Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බෞද්ධයාගේ ආදරණීයම මුසල්මානුවා – මොහිදීන් බෙග්

මේ වෙසක් මාසය යි. වෙසක් මාසය පුරාවටම ශ්‍රී ලංකාව පුරා දකින්න ලැබෙන තොරණ, දන්සැල් මෙන්ම විවිධ බෞද්ධාගමික උත්සව අවස්ථාවන්හි දී ඇසෙන බෞද්ධාගමික ගීතයන් අතර අනන්‍ය වූ හඬ පෞරුෂයක් ඉස්මතු වෙන බව අප කවුරුත් හොඳින් දන්නවා. ඒ ඔබ අප කවුරුත් ආදරය කරන කටහඬක් වන ගායක අල්හාජ් මොහිදීන් බෙග් ගේ කටහඬ යි.

බොදු ගීත ගායනා කරමින් ශ්‍රී ලාංකික සුවහසක් බෞද්ධයන්ගේ ගෞරවයට හා ආදරයට පාත්‍ර වූ, ශ්‍රී ලාංකිකයන් ආදරයෙන් වැළඳගත් ඒ සොඳුරු මුසල්මානුවා පිළිබඳව යි මේ ලිපිය.

අවුරුදු 14 දී ලංකාවට පැමිණි ඉන්දියානු තරුණයා

මොහිදීන් බෙග් සර්පිනා වාදනයේ ද දක්ෂයෙකි. (Last.fm)

1918 වර්ෂයේ දෙසැම්බර් 05 වෙනි දා ඉන්දියාවේ තමිල්නාඩුවේ සේලම් නුවර උපත ලබන මොහිදීන් බෙග්, දරුවන් 14 දෙනෙක්ගෙන් සමන්විත හයිද්‍රාබාද් මුස්ලිම් මූලයක් ඇති දැවැන්ත පවුලක තෙවැනි දරුවා වුණා. කුඩා කාලයේ දී සේලම්හි ප්‍රාථමික විද්‍යාලයකට ඇතුලත් වෙන මොහිදීන් බෙග් එහිදී දෙමළ, උර්දු හා ඉංග්‍රිසි භාෂාව ඉගෙන ගන්නවා. මේ කුඩා දරුවා උර්දු බසින් ගීත ගායනා කිරීමට හැකියාවක් දක්වන්නේත් මෙම සමයේ දී යි. ඒ හේතුවෙන් කුඩා කල පටන්ම ගායනයට දක්ෂ දරුවෙක් ලෙස ඔහුව හඳුනා ගැනෙනවා.

1931, ඔහුට වයස අවුරුදු 14 දී මොහිදීන් බෙග් ලංකාවට පැමිණෙනවා. ඒ, බ්‍රිතාන්‍ය ලංකා පොලීසියේ සේවය කළ ඔහුගේ වැඩිමහල් සහෝදරයා හදිසියේ මිය යාම හේතුවෙන්. එම අවමංගල්‍ය අවස්ථාවට සහභාගී වෙන ඔහු නැවතත් ඉන්දියාව බලා පිටත් වෙනවා. තවත් වසර කිහිපයකින් නිසි වයස සම්පූර්ණ වීමෙන් පසු ඔහු ද බ්‍රිතාන්‍ය ඉන්දියානු පොලීසියට සම්බන්ධ වෙනවා.

කරුණා මූදේ නාමු ගිලීලා – ප්‍රේම මනෝහර ගීත ගයාලා”

මොහිදීන් බෙග් (Sunday Observer)

කලකට පසු මොහිදීන් බෙග් බ්‍රිතාන්‍ය ලංකා පොලීසිය වෙත අනුයුක්ත වන අතර, එම කාලය තුළ ඔහු නැවතී සිටියේ කොළඹ නගරයේ මරදාන ප්‍රදේශයේ යි. එම කාලයේ දී බෙග් තරුණයාගේ ඥාතියෙකු ද ලංකා පොලීසියේ සේවය කරනවා. මෙම ප්‍රදේශයේම එකල වාසය කළ ප්‍රසිද්ධ මෙන්ම දක්ෂ සංගීතඥයෙකු වන මොහොමඩ් ගවුස් (ගවුස් මාස්ටර්)හඳුනා ගැනීමට මොහිදීන් බෙග් තරුණයාට අවස්ථාව ලැබෙනවා.

