Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නාසා හි ළාබාලතම තානාපති, මේඝගේ මහිමය

නාසා ආයතනය වූ කලී අභ්‍යවකාශය පිළිබඳ උනන්දුවක් දක්වන ලොකු කුඩා කා අතරත් ඉතාම ජනප්‍රිය ජාත්‍යන්තර ආයතනයක්. එමෙන්ම අභ්‍යවකාශ විද්‍යාව හදාරන කාගේත් සිහිනයක්, වෘත්තිකයෙකු වශයෙන් නාසා ආයතනය හා සම්බන්ධ වීම. මෙම ලිපිය හරහා අප ඔබ වෙත ගෙන එන්නේ නාසා ආයතනයේ ළාබාලතම ඕස්ට්‍රේලියානු තානාපතිවරයා සම්බන්ධව යි.  

මේඝ මහිම විජේවර්ධන (Daily News)

කවුද මේ?

ඔහු නමින් මේඝ මහිම විජේවර්ධන. ශ්‍රී ලාංකික සම්භවයක් සහිතව දකුණු ඕස්ට්‍රේලියාවේ ඇඩ්ලේඩ් නුවර උපත ලද ඔහුගේ වත්මන් වයස, අවුරුදු නවය යි. වෘත්තියෙන් අලෙවිකරණ විශේෂඥවරියක වන දොෂාන්ද්‍රි චමින්දි රණතුංග මේඝගේ මව වන අතර ඇය මුලින් ගුවන්විදුලි නාලිකාවක රැකියාවේ නියැලුණු කෙනෙක්. පියා චරිත් චන්දිම විජේවර්ධන යි. ඔහු කලක් තරුණි පුවත්පතේ ප්‍රධාන නිර්මාණ හා පිටු සැලසුම් ශිල්පියෙකු වශයෙන් කටයුතු කළ අතර, මේ වෙද්දී වෘත්තියෙන් නිර්මාණාත්මක සැලසුම්කරණය පිළිබඳ නිපුණයෙකු ලෙස ඕස්ට්‍රේලියාවේ රැකියාවේ යෙදෙනවා. මේඝට මේ නම ලැබීම ගැනත් තියෙන්නෙ හරි අපූරු කතාවක්. මේඝගේ සීයා (පියාගේ පාර්ශවයෙන්) දක්ෂ චිත්‍රකතා ශිල්පියෙක්. නමින් අනුර විජේවර්ධන වන ඔහු කාලයක් ලේක්හවුසියේ සේවය කළ අතර සතුට පුවත්පතට ‘මේඝ’ නමින් චිත්‍රකතාවක් අඳිනවා. ඉතින් තම මුණුබුරාට නම තැබෙන්නේත් ‘මේඝ’ ලෙසට යි.      

මොකක්ද මේඝගේ මේ මහිමය?

ඕස්ට්‍රේලියානු වෛද්‍යවරුන් පවසන අන්දමට මේඝ, මෙලොවට මහිමයක්ව උපන් සුවිශේෂී දරුවෙකික්. මන්ද යත් ඔහු ඔහුගේ වයසට වඩා අවුරුදු පහකින් වැඩුණු මොළයක් සහිතව උපන් අයෙකු බවයි කියවෙන්නේ. ඔහුගේ දෙමාපියන් පවසන පරිදි; ඕස්ට්‍රේලියාවේ දී දරු උපතක් සිදු වූ විට කළු-සුදු රූප සහිත පොත් දරුවාගේ පරිහරණය සඳහා ලබා දෙන අතර, කිරිකැටි මේඝ පුතු මේවාට හරි ඉක්මණින් හුරු වීමට පටන් ගෙන තිබෙනවා. එම නිසාම ඔවුන්ට සිදුවෙනවා තමන්ගෙ මේ මොළකැටි පුතුට මාස හයක් වැනි ඉතාම කුඩා වයසක දී අකුරු කියවන්න. එම නිසාම අවුරුදු දෙකක් වැනි සුළු කාලයක දී බහ තෝරන මේඝ, තමාට වයස අවුරුදු 3ක් පමණ වන විට පොත් පත් කියැවීමට හුරුවෙනවා. ප්‍රබන්ධාකාරයෙන් ගොඩනැගුණු පොත්පත් වෙනුවට පුංචි මේඝගේ හිත යන්නේ සත්‍ය තොරතුරු අඩංගු පොත්පත්වලට වීම ද සුවිශේෂී කාරණයක්. අවුරුදු තුන හමාර වන විට ඔහු භෞතික විද්‍යාවේ ඇතැම් සිද්ධාන්තයන් අවබෝධ කොට ගන්නවා. මේඝ පවසන පරිදි; අභ්‍යවකාශය පිළිබඳ ගවේෂණය කරන්නට ඔහුට මෙතරම් පෙළඹවීමක් ඇති වන්නේ, බයිබලයේ උප්පත්ති කතාවේ එන ලෝකය මැවූ කතාව තුළින් තමාට හටගත් කුතුහලය යි.

