Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කව්ද මේ රොබට් නොක්ස්? මෙයා කොහේ ඉඳන්ද ලංකාව ගැන ලිව්වේ?

කවදා හරි ඔබ කිසි දවසක දැකපු නැති තැනක් ගැන ලියවුනු පොතක් කියවලා තියෙනවද? හොඳ කතුවරයෙක්ට පුළුවන් ඔබ කවදාවත් තියෙනවා කියලා හිතපු නැති ගස්වැල්, සතුන් ගැන ලියපු මනරම් විස්තර වලින් ඔබව මුසපත් කරන්න. ඔබ ඒ වගේ පොතක් කියවලා තියෙනවා නම් කතුවරයෙක්ගේ භාෂා හැකියාව ඔබව ඇත්තටම ඒ වෙත ගෙනියන්න සමත් කියලා මම කිව්වොත් ඒක අනිවාර්යෙන් පිළිගනීවි. ඒ විතරක් නෙවෙයි, ඔබව මුළුමනින්ම ඒ ලෝකය සමග සම්බන්ධ කරන්නත්, පොත කියවා අවසන් කලාට පස්සේ ඔබ එතනට ඇත්තටම ගියා කියන එක ඔබේ සිතට ඒත්තු ගන්වන්නත්, ඒ සියලු දේ ඔබ හැබැහින් අත් වින්ද බව හඟවන්නත් භාෂාවට පුළුවන්. ඒ පොතේ කියවපු දේවල් ඔබ ජීවිතයේම කොටසක් විදිහට දැනෙන්න පටන් ගන්නත් ඉඩ තියෙනවා.

මම හිතන්නේ 17 වන සියවසේදී රොබට් නොක්ස් ලියපු “හෙළදිවට අයත් ඓතිහාසික කතාවතක්” හෙවත් “An Historical Relation of the Island of Ceylon” කියන පොත කියවපු ලන්ඩන් වැසියන්ටත් හිතෙන්න ඇත්තේ ඒ විදිහට. මම මේ කියන්නේ අපේ රට, ශ්‍රී ලංකාව ගැන ඉංග්‍රීසියෙන් ලියවුනු පළවැනි පොත ගැනයි.

රොබට් නොක්ස් කියන්නේ කවුද? ලංකාව ගැන ලියන්න ඔහුට තිබුණු සුදුසුකම මොකක්ද?

1641 අවුරුද්දේ පෙබරවාරි 8 ලන්ඩන් නගරයේ ඉපදුනු රොබට් නොක්ස් ඒ කාලේ ඉන්දියානු කලාපයේ පැතිරිලා තිබුණු කරපු පෙරදිග ඉන්දියා සමාගමට අයත් නැවක කපිතාන්ගේ පුතා. මෙයාව වැඩිපුර හැඳින්වුණේ රොබට් කියලයි. පොඩි කාලේ ඉඳන් මුහුදු යන්න ආසාව තිබුණු රොබට් නොක්ස් තමන්ගේ පියා එක්ක මුහුදු වෙළඳාමට ඉක්මනින් යොමු වුණා. අවුරුදු 17 වෙද්දීම ඔහු පෙරදිග ඉන්දියා සමාගමට අයිති ඈන් නෞකාවෙන් ඉන්දියා කලාපයට යන්න නැව් නැග්ගා. මේ නැවේදී රොබට්ගේ වගකීම වුණේ නැවේ ලොග් පොත පවත්වා ගෙන යන එකයි. නමුත් කවුරුත් හිතුවේ නැහැ ඔහුට ඉන් පස්සේ මුහුණ දෙන්න වුනු හැම දේකටම මුල මේ පොතේ සටහන් යොදලා ලබා ගත්තු ලිවීමේ හැකියාව වේවි කියලා. මුහුදු වෙළඳාම ඔහුගේ ජීවිතයට බලපෑවා නම් ඒ බොහොම සුළු වශයෙන්.

