දේවත්වයට පත් ඌවේ සටන් නායකයා: කිවුලේගෙදර මොහොට්ටාල

හිරු නොබසින ඉංග්‍රීසි අධිරාජ්‍යයම සසල කළ 1818 උඩරට මහ කැරැල්ල මුලින්ම ආරම්භ වුණේ ඌව වෙල්ලස්සෙන්. මේ නිසා ඌව කැරැල්ල කියලත් එයට කියනවා. ඌවේ උපන් කිවුලේගෙදර මොහොට්ටාල පළාතේ වැදගත් චරිතයක් වුණා. සුද්දන්ගේ අසාධාරණ පාලනයට එරෙහිව නැගී සිටි ඔහු තම හිතවතුන් හා ඥාතීන් වුණු බූටෑවේ රටේරාල, කොහුකුඔරේ රටේරාල, වැනි ගැමි නායකයන් සමඟ එකතුව ඌව වෙල්ලස්සේ දී ඉංග්‍රීසින්ට එරෙහි සටන් ව්‍යාප්ත කරමින් කැරැල්ලේ මුල් බීජ වැපිරුවා.පසුව මේ කැරැල්ල අතට ගත්තේ උඩරට රදළ නායකයන් වුණු මොණරවිල කැප්පෙටිපොළ ඇතුළු පිරිසකුයි. මේ කිවුලේගෙදර මොහොට්ටාලගේ චරිතය ගැන කළ සොයා බැලීමක්.

 උඩරට ගිවිසුමේ අත්සන්- aboutceylon.com

 

කැරැල්ලේ පසුබිම

වර්ෂ 1815 මාර්තු 02 දින මහනුවර මඟුල් මඩුවේදී අත්සන් කරන ලද උඩරට ගිවිසුමෙන් ශ‍්‍රී ලංකාව එංගලන්තයේ යටත් විජිතයක් ලෙසට ප‍්‍රකාශ කෙරුණා.උඩරට රදළවරුන්ට අවශ්‍ය වූයේ නායක්කර් වංශික ශ්‍රී වික්‍රම රාජසිංහ රජු නෙරපා ඉංග්‍රීසීන්ගේ උදව්වෙන් නැවතත් සිංහල රාජවංශයක් ඇති කිරීමයි. එත් සිදුවූයේ එංගලන්තයේ සිටින නොපෙනෙන රජ කෙනෙක් රටේ නායකයා වීමයි. මේ නිසා රදළ නායකයන් තුළ වගේම සාමාන්‍ය ජනතාව තුළත් අසහනයක් පැතිර ගියා. මේ අසහනය වඩාත් පැතිර ගියේ ඌව වෙල්ලස්සේයි.

 කිවුලේගෙදර ඇතුළු කැරලි හමුදාව සටනට යමින්-lankadeepa.lk

 

ජීවන තතු

කිවුලේගෙදර මොහොට්ටාලගේ උපන් ගම තමයි බදුල්ලේ කිවුලේගෙදර. බදුල්ල – මහියංගණය මාර්ගයේ කන්දකැටිය 21 හන්දියෙන් හැරී වියළුවට නුදුරින් පිහිටි කිවුලේගෙදර ගම්මානයට ළඟා විය හැකියි. එය අදත් සුන්දර කඳුකර පළාතක්. වියළුව ප්‍රදේශය එකල රජ වාසලට මිරිස්‌ සපයන රාජකාරිය පැවරුණු ගමක්‌ බවයි පැවසෙන්නේ. කිවුලේගෙදර මොහොට්ටාලගේ නම පුංචි බණ්ඩා බවත්, ඔහු නිලය නිසා කිවුලේගෙදර මොහොට්ටාල වූ බවත් පැවසෙනවා.

ප‍්‍රභූ පවුලකට අයත්ව සිටි බණ්ඩාර වැද්දාගේ පරපුරේ අයෙක් වූ කිවුලේගෙදර මොහොට්ටාල උගත්, බුද්ධිමත් කෙනෙක් බවයි සැලකෙන්නේ. ඔහුගේ ප‍්‍රඥාවන්ත සටන්කාමී අවංකත්වය ඉංග‍්‍රීසීන් පවා පිළිගෙන තිබෙනවා. සිංහල, පාලි, සංස්කෘත භාෂා පිළිබඳව අවබෝධයකින් යුතු වූ ඔහු ලේඛන කලාවට හා කවියට ද සූරයෙක් වූණා. උඩරට රාජකීය කවි මඬුවලට නැතිවම බැරි අයෙක් ලෙස සැලකුණා. එසේ ම ඔහු සටනට දක්ෂයෙක් ද වුණා. ගමේ මොහොට්ටාල නතතුර දැරූ ඔහුට රටේ ස්වාධීනත්වය ගැන පැවතියේ විශාල හැඟීමක්. ඉංග්‍රීසි හමුදාවේ සේවය කළ මේජර් ෆෝබස්‌ විසින් රචිත ලංකාවේ එකොළොස්‌ වසරක්‌ නම් වූ ග්‍රන්ථයේ දක්‌වා ඇත්තේ කැරළි නායකයන් අතර උපරිම කැපවීම කළේ කිවුලේගෙදර මොහොට්‌ටාල බවයි. ෆෝබස් සඳහන් කරන්නේ කිවුලේගෙදර බකළ කකුලක්‌ හා බිහිසුණු පෙනුමක්‌ ඇති පහළ මට්‌ටමේ ප්‍රධානියෙකු බවයි.