මෙම කාලය තුළ යි ඔහු ඔහුගේ පළමු සිංහල ගීතය ගායනා කරන්නේ. එය රචනා කරන්නේ එවකට ඔහු සමග පොලිස් සේවයේ සංගීත කණ්ඩායමේ සේවය කළ සංගීතඥයෙකු වන U. D. පෙරේරා යි (U. D. පෙරේරා මාස්ටර්). බෙග් තරුණයාට මෙම කාලයේ සිංහල භාෂාව කතා කළ නොහැකි යි. ඔහු ඔහුගේ පළමු ගීතය වන ඉන්දියානු ගීත තනුවකට නිර්මාණය වූ “කරුණා මූදේ නාමු ගිලීලා – ප්‍රේම මනෝහර ගීත ගයාලා” යන ගීතය ගායනා කරන්නේ ඔහුගේ මව් භාෂාව වූ උර්දු බසින් සිංහල වචන ලියාගැනීමෙන් පසුව යි. එම ගීතය පටිගත කරන්නේ කොළොම්බියා ගී තැටි සමාගම යි. මේ ගීතය ඇතුළත් වූ ග්‍රැමෆෝන් තැටියේ පිටපත් දස දහසක් පමණ අළෙවි වූ බව සඳහන්. මේ වන විට බෙග් තරුණයාට යන්තයම් වයස අවුරුදු 18 ලබා තිබුණා.

පොලීසියෙන් ඉවත් වීම හා පූර්ණ කාලින සංගීතයට යොමු වීම

සුජාතා අත්තනායක සමග (curvetube.com)

ඉන් ටික කාලයකට පසුව ලංකා පොලිසියෙන් ඉවත් වෙන මොහිදීන් බෙග්, අනතුරුව තම ජීවිතය ගෙන යන්නේ කොළඹ නගරාශ්‍රිත ප්‍රභූ නිවාසවල උත්සවවලට හා විවිධ සංගීත සාජ්ජයන්ට ගායකයකු සේ සම්බන්ධ වීම මඟිනු යි.

1945 වසරේ දී අශෝකමාලා චිත්‍රපටය සඳහා පසුබිම් ගීත ගායනය සඳහා මොහිදීන් බෙග් එකතු වෙනවා. ඒ ඔහුගේ පළමු චිත්‍රපට පසුබිම් ගායනය යි. මෙම චිත්‍රපටය සඳහා ගීත කිහිපයක්ම ඔහු ගායනා කළ අතර අමරදේව ශූරින් ද මෙම චිත්‍රපටයේ ගීත ගායනය සඳහා සහභාගී වෙනවා. ඔහු පසුබිම් ගායනා ඉදිරිපත් කළ චිත්‍රපට ගණන 400ක් පමණ වෙනවා.

සංගීත ලෝකයේ දැවැන්තයෙක් ලෙස

අශෝකමාලා චිත්‍රපටයෙන් ආරම්භ වූ ඔහුගේ ගීත ගායනය වසර ගණනාවක් අඛණ්ඩව ඉදිරියට ගලා යනවා. මිය යන විට ඔහු ගායනා කර ඇති ගීත සංඛ්‍යාවක 9000කට ආසන්න බව ඔහුගේ පුත්‍රයෙක් වන ඉෂාක් බෙග් පවසවනවා. මෙම  ගීත අතරට බෞද්ධාගමට සම්බන්ධ බුදුගුණ පිළිබඳව කියවෙන විශාල ගීත ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා.