1659 නොවැම්බර් 19 වනදා ඈන් නෞකාව ඉන්දීය දකුණු වෙරළ ආසන්නයේදී කුණාටුවකට මැදි වුණා. මේකෙන් ලොකු අනතුරක් සිදු නොවුණත් නැවට හානි වුනු නිසා කපිතාන් නොක්ස්, ඒ කිව්වේ රොබට්ගේ තාත්තාට සිද්ධ වුණා ලංකාවේ නැගෙනහිර වෙරළේ තිබුණු කොඩ්ඩියාර් බොක්ක වෙත නැව අරගෙන යන්න. එයාගේ අදහස වුණේ ලංකාවට, ඒ කිව්වේ ඒ කාලේ “සිලෝන්” වලට ගිහින් නැව අලුත් වැඩියා කරගන්න පුළුවන් වේවි කියලයි.

රොබට් නොක්ස් ඈන් නැවෙන් වෙරළට ගොඩ බැස්ස වෙලාවේ කීයටවත් හිතුවේ නෑ තමන්ට ඒ ප්‍රදේශයේ තිබුණු ලොකුම දේශපාලන ගැටලුවකට මැදි වෙන්න වේවි කියලා. රටේ මැද තිබුණු උඩරට සිංහල රාජධානිය තවමත් වෙනස් කරන්න බැරි වුණත් ඒ වෙනකොට රට වටේටම තිබුණු මුහුදුබඩ ප්‍රදේශ තිබුණේ ලන්දේසින්ට යටත් වෙලා. මේ නිසා රොබට් නොක්ස් දැනගෙන නොහිටියාට සුන්දර කොඩ්ඩියාර් බොක්ක ප්‍රශ්න දෙකකටම මැදි වෙලයි තිබුණේ: එක අතකින් ඈන් නෞකාව ලන්දේසින් සමග යුද්ධ වල පැටලිලා උන්නු බ්‍රිතාන්‍යයට අයත් එකක් නිසා අනවසරයෙන් ඇතුල් වුණාට අත් අඩංගුවට ගන්න ඉඩ තිබුණා, අනිත් අතින් දෙවන රාජසිංහ (1612-1687) රජතුමා යටතේ තිබුණු සිංහල රාජධානියේ හේවායන් නැවේ කාර්ය මණ්ඩලය රඳවා ගන්න ඉඩ තිබුණා.

අන්තිමට සිදු වුණේ දෙවැනි එක: රොබට් නොක්ස් ඇතුළු 16 දෙනෙක් උඩරට රාජධානියේ භාරයට ගැනුණා. ඉන් පස්සේ ඔවුන්ව තනි තනි වශයෙන් රාජධානිය පුරා තිබුණු විවිධ ගම්මාන වල රජුගේ අධීක්ෂණය යටතේ දිවි ගෙවන්නට සැලැස්වූවා. රොබට් නොක්ස්ගේ තාත්තාත් මේ විදිහට අත් අඩංගුවට පත් වුනු අයගෙන් කෙනෙක්. කොහොම වුණත් ඔහු මැලේරියාව හැදිලා ඉක්මනින්ම මිය ගියා. ඒ 1661දි වාරියපොළට ආසන්න බණ්ඩාර කොස්වත්ත කියන ගමේ ඉන්න අතරතුර.

රාජසිංහ රජතුමා පෘතුගීසි ක්‍රමයට ඇඳ පැළඳ ඉන්නා අවස්ථාවක්, රොබට් නොක්ස්ගේ “හෙළදිවට අයත් ඓතිහාසික කතිකාවක්” පොතෙන්. රූපය : serendib.btoptions.lk

රාජසිංහ රජතුමා පෘතුගීසි ක්‍රමයට ඇඳ පැළඳ ඉන්නා අවස්ථාවක්, රොබට් නොක්ස්ගේ “හෙළදිවට අයත් ඓතිහාසික කතිකාවක්” පොතෙන්. රූපය : serendib.btoptions.lk