මේඝ, youtube හි වැඩසටහනක් ඉදිරිපත් කරමින් (youtube)

මෙච්චර පොඩි වයසකින් කොහොමද නාසා එක්ක සම්බන්ධ වුණේ?

උදේ හවා පොත් කියවමින් දැනුම් පිපාසයෙන් ඉන්න මේඝව, තම දෙමාපියන් විසින් ඇඩ්ලේඩ් හි වෙස්මිනිස්ටර් පාසලට ඇතුළත් කෙරෙනවා. අනතුරුව මේඝගේ විශේෂත්වය දුටු නිසාම වෛද්‍ය නිර්දේශ මත අමතර දැනුමක් ලබාදෙන්නටත්, ඔහු වෙත වෙනම අධ්‍යාපන රටාවක් ක්‍රියාත්මක කිරීමටත් පාසල වෙහෙස වෙනවා. අවුරුදු හතරේ දී පමණ මේඝ, දකුණු ඕස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයට ඇතුළත් කෙරෙනවා. ඒ, අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳ පාඨමාලාවක් හැදෑරීමට යි. ඇඩ්ලේඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් විසින් පවත්වන භෞතික විද්‍යා දේශන සඳහා ද යොමු වෙන ඔහු, 2017 වසරේ දී Future Problem-solving club සඳහා ඇතුළත් වෙනවා. ඒ, අවුරුදු හයේ දී යි. 

ඉංජිනේරුවරු, විශ්වවිද්‍යාල විද්‍යාර්ථයින් පමණක් බඳවාගනු ලැබුණු මෙහි සාමාජිකත්වය ලබාගත් මේඝ එහි දී වායුගෝලය පිළිබඳ පැවැත්වූ පරීක්ෂණ දෙකක් ඉතා සාර්ථකව නිම කරනවා. පසුව ඔහු ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ (University of Arizona) පුහුණුවීම් අතරතුර පැවැත්වුණු පරීක්ෂණයක් ද 100%ක් සාර්ථකව ජය ගන්නවා. පහුගිය වසරේ එනම්, 2018 දී ඔහු Airbus සමා­ගමත් ප්‍රංශ රජයත් ඒකා­බ­ද්ධව ක්‍රියාත්මක කෙරුණු Acting Space ව්‍යාපෘ­ති­යේ දී, චන්ද්‍රිකා තාක්ෂ­ණය ආධාරයෙන් මුහුද මැද දී සිදුවෙන නෞකා අතු­රු­දන් වීමේ ක්‍රියා­ව­ලිය වළ­ක්වන ක්‍රම සොයා බැලීම සඳහා කරනු ලැබූ පරී­ක්ෂ­ණය ද සාර්ථකව ජය ගන්නවා. අභ්‍යවකාශය, ගුවන් යානා, රොකට් ගැන ඔහු තුළ වූ අපරිමිත උනන්දුව නිසාම ඔහු, ඔහුගේ සිහිනය වෙනුවෙන් දිගින් දිගටම විෂයානුබද්ධ දැනුම හඹා යන්නේ එලෙස යි.

මේඝ තම දෙමාපියන් සමග (Daily News)

දැන් නාසා එකේ මේඝ මොනවද කරන්නෙ?

මේඝ දැන් ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් නාසා ආයතනයේ ළාබාලතම අභ්‍යවකාශ ව්‍යාපෘති තනාපතිවරයා වශයෙන් කටයුතු කරනවා. තවත් වසර 200කට ආසන්න කලෙක දී පෘථිවිය ගැටේයැ යි විද්‍යාත්මකව උපකල්පනය කෙරෙන පෘථිවියට නුදුරින්ම සිටින ‘බෙන්නු (Bennu)’ ග්‍රාහකය වැළැක්වීම පිණිස දියත් කෙරෙන මෙහෙයුමට NASA Space App Challenge සමග මේ වන විට මේ පුංචි කොලුගැටයා ද සාමාජිකයෙකු වශයෙන් සම්බන්ධ වී සිටිනවා. ඒ ඔස්සේ තමයි ඔහු මේ වෙද්දි නාසා ආය­ත­නයේ OSIRIS-Rex මෙහෙ­යුමේ තානා­ප­ති­ව­ර­යෙකු ලෙස කටයුතු අරඹන්නේ. ඒ අනුව 2023 වසරේ දී බෙන්නු හි මුල්ම නියැදි සාම්පලය පෘථිවියට ගෙන එමින් සිදුකෙරෙන මෙකී මෙහෙයුමේ ඕස්ට්‍රේලියානු සන්නිවේදන කටයුතු බාර ව සිටින්නේ ද, එම ව්‍යාපෘතිය හා සමගාමී යාවත්කාලින පුවත් ජනතාව වෙත ලබාදෙන්නේ ද, එකී මෙහෙයුමට අදාළ පුහුණු හා සන්නිවේදන අංශයේ සම්බන්ධීකරණ කටයුතු ද පමණක් නොවේ මහජනතාවට ඒ ඇසුරෙන් මතු වන ගැටළු නිරාකරණය කිරීමේ වගකීම ද පැවරී ඇත්තේ මේඝට යි.