ඉන්දියානු චිත්‍රපටයක් හඬ කවා මෙරට “අංගුලිමාල” නමින් තිරගත වූ අතර, එහි එන සුප්‍රසිද්ධ ගීතයක් වන “බුද්ධං සරණං ගච්ජාමි” ගීතය මොහිදීන් බෙග් විසින් ගායනය කරන ලද්දක්. එය බෞද්ධයින් ඉතා තදින් වැළදගත් ගීතයක් ලෙස හඳුන්වා දිය හැකි යි.

මල් සුගන්දේ දම් සුගන්දේ, මිනිසාම යි ලොව දෙවියන් වන්නේ, සකල සතම බුදු බැතියෙන්, සුවඳේ මට සීතල සුළඟ පවා, මේ ලෝක තලේ හා බුදුන්ගේ අමා ධර්මේ යන ගීත ඔහු විසින් ගායනා කරන ලද බැති ගීත විශාල ගණනින් කිහිපයක් ලෙස හඳුන්වා දිය හැකි යි. ගමේ ගොඩේ සිදාදියේ, ටිකිරි මැණිකේ, ආදරියේ රුචිරානියේ, පුංචි දුවේ පුංචි පුතේ, සිනහවෙන් හෝ කතාවෙන් බෑ, ගිරිහෙල් මුදුනේ, කෝටු කෑලි සොයාලා, ඇයි බඹරෝ වැනි ගීත ගායනා කළ අනෙකුත් ගීත අතරින් ඉතා ජනප්‍රිය ගීත ලෙස හඳුන්වා දිය හැකියි.

මොහිදීන් බෙග් ගායනා කළ බුදුගුණ ගීත විශාල ප්‍රමාණයක් රචනා කර තිබෙන්නේ කරුණාරත්න ඔබේසේකර නම් දක්ෂ ගීත රචකයා විසිනි. ඒ වගේම ලතා මංගේෂ්කාර් සමග ගීතයක් ගායනය කළ එකම ලාංකික ගායකයා වන්නේත් මොහිදීන් බෙග් ය.

ශ්‍රී ලංකාවේ ගෞරවණිය පුරවැසිභාවය හිමිවීම

ඔහු ගී ගැයූ පළමු චිත්‍රපටය – අංගුලිමාල (YouTube)

ඉන්දියානු ජාතිකයෙක් ලෙස මෙරට සිටි මොහිදීන් බෙග් සංගීත ශිල්පියාට 1956 වසරේ දී සම්මානීය පුරවැසිභාවය පිරිනැමෙනවා. ඒ, එවකට රාජ්‍ය නායකයා වූ බණ්ඩාරනායක අගමැතිවරයා අතින්. ලංකාවේ වාසය කළ තම ඥාති සහෝදරියක් හා විවාහ වෙන මොහිදීන් බෙග්ට දරුවන් අට දෙනෙකුගේ පියෙක් වීමට අවස්ථාව හිමිවෙනවා.

ඔහු දෙවරක්ම කලාශූරී සම්මානය ලබා ගන්නා අතර වරෙක සරසවි සම්මානය ද හිමිකර ගන්නවා. ඊට අමතරව ප්‍රථම නිදහස් උළෙලේ හා 1974 වසරේ මෙරට පැවති නොබැඳි ජාතීන්ගේ සමුළුවේ ගීත ගායනා කිරීමට ද අවස්ථාව හිමි කර ගන්නවා.

1991 වසරේ ඇසේ සිදු කළ ශල්‍ය කර්මයකින් පසුව නැවත සිහිය නොලබාම මේ සොදුරු මිනිසා මිය යන නමුත්, ඔහුගේ පුත්‍ර ඉෂාක් බෙග් සංගීත ශිල්පියා තම පියාගේ හඬ ඉදිරි පරපුර වෙනුවෙන් ජීවමාන කිරීමේ වගකීම භාරගෙන ඇති බව සඳහන් කළ හැකියි.

කවරයේ පින්තූරය -

මුලාශ්‍රයයන් -

දෙරණ හි විකාශනය වූ ඉෂාක් බෙග් සම්බන්ධ වූ “මා නොවන මම” වැඩසටහන

dinamina.lk

dailynews.lk

Related Articles