 උඩරට ගිවිසුම අත්සන් තබමින්-dailymirror.lk

 

කිවුලේගෙදර අත්අඩංගුවට

ඉංග‍්‍රීසි පාලනයට පක්ෂපාතව කටයුතු කළ කන්දකැපූඋල්පත ගම්මැහැගෙරාළ නම් පුද්ගලයා හදිසියේ අභිරහස් ලෙස මරණයට පත් වුණා. මේ මරණය සම්බන්ධයෙන් ඉංග්‍රීසින් සැක කළේ කිවුලේගෙදර මොහොට්ටාලයි. ඉංග්‍රීසින් විසින් අත්අඩංගුවට ගත් ඔහුට විරුද්ධ නඩුව 1816 ජූලි 17 දින මහනුවරදී විභාගයට ගැනුණා.
චෝදනා ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්‍ෂි ඉදිරිපත් නොවුවද, සැකකටයුතු සේ සලකා තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා ඔහු රඳවා තැබුණා. නැවතත් මාතලේ හා වලපනේ දිසාව වූ කපුවත්ත වෙඩික්‌කාර ලේකම්, මහ ගබඩා නිලමේ ඉදිරියේ නඩුව ඇසීමේදී ඊට පෙර බොරු සාක්‌කි දුන් සුද්දනා නමැත්තකු ඒ බව පිළිගැනීම නිසා ඔහුට සිර දඬුවම් නියම වුණා. නඩුව තවදුරටත් කල් ගියා. සැකපිට සිර භාරයේ සිටි කිවුලේගෙදර සිරගෙදරින් පැන ගියා. ඌවේ කැරැල්ල ආරම්භ කරමින් පළමු ගිනි පුපුරු දල්වන ලද්දේ එසේ සැඟවී සිටින ගමනුයි.

 ඩග්ලස් විල්සන් මරණයට පත්වූ තැන පිහිටි ස්මාරකය- youtube.com

 