රොබට් නොක්ස් ඔහුගේ ජීවිතයේ ඊළඟ අවුරුදු 22 ගෙව්වේ ලංකාවේ සිරකරුවෙක් විදිහටයි. කොහොම වුණත් අද කාලේවත් බොහෝ දෙනාට නැති ශක්තියක් ඔහුට තිබුණා; ඔහු තමන්ට උරුම වූ ජීවිතයට නොබියව මුහුණ දුන්නා. තමන්ව බලෙන් යෙදවූ ජන සමාජය සමග එකතු වෙලා ජීවත් වෙන්න ඔහුට පුළුවන් වුණා. තමන්ගේ ජීවිකාව කර ගන්න කුකුල් කොටුවක් පවත්වා ගෙන යාම, තොප්පි විවීම වගේ දේවල් කළ රොබට් ඒ අතරම තමන් ජීවත් වන ජන සමාජය ගැනත් අවබෝධයක් ලබා ගත්තා. සිංහල භාෂාව පවා පුරුදු වුන ඔහු ගමටම අයත් කෙනෙක් වගේ තමයි දිවි ගෙව්වේ. තමන්ගේ වටපිටාව ගැන අධ්‍යයනය කරන එක ඔහු ජීවත් වෙන්න ඕන කමට කළත් ඒක ඔහුගේ ප්‍රධාන කටයුත්ත කියලයි පෙනෙන්න තිබුණේ.

හෙළදිවට අයත් ඓතිහාසික කතිකාවක් ලියන්න ඔහු පෙළඹෙන්නේ ඇයි?

ලංකාවේ හිටපු කාලයෙන් වැඩි ප්‍රමාණයක් රොබට් නොක්ස්ට තමන්ගේ මව් භාෂාව ගැන මතකයක් විදිහටවත් ඉතිරි වෙලා තිබුණේ ඉංග්‍රීසි පොත් දෙකක් විතරයි. ශීලය රැක ගැනීම (A Practice of Piety) සහ ක්‍රිස්තියානි ඇදහීම (The Practice of Christianity) කියන මේ පොත් දෙකම ඔහු ඈන් නැවේ ඉඳන් එනකොට අරන් ආපු පොත් දෙකක්. (හුළුගල්ලේ, 1965) කොහොම වුණත් අපේ වාසනාවකට වගේ රොබට් නොක්ස්ට තවත් ඉංග්‍රීසි පොතක් කියවන්න ලැබුණා. මේ තුන් වෙනි පොත ඇත්තටම ඉංග්‍රීසි බයිබල් එකක්. ඔහුට මේක ලැබුණේ පෘතුගීසින් ලංකාවේ සිටි කාලයේ පෘතුගීසි ජාතිකයෙකුගෙන් මේ පොත ඉල්ලා ගත්තු මනුස්සයෙක් හරහා. මේ මනුස්සයා නොක්ස්ගේ වියපු තොප්පියක් වෙනුවට මේ බයිබල් එක හුවමාරු කර ගන්නවා. (හුළුගල්ලේ, 1965) බොහෝ දෙනෙක්ගේ අදහස මේ විදිහේ උසස් ලේඛණ ශෛලියක් පාවිච්චි වුන ග්‍රන්ථයක් නිතර කියවපු නිසා තමයි නොක්ස්ගේ හෙළදිවට අයත් ඓතිහාසික කතිකාවක්  කෘතිය සිත් ගන්නා සුළු ශෛලියකින් ලියන්න ඔහුට පුළුවන් වුණේ.

කොහොම වුණත් සිර ගත වෙලා ඉන්න දවස් වලදී රොබට් නොක්ස්ට ලියන්න අවස්ථාව ලැබුණේ නෑ. ඔහුට ඒකට අවස්ථාව ලැබෙන්නේ 1680 දී. උඩරට රාජධානියෙන් පැනලා ඇවිත් ලන්දෙසින්ගේනුත් බේරිලා තමන්ගේ මවු රට බලා යන සීසර් නැවට නැගුණු රොබට් නොක්ස් අවුරුදු විසි ගණනකට පස්සේ මැදි වයසේ කෙනෙක් වෙලා තමයි තමන් කුඩා කාලයේ ආසා කරපු මුහුද ආයෙත් ඇහැට දැක්කේ. තමන්ගේ රටට ගියාටත් පස්සේයි නොක්ස් ඔහු ලංකාවේ ගෙවපු ජීවිතය ගැන පොතක් ලියන්න පටන් ගත්තේ. (බොයිලි, 2004) දශක දෙකක් තිස්සේ පෑනක් අතින් අල්ලපු නැති රොබට් නොක්ස් ඇත්තටම කිව්වොත් අකුරු ලියන්න පවා ආපහු හුරු වුණා. මොන තරම් අමාරු වුණත් ඔහු ගත් උත්සාහයට ඒ අසහාය කෘතිය කියවා සතුටු වුන අපි කවුරුත් ස්තුතිවන්ත විය යුතුයි.

