලෙසයි. 1924 වසරේදී කපිතාන් නිළය දක්වා උසස් වීම් ලබන ඔහු 1938 වසරේදී ආජන්ටියානු රජය මගින් ඉතාලියට පිටත් කරවන්නේ නාසිවාදීන්ට හා ෆැසිස්ට්වාදීන්ට​ සහය ලබා දීමටයි.

1940 වසරේ නැවත ආජන්ටිනාවට පැමිණෙන පෙරෝන් 1943 වසරේදී කර්නල්වරයෙක් ලෙස උසස් වීම් ලබනවා. පසුව ඔහු ලබා ගත් අත්දැකීම් මත පෙරෝන්ට යුධ හමුදා පාසලේ දේශකයෙක් ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලැබෙනවා.

පෙරෝන් අත්අඩංගුවට පත්වීම

පෙරෝන් (Find A Grave)

1945 වසර වන විට ජේ.ෆැරල්ගේ රජය යටතේ වැදගත් තනතුරු රැසක් හිමි වූ ජනප්‍රිය පුද්ගලයෙක් ලෙස ආජන්ටිනාව පුරා පෙරෝන් යන නම ප්‍රසිද්ධ වෙනවා. නමුත් ඔහු ඉතාලියේ හා ජර්මනියේ කල සංචාර හේතුවෙන් පැසිස්ට්වාදී සංකල්ප කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වන බව පවසමින් ආජන්ටියානු බුද්ධි අංශ මගින් ඔහුව අත්අඩංගුවට ගැනීමට තීරණය කරනවා.

මෙම අත්අඩංගුවට ගැනිමත් සමඟම ක්‍රියාත්මක වූ පෙරෝන්ගේ බිරිඳ එවීටා, ආජන්ටිනාවේ පීඩිත පන්තියේ ගැලවුම්කරු තම ස්වාමිපුරුෂයා යැයි ප්‍රතිරූපයක් ගොඩනැංවීමට විශාල වෙහෙසක් දරා කටයුතු කරනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස රටේ නොසන්සුන්තාවයක් නිර්මාණය වන අතර පනස්දහසකට අධික පිරිසක් ආජන්ටියානු පාර්ලිමේන්තු සංකීරණය වටලනු ලබනවා. ඒ අතරවාරයේ සිරගෙයි සිටින පෙරෝන් තමන් අසනීප යැයි පවසමින් උද්ඝෝෂණකරුවන් තවත් කුපිත කරවීමට සමත් වෙන අතර කැරලිකරුවන් විසින් පසුදින ආජන්ටිනාව පුරා දැවැන්ත වැඩ වර්ජනයක් මෙහෙයවනු ලබනවා. මෙම ක්‍රියාදාමයත් සමඟ කිසිවක් කර කියාගත නොහැකි වූ රජය පෙරෝන්ව නිදහස් කිරීමට කටයුතු කරනවා.

ඒකාධිපති ජනාධිපතිවරයා

තම දෙවන​ බිරිය එවීටා සමඟ (Yorokobu)

රටේ පීඩිත පන්තියේ ගැලවුම්කරුවා ලෙස පෙරෝන්ගේ ප්‍රතිරූපය ගොඩනගා තිබූ බැවින් 1946 වසරේ පෙබරවාරි 24 වන දින පැවති ජනාධිපතිවරණයෙන් වසර හයක කාලයක් සඳහා ආජන්ටිනාවේ ජනාධිපති ධූරය පෙරෝන්ට හිමි වෙනවා.

ජනාධිපති ධූරයට පත්වීමත් සමඟම පෙරෝන්ගේ ප්‍රථම කාර්ය වන්නේ තමාගේ ආරක්ෂාව තහවුරු කරගැනීමයි. පසුව රටේ නීතින් තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාව මත වෙනස් කිරීම සිදු කල අතර ඒ හේතුවෙන් ජනපතිවරයා හෝ ඔහුගේ හිතවතෙක් විවේචනය කිරීම මරණිය දණ්ඩනය ලැබිය හැකි වරදක් බවට පත්විය. තවද තමන්ගේ බලය උපරිම ලෙස අරකෂා කර ගැනීම සඳහා දේශපාලන පක්ෂ එකතු වී සිදුකරන දේශපාලන සන්ධාන ගොඩ නැගීම සම්පූර්ණයෙන්ම තහනම් කරනවා.

පෙරෝන්ගේ මෙම ක්‍රියාවන්ට විරුද්ධ වූ රටේ විද්වතුන්ව ඔවුන්ගේ තනතුරු වලින් නෙරපා දැමූ අතර විශේෂයෙන් ඔහුට විරුද්ධ වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තනතුරුවලින් පහකිරීමට කටයුතු කරනවා. මෙයට එරෙහිව සිසුන් විසින් මෙහෙයවු වර්ජන ව්‍යාපාරයන්ට පෙරෝන්ගේ පෞද්ගලික මැර හමුදාව විසින් පහරදෙන අතර සිසුන් විශාල පිරිසක් මරා දමා රටේ පුස්තකාල පවා ගිනිබත් කරනවා.