හජ්ජි මරික්කාර්
ඌවේ අසහනකාරී වාතාවරණය හමුවේ රොබට් බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා විසින්, ඌව පාලනය කළ මිල්ලවේ දිසාව වෙනුවට හජ්ජි මරික්කාර් මුහන්දිරම් පත් කළේ 1817 සැප්තැම්බර් මාසයේදී යි. හජ්ජි වෙල්ලස්සේ මඩිගේ මුහන්දිරම් ලෙස නම් කිරීම, උඩරට රදළයන්ගේ වගේම ඌවේ ගැමි නායකයන්ගේත් නොසන්සුන්තාවය බ්‍රිතාන්‍යයට එරෙහිව එළිපිට පළ කිරීමට හේතුවක් වුණා. 1817 අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී කිවුලේගෙදර මොහොට්ටාල, බූටාවේ රටේ රාල, මිල්ලෑවේ දිසාව යන අය බදුල්ලේ දී මෙම තීරණයට එරෙහිව ආණ්ඩුවට එරෙහිව කැරැල්ලක් සංවිධානය කළා. කැරැල්ල අරඹා ඉංග්‍රීසීන්ට විරුද්ධව මුලින්ම පහර දුන්නේ කිවුගේගෙදර ඇතුළු පිරිසයි. ඉංග්‍රීසි හමුදා නිලධාරීන් පිරිසක්‌ සමඟ අලුත්නුවර සිට මඩුල්ල බලා ගිය කෙනඩි නම් වෛද්‍යවරයා හා පිරිස තිබ්බොටුගොඩ අසල දී මරා දැමුයේ ඔහු විසින්.
මෙම සිද්ධිය ආරංචි වූ ඌව උප දිසාපති සිල්වෙස්ටර් ඩග්ලස් විල්සන් කැරලි නායකයා අල්ලාගෙන එන ලෙස “හජ්ජි” මුහම්දිරම් පිටත්කොට යැව්වා. ඔහුට මුණ ගැසුණේ කිවුලේගෙදර සහ බුටෑවේ රටේරාල ඇතුළු පිරිසයි. හජ්ජි මුහන්දිරම් අල්ලා ගත් මේ පිරිස ඔහු එවක‍ට රජු ලෙස පත්කරගෙන සිටි දොරේසාමි වෙත ඉදිරිපත් කර මරණයට පත් කළා. හජ්ජිට අනතුරක් වුණු බව ආරංදි වී ඔහු බේරා ගැනීමට ගිය එවකට ඌවේ උපදිසාපති විල්සන් ඊතනවත්ත දේවාලයට නුදුරේදී ඊ පහරකට ලක්ව මරණයට පත් වුණා. ඉන් පසු, 1817 සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලදී කැරලිකාර ව්‍යාපාරය ප‍්‍රබල ලෙස වර්ධනය වුණා. මෙම කැරැලි සංවිධානයේ මුල් තැන සිටියේ කිවුලේගෙදර මොහොට්ටාලයි‍.
කැරැල්ල මැඩ පැවැත්වීමට ඉංග්‍රීසින් ඌව දිසාව වුණු කැප්පෙටිපොළ නිලමේ පත් කළා. කැරලි නායකයන් සමඟ සාකච්ඡා පැවැත්වූ ඔහු අවසානයේ කැරලිකරුවන් සමඟ එකතු වී සටනට නායකත්වය දීමට තීරණය කළා. එතැන් සිට බොහෝ උඩරට රදළයන්, දිසාව සහ මොහොට්ටාල තම ප‍්‍රදේශයේ අනුගාමිකයන් සමඟ කැරලිකරුවන්ට එක් වීමට පටන් ගත්හ. ඌවෙන් උපන් කැරැල්ල රටේ අනෙක් පළාත්වලටත් පැතිර ගියේ ඉන් පසුවයි.

 කතරගම දේවාලයේ පැරණි සේයාරුවක්- kathika.lk

 

දොරේසාමි රාජසිංහ

1817 කතරගම දේවාලයේ ඇසළ පෙරහැර අවසාන වීමත් සමඟම උඩරටින් මහා සංඝයා වහන්සේ පිරිසක් කතරගම දේවාලය කරා වැඩම කළා. එම භික්ෂු පිරිස අතර සිටි තරුණ භික්ෂුවක් විල්බාවේ උන්නාන්සේ ලෙස හැඳින්යවුණා. ඔහු කීර්ති ශ‍්‍රී රාජසිංහ රජුගේ ඥාතියකු ලෙස දේවාලයේ භාරකරුවන්ට හඳුන්වා දී තිබෙනවා. පසුව ප්‍රදේශවාසීන් විසින් සැලකුම් ලබමින් ගිය මේ පිරිස පුබ්බාරය නම් ගමට ගිය විට එහිදී පිළිගනු ලැබුයේ කිවුලේගෙදර මොහොට්‌ටාල ප්‍රධාන පිරිස විසින් . කැරැල්ල ඉදිරියට ගෙන යාමට රාජවංශිකයකුගේ නායකත්වය ඇවැසි නිසා විල්බාවේ උන්නාන්සේ සිවුරු හරවා අනාගත රජ ලෙස පත්කර ගත්තේ කිවුලේගෙදර මොහොට්ටාල ප්‍රධාන කැරලි නායකයන් විසින්. කිවුලේගෙදර විසින් පිරිනමන ලද රන් හුයෙන් නිම කරන ලද රාජකීය ඇඳුම් ඇඳීමට දී ඔටුන්නක් පළඳවා දොරේසාමී නොහොත් ශ‍්‍රී රාජසිංහ නමින් ඔහුගේ අභිෂේක සිදු කෙරුණා. මේ සිද්ධිය ආරංචි වුණු ඉංග්‍රීසින් ලොකු කලබලයකට පත් වුණා.
අලුත් රජු දැකබලා ගැනීමට ඌවේ ජනතාව රැස් වුණා. නව රජතුමා තාවකාලික මාලිගයක සිට තනතරු ප්‍රදානය කළා. ඔහු විසින් පළමුවෙන් ම කිවුලේගෙදරට වලපනේ දිසා පදවිය ප්‍රදානය කිරීම සිදුවුණා. කැරැලිකාර පිරිස ක්‍රමයෙන් ඉහළ ගියා. වෙල්ලස්ස, ඌවල බින්තැන්න යන ප‍්‍රදේශවල ඉතාම බලවත්ව ඔවුන් කටයුතු කළා. කිවුලේගෙදර මොහොට්ටාල සමඟ මහ බදුලූ ගමරාල, බූටෑවේ රටේ රාළ, ආදීන් වෙල්ලස්ස සහ වලපනේ ප‍්‍රදේශවල සටන් මෙහෙයවූවා.