අවුරුදු ගණනාවකට පස්සේ බ්‍රිතාන්‍යයට ආපු රොබට් නොක්ස්ට ඒ මුළු කාලය වෙනුවෙන් වන්දි විදිහට පෙරදිග ඉන්දියා සමාගමෙන් ලැබුනේ ගිණි 20ක සොච්චම් මුදලක් විතරයි. මේ නිසා තමන්ගේ මවු රටේදී නොක්ස් සල්ලිත් නැති, යාළුවොත් නැති තත්වයකට වැටුණා. (පාවුළුස්, 1989) කොහොම වුණත් තමන්ගේ සහෝදරයා වුන ජේම්ස් නොක්ස් හරහා “ගැරාවේස්” කියලා කෝපි අවන්හලක නිත්‍ය සාමාජිකයන් පිරිසක් එක්ක මිතුරු වුන රොබට් නොක්ස් ලංකාවේදී වගේම ආපහු සමාජයට මුහු වෙන්න ඉඩ සලසා ගත්තා. මේ විදිහට ටිකෙන් ටික ඔහුගේ මවු රටේ සමාජ ක්‍රමයට හුරු වුනු නොක්ස් ඊට පස්සේ තමයි තමන් සේවය කරපු පෙරදිග ඉන්දියා සමාගම වෙත තමන් ගත කළ කාලය ගැන සම්පුර්ණ වාර්තාවක් ලබා දෙන්න පෙළඹුනේ. මේ විදිහට තමයි ඔහුගේ විශ්මයජනක ජීවිතය සහ ලංකාව ගැන සවිස්තරාත්මක වාර්තාවක් 1681දි ලන්ඩන් වල පළ වෙන්න අවස්ථාව උදා වුණේ.

කෘතියෙන් ඇති වුණු බලපෑමේ තරම

කොළඹ විශ්ව විද්‍යාලයේ පර්යේෂණ එකතුව ඇසුරෙනි. රූපය : lib.cmb.ac.lk

කොළඹ විශ්ව විද්‍යාලයේ පර්යේෂණ එකතුව ඇසුරෙනි. රූපය : lib.cmb.ac.lk

හෙළදිවට අයත් ඓතිහාසික කතිකාවක් කෘතිය වීර වික්‍රම වලින් පිරුණු ස්වයං චරිතාපදාන කතාවක වගේම උසස් ගණයේ මාර්ගෝපදේශක ග්‍රන්ථයකත් සංකලනයක් නිසා මුද්‍රණය වෙලා පිට වුන ගමන් උණු කැවුම් වගේ විකිණෙන්න පටන් ගත්තා. මේ පොත නිසා ලංකාව ගැන බ්‍රිතාන්‍යයන් තුල තිබුණු උනන්දුව වැඩි වුණා වගේම ලංකාවට උරුම වූ වචන බොහොමයක් බටහිර ලෝකයට හෙළි වෙන්නත් අවස්ථාව ලැබුණා. මේකට වැඩියෙන්ම බලපෑවේ රොබට් නොක්ස් ඉංග්‍රීසින්ට සම්පුර්ණයෙන්ම ආගන්තුක යමක් විග්‍රහ කරන්න පාවිච්චි කරපු වචන මාලාව කියලා කියන්න පුළුවන්. මෙන්න උදාහරණයක් විදිහට ඔහු බුලත් කොළය විග්‍රහ කරපු හැටි.

