Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

උඩු ගුවනේ වීරවරිය – කල්පනා චව්ලා

අභ්‍යාවකාශගාමියෙකු වෙනවා කියන්නේ බොහෝ දෙනෙකුගේ කුඩාකල හීනයක්. බොහෝ දෙනෙකුට මේ හීනය තිබුණත්, එය සැබෑ කර ගන්නට සමත් වෙන්නෙත් අතලොස්සක් විතර යි. ඒ වගේම කාන්තාවක් අභ්‍යාවකාශගත වෙනවා කියන්නේ තවත් විශේෂ සිදුවීමක්. රුසියානු ජාතික වැලන්ටිනා තෙරෙස්කෝවා 1963 දී ප්‍රථම වරට අභ්‍යාවකාශගත වීමත් සමග පසුකාලීනව කාන්තාවන් ද අභ්‍යාවකාශගත වීමට යොමු වූ අතර, කල්පනා චව්ලා යනු තවත් එවැනි සිහින හඹා ගිය අභ්‍යාවකාශගාමී වීරවරියක්. 

2003 වර්ෂයේ දී කොලොම්බියා අභ්‍යාවකාශ ශටලය විනාශ වීම නිසා අභ්‍යාවකාශගාමීන් 7 දෙනෙකු මෙලොවට අහිමි වෙනවා. ඒ අතර කාන්තාවන් දෙදෙනෙකු ද වූ අතර, ලෝරල් ක්ලාක් සහ ප්‍රථම වරට අභ්‍යාවකාශගත වූ ඉන්දියානු කාන්තාව වන කල්පනා චව්ලා ඒ දෙදෙනා යි.

කල්පනා චව්ලා/ independent.co.uk

කුඩා අවධිය 

1961 වසරේ ජූලි මස පළමු වන දින ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ, දරුවන් හතර දෙනෙකුගෙන් යුතු මධ්‍යම පාන්තික පවුලක බාලම දියණිය ලෙස ස්යෝංගිතා චව්ලාට සහ බනාර්සි ලාල් චව්ලාට දාව කල්පනා උපත ලබනවා. තම මූලික අධ්‍යාපනය තාගෝර් බාල් නිකේතන් පාසලෙන් ලබාගත් ඇය පසුව ගගන ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ උපාධිය පන්ජාබ් ඉංජිනේරු විද්‍යාලයෙන් ලබා ගත්තා. ඉන්පසු එක්සත් ජනපදයට සංක්‍රමණය වන ඇය, එම විෂයන්ගෙන්ම විද්‍යාපති උපාධීන් දෙකක් ද ලබාගත්තා.

කුඩාකල/ thebetterindia.com

සිහිනය සැබෑ වීම

කල්පනා 1983 දී ජීන් පියර් හැරිසන් සමග යුග දිවියට පා තබනවා. 1988 දී අභ්‍යාවකාශ ඉංජිනේරු විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධිය එක්සත් ජනපදයේ කොලරාඩෝ විශ්ව විද්‍යාලයෙන් ලබා ගන්නා කල්පනා චව්ලා එම වසරේම නාසා ආයතනයේ ඒම්ස් පර්යේෂණ මධ්‍යස්ථානයේ රැකියාව අරඹන්නේ ඇගේ කුඩාකල සිට තිබූ සිහිනයක් ඉටු කර ගනිමින්. 

කල්පනාගේ අභ්‍යාවකාශගත වීමේ සිහිනය පළමුවරට සැබෑ වෙන්නේ 1997 නොවැම්බර් මස කොලොම්බියා අභ්‍යාවකාශ ශටල මෙහෙයුම ඇරඹීම නිසා යි. අභ්‍යවකාශගත වූ පළමු ඉන්දියානු කාන්තාව ලෙස ද, රකේශ් ශර්මාට පසුව අභ්‍යාවකාශගත වූ දෙවන ඉන්දියානු ජාතිකයා ලෙස ද කල්පනා ඉතිහාසයට එක් වුණා. මෙම ශටලය තාක්ෂණික කාර්යයන් රැසක් සිදුකිරීමේ අරමුණින් අභ්‍යාවකාශගත වූ අතර ස්පාර්ටන් චන්ද්‍රිකාව කක්ෂගත කිරීම ද ඊට අයත් වුණා. පළමු අභ්‍යාවකාශ ගමනේ දී කල්පනා සැතපුම් මිලියන 10.4ක් සම්පූර්ණ කරමින් දින 15කුත් පැය 12ක් උඩු ගුවනේ රැඳී සිටිනවා.

අවසන් අභ්‍යාවකාශ ගමන 

2000 වසරේ දී කල්පනා චව්ලා ඇයගේ දෙවන අභ්‍යාවකාශ ගමන සදහා තෝරා ගනු ලැබූ අතර ඇය STS – 107 මෙහෙයුමේ සාමාජිකාවක් වුණා. කෙසේ වුවත් විවිධ හේතූන් නිසා මෙම මෙහෙයුම 18 වරක් ප්‍රමාද වූ අතර 2003 වසරේ දී එය නැවතත් ක්‍රියාත්මක කරන්නට යෙදුණා. මේ සඳහා ඊට සහභාගී වීමට සූදානමින් සිටි ගගනගාමී කණ්ඩායම පුහුණු පරීක්ෂණ 80කට පමණ මුහුණ දී සිටියා. මෙම මෙහෙයුමට සම්බන්ධ ගගනගාමී කණ්ඩායම සාමාජිකයින් සත් දෙනෙකුගෙන් සමන්විත වූ අතර, කල්පනා චව්ලා සමග එහි සිටි අනෙක් ගගනගාමිනිය වූයේ වෛද්‍ය ලෝරල් බී. ක්ලාක් නම් එක්සත් ජනපද නාවික කපිතාන්වරියක්.