 ඊතණවත්ත දේවාලය පිහිටි තැන අද-silumina.lk

 

ඉංග්‍රිසි කඳවුරු බිඳ වැටෙයි

විල්සන් මරා දැමීමෙන් පසුව කිවුලේගෙදරගේ කණ්ඩායම සුද්දන් සතු ව තිබූ ඌසන්වැල්ල, අයගම, වියලුව, කොටබෝව, අහුපොළ ආදි කඳවුරු එකින් එක හිමිකර ගත්තා. අවසානයේ ඔවුන්ට ඌවෙන් ඉංග්‍රිසින්ට ඉතිරි වූ ප්‍රධාන කඳවුර වූණේ පරණගම පමණයි. කිවුලේගෙදර තම කණ්ඩායම ද සමඟ දෙදෙහසක පමණ ඉතිරි වී සිටි සේනාවද ගෙන ඉංග්‍රීසි කඳවුරුවලට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කිරීමට බලාපොරොත්තුව සිටියා.

කිවුලේගෙදර කැරැල්ලේ ආරම්භකයන් කීපදෙනාගෙන් කෙනෙක් මෙන්ම එහි අවසානය දක්වාම සටන් කළ කීප දෙනාගෙන් අයෙක් ද වුණා. 1818 සටනේදී වලපනේ ප‍්‍රදේශයේ බලය සම්පූර්ණයෙන් ම රැඳී තිබුණේ කිවුලේගෙදර මොහොට්ටාල අත යි. ඔහු අල්ලා ගැනීමට ඉංග‍්‍රීසීන් දරන ලද උත්සාහයන් සාර්ථක වුණේ නැහැ.

 සුද්දන් වෙල්ලස්ස වනසමින්- නොපෙනෙන මානය facebook page

1818 නොවැම්බර් වනවිට කැරැල්ලේ නායකයන් බොහෝ දෙනෙක් ඉංග‍්‍රීසීන්ට අසුවී හෝ සටනේදී මරණයට පත් වී සිටියා. කිවුලේගෙදර මොහොට්ටාල බොහෝ අවස්ථාවල ඉංග‍්‍රීසි සේනාංකවලින් බේරී පලා යිටම සමත් වුණා. ඌසන්වත්තේ කඳවුරු බැඳගත් ඉංග්‍රීසි හමුදාව කිවුලේගෙදර මොහොට්ටාලගේ ගෙය ගිනි තබා ඔහුගේ බිරිඳ වධ දී මරා දැම්මා.

එහෙත් ඔහුගේ දියණිය අරුමා නමැති වැදි නායකයාගේ රැකවරණය යටතේ තම පියාගේ සහෝදරිය වූ බුටාවේ රටේ රාලගේ බිරිය වෙතට ගියා. ඉංග්‍රීසීන් වෙල්ලස්සේ ගම්බිම් ගිනි තබමින් සමූල ඝාතනයක් ක්‍රියාත්මක කළා.

 සුද්දන්ට බියෙන් පලායන ජනයා- චිත්‍රය: සුමතිපාල – ජෝතිපාල – clipular.com

කිවුලේගෙදරට සිය පවුල ම අහිමි වෙයි

මේ මර්දනය හමුවේ කිවුලේගෙදරගේ නායකත්වයෙන් ඌවේ සිංහලයෝ අභීතව සටන් කළා. අරුමා නම් වැදි නායකයාත් වැදි සෙනඟත් සටනට උර දුන් බව පැවසෙනවා. එසේ වුවද සුද්දන්ට ගැතිකම් කළ උඩරට රදළ නායකයන්ගේ පාවාදීම් නිසා කැරැල්ල සාර්ථකව ඉදිරියට ගියේ නැහැ. අවසානයේ ඉංග්‍රීසින් බූටාවේ රටේ රාළගේ බිරිය සමඟ සිටි ඔහුගේ දියණිය ද දූෂණය කිරීමට ගිය අතර ඇය එයට පෙර සිය දිවි නසාගත්තා.