බුලත් කොළය (මේ පැති වල ජනතාව බොහෝ කැමැත්තෙන් නිතරම කෑමට ගන්න) අයත් ගස වැවෙන්නේ අයිවි ගහක් වගෙයි, (ගස් හා පොලු වටා එතෙමින්…කොලයේ හැඩය තරමක් දුරට දිගැටියි, කෙලවර උල් වූ ගතියක් පෙනෙනවා, මේ කොළය වඩාත් මහත් වෙන්නේ නාරටිය අසලින්, මේ නාරටිය ඉතා සිනිදුයි, දීප්තිමත් කොළ පැහැයකින් යුක්තයි, මේ කොළය බොහෝ දුරට ගම්මිරිස් කොළයක් හා සමානයි, නමුත් පාටින් විතරක් වෙනස්, ගම්මිරිස් කොළය තද කොළ පාට නිසා.)

“The tree that bears the betel-leaf, (which is so much loved and eaten in these parts) grows like Ivy, (twining about Trees, or Poles…The form of the leaf is longish, the end somewhat sharp, broadest next to the stalk, of a bright green, very smooth, just like a Pepper leaf, onely different in the colour, the Pepper leaf being of a dark green.)”

නොක්ස්ගේ කෘතිය ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට සිංහල වචන 18ක්ම එක් කරන්න හේතු වුණා කියන ඒකත් මේ පොත කියෙව්වම පුදුමයක් නෙවෙයි. මේ වචන ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ දෙවැනි සංස්කරණයේ සිට මේ දක්වාම තියෙනවා. මේ සියලුම වචන ලංකාවට කෙලින්ම හෝ කිට්ටු සම්බන්ධයක් සහිතයි. betel-leaf, bo tree, Buddha, rattan, Vedda, and wanderoo මෙයින් කිහිපයක්. (බොයිලි, 2004)

මීට අමතරව ඉංග්‍රීසි සාහිත්‍යය තුල ඉංග්‍රීසි වචන 11ක් අසාමාන්‍ය විදිහට වල පාවිච්චි වෙනවා මුලින්ම දකින්න ලැබුනෙත් මේ කෘතිය තුලයි. (dodge  කියන වචනය ලංකාවේ මිනිසුන් තමන් හඹා ගෙන එන අලියෙකු මග හරින විදිහ විස්තර කරන්න ඔහු පාවිච්චි කළ ආකාරය මේකට හොඳ උදාහරණයක්.) (බොයිලි, 2004)

එංගලන්තය තුල විශාල බලපෑමක් කරපු හෙළදිවට අයත් ඓතිහාසික කතිකාවක් පොත පසුව ජර්මන් (1689), ලන්දේසි (1692) සහ ප්‍රංශ (1693) භාෂා වලටත් ඉක්මනින්ම පරිවර්තනය වුණා. මේ නිසා යුරෝපය පුරාම මේ පොතේ බලපෑම පැතිරුණු බව සනාථ වෙනවා.

මේ විදිහට නොක්ස්ගේ පොතෙන් භාෂාත්මක විදිහට සිදු වුනු බලපෑම ගැන වගේම එයින් සිදු වුනු තවත් බලපෑමක් ගැනත් කතා කරන එක වැදගත්. ඔහුගේ හුදෙකලා වීම සහ ගැලවීම ගැන කතාන්දරය සමකාලීන කතුවරුන්ගේ සිතන ශෛලියටත් විශාල බලපෑමක් කළා. මේ නිසා නොක්ස්ගේ පොත කියවූ හෝ ඒ ගැන ගැරාවේස් අවන්හලේදී ඇසූ කෙනෙක්ගේ සිහිනයක් බවට මේ කතා පුවතේ ඇඳුනු තැන පත් වුණා. ඒකට හොඳම උදාහරණය විදිහට රොබින්සන් කෲසෝ කතාව කියවලා තියෙනවා නම් නොක්ස්ගේ පොතට සමාන ලක්ෂණ බොහොමයක් එහි අන්තර්ගත වන බව ඔබත් පිළිගනීවි. ඩැනියෙල් ඩිෆෝ වැනි රොබට් නොක්ස්ගේ සමකාලීනයෙකු රොබින්සන් කෲසෝ කතාන්දරයේදී ප්‍රධාන චරිතයේ නිර්භීතභාවය, දරා ගැනීමේ හැකියාව වගේ දේවල් විග්‍රහ කරන ආකාරයෙන් ඔහු අනිවාර්යෙන්ම හෙළදිවට අයත් ඓතිහාසික කතිකාවක් පොතට ගරු බුහුමන් දක්වන්නට ඇති බව පැහැදිලි කරුණක්. මේ අදහස ඇතැම් විචාරකයන් නිර්මාණය කළ මවා ගත් හේතු ඵල සම්බන්ධයක් කියා කියවුණත් එක දෙයක් පැහැදිලියි. ඩැනියෙල් සතුව හෙළදිවට අයත් ඓතිහාසික කතිකාවක් හි පිටපතක් තිබුණා (ෆර්ගසන්, 1896) සහ රොබින්සන් කෲසෝ කතාව පළ වුණේ හෙළදිවට අයත් ඓතිහාසික කතිකාවක් පළ කර ටික කාලයකට පස්සේ. නමුත් අවාසනාවකට රොබින්සන් කෲසෝ කියවන්න ඉඩක් ලැබෙන්න කලින්ම රොබට් නොක්ස් මිය ගියා. ඒ වන විට රොබින්සන් කෲසෝ පළ කරලා අවුරුද්දයි ගත වෙලා තිබුණේ.