එපමණක් නොවෙයි, ඔහු දැනට ඕස්ට්‍රේලියාව පුරා පිහිටි පාසල්, විශ්වවිද්‍යාල, තාරකා ශාස්ත්‍රය හදාරන විවිධ සමූහ, උත්සව අවස්ථාවන් ආදී වශයෙන් විවිධායුරින් OSIRIS-REx මෙහෙයුම පිළිබඳව දේශන පැවැත්වීම ද සිදුකරනවා. ලෝකයේ විවිධ රටවලට ගොස් එවන් දේශන පැවැත්වීම ද ඔහුගේ ඉදිරි බලාපොරොත්තුවක්.

මේඝ, youtube හි වැඩසටහනක් ඉදිරිපත් කරමින් (youtube)

මේඝ දක්ෂ අභ්‍යවකාශ විද්‍යාව ආශ්‍රයෙන් විතරම ද?

අභ්‍යවකාශ දැනුම ගවේෂණයට පමණක් නොව, තවත් දේවල් කිහිපයකටම මේඝ උපන් හපනෙක්. ඔහු ක්‍රීඩාවට ද දක්ෂ යි. ඔහු පාසල් ක්‍රිකට් කණ්ඩායමේත්, චෙස් කණ්ඩායමේත් සාමාජිකයෙක්. ඒ විතරක් ද, දක්ෂ පිහිනුම් ශූරයෙක්. ඒ වගේම මීටර් 100 කෙටි දුර ධාවන ශූරයෙක්. ඒ විතරක් නම් මදෑ; පියානෝ, වයලීන්, ගිටාර් වගේම ඩ්‍රම්ස් වාදනය කරන්නත් ඔහු රුසියෙක්. 

අනාගතයේ මේඝ මොනවා කරයි ද?

වයස අවුරුදු 15 – 16 අතරතුර දී සිවිල් ගුවන් නියමුවෙක් වීම සඳහා ගුවන් නියමු බලපත්‍රය ලබාගැනීමත්, අවුරුදු 19 – 20 කාලය වන විට වාණිජමය ගුවන් නියමු බලපත්‍රය ලබාගැනීමත් මේඝගේ අරමුණ යි. අනාගතයේ දී රොකට් විද්‍යාඥයෙකු වශයෙන් නාසා ආයතනයේ සේවය කිරීම තමයි මේඝගේ සිහිනය. ඊට අමතරව ඔස්ට්‍රේ­ලි­යානු අභ්‍යා­ව­කාශ මධ්‍ය­ස්ථා­නයේ සේවය කරන්නත් ඔහු රුචිකත්වයක් දක්වනවා. 

මේඝ එක් අවස්ථාවක දී ප්‍රකාශ කරන මෙන්න මේ අපූරු කියමනෙන් මෙම ලිපියට නැවතීමේ තිත තබනවා. එයින්, ඔබ අප සැමට ජීවිතයට එකතු කරගන්නට යමක් තියේවි.

මේඝ, තම සිහිනය වෙත යන ගමනේ තැනක දී

“ඔබට සිහිනයක් තිබෙනවා නම්, කවදාවත් මොන හේතුව නිසාවත් ඒ සිහිනය තමන්ගෙන් දුරස් කරන්නෙපා. ඒ සිහිනය අන් කවරක් නිසාවත් බොඳ කරගන්නෙපා. අන් අයට අමුතුවෙන් ඔබව හඳුන්වාදිය යුතු නොවන තාක් කැපවීමෙන් වැඩ කරන්න. මීට කලින් කිසිවෙක් කරපු යමක් සඳහා නොව, අලුතින් යමක් දායාද කරන්න වෙහෙසෙන්න. ඔබ, ඔබම වෙන්න!” 

කවරය: The Advertiser

මූලාශ්‍රයයන්:

Themorning.lk

Sbs.com.au

Silumina.lk

youtube

Related Articles