 දේවත්වයට පත් කිවුලේගෙදර- lankadeepa.lk

 

රන් පගෝදි 500ක්

මේ අතර වෙල්ලස්සට මහ වැසි ඇදහැලෙන්නට වුණා. වසංගත රෝග මතු වුණා. බූටෑවේ රටේ රාළ සහ කැප්පෙටිපොළද බලවත් ලෙස රෝගාතුර වුණු අතර කැරලිකාර හමුදාව බරපතළ ලෙස අඩපණ වුණා.
උඩරට කැරලි නායකයන් අතර අසමඟිය තවත් වර්ධනය වෙන්නට වුණා. කිවුලේගෙදරගේ‍ සමීප බූටාවේ රටේරාළ ද අත්අඩංගුවට පත් වුණා. මේ අතර කිවුලේගෙදරගේ හිස ගෙනා කෙනකුට රන් පගෝදි 500ක් දෙන බවට ඉංග‍්‍රීසි රජය විසින් නිවේදනය කළා. සැඟවී සිටි කිවුලේගෙදර මොහොට්ටාල
පරණගම මුස්ලිම් දෙදෙනෙකුගේ ඔත්තුවක් මත අලුත් නුවර බිම්තැන්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට ඉංග්‍රීසින්ට හැකි වුණා. ඒ මෙහොතේ ඔහු සිටියේ රෝගාතුරව හේනක් මැදයි. අත්අඩංගුවට ගත් කිවුලේගෙදර බදුල්ලේ ඉංග‍්‍රීසි ඒජන්තවරයා වෙත රැගෙන ගොස් තිබෙනවා. බදුල්ලේ දී විවෘත යුද්ධාධිකරණයක ඔහුට විරුද්ධව චෝදනා විභාග කර 1818 නොවැම්බර් 26 දින මරණීය දණ්ඩනය නියම කළා. අධිකරණ තීන්දුවට අනුව ඔහු එල්ලා මරා දැම්මේ 1818 දෙසැම්බර් 18 දින බදුල්ලේ දීයි.

 කිවුලේගෙදර පිදුම් ලබන වියලුව කිරිවෙහෙර- visitbadulla.lk

 

දෙවියකු වුණු කිවුලේගෙදර

මරණයට පත් කළත් මේ අභීත දේශප්‍රේමී ගැමියා ඌවේ ජනතාවගේ සිත්වලින් ඈත් වුණේ නැහැ. අවංක ගැමි නායකයෙක් වුණු කිවුලේගෙදර මොහොට්ටාලට ඌව වෙල්ලස්ස ගැමියන් තුළ විශාල භක්තියක් තිබුණා. ඔහු මරණයට පත්ව ටික කලකට පසු පුංචි අලූත්බණ්ඩාර දෙවියන්, ලෙසින් දේවත්වයෙහිලා සලකා පුද පූජා පවත්වනු ලබනවා. වියලුව කිවුලේගෙදර
කිරිවෙහෙර විහාරයේ කිවුලේගෙදර පුද ලබන දේවාලයක් තිබෙනවා. එම විහාර බිමේ කිරි වෙහෙර දාගැබ ඉදිරියේන්ම පිහිටි කිවුලේගෙදර ගම්බාර දේවාලය පිහිටි අතර එහි කිවුලේගෙදර මොහොට්ටාල විරුවාගේ රූපයක් ද තිබෙනවා. එහි කිවුලේගෙදර දේවත්වයෙන් අදහනවා.

 ගලඋඩ කිවුලේගෙදර දේවාලය- silumina.lk

 

තවත් කිවුගේගෙදර දේවාලයක් කන්දෙකැටිය- ගලඋඩ මාර්ගයේ වෙල මැද පිහිටා තිබෙනවා. කිවුලේ ගෙදර කන්දට සහ අලිඇ‍ටගොඩ කන්දට මැදිව තමයි මේ දෙවොල දකින්න ලැබෙන්නේ. ගැමියන් පවසන්නේ‍ කිවුලේගෙදර මොහොට්ටාල මරණින් පසු දේවත්වයට පත්ව මේ ස්ථානයේ සිටිමින් ප්‍රදේශය ආරක්ෂා කරන බවයි. තවත් සමහර පිරිසකට අනුව කි‍වුලේගෙදර මොහොට්ටාලගේ පරම්පරාවට අයත් අයකු දෙවියකු වී මේ දේවාලයට අරක්ගෙන කටයුතු කරන බවටත් විශ්වාසයක් පවතිනවා.

කවරයේ ඡායාරූපය - කිවුලේගෙදර මොහොට්ටාල - කුමුදු තාරක - silumina.lk

මූලාශ්‍ර:
divaina.com
lankadeepa.lk
silumina.lk
උඩරට මහ කැරැල්ල - ප්‍රථම භාගය, තෙන්නකෝන් විමලානන්ද - පරි. රත්නායක වනසිංහ

Related Articles