මේ විදිහට හිතාගෙන යද්දී ඔබට පුදුම හිතෙයි 1719දි පළ කෙරුණු රොබින්සන් කෲසෝ ඉංග්‍රීසි සාහිත්‍යයේ පළමු නව කතාව විදිහට පිලි ගැනෙන බව ඇහුවම. ඒ පොත තමයි ගවේෂණය සහ හුදෙකලා ජීවිතය පදනම් කර ගත්තු කතා දහස් ගණනක මුලාරම්භය. එහෙම හිතද්දී ලංකාව ගැන ලියවුනු පොතක් ඒ සියලු දේවල් වලට මුලික වුන රොබින්සන් කෲසෝ පොතට පදනම කර ගත්තා වෙන්න පුංචි හරි ඉඩක් තියෙනවා නේද කියලත් හිතන්න පුළුවන්. මේ නිසා නොක්ස්ගේ පොතෙන් වුනු බලපෑම යම් විදිහකින් 2000දි නිර්මාණය වුණු ටොම් හෑන්ක්ස් රඟපෑ “Castaway” චිත්‍රපටියට පවා දැනිලා තියෙනවා කියන්න බැරි නැහැ!

ටොම් හෑන්ක්ස් “Castaway” චිත්‍රපටියේ චක් නෝලන්ඩ් ලෙස. ලංකාව ගැන ලියවුනු කතාවක් මෙහි මුලාරම්භය වෙන්න හොඳටම ඉඩ තියෙනවා! රූපය : www.popmatters.com

ටොම් හෑන්ක්ස් “Castaway” චිත්‍රපටියේ චක් නෝලන්ඩ් ලෙස. ලංකාව ගැන ලියවුනු කතාවක් මෙහි මුලාරම්භය වෙන්න හොඳටම ඉඩ තියෙනවා! රූපය : www.popmatters.com

17 වන සියවසේ ලංකාව ගැන හෙළදිවට අයත් ඓතිහාසික කතිකාවක් කෘතියෙන් ලබා ගත හැකි අදහස් මොනවාද?

රොබට් නොක්ස් නම් බ්‍රිතාන්‍ය සිරකරුවාගේ ඇසින් අතීත ලංකාව ගැන දැක ගන්න පුළුවන් බොහෝ දේ තියෙනවා. එයින් තෝරා ගත් කොටස් කිහිපයක් ඔබේ කියවීම සඳහා පහතින් දක්වලා තියෙනවා. මෙහි පවතින අදහස් 100%ක්ම සිංහලට පරිවර්තනය කරන්නට මගේ හැකියාව ප්‍රමාණවත් නොවිය හැකි නිසා අදාළ ඉංග්‍රීසි ඛණ්ඩත් මෙහි ඇතුලත්. (පැරණි ඉංග්‍රීසි බව සලකන්න)

  • කෑම මේසයේ ඇති ආහාර ගැන ඔහු ලියා තිබුණේ මෙලෙසින්.