1950 වසරේ අගෝස්තු මස නව වන දින ප්‍රකාශයක් නිකුත්කරමින් පෙරොන් පවසන්නේ තම සතුරන්ට නීතියේ පිහිටවත් ලබා නොදෙන බවයි. මේ ආකාරයට කිසිදු චෝදනාවකින් තොරව අත්අඩංගුවට ගත පිරිස් වලින් ආජන්ටිනාවේ සිරගෙවල් පිරී යනවා.

පැසිස්ට්වාදයට තිබූ කැමැත්ත

ජනතාව අමතමින් (daphnecaruanagalizia.com)

මේ වනවිට දෙවන ලෝක යුද්ධය අවසන්ව නාසිවාදය හා පැසිස්ට්වාදය පරාජයට පත් වී තිබූ අතර ආජන්ටිනාවට පළා ආ නාසි හා පැසිස්ට්වාදීන්ට පෙරෝන්ගේ ආණ්ඩුව යටතේ රැකවරණය මෙන්ම ඉහළ මට්ටමේ රැකියා හිමිවෙනවා.

ආජන්ටිනාවේ නිදහස් ජනමාධ්‍ය සම්පුර්ණයෙන් තහනම් කරන ඔහු එරට ප්‍රධාන පුවත්පතක් වූ “ලා ප්‍රෙන්ස්” (La Prensa) පුවත්පත් කාර්යාලයට සීල් තබනවා. තවද “නේෂන්” හා “එල්මුන්ඩෝ” යන පුවත්පත් වල ප්‍රවෘත්ති පල වීම දැඩි ලෙස පාලනය කිරීම සිදු කරනවා.

තවද පෞද්ගලික ගුවන් විදුලි තහනම් කරන අතර තැපැල් කාර්යාල වලදී ලිපි සම්පූර්ණයෙන්ම කියවීමට ලක් විය. මිලිටරි ආණ්ඩුව මගින් ක්‍රියාත්මක කරන ලද නීතින්, ව්‍යවස්ථා විරෝධී බැවින් ආජන්ටියානු සුප්‍රීම් උසාවියේ විනිසුරුවරයා වූ ආචාර්ය රොබෙර්ටෝ රොපෙටා ඉල්ලා අස්වෙන අතර එය අවස්ථාවක් කරගත් පෙරොන් සිය ඒකාධිකාරය අධිකරණය පුරා පතුරවනවා.

බිරිඳගේ හැසිරීම  

ජනතාව ඉදිරියේ තම ස්වාමිපුරුෂයාව වැළදගන්නා එවීටා (Wikimedia Commons)

ඔහුගේ බිරිඳ වූ එවීටා විසින් පෙරෝන්ව ක්‍රිස්තියානි ආගමේ දෙවියන් වහන්සේ ලෙස ජනතාවට හදුන්වා දීමට උත්සාහ දරනවා. තවද “සමාජ ආධාර පදනම” නමින් සංවිධානයක් පිහිටුවාගෙන ඇති තරම් භාණ්ඩාගාරයෙන් ඒ සඳහා මුදල් ලබා ගන්නා ඇය නූගත් ජනතාව මුලා කරමින් ඔවුන්ගේ එකම ගැලවුම්කරුවා පෙරෝන් බවට ඒත්තු ගැන්වීමට කටයුතු කරනවා.

දුම්රිය කම්කරුවන් මෙන්ම දුරකථන කම්කරුවන්ට අවශ්‍ය තත්වයටත් වඩා වැටුප් වැඩිවීම් ලබා දුන් අතර ඒ සඳහා අවශ්‍ය මුදල් මුද්‍රණය කරනු ලැබුණා. මෙවැනි ක්‍රියාවලි හේතුවෙන් ජාතික ආර්ථිකයට වන හානිය පිළිබඳව ඇය මොහොතකවත් සිතන්නේ නෑ.

දෙවන වරටත් ජනාධිපති බවට

1952 වසරේ පෙරොන් නැවත ජනාධිපතිවරණය සඳහා තරඟ කළ අතර රටේ දිලිදු ජන කොටස් වල පිහිටෙන් නැවතත් ජනාධිපතිවරයා බවට පත්වීමට පෙරෝන්ට හැකියාව ලැබෙනවා. බල කාමයෙන් උමතුව ගිය පෙරෝන්ට විරුද්ධ සටන නිර්මාණය වන්නේ මින් පසුවයි. ඒ සඳහා  හමුදාවේ ඉහළ නිලධාරීන්, පුජ්‍ය පක්ෂය හා විශ්වවිද්‍යාල සිසුන් එක්ව කටයුතු කරනවා.