කොලොම්බියා ෂටලයේ ගමන්වල ගගනගාමීන්/ amazon.com

ජනවාරි 16 වන දා කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටත් වූ ෂටලය, 2003 පෙබරවාරි පළමුවන දින තම මෙහෙයුම අවසන් කිරීමෙන් පසුව ආපසු කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානය බලා ගමන් කිරීම ආරම්භ කළා. ජනවාරි 16 දින යානය දියත් කිරීමේ දී යානයේ බාහිර ටැංකියෙන් ගැලවී ඉවත් වුණු කුඩා කොටසක් යානයේ වම් තටුවේ තාප පරිවාරක පැනලවල ගැටී ඒවාට හානි වී තිබුණා. මෙනිසා යානය ආපසු පැමිණීමේ දී පෘථිවි වායු ගෝලයට ඇතුළු වූ විට යානය ගිනි ගැනීමට ලක් වුණා. මෙම අනතුරින් කල්පනා චව්ලා ද ඇතුළුව කොලොම්බියා ශටලයේ සියලුම සාමාජිකයන් ඉතා අවාසනාවන්ත ලෙස මරණයට පත් වුණා. යානයේත්, එහි ගමන් කළ අභ්‍යාවකාශගාමීන්ගේත් සුන්බුන් ටෙක්සාස් සහ ලුවිසියානා ප්‍රාන්තවලින් පසුව සොයා ගත් අතර, 1986 දී සිදු වූ චැලෙන්ජර් ශටලයේ පිපිරුමට පසුව සිදු වූ විශාලතම අභ්‍යවකාශ අනතුර ලෙස මෙය හඳුන්වනු ලබනවා. 

ඇගයීමට ලක් වීම

2004 වසරේ දී ඇමෙරිකා එක්සත් ජනපදයේ, අභ්‍යාවකාශ විද්‍යා ක්ෂේත්‍රයට කළ සේවය අගයමින් කල්පනා චව්ලාට ඇමරිකන් කොන්ග්‍රසය විසින් අභ්‍යවකාශගාමින්ට පිරිනමන ගෞරව පදක්කම ප්‍රදානය කරනවා. ඒ වන විට එය පිරිනමා තිබුණේ අභ්‍යාවකාශගාමින් 28 දෙනෙකුට පමණ යි. ඊට අමතරව නාසා ආයතනය විසින් ද Nasa අභ්‍යවකාශ පියාසර පදක්කමෙන් සහ අතිවිශිෂ්ට සේවය සඳහා වන NASA පදක්කමෙන් කල්පනා ගෞරවයට පාත්‍ර කෙරෙනවා. 

ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා, 2002 වසරේ සැප්තැම්බර් 1 වන දා කක්ෂගත කළ Metsat – 1 චන්ද්‍රිකාව ද කල්පනා චව්ලාට ගෞරවයක් ලෙස “කල්පනා“ ලෙස නම් කිරීමට 2003 වසරේ දී යෝජනා කරනවා. එසේම කර්නාටක ප්‍රාන්ත රජය විද්‍යා ක්ෂෙත්‍රයට අනුපමේය සේවයක් ඉටු කරන කාන්තාවන් ඇගයීම සදහා 2004 වසරේ දී ‘කල්පනා චව්ලා සම්මානය’ පිරිනැමීම ද ආරම්භ කරනවා. 

කල්පනා අධ්‍යාපනය ලැබූ ටෙක්සාස් විශ්ව විද්‍යාලය ද තමන් බිහි කළ වීරවරිය ඇගයීමට අමතක නොකළ අතර 2004 වසරේ දී එහි නේවාසිකාගාරයක් ‘කල්පනා චව්ලා ශාලාව’ ලෙස නම් කෙරුනා. නැවත 2010 වසරේ දී එම විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු අංශයේ තවත් ස්මාරකයක් ඇය වෙනුවෙන් ඉදි කරනු ලැබුවා. 

එසේම නාසා ආයතනය විසින් අඟහරු ග්‍රහයා අධ්‍යයනය සදහා දියත් කළ රෝවර් මෙහෙයුමේ දී, අඟහරු මත සොයාගත් මුදුන් 7ක් සහිත කඳු පන්තියේ එම මුදුන් 7 කොලොම්බියා ශටලයේ දී ජීවිතක්ෂයට පත් වූ කල්පනා චව්ලා ඇතුළු අභ්‍යාවකාශගාමින් 7 දෙනාට ගෞරවයක් ලෙස ඔවුන්ගේ නම්වලින් නම් කෙරුනා.

කවරයේ පින්තූරය: Firstpost

මූලාශ්‍රයයන්:

1. space.com

2. news18.com

3. hindustantimes.com

4. spacecenter.org

Related Articles