ඔවුන්ට බත් සමග පිළියෙළ කර කෑමට ගන්නා තවත් පලතුරු කිහිපයක්ම තියෙනවා, ඉතා ඇඹුල් රසින් යුතු කරවිල, වට්ටකුල් (වට්ටක්කා?), මුරුංගා, කකාරබුන්? ආදිය මීට අයත්. මේවා එංගලන්තයේ වැවෙන දේවල් ඇසුරෙන් සසඳා පැහැදිලි කරන්න මට නොහැකියි.

“They have several other sorts of fruits which they dress and eat with their Rice, and tast very savoury, called Carowela, Wattacul, Morongo, Cacorebouns &c., the which I cannot compare to any things that grow here in England.”

  • කූඩැල්ලන් නිසා ඇති කරදරය ගැන.

මෙවන් රටවල් හරිම ලස්සනයි, ඒ වගේම සෞඛ්‍යයට හිතකරයි, නමුත් වැස්ස කාලයට මේ රටවල් හරිම කරදරකාරියි……ගොඩ කූඩැල්ලන් නිසා

“These Countries are very healthey and pleasant – onely in times of rains they are much annoyed with… Land Leeches.”

  • කොහොම වුණත් අපට ඉතාම රසවත් තැන් විදිහට හමු වෙන්නේ බුලත් ආශ්‍රිතව නොක්ස් දක්වන පැහැදිලි කිරීම්. ලංකාවේ බුලත් හපන පුරුද්ද ගැන ඔහු කියන්නේ මේ වගේ දෙයක්.

ඉහළ පැලැන්තියේ කාන්තාවන්ට, විශේෂයෙන් හාමිනේලා සහ කුමාරිහාමිලාට කාලය ගත කරන්න වෙන කිසිම දෙයක් නැති තරම්, වාඩි වෙලා බුලත් හපන එකයි, කෙළ ගහලා හපය ගිලින එකයි හැර. ඊට අමතරව යහළුවෝ එක එක්කෙනාව හමු වෙන්න එහෙම ආවම ඔවුන්ට තියෙනවා හොඳ සමාජ පුරුද්දක් එකට වාඩි වෙලා බුලත් කන,  හරියට අපි එකට වයින් බොනවා වගේ

“The better sort of Women, as Gentlewoman or Ladies, have no other Pastime but to sit and chew Betel, swallowing the spittle, and spitting out the rest. And when friends come to see and visit one the other, they have as good Society thus to sit and chew Betel, as we have to drink Wine together.”

  • මේ ලිපිය අවසන් කරන්න පාවිච්චි කරන්නේ මේ දුපත් රටේ මිනිස්සු බුලත් කන්න මේ තරම් කැමති වුන හේතුව ගැන රොබට් නොක්ස්ගේ (තරමක් හාස්‍යජනක) හේතු දැක්වීමයි.

ඉතින් ඔවුන් ඒ වගේ නිතරම බුලත් කන්න හේතුව කියනවා නම්, පළමුවෙන්ම එය කට පුරවා ගෙන කන්න පුළුවන් නිසා. දෙවනුව ඒ එයාලගේ කට සුවඳ කරලා තියා ගන්න: මොකද බුලත් හපපු කටකින් හොඳට දැනෙන සුවඳක් එන නිසා. තුන් වෙනියට ඒ එයාලගේ දත් ටික කළු පාටට තියා ගන්න. මොකද එයාල සුදු දත් තියන අය පිළිකුල් කරනවා, ‘හරියට බල්ලෙක්ගෙ දත් වගේ’ කියලා

“And the Reasons why they thus eat it are, First, Because it is wholsom. Secondly, To keep their mouths perfumed: for being chewed it casts a brave scent. And Thirdly, To make their Teeth black. For they abhor white Teeth saying, That is like a Dog.”

[බොයිලි, 2004, ලියූ “නොක්ස්ගේ වදන්” නම් කෘතියෙන් ලබා ගන්නා ලදී. (‘Knox’s Words’ (Boyle, 2004))]

Related Articles