මෙයින් කෝපයට පත්වෙන පෙරෝන් කෙලින්ම පල්ලියට පහර සියළු ආගමික නිවාඩු අවලංගු කරන බවට ප්‍රකාශ කරනවා. 1955 වසරේදී පෙරෝන්ට විරුද්ධව විශාල විරෝධතාවයක් ආරම්භ වන අතර එම වසරේ ජුනි 16 වනදා ආජන්ටියානු ගුවන් හමුදා බලකායක් විසින් ජනාධිපති මන්දිරයට පහර දෙනවා.

නමුත් මෙම ප්‍රහාරයෙන් තම ජීවිතය ආරක්ෂා කරගන්නා පෙරෝන් මෙම කුමන්ත්‍රණය පසුපස කතෝලික පල්ලියද සිටි බව සැක කරමින් පල්ලිය සමඟ ද ගැටෙනවා. ඔහුගේ අනුගාමිකයන් ඇතැම් පල්ලි ගිනි තබන්නත් කටයුතු කරනවා. රජයේ හමුදාවෙන් කොටසක්ද පෞද්ගලික මැර කල්ලියකින්ද සමන්විත් වූ පෙරෝන්වාදීන් ආජන්ටිනාව පුරාවටම තම අනසක පතුරවන්නේ ඉන් අනතුරුවයි. මිය යන එක් පෙරෝන්වාදියෙක් වෙනුවෙන් විරුද්ධවාදීන් පස් දෙනෙකු ඝාතනය කරන ලෙස ඔහු පැවසු බව සදහන්.

පෙරෝන්ගේ පළා යාම

පෙරෝන්ගේ මරණය, පසෙකින් සිටින්නේ ඔහුගේ තෙවන බිරිය වන ඉසබෙලීටායි (Timetoast)

ජෙනරාල් ලෝනාර්ඩ්ගේ නායකත්වයෙන් යුතු ආරක්ෂක හමුදා ප්‍රහාර හේතුවෙන් දිවි බේරා ගැනීම සඳහා පෙරෝන් පැරගුවේ රටට අයත් යුධ නැවකින් පලා යනවා. විවිධ රටවල රැඳෙමින් සිටින ඔහුට පැනමාවේදී රාත්‍රී සමාජශාලාවක ගායිකාවක ලෙස සේවය කරන ඉසබෙල් මාර්ටිනෙස් කර්ටාස් මුණ ගැසෙනවා. ඇය සමඟ ස්පාඤ්ඤයට යන පෙරෝන් එහිදී ඇය විවාහ කරගන්නා අතර ජෙනරල් ෆ්‍රැන්සිස්කෝ ෆ්‍රැන්කෝගේ අනුග්‍රහයෙන් එහි රැඳී සිටිනවා.

1973 ජනාධිපතිවරණයෙදී පෙරෝන් ගේ ආධාරකරුවකු ජයගන්නා අතර ඔහුට යළි ආර්ජන්ටිනාවට පැමිණීමේ අවස්ථාව ලැබෙනවා. එම වසරේම ජූලි මාසයේදී ජනාධිපතිවරයා ඉල්ලා අස් වනවා. සැප්තැම් බරයේ පැවති මැතිවරණයෙන් ජය ගන්නා පෙරෝන් ඔක්තෝබරයේදී ජනාධිපති ලෙස දිවුරුම් දෙනවා. කෙසේ වෙතත් 1974 ජූලි 1 වනදා ඔහු හෘදයාබාදයකින් මරණයට පත් වනවා.

හුවාන් පෙරෝන් ගේ බිරිඳ වූ ඉසබෙලිටා පෙරෝන් ඔහුගෙන් පසු ජනාධිපති ධුරයට පත්වන අතර ඇය ලොව පළමු ජනාධිපතිවරිය ද වනවා. ඇයව 1976 දී හමුදා කුමන්ත්‍රණයකින් පසු බලයෙන් පහ කරනු ලබනවා.

ආන්දෝලනාත්මක චරිතයක් වුවද පෙරෝන් ආර්ජන්ටිනාවේ කල් පවතින දේශපාලන ලකුණක් තැබූවෙක්. ඔහු හා එවිටා විසින් 1947 දී පිහිටවූ ජස්ටිකලිස්ට් පක්ෂය අදටත් ආර්ජන්ටිනාවේ විශාලම දේශපාලන පක්ෂයක් වනවා.

කවරයේ ජායාරූපය – www.atlanticsentinel.com

මුලාශ්‍ර –

Juan de Peron (Britannica)

Juan de Peron (biography.com)

Juan de Peron (ThoughtCo.)

හිට්ලර් පොල්පොට් සහ ඉඩි අමීන්ලා – උබේසේකර හෙන්නායක

             ISBN978 955 573 421 6

